විශේෂාංග

ගර්භනී මව්වරු කොවිඩ් එන්නතට බය වෙන්න එපා

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය

සම්පත් ඥානරත්න මහනුවර

කොවිඩ්-19 වෛරසයේ සීඝ්‍ර ව්‍යාප්තිය සමඟ මේ වනවිටත් වෛරසය ආසාදනය වූ ගැබිනි මව්වරුන් විශාල ප්‍රමාණයක් වාර්තා වී ඇත. එසේම කොරෝනා වෛරසය හේතුවෙන් සැලකිය යුතු ගැබිනි මව්වරුන් ප්‍රමාණයක් මියගිය බවත් කණගාටුවෙන් වුවත් සටහන් කළ යුතුය.

කොරෝනා මර්ධන එන්නත් ලබාගැනීමට ගැබිනි මව්වරුන් තුළ ඇති අනියත භීතිය මේ කණගාටුදායක තත්ත්වය සඳහා හේතුවන බව අපත් සමඟ ප්‍රකාශ කළේ තෙල්දෙණිය මූලික රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය සම්පත් ඥානරත්න මහතායි. ගැබිනි මවක් මෙම එන්නත ලබාගැනීමේ වැදගත්කම පිළිබඳවත්, ඔවුන් කොවිඩ්-19 වෛරසයෙන් ආරක්ෂා විය යුත්තේ කෙසේද යන්නත් අප සමඟ සිදුකළ සංවාදයකදී ඔහු තවදුරටත් පැහැදිලි කළේ මෙලෙසය.

ඇත්තටම යම් රෝගයක් හැදුනට පස්සේ ප්‍රතිකාර කරනවට වඩා ඒක හැදෙන එක වළක්වගන්න එක තමයි වඩාත්ම වැදගත්. ඉතින් මේ දවස්වල ගැබිනි මව්වරුන් තමන්ගේ ආරක්ෂාව ගැන අන් කවරදාටත් වඩා සැලකිලිමත් වෙන්න ඕනේ.

කාන්තාවක් ගැබ්ගත් පසුව ඇයගේ ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ක්‍රියාකාරීත්වය අඩුවෙනවා. ඉතින් එහෙම වෙලාවක කොරෝනා වගේ වෛරස රෝග ඔවුන්ට පහසුවෙන්ම ආසාදනය වෙනවා විතරක් නෙවෙයි ඒ රෝග උත්සන්න වෙන්න තියෙන ඉඩකඩක් වැඩියි.”

නමුත් ගැබිනි මවගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ප්‍රශස්ථ ක්‍රියාකාරීත්වයක පවත්වා ගැනීමටත්, බාහිරින් සිරුරට ඇතුළුවෙන වෛරස්, බැක්ටීරියා මර්ධනයටත් මෙම එන්නත් මගින් ඇතිකරන ප්‍රතිදේහ උපකාරී වේ.

දැනට භාවිතයේ පවතින කිසිම කොරෝනා මර්ධන එන්නතක් මවට හෝ දරුවාට කිසිම හානියක් නොකරන බව යුරෝපයේදී කරපු වෛද්‍ය පරීක්ෂණයකින් සනාථ වුණා. ඒ පරීක්ෂණයට ගැබිනි මව්වරුන් එක්ලක්ෂ විසිදාහක් පමණ සහභාගී වුණා. එන්නත නිසා කිසිඳු මවකට හෝ දරුවෙකුට බලපෑමක් ඇති වුණේ නැහැ.”

ඔහු කියන්නෙ එන්නත ලබාගැනීමෙන් පසු ඇතිවිය හැකි සංකූලතා පිළිබඳව හිත කලබල කරගන්නා බොහෝ මව්වරුන් එන්නත ලබා නොගැනීම නිසා ඇතිවිය හැකි ගැටළු පිළිබඳව නොදැනුවත් බවය.

දැනට කොවිඩ් නිසා මියගිය මව්වරුන් සංඛ්‍යාව අවුරුද්දකදී විවිධ රෝග නිසා ලංකාව තුළ සිදුවන මාතෘ මරණ සංඛ්‍යාවෙන් හරි අඩකට සමානයි. මාතෘ මරණ විතරක් නෙවෙයි කොරෝනා වෛරසය නිසා මළදරු උපත්, අඩුමස් ප්‍රසූත කිරීම්, ඒ වගේම සංකූලතා සහිත දරුවන් වුණත් බිහිවෙන්න පුළුවන්. ඉතින් ඇත්තටම මේක ඉතාම කණගාටුදායක තත්ත්වයක්.”

ගැබිනි මවක වුවත් දරුවෙකු පිළිසිඳගැනීම බලාපොරොත්තු වන කාන්තාවක වුවත් එන්නත ලබාගැනීම ඉතාම වැදගත්ය. ඒ සඳහා යම් යම් නිර්දේශයන් පවතින බවත් සඳහන් කළ යුතුය.

සාමාන්‍යයෙන් ගැබිනි මවකට එන්නත ලබාගන්න නිර්දේශ කරන්නේ ගැබ්ගෙන සති 12 කට පසුවයි. නමුත් ගැබ් ගැනීමට පෙර එක් මාත්‍රාවක් ලබාගත් මව්වරුනුත් ඉන්නවනේ. ඔවුන් කලින් නිර්දේශ කරලා තියෙන විදිහටම දෙවැනි මාත්‍රාව ලබාගන්න බයවෙන්න එපා.”

මෙහිදී මතුකළ යුතු තවත් වැදගත් කරුණක් ඇත. ඒ කොරෝනා එන්නත ලබාගත් පමණින් වෛරසය ආසාදනය නොවේ යැයි සිතීමට හැකියාවක් නොමැති බවය.

එන්නත මගින් රෝගයෙන් ආරක්ෂා වෙන්න යම් පිටුවහලක් ලැබෙනවා තමයි. නමුත් එන්නතේ මූලිකම කර්තෘව්‍ය වෛරසය මාරාන්තික වීම වළක්වන එකයි. ඒ නිසා එන්නත් ගත්ත පලියට සියයට සියයක් ඔබ ආරක්ෂිතයි කියලා හිතන්නත් එපා. අනික සමහර අයට මේ එන්නත් ක්‍රියාකාරී නොවෙන්න වුණත් පුළුවන්.”

ඒ නිසාම එන්නත ලබාගත් පසුවත් සෞඛ්‍ය අංශවලින් නිර්දේශකොට ඇති සෞඛය ආරක්ෂිත ක්‍රමවේදයන්ට අනුකූලව කටයුතු කිරීම වැදගත්ය.

ඔබ ගැබිනි මවක් නම් අත්‍යවශය කාරණාවකට හැර නිවසින් පිටතට යන්න එපා. ඒ වගේම සෙනඟ ඒකරාශී වන ස්ථාන මඟහරින එකත් වැදගත්. දෙවන සහ තෙවන තෛමාසික ගතකරන මව්වරුන්ට කොවිඩ්-19 තත්ත්වය ඉතාම දරුණු විදිහට බලපාන්න පුළුවන්. ඒ නිසා ඒ අවධිය ගතකරන මව්වරුන් දැඩිව සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කළ යුතුයි.

මේ අයහපත් තත්ත්වය නිසාම දැන් සංකූලතා නැති ගැබිනි මව්වරුන්ව මාසික සායනයට ගෙන්වන්නෙත් නැහැ. ඒ වෙනුවට ඔවුන්ට දුරකතන මාර්ගයෙන් ඒ අවශ්‍ය උපකාර, උපදෙස් ලබාදෙනවා.

නමුත් අධිරුධිර පීඩනය, දියවැඩියා වගේ සංකූලතා තියෙන මව්වරුන් සායනවලට සහභාගී වීම වැදගත්. නැත්නම් ඒක මවට වගේම දරුවටත් හානිකර වෙන්න පුළුවන්. ඉතින් එවැනි මව්වරුන් ලබාදී ඇති දුරකතන අංකවලට අමතලා මාතෘ සායනයක් සැලසුම් කරගෙන එයට සහභාගී වෙන එක වැදගත්.

යම් ගැබිනි මවක් කොවිඩ් රෝග ලක්ෂණ පෙන්වනවා නම් වහාම පවුල් සෞඛ්‍ය සේවිකාව දැනුවත් කළ යුතුයි. ඉන්පසු ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා නිලධාරියා සහ ප්‍රදේශයේ වසංගත රෝග වෛද්‍යවරයා හරහා ඒ අවශ්‍ය කටයුතු සම්පාදනය කරනවා. කොවිඩ්-19 ආසාදිත ගැබිනි මව්වරුන්ව කිසිඳු විටෙක නිවසේ නිරෝධායනය කරන්නේ නැහැ. හැමවිටම ඔවුන්ව වෛද්‍ය අධීක්ෂණය යටතේ නේවාසිකව රඳවා ප්‍රතිකාර කරනවා.”

වෛද්‍ය එම්.එස්.සජීවනී පෙරේරා

විශේෂඥතාවය කාන්තා රෝග හා ප්‍රසවවේදය

M.S.(Ayu)

MSC Kayachikitsa

BAMS (Hons)

බණ්ඩාරනායක අනුස්මරණ ආයුර්වේද පර්යේෂණායතනය

කාන්තා රෝග හා ප්‍රසවවේදය අංශය

නාවින්න

ගැබිනි මවක් කොවිඩ්-19 වෛරසයෙන් ආරක්ෂා වීමට අනුගමනය කළ යුතු දේශීය වෛද්‍ය පිළියම් කිහිපයක් පිළිබඳවත් අප සොයා බැලුවෙමු. මෙතැන් පටන් දිගහැරෙන්නේ ඒ පිළිබඳව නාවින්න බණ්ඩාරනායක අනුස්මරණ ආයුර්වේද පර්යේෂණායතනයේ කාන්තා රෝග සහ ප්‍රසවවේදය පිළිබඳ අධ්‍යයන අංශයේ කථිකාචාර්ය, වෛද්‍ය එම්.එස්. සජීවනී පෙරේරා මහත්මිය දැක්වූ අදහස්ය.

ගැබිනි මව්වරුන් කොරෝනා වෛරසය වැළඳිය හැකි වඩාත් අවධානම් කාණ්ඩයක් විදිහට ලෝක සෞඛ්‍ය සංවිධානය පවා හඳුන්වලා දෙනවා. ඉතින් ඒ නිසා ගැබිනි මවක් ඇයගේ ප්‍රතිශක්තිය ප්‍රශස්ථ මට්ටමින් පවත්වා ගන්න එක ඉතාම වැදගත්.”

ඇය කියන්නේ ගැබිනි මවගේ ප්‍රතිශක්තිය නිසි පරිදි පවත්වා ගැනීමට උපකාරී වන ඇවතුම් පැවතුම් රැස්කම පවතින බවය.

ගැබිනි මවකගේ මානසික යහපැවැත්ම වඩා හොඳින් පවත්වාගැනීම වැදගත්. ඒ වගේම කෘතිම රසකාරක, ශීත කළ ආහාර වර්ග වෙනුවට නිවසේ පිසූ ආහාර පමණක් ගැනීමටත් අමතක නොකළ යුතුයි. ඒ වගේම හොඳින් වාතාශ්‍රය ලැබෙන පරිසරයක් තුළ රැඳීම සහ මානසිකව සහ කායිකව වෙහෙසීමෙන් වළකින එකත් ඉතා වැදගත්. ඊට අමතරව ඉතින් නිවසින් පිටතට යාමෙන් හැකිතාක් වැළකීම, දෑත් සේදීම වගේ සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව කටයුතු කරන්නත් අමතක නොකළ යුතුයි.”

වසවිස සහිත කෘතිම ආහාර වෙනුවට ගැබිනි මවගේ ප්‍රතිශක්තිය වඩවන පෝෂණීය ආහාරපාන ගැන ඇය තවදුරටත් පැහැදිලි කළේ මෙසේය.

ගැබිනි මවකගේ ආහාරපාන ගර්භනී කාලසීමාව අනුව වෙනස් වෙනවා. පළමු මාස තුනේදී මවට කෑම අප්‍රියතාව, එතකොට නිතර නිතර වමනය යාමක් එහෙම වෙනවා නම් ඇයගේ ප්‍රතිශක්තය පහල වැටෙන්න තියෙන ඉඩකඩ වැඩියි. ඉතින් ඒ අම්මලාට බාර්ලි, මුං ඇට, මුද්දරප්පලම්, කජු, පොල්කිරි මිශ්‍රිත ධාන්‍ය කැඳ, නාරං, අඹ, දෙළුම්, නෙල්ලි, කටු අනෝදා, ජම්බෝල වගේ විටමින් C බහුල පලතුරුවිලින් සදන පානවර්ග, එතනින් ගියටම පොල්පලා, මොනරකුඩුම්බිය, එළබටු, හාතාවාරිය, මුකුණුවැන්න, ඉරමුසු කොළ වගේ ඖෂධීය ශාඛවලින් හදන කැඳ වර්ග එහෙම හරි ගුණවත්. ඒ වගේම තණහාල් වගේ දේශීය සහල්, ගිතෙල් සමඟ මිශ්‍ර කරලා හදන කැඳත් ගැබිනි මවට වඩා යෝග්‍යයි.”

ඔබ හතරවැනි මාසය ගත කරනා මවක් නම් ඉහත ආහාරපානවලට අමතරව එළකිරිවලින් සකස්කරන ලද බටර්, ගිතෙල් සහ මස්, මාළු මිශ්‍ර කර සාදාගත් සුප් වර්ගද ආහාරයට එක්කරගත හැකිය.

මාස හතරත්හයත් අතර කාලයත්, අවසාන මාස තුනත් ගතකරන අම්මලාට ඉරමුසු, සාරණ මුල්, හාතාවාරිය අල, කිරිබදු අල වගේ දේවල් දාලා හදන කැඳ වර්ග ඉතාම හොඳයි.”

ගැබිනි මවගේ ආහාරවලට සැමවිටම දේශීය කුළුබඩු සහ ගිතෙල් මිශ්‍ර කළ යුතුය.

හැකිතරම් ප්‍රතිශක්තිය වර්ධනය කරන කාබනික එළවළු, පලතුරු, පලා වර්ග ආහාරයට ගන්න. කෙසෙල්මුව, කොහිල, එළබටු, මුරුංගා, එතනින් ගියහම කතුරුමුරුංගා, තිබ්බටු එහෙම ගැබිනි මවකගේ ප්‍රතිශක්ති වර්ධනය කරන ආහාර විදිහට හඳුන්වන්න පුළුවන්.”

ප්‍රතිශක්ති වඩන ආහාරවලට අමතරව ඖෂධ පිළිබඳවත් කතා කිරීම වැදගත්ය.

පත්පාඩගම්, ඉඟුරු, වෙනිවැල්ගැට, රසකිඳ තැම්බූ ජලය ගර්භණී මවගේ ප්‍රතිශක්තිය වඩවනවා. ඊට අමතරව සුදුලූනු කුළුබඩුවක් ලෙස හෝ තම්බා භාවිත කිරීමටත් හැකියාව තිබෙනවා.”

පළමු මාස 3හි වමනය සහ උදර දාහය පවතී නම් සුදුලූනු තැම්බූ ජලය පානය නොකළ යුතු බවත් සටහන් කළ යුතුය.

වියළි හාතාවාරිය අල, අශ්වගන්ධ අල කුඩු ඒ වගේම වියළාගත් බැබිල කුඩු තේ හැඳි 1/2ක්, එළකිරි අඬු කෝප්ප 1/2ක් එක්ක මිශ්‍ර කරලා උදේ හවස පානය කරන්න.”

කොවිඩ් වෛරසයෙන් ආරක්ෂා වීම උදෙසා කොහොඹ කොළ, කහ තම්බාගත් ජලයෙන් ස්නානය කිරීම කළ හැකියි. ගැබිනි මව ගත කරන්නේ අවසාන මාස ත්‍රිත්වය නම් මේ මිශ්‍රණයට බැබිල පංචාංගය එක්කරගැනීම වඩා හොඳය.

අතීතයේදී සූතිකාගාරවලදී හල්දුම්මල, පැඟිරි කොළ, මදුරුතලා, අගිල් වගේ විෂබීජනාශක ද්‍රව්‍යවලින් සාදාගන්නා ධුමායන භාවිතා කළා. ඉතින් මේ දේවල් අදටත් වලංගුයි. ගැබිනි මවකගේ ධුමායනයට කිසිම වෙලාවක වදකහ එකතු කරන්න එපා කියලත් කියන්න ඕනේ.”

ඊට අමතරව පැඟිරි කොළ, මදුරුතලා, බෙලි කොළ, පාවට්ටා කොළ එකට තම්බා ද ධුමායනය සිදුකළ හැකිය.

ධුමායනයට අමතරව පෙරුම්කායම් කඩක් රෙදිකඩක ඔතා අතෙහි බැඳීමද විෂබීජවලින් ආරක්ෂා වීමට වඩා හොඳ ක්‍රමයක්ය.

අනිත් වැදගත්ම දේ තමයි නිතර නිතර උගුර සේදීම. මේකට ලුණු මිශ්‍රිත මඳ උණුසුම් ජලය භාවිතා කරන්න. ඒ වගේම නිතරම මඳ උණුසුම් ජලය භාවිතා කරන්න. මඳ උණුසුම් ජලයෙන් කිසිම විදියකටවත් දරු ගැබට හානියක් වෙන්නේ නැහැ.”

දීර්ඝකාලීනව පවතින ආතතිය ශරීරයේ ග්‍රන්ථිවල (HPA axis) හෝමෝන වෙනස්කර ශරීරයේ ප්‍රතිශක්තිය හීන කරයි.

ඒ නිසාම ගර්භනී මවගේ මානසික සුවතාවය උදෙසා නිවස තුළ හා අවට පරිසරය සාමකාමීව පවත්වා ගැනීමටත් අමතක නොකළ යුතුයි.

වෛද්‍ය පරීක්ෂණවලින් ප්‍රතිඵල තහවුරු කළ දේශීය ඖෂධ වර්ග ඕනෑතරම් ආයුර්වේදයේ තිබෙනවා. විශේෂයෙන්ම ප්‍රතිශක්තිය අඩු මට්ටමක පවතින මව්වරුන්ට වෛද්‍ය නිර්දේශය යටතේ එවැනි ඖෂධ ලබාගන්න පුළුවන් කියන එකත් අවසාන වශයෙන් මතක් කරන්න ඕනේ.”

සෙව්වන්දි හෙට්ටිආරච්චි