සුව දිවිය

බඳින්න ඉන්න කෙනාට කියන්නෙ කොහොමද? ලෙඩේ හැදුනෙ Ex-Boy friend ගෙන්

‘‘මම ආවේ මේ කකුලේ අමාරුවකට බෙහෙත් ගන්න. ඒ ඩොක්ටර්ට වැරදිලාද කොහෙදෝ මාව මෙතනට එව්වනේ…’’

තිස්හත් හැවිරිදි නයනමාලි කතාවට අවතීර්ණ වූයේ එසේය.

දණහිස ආශ්‍රිත තදබල වේදනාවකට තමා දැන් මාස කිහිපයක සිට ප්‍රතිකාර ලබාගන්නා බවත්, එම ප්‍රතිකාරවලින් ආබාධය මඳකුදු අඩු නොවූ බවත් තවදුරටත් ඇය පැවසුවාය.

ඉන්පසු අස්ථි සඳහා ප්‍රතිකාර කළ වෛද්‍යවරයා ඇයට ලබාදුන් වෛද්‍ය වාර්තා කිහිපයක් මා පරීක්ෂා කළෙමි.

‘‘මොකක් හරි වැරැද්දක් වෙලා නේද?’’

නයනමාලි විමසුවේ මා ඒවා පරීක්ෂා කරන අතරතුරය.

ඒ පැනයට පිළිතුරු නොදීම ඇයට ඇති අනෙකුත් රෝග ලක්ෂණ මොනවාදැයි මම ඇගෙන් විමසුවෙමි.

‘‘වෙලාවකට දණහිසුයි, වළලුකරයි ඉදිමෙනවා. ඒ තැන්වල පොඩි තද ගතියකුත්, වේදනාවකුත් තියෙනවා.’’

සන්ධි ආශ්‍රිත එම ගැටලුවලට අමතරව ලිංගාශ්‍රිත ප්‍රදේශයේ වෙනදා නොවූ වෙනස්කමක් ඇද්දැයි මම ඊළඟට ඇසුවෙමි.

‘‘ඉඳලා හිටලා පොඩි මුත්‍රා දැවිල්ලක් එනවා. ඒ ඇරෙන්න වෙන දෙයක් නම් නැහැ.’’

සන්ධි රෝගයක් සඳහා ප්‍රතිකාර ගැනීමට පැමිණි පසු ලිංගාශ්‍රිත රෝග සායනයට යොමු කිරීම පිළිබඳව ඇය සිටියේ දෙගිඩියාවෙනි. ඒ නිසා ප්‍රථමයෙන් එම ව්‍යාකූල බව නැති කිරීමට මම කටයුතු කළෙමි.

ලිංගාශ්‍රිත රෝග නිසාත් මෙවන් අස්ථි රෝග ඇතිවිය හැකි බව ඇයට පැහැදිලි කළ මම නයනමාලිගේ ගැබ්ගෙලින් සහ මුත්‍රා මාර්ගයෙන් ලබාගත් ස්‍රාවයන් පරීක්ෂාවට ලක් කළෙමි.

එම පරීක්ෂණයෙන් තහවුරු වූයේ ඇය ලිංගාශ්‍රිත රෝග නිසා ඇතිවන සන්ධි ප්‍රදාහයකින් (Sexually acquired reactive Arthritis) පීඩා විඳිනා බවයි.

‘‘අනේ ඩොක්ටර් මම ලබන මාසේ මැරි කරන්නයි ඉන්නේ…’’

තත්ත්වය පැහැදිලි කළ විට නයනමාලි තරමක් කලබල වුවත් මුල් අවධියේම රෝගය හඳුනාගත් නිසා නිට්ටාවට සුවපත් කළ හැකි බව මම පැවසීමි.

ඇයගේ පෙම්වතාගේ සිරුරටද ලිංගාශ්‍රිත රෝග ඇති කරන බැක්ටීරියා ඇතුළු වී ඇද්දැයි පරීක්ෂා කළ යුතු නිසා ඔහුවද සායනයට කැඳවාගෙන එන ලෙස ඊළඟට ඇයට යෝජනා ක‍ළෙමි.

‘‘අනේ එයාට නම් මේ ගැන කියන්න එපා ඩොක්ටර්එයාව මට හම්බුණේ ගෙදරින් ගෙනාව ප්‍රපෝසල් එකකින්. මම තවම එයාව අඳුනගෙන මාස දෙකක්වත් නැහැ. එයා එක්ක මම එහෙම සම්බන්ධතාවක් පවත්වලා නැහැ ඩොක්ටර්…’’

මීට පෙර තමාට කාර්යාලයේ සේවය කරන පුද්ගලයෙකු සමඟ පෙම් සබඳතාවක් තිබූ බවත්, ඔහු සමඟ කිහිපවරක්ම ලිංගිකව එක්වූ බවත් නයනමාලි පැවසුවාය.

කෙසේවෙතත් ඇගේ ඉදිරි ජීවිතය සාර්ථක කරගැනීමට අවශ්‍ය උපදේශන ලබාදුන් මම එදිනම ඇයගේ ප්‍රතිකාරද ආරම්භ කළෙමි.

ලිංගාශ්‍රිත රෝග නිසා ඇතිවන මෙවන් තත්ත්වයන් ගැන බොහෝදෙනා දැනුවත් නැත.

ලිංගාශ්‍රිත රෝග නිසා ඇතිවන සන්ධි ප්‍රදාහයන් ඇතිවීමට ප්‍රධාන වශයෙන් පාදක වන්නේ ගොනොරියාව සහ ක්ලැමීඩියාව යන ලිංගික රෝග ද්විත්වය සාදනු ලබන බැක්ටීරියා වර්ග දෙකයි.

මෙම බැක්ටීරියා ශරීරයට ඇතුළු වූ පසු ඒවාට ප්‍රතිවිරුද්ධව ක්‍රියාකිරීමට ශරීරයේ ඇති ප්‍රතිදේහජනකවල ප්‍රතිදේහ ගොඩනැගේ.

එම ප්‍රතිදේහ සහ ප්‍රතිදේහජනක එකට එක්කාසු වී යම් සංයෝජනයක් සෑදෙන අතර ඇතැමෙකුගේ සන්ධිවල මේවා තැම්පත් වී පෙර කිව් සන්ධි ප්‍රදාහයන් ඇති වේ.

රෝගය ආසාධිත පුද්ගලයෙකු සමඟ සිදුකරන අනාරක්ෂිත ලිංගික ඇසුරකින් මාස තුනකට පමණ පසු මෙම රෝග ලක්ෂණ මතුවිය හැකිය.

සන්ධි ආශ්‍රිතව ඇතිවන රෝග ලක්ෂණවලට අමතරව මුත්‍රා දැවිල්ල, මුත්‍රා මාර්ගයෙන් සැරව පිටවීම, ලිංගාශ්‍රිත පෙදෙස්වල තුවාල ඇතිවීම වැනි ලක්ෂණ ද මතුවිය හැකිය.

අසාමාන්‍ය​ යෝනි ස්‍රාවයන් ස්‍රාවය වීම, දීර්ඝකාලීන යටිබඩේ වේදනාව, අක්ෂි පටල ප්‍රදාහය (ඇස් රතුවීම) ශිෂ්ණ මුණ්ඩයේ හෝ යෝනි මාර්ගයේ ප්‍රදාහ තත්ත්වයන් ඇතිවීම යන ලක්ෂණ පමණක් නොව යටි පතුල් සුදුපැහැවීම, නියවල වෙනස්කම් සහ දිවේ රටාවන් මතුවීම පවා මෙම තත්ත්වයේ රෝග ලක්ෂණයි.

ලිංගාශ්‍රිත රෝග නිසා ඇතිවන මෙම තත්ත්වය කලාතුරකින් හෘදය, වකුගඩු සහ ස්නායුවලටද බලපෑම් ඇති කරයි.

මෙහිදී මතුකරලිය යුතු වැදගත් කාරණයක් වන්නේ බොහෝදෙනා අස්ථි ආශ්‍රිත ගැටළු සහ මෙම තත්ත්වය පටලවා ගන්නා බවයි.

ඇතැම්විට තත්ත්වය සඳහා ප්‍රතිකාර නොකළද මාස හයකින් පමණ ඉබේම වාගේ මෙය හොඳ වී යාමටද ඉඩ ඇත. නමුත් 50%කට නැවත නැවතත් රෝග තත්ත්වය මතුවිය හැකි බවත් කිව යුතුය.

එසේම මෙය ඉබේම සුව නොවීමටද බැරි නැත. එවැනි තත්ත්වයකට දීර්ඝකාලීන ප්‍රතිකාර නොකිරීමේ ප්‍රතිඵලය වන්නේ හෘදය, වකුගඩු සහ ස්නායු පද්ධතියේ සංකූලතා සංකීර්ණ වීමයි.

ලිංගාශ්‍රිත රෝග නිසා ඇතිවනවාට අමතරව ජානමය තත්ත්වයන් නිසාත් මේ රෝගය ඇතිවිය හැක. ශරීරයේ HLA-B27 යන ජානය ඇති අයවලුන්ටත් මෙම රෝග ඇතිවීමට වැඩි අවධානමක් ඇති බවත් කිව යුතුය.

කලින් හඳුනාගැනී‍මන් රෝග තත්ත්වය නිට්ටාවට සුව කිරීමට හෝ මැනවින් පාලනය කිරීමට පහසුය. ඒ නිසාම ඉහත කිව් ලක්ෂණ ඇත්නම් ළඟම ඇති ලිංගික රෝග සායනයකට සහභාගී වීම ඉතා වැදගත්ය.

ලිංගාශ්‍රිත රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය

I.L.ජයවීර

MBBS.PG.Diploma, MD (Venereology)

ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්ධන වැඩසටහන

 

සෙව්වන්දි හෙට්ටිආරච්චි