විශේෂාංග

මරණාසන්න වූ දරුවෙකුට පණදෙන්න පැයක් දණ ගහගෙන ඉඳපු දොස්තර මහත්තයා

මේ දිනවල කොතැනත් කාගේත් අවධානය දිනාගත් දොස්තර මහත්තයෙක් ඇත. මාස හයක පුංචි දරුවෙක්ගේ ජීවිතයක් බේරාගැනීමට ඇඹිලිපිටියේ සිට කරාපිටියට එන ගිලන් රථයේ දණ බිම තියාගෙන දරුවාට හුස්ම දුන්නේ ඔහුය. වෛද්‍යවරයෙකුගේ භූමිකාව රෝගියෙකුගේ ජීවිතය බේරාගැනීමම වුවත් මේ වෛද්‍යවරයා එම දරු සිඟිත්තාගේ ජීවිතය බේරාගැනීමට ගත් උත්සාහය ගැන යමක් නොලියා බැරිය. ඔහු ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ ප්‍රසව හා නාරි වෛද්‍ය ඒකකයේ වෛද්‍ය තරිඳු ඉරෝෂන් ලංකානාථය. කොවිඩ් 19 හමුවේ දැඩි කාර්යබහුල මොහොතක වුවද එදා වූ සිදුවීම ගැන කතාබහ කරන්නට ඔහු ‘ධරණී’ හා එක්වූයේ මෙලෙසිනි.

‘‘මං ඉපදුණේ දකුණු පළාතේ මාතර. හැබැයි ඉස්කෝලේ ගියේ කොළඹ වෙස්ලි විද්‍යාලයට. පවුලේ එකම දරුවා. ඒ නිසාම පුංචි කාලේ හැමෝම වගේ මට ආදරේ කළා. මගේ අම්මා නම් රැකියාවක් කළේ නෑ. ඒත් තාත්තා ඉංජිනේරුවෙක්. ඉතින් එයාගේ වැටුපෙන් තමයි අපි කාලා ඇඳලා හිටියේ. කාලේ අපේ ගෙදර පොඩි ටීවී එකක් තිබුණේ. ඒකෙන් අපේ අම්මා නිතරම වෛද්‍ය වැඩසටහන් බලනවා. මමත් අම්මා ළඟින් ඉඳගෙන ඒවා බලනවා. ඒ වෙනකොට මට අවුරුදු තුනක් වගේ ඇති. ඔය කාලේ වෛද්‍ය වැඩසටහන්වල සැත්කම් කරන රූප රාමු එහෙම පෙන්නනවා. ඒවා දැකලා දැකලමද මන්දා මට තේරෙන කාලේ වෙනකොට වෛද්‍යවරයෙක් වෙන්න හීනයක් තිබුණා. අම්මා කියනවා, ඒ දවස්වල මගෙන් ලොකු වෙලා කවුරු වෙන්නද කැමති කියලා අහද්දි ‘ඔපරේෂන් කරන දොස්තර අන්කල් කෙනෙක්’ වෙන්න ආසයි කියනවලු. ඒ කියන්නේ ශෛල්‍ය වෛද්‍යවරයෙක් වෙන්න ආසයි කියලා තමයි ඒ කාලෙත් කියලා තියෙන්නෙ.

වෛද්‍යවරයෙක් වෙන හීනය ලොකුවටම තිබුණත් හිතේ කොණක ගායකයෙක් වෙන්නත් හීනයක් තිබුණා. ඒ නිසාම පාසල් කාලේ අවුරුදු හයක් පුරාවට විශාරද අමරසිරි පීරිස් මහතා යටතේ සංගීතය හැදෑරුවා. ඒත් සාමාන්‍ය පෙළ ළංවෙනකොට මුල්තැන දුන්නේ අධ්‍යාපනයට. මොකද ඒ වෙනකොට වෛද්‍යවරයෙක් වෙනවා කියන එක ලොකුවටම ඔලුවට ගහලයි තිබුණේ. කොහොම හරි මං සාමාන්‍ය පෙළ ඉහළින්ම සමත්වුණා. ඒ කියන්නේ වෛද්‍යවරයෙක් වෙන හීනයට පාර කැපුනා. ඊළඟට මට උවමනා වුණේ විද්‍යා විෂය ධාරාවෙන් උසස් පෙළ කරලා වෛද්‍යවරයෙක් වෙන්න යන ගමන පටන්ගන්න. ඊටපස්සේ අවුරුදු දෙකහමාර ගෙවුණේ පොත අතේ තියාගෙනමයි. සෑහෙන්න පාඩම් කළා. අන්තිමේ උසස් පෙළත් හොඳ ප්‍රතිඵලයක් එක්ක මට සමත්වෙන්න පුළුවන් වුණා.

පස්සේ මම වෛද්‍ය උපාධිය සඳහා විදේශගත වුණා. ඉගෙනගත්තේ බංගලාදේශයේ නිසා ඒ භාෂාව, සංස්කෘතිය, දේශගුණය වගේ දේවල් එක්ක මුලදි ටිකක් අමාරු වුණා. ඒත් ඒ හැම දුෂ්කරතාවක් විඳගෙනම මං වෛද්‍ය උපාධිය (MBBS) ගත්තා. ඊටපස්සෙ 2015 අවුරුද්දේ ලංකාවට ඇවිත් තවත් විභාගයක් ලියන්න තිබුණා. ඒක සමත්වුණාම සීමාවසික වෛද්‍යවරයෙක් විදිහට මට ඇඹිලිපිටිය රෝහලට පත්වීම ලැබුණා.

ඇඹිලිපිටිය රෝහලේ ඉන්නකොට තමයි අද ගොඩාක් අය කතා කරන සිද්ධිය වෙන්නේ. එක දවසක් මාස හයක බබෙක් ගෙනාවා රෝහලට. පිරිමි දරුවෙක්. බබා එයාගේම අයියා අතින් බිම ඇතෑරිලා. බබා ගේනකොට කිසිම විදිහකට සිහිය තිබුණේ නෑ. මට තේරුණා දරුවට අමාරුයි කියලා. ඇඹිලිපිටිය රෝහලේ වැඩිදුර ප්‍රතිකාර කරන්න බැරි නිසා අපි බබාව රෝහල් ගිලන් රථයෙන් කරාපිටියට ගෙනියන්න තීරණය කළා. ඒත් බබා පොඩි නිසා ගිලන් රථයේ මැෂින්වලට දරුවා සෙට්කරන්න බෑ. ඉතින් අපිට සිද්ධවුණා බබාගේ කටින් පෙණහළු දක්වා බටයක් දාලා ‘ඇම්බු’ (Ambu) බෑග් එකෙන් ඔක්සිජන් දෙන ගමන් බබාව අරන් යන්න. මං දැන් ඇම්බු බෑග් එක ඔබ ඔබා යනවා. ඔය අතරේ ටික දුරක් යනකොට මං දැක්කා ඇතුළට දාපු බටේ එළියට එනවා. මොකද එහෙම බටයක් දානකොට තොල් මට්ටම ලකුණු කරනවනේ. ඒ නිසා ඒක එළියට ආවොත් පේනවා. ඉතින් මං එක අතකින් බටේ අල්ලන් අනික් අතින් ඇම්බු බෑග් එක ඔබ ඔබ දණගහගෙන යන්න තීරණය කළා. මොකද ඒ විදිහට හිටගෙන යන්න අමාරුයි.

ඇඹිලිපිටියේ ඉඳන් කරාපිටියට ගිලන් රථයක් ඇතුළේ එහෙම යනවා කියන්නේ ලේසි වැඩක් නෙවෙයි. ඒක පැයක විතර ගමනක්. ඒ වගේම වංගු සහිත සෑහෙන්න දුෂ්කර මාර්ගයක්. එහෙන් බබාගේ ජීවිතේ. මෙහෙන් මම. මොකද දණ ගහගෙන හුස්ම දෙන ගමන් මං යන විදිහට යන්න කාටවත් ලේසි නෑ. දැන් ගිලන් රථය වේගයෙන් යනවා. මටත් ඉන්න අමාරුයි. වංගු ගන්නකොට මං විසිවෙනවා. ඒත් බබාගේ ජීවිතේ අංක එක. මට මොනවා වුණත් මං හිතුවේ ඒ ගැන විතරයි. ඔය අතරේ මගේ සහයට හිටපු හෙද නිලධාරිනියටයි සාත්තු සේවිකාවටයි දෙන්නටත් හොඳටම අමාරු වුණා. දෙන්නටම සැරින් සැරේ වමනේ ගියා. ඒත් මං එයාලා දිහාත් බලන ගමන් දණගහගෙන බබාට හුස්ම දුන්නා. එදා මට කොච්චර අමාරු වුණාද කිව්වොත් ගිලන් රථයෙන් බැහැගන්න පවා බැරිවුණා. දණිස් ළඟින් රිදෙනවා. කොහොම හරි එදා ඒ බබාගේ ජීවිතේ බේරුණා.

මගේ වෛද්‍ය ජීවිතය තුළ තවත් සංවේදී කතාවක් තියෙනවා. දවසක් වෝඩ් එකට වයස අවුරුදු පහක විතර බබෙක් ගෙනාවා. ඒක ඒ බබා ඉස්කෝලේ ගිය පළවෙනි දවස. එදා ඉස්කෝලේ ඇරිලා ඒ බබා ගෙදර අයත් එක්ක තාත්තගේ යාළුවෙක්ගේ ගෙදර යනවා. මේ ළමයට පුරුද්දක් තිබ්බලු ගේට්ටුවක් දැක්කොත් ඒකේ එල්ලිලා පදින්න. ඉතින් අර ගෙදරත් ලොකු යකඩ ගේට්ටුවක් තිබිලා මෙයා එල්ලිලා පැදලා. එහෙම පදිද්දිම ඒක ගැලවිලා ඇඟ උඩට පෙරළිලා. දැන් බබා ගේට්ටුවයි බොරලු ගොඩකුයි මැද හිරවෙලා තැලිලා. එයාගේ ඔලුවට අභ්‍යන්තර ලේ ගැලීමක් වෙලා. ඒ නිසා රෝහලට ගේනකොටත් සිහිය තිබුණේ නෑ. අපිට සිද්ධවුණා එයාව කොළඹ මහ රෝහලට මාරු කරන්න. මේ සිද්ධිය කිව්වම මගේ අම්මයි තාත්තයි පවා ඒ දරුවා බලන්න කොළඹට ආවා. ඒ සිද්ධිය වෙලා ටික කාලෙකින් ඒ දරුවා වෝඩ් එකට ආවා. ඒත් එයා හරි අසාමාන්‍යයි කියලා මට පෙනුණා. දවසක් මං රෝහලේ ඉන්නකොට පොඩි බබෙක් ඇවිත් මගේ අතේ එල්ලුනා. අනේ බලද්දි අර බබා. එයාට හොඳටම හොඳවෙලා. එදා මං ගොඩාක් සංවේදි වුණා. ඇත්තටම කිව්වොත් මගේ ඇස් දෙකට කඳුළු ආවා.

සමහරු හිතනවා වෛද්‍ය වෘත්තිය කියන්නේ හරිම ලේසි රැකියාවක් කියලා. ඒත් ඒක වැරදියි. මේ රැකියාව අභියෝගාත්මක රැකියාවක්. මොකද වෛද්‍යවරයෙක්ගේ එකම බලාපොරොත්තුව රෝගියාගේ ජීවිතය බේරන එක. මැරෙන්න ඔන්න මෙන්න ඉන්න රෝගියෙක් ගෙනාවත් අපි කරන්නේ මොනවා හරි කරලා අන්තිම තත්පරේ හරි එයාව ජීවත් කරවන්න උත්සාහ කරන එක. උපරිමය කරලත් බේරගන්න බැරිවුණු රෝගීන් ඉන්නවා. දවසක් බිල්ඩින් එකක් කඩද්දි බිත්තියකට යටවෙලා රෝගියෙක් ගෙනවා. මුත්‍රාශය පවා ඩැමේජ් වෙලා හොඳටම ලේ ගිහින් තිබු​ණේ. අපි එයාව ඔපරේෂන් එකට දැම්මේ ලේ පයින්ට් විස්සක් දීලා. ඔපරේෂන් කරලත් ICU වෝඩ් එකේ දවස් පහක් හිටියා. ඒත් එයා අවසානේ නැතිවුණා. ඒකයි මම කියන්නේ වෛද්‍යවරයෙක් කියන්නේ ලේසි රැකියාවක් කරන පුද්ගලයෙක් නෙවෙයි. හැමවෙලේම වෛද්‍යවරු අතේ තියෙන්නේ ජීවිත. වෛද්‍යවරු විදිහට අපි බලන්නේ හැමෝගේම ජීවිත ආරක්ෂා කරන්න. ඒ වෙනුවෙන් අපි කවදත් කැපවෙනවා.’’

රුවන් එස්.සෙනවිරත්න