විශේෂාංග

රෑ තිස්සේ මගෝඩි ගමන් ගිහින් දවල්ට නිදන අලි පැංචා

නලියන්ටම හිත ඇති අලි ගැන ද ළමයින් ගැන ද කතා ඕනෑ තරම්ය. ඒවා හොඳටම දන්නේ ඒ අත්දැකීම් ඇති අයයි. මේ හැඩකාර, විසේකාර අලි ඇතුන් ගැන එවැනි රස කතා රැගත් ලිපි පෙළක පළමුවැන්නයි.

වනජීවි ආරක්ෂකයකු ලෙස වසර විසි පහකට වැඩි අත්දැකීම් ඇති අනිල් විතානගේ මේ දිනවල රාජකාරි කරන්නේ උඩවලව ජාතික වනෝද්‍යානයේය. පසුගිය මාසයේ හෙතෙම නිල නිවාසයේ සිටියදී පුංචි අලි පැංචකු ගැන විවිධ අයගෙන් විවිධ මැසිවිලිය.

‘‘මහ දවාලේ නිදි.’’

‘‘හුස්ම ගන්නවා වගේ. ඒත් නැගිටින්නෙ නෑ. මොනවහරි වෙලාද දන්නෙ නෑ.’’

බලද්දී කතාව ඇත්තය. අලි අම්මා, ලොකු අම්මලා, පුංචි අම්මලා මැද පුංචි හුරතලා සැප නින්දේය. පොඩි එකාගේ නින්ද නිසා අලි පවුලේ අයට කෑමට යන්නවත් ඉඩක් නැත. මිනිස් අම්මාට සියලු වැඩ කිරීමට හැකි දරුවා නිදාගත් විටය. එහෙත් අලි අම්මලා පැටවා නිදි විට සියලු වැඩ අත් හරිති. බැලූ බැල්මට පැංචාගේ දෝෂයක්ද නැත. සුව නින්දකින් අනතුරුව නැගිට මව් තුරුලට ගොස් කිරි ද බොන්නේය. ඒ අනුව මාස දෙකක් පමණ වයසැති පැටවා යහතින් බව නම් පැහැදිලිය.

පැටවාට කිසිඳු ගැටලුවක් නොවූවද අවේලාවේ නින්ද සැකයට හේතුවකි. ඒ සැකයටත් ඉක්මනින්ම පිළිතුරු ලැබිණ. වනෝද්‍යානයේ ඒකාකාරී කෑම එපා වූ කල අලි ඇත්තු විටින් විට අහළ පහළ උක් වගාවක හෝ කෙසෙල් වගාවක රස බලති. එළිය වැටී ඇතිවිට මේ සොරකම නුසුදුසුය. එනිසා අලි නඩය ගමන අරඹන්නේ ඇඳිරිය සමඟය. එකා පසුපස එකා සීරුවට ඇදෙති. කිසිවකුට කලබලයක් නැත. අලි පැංචන්ට කොහිද සුරැකුම් මධ්‍යස්ථාන? එනිසා අම්මලා, ආච්චිලා, නැන්දලා පසුපස යා යුතුය. කිරිබොන පැංචන්ට ද එම රීතිය අදාළය. මහ අලි ඇතුන් සමඟ රෑ පුරා නොයෙක් මගෝඩි වැඩවලට ගොස් පාන්දර යාමයේ වාස භූමියට පැමිණි විට පැංචන් වෙහෙස නිවාගත යුතුය. එවිට ඉර මැදියමේ වුව තමාට ආරක්ෂිත බිමේ නින්ද සුවදායක නොවන්නේද? අනෙක් අතට ආරක්ෂක නිලධාරිනියන්ගේ රැකවල් මැද බියවීමටද හේතු නැත. මේ පැංචාගේ අවේලාවේ නින්දට සැබෑම හේතුව එයයි. අනෙක් අතට උදෑසන අවදිව පාසල් යන්ටයෑ? එනිසා අලි බබා සැප නින්දේය. අම්මා සහ පිරිස නින්දට කිසිඳු අවහිරයක් නොවන ලෙස රැකවලේය. අහල පහළට වාහනයක් ළං වුවද ඔවුන්ගේ බැල්ම ඒ දෙසටය. ඒ අලි අම්මලාගේ ආදරයයි. පැංචාගේ හුරතලයයි. අම්මලාගේ උණුහුමේ තරම් සුරක්ෂිත බවක් තවත් කොහෙන්ද? ඉතින් අලි පැංචෝ, තව නිදන්න.

රෂ්නිකා ලියනගේ

තොරතුරු සහ ඡායාරූප වනජීවී ආරක්ෂක අනිල් විතානගේ