විශේෂාංග

පරණ ගර්ල් ‌ෆ්‍රෙන්ඩ්ගේ මැසේජ් දැකලා නෝනා, මහත්තයාට හොඳටම ගහලා

මේ කියන සැමියා ඔහුගේ බිරිඳගේ මවත් එක්ක තමයි මාව මුණගැහෙන්න ආවේ. සැමියාගේ අදහස වු‍ණේ බිරිඳගෙන් වෙන්වෙන්න. ඒත් බිරිඳගේ මවට අවශ්‍ය වුණේ තමන්ගේ දියණියගේ පවුල ආරක්ෂා කරන්න.

‘‘මම නම් ඔය යක්ෂ ගෑනි එක්ක තවත් පවුල් කන්න කැමති නැහැ.’’

‘‘අනේ එහෙම කියන්න එපා පුතේ. අපි තව ටිකක් බලමු.’’

ඒ දෙන්නා ඔ​හොම කතාබහ කර කර ඉන්න අතරේ ඒ කතාවට බාධා කරලා ප්‍රශ්නෙ මොකක්ද කියන එක අහන්න මම ඉස්සර වුණා. එතකොට මේ සැමියා කතා කරනවා වෙනුවට මට ඔහුගේ දකුණු අතේ තියෙන සීරුම් පාරවල් කිහිපයක් පෙන්නුවා.

‘‘මේ තියෙන්නෙ මගේ වයිෆ්ගේ වැඩ…’’

ඔහු තරමක් පැහැපත් පුද්ගලයෙක් නිසා අතේ තිබුණු පාරවල් හොඳින් කැපිලා පෙනුණා. ඔහුගේ අත තුවාල කරලා තියෙන්නේ ඔහුගේ බිරිඳ කියන එක ඔහුගේ ඒ කතාවෙන් මම තේරුම් ගත්තා. ඊටපස්සේ තමයි මේ සැමියා ඔහුගේ කතාව කියන්න පටන්ගත්තේ.

මේ මංගල්‍ය කෙරිලා තියෙන්නේ මංගල යෝජනාවක් හරහා. මේ යුවළ විවාහ වෙලත් ඒ වෙනකොට අවුරුදු දෙකකට කිට්ටුයි. බැඳලා ටික දවසක් යද්දි සැමියාගේ පරණ ප්‍රේම සම්බන්ධයක ෆේස්බුක් මැසේජස් වගයක් බිරිඳට හමුවෙලා තියෙනවා. ඔන්න ඉතින් ඒ ටික දැක්ක හැටියේ මේ බිරිඳගේ කේන්තිය ඉහිලුම් නැති වුණාලු. එදා ඇය ඔහුට අතට අහුවෙච්චි මල් පෝච්චියකින් පහරදීලා තුවාල කරලා තියෙනවා.

මැසේජස් පරණ වුණත් ඒවා දැක්කම බිරිඳට ඊර්ෂ්‍යාවක් ඇතිවෙන්න ඇතිනේ කියලා හිතපු සැමියා බිරිඳ එක්කලා රණ්ඩු කරන්න ගිහිල්ලත් නැහැ. ඉතින් පැයක් දෙකක් ගියාම සැමියට තුවාල කරපු එක ගැන බිරිඳටත් ගොඩක් දුකයිලු. ඒ වගේම එදා ඇය ඔහුගෙන් සමාව අරගෙනත් තියෙනවා.

පස්සේ අයෙත් දවසක ඇතිවුණ රණ්ඩුවකදී බිරිඳ සැමියගේ අත තදින් සපාකාලා. එදත් සැමියා ඇයට මුකුත් නොකිව් නිසා ආරවුලකදී අතට අහුවෙන එකකින් සැමියාට පහරදෙන එක, හපන කොනිත්තන එක මෙයා පුරුද්දට අරගෙන තියෙනවා. ඒ වගේ හැසිරෙද්දි බිරිඳට පහර දෙන්න හිතුණේ නැද්ද කියලා මම ඔහුගෙන් ඇහුවා. ‘‘මම එකපාරක් ගැහුවොත් ඒ ගෑනි කැරකිලා වැටෙයි. ඒත් ගෑනු කෙනෙක්ට අත උස්සන්න මම කැමති නැහැ’’ කියලා එතකොට ඔහු මාත් එක්ක කිව්වා. මගේ උපදෙස් මත ඊට දින දෙක තුනකට පස්සේ ඔහු මේ බිරිඳව මගේ ළඟට එක්කරගෙන ආවා. සැමියාට මේ විදියට හිංසා කරන්නේ ඇයි කියලා ඇහුවම ආදරේ වැඩිකමට සැමියාව හදාගන්න ඒ විදිහේ දේවල් කරනවා කියලා ඇය මාත් එක්ක කිව්වා.

කායික හෝ මානසික හිංසනයක් සිදුවෙන තැනක ආදරයක් නැති බව මුලින්ම තේරුම්ගත යුතුයි. අනික ගහලා බැණලා හදාගන්න සැමියා කියන්නේ පුංචි දරුවෙක් නෙවෙයි කියන කාරණාවත් මම ඇයට පැහැදිලි කළා.

ගොඩක් වෙලාවට අපි කතා කරන්නේ බිරිඳට පහරදෙන සැමියන් පිළිබඳව. හැබැයි සැමියාට පහරදෙන හිංසා කරන මෙවැනි බිරින්දෑවරුත් ඉන්නවා. එවන් බිරින්දෑවරු කිහිපදෙනෙක්ම මට මගේ වෘත්තීය ජීවිතේදී මුණගැහිලාත් තියෙනවා.

සැමියාව යටත් කරගන්න පවුල ඇතු​ළේ තමන්ගේ ආධිපත්‍ය රැකගන්න සමහර බිරින්දෑවරු හරි කැමතියි. ඇතැම් අය පවුලේ තීරණවලදී සැමියට කතා කරන්න ඉඩ දෙන්නෙ නැහැ. පිට මනුස්සයෙක් ඉස්සරහා සැමියා ඔහුගේ මතයක් ප්‍රකාශ කළොත් රවනවා ඔරවනවා. තමන් නිතරම අංක එක කියලා පෙන්වන්න ඔවුන් කැමතියි. ඔන්න ඔය වගේ අය සැමියට පහර දෙන්න වැඩි ප්‍රවණතාවක් තියෙනවා.

තමන්ගේ හිතට එන කෝපය පාලනය කරගන්න බැරිකම නිසාත් තව සමහරු සැමියට පහර දෙන්න පෙළඹෙනවා. ගොඩක් බවලතුන්ගේ ආයුධය තමයි නියපොතු. අතට අහුවෙන එකෙන් පහරදෙන අයත් ඉන්නවා.

මම මේ කිව්ව සැමියා වගේ තමන්ගේ බිරිඳ පහර දෙනකල් හැම සැමියම කට ඇරගෙන උඩ බලාගෙන ඉන්නේ නැහැ. ඊටපස්සේ සැමියා බිරිඳට අත ඉස්සුවොත් එතැනත් අනවශ්‍ය ප්‍රශ්නයක්. සැමියගේ පහරදීම් නැත්නම් බිරිඳගේ පහරදීම් නිසා හැම දවසකම සැළකිය යුතු ප්‍රමාණයක් රෝහල්ගත වෙනවා. මේ පහරදීම් මරණයෙන් අවසන් වෙන වෙලාවලුත් තියෙනවා කියන එක කණගාටුවෙන් වුණත් කියන්න ඕනේ.

විවාහයෙන් පස්සේ සැමියට බිරිඳට පහර දෙන්න අඩන්තේට්ටම් කරන්න නෛතික හිමිකමක් පැවරෙනවා කියලා සමහරු හිතනවා. එහෙම හිතන එකම මෝඩකමක්. තමන්ගේ සහකරුවාට පහරදෙන එක හිංසනයක්, අඩන්තේට්ටමක්. නීතිය ඉදිරියේත් එය දඬුවම් ලැබිය හැකි බරපතළ වරදක්. ​

මේ බිරිඳ කුඩා කාලෙදිත් තමන්ට අවශ්‍ය දේවල් ලබාගන්න සහෝදර සහෝදරියන්ට පහර දෙනවා කියලා ඇගේ මව කිව්වා. ඒ වගේ තැනකදී එහි බරපතළකම තේරුම් කරලා නුදුන්නොත් අනුන්ට හිරිහැර කරන එක තමයි ජයග්‍රහණයට තියෙන හොඳම පාර කියලා හිතලා වයසින් වැඩුණට පස්සේ ඔවුන් ඒක පුරුද්දක් විදියට නඩත්තු කරගෙන යන්න උත්සාහ කරනවා. අනික සැමියත් මුලදිම මෙයාට විරුද්ධ නොවුණු නිසා සැමියාව මට්ටු කරන්න තියෙන හොඳම මග මේක කියලා ඇය හිතුවා.

තමන් සැමියාව පාලනය කරනවා කියලා සමාජෙට පෙන්නන්න සමහර බිරින්දෑවරු කැමතියි. ‘‘අනේ ඔයාගේ හස්බන්ඩ් ඔයාට කන්ට්‍රෝල් නැද්ද? මම නම් අපේ හස්බන්ඩ්ට ටොකුත් අනිනවා’’ වගේ කතා කියලා ලකුණු දාගන්න ඒ අය හරි ආසයි. ඒ වගේ හැසිරීම්වලින් කතාවලින් ලකුණු වැඩිවෙන එක කෙසේ වෙතත් ලකුණු අඩුවෙන එකනම් අඩු නැතිව සිද්දවෙනවා.

ඥාතීන්ට යාළුවන්ට පේන්න බිරිඳට පාරක් දෙකක් ගහලා පොර වෙන්න හදන පිරිමිත් ඉන්නවා. ඒ විතරක්යෑ කවුරුහරි කෙනෙක් ඒකට විරුද්ධව කතා කළොත් ‘‘ගෑනිට ගහන්න මිනිහට අයිතියක් නැද්ද?’’ කියලා සැමියට කලින් ඉස්සර වෙන්නෙත් ඒ බිරිඳමයි. මේවා මේ සමාජයේ හරි සුලබ ප්‍රශ්න.

විවාහයක් කියන්නේ අඹු-සැමි යුවළ හරි ආදරෙන් එකට එකතුවෙලා යන්න ඕන ගමනක්. විවාහ වුණා කියලා තමන්ගේ සහකරුවාට පහරදෙන්න නෛතික බලතල ලැබෙන්නෙ නැහැ. ඒ වගේ හිතන තැන ආදරයක් වගේම ගෞරවයක් නැහැ. සැමියට බිරිඳට ගරු කරන කෙනෙක් ඒ කෙනාට කවදාවත් අත උස්සන්නේ නැහැ.

සැමියා වේවා බිරිඳ වේවා තමන්ට කායිකව හිංසා කරනවා නම් නිසි උපදේශනයක් වෙත යොමු කරන්න. උපදේශන මගින් මේ වගේ ගැටලු පහසුවෙන්ම යටපත් කරන්න පුළුවන්. ඉතින් අවසානයේදී මේ කිව්ව කරුණු කාරණා ටික තේරුම් කරලා පස්සේ මේ බිරිඳ සැමියාගෙන් සමාව අරන් ඇගේ වරද නිවැරදි කරගත් බවත් කියන්න ඕනේ.

මානව හැකියා ප්‍රවර්ධන විශේෂඥ හා ජ්‍යේෂ්ඨ මනෝවිද්‍යා උපදේශිකා රත්නා පුෂ්ප කුමාරි

 

සෙව්වන්දි හෙට්ටිආරච්චි