විශේෂාංග

දෙකට ගනින්න බෑ වගේ හිටපු අම්මණ්ඩි මගේ කොල්ලව රවට්ටගත්තා

අද කියන්නට යන්නේ මගේ වෘත්තීය ජීවිතය තුළදී මට බොහෝසෙයින් සංවේදීව දැනුණු කතා පුවතක්ය.

හතළිස් හැවිරිදි රංගන, පිරිමි සහෝදරයන් තිදෙනෙකුගේ පවුලේ බාලම දරුවාය. වැඩිමහල් සහෝදරයන් දෙදෙනාම විවාහ වී විදෙස් රටවල පදිංචියට ගියෙන් රංගන ජීවත් වුණේ ඔහුගේ හැට හැවිරිදි මව සීතා කුමාරි සමඟය.

‘‘අපි උපතින්ම වලව්කාරයෝමගේ තාත්තගේ පරම්පරාවෙන් ලැබුණු මහගෙදර තමයි අපි ජීවත් වුණේ.’’

අම්මගෙනුත් පුතාගෙනුත් මුලින්ම කතාවට අවතීර්ණ වූයේ සීතා ය. ඉන්පසු ඇය මහහඬින් හඬන්නට වූවාය.

‘‘අඬන්න එපා අම්මේ….’’

රංගන තම මවව සැනසීමට උත්සාහ කළත් සිතූ සේ ඇයට හඬන්නට ඉඩ දෙන ලෙස මම පැවසුවෙමි.

‘‘අම්මා හරි දුකෙන් ඉන්නේ. මං නිසා තමයි එයාට මෙහෙම වුණේ. අනේ මට මගේ අම්මව කොහොමහරි සනීප කරලා දෙන්න මිස්….’

ඔහු වචන ගැළපුවේ වේදනාත්මක ස්වරයෙන්ය.

‘‘ඒ කාලේ මට ගමේ ගෑනු ළමයෙක් එක්ක සම්බන්ධයක් තිබුණා. එයාලට වැඩිය සල්ලිබාගේ නැති නිසා අම්මා ඒකට අකමැති වුණා.’’

තම පුතු රංගනට තම පැළැන්තියට ගැළපෙන මංගල්‍යයක් සෙවීමට සීතා මහන්සි වූයේ ඉන් පසුවය.

‘‘ආව යෝජනාත් අපේ පවුලට ගැළපුණේ නැහැ. කොහොමහරි ඔය විදිහට මට අවුරුදු තිස්අටකුත් වුණා. ඔය අතරේ තමයි මම ෆේස්බුක් එකෙන් කමනිව අඳුනගත්තේ. ගොඩක් අහිංසක විදිහට කතාබහ කළ නිසා එයා ගැන මට ලොකු කැමැත්තක් ඇති වුණා.’’

මාසයක් දෙකක් ඇතුළත මුහුණුපොතෙන් හමුවූ මේ තරුණියව මුණගැසීමටද රංගන ඉක්මන්ව තිබුණි.

‘‘එයාගේ පවුලේ කිසිම කෙනෙක් නැහැ කිව්වා. එයා නතර වෙලා ඉන්නෙ නෑදෑ ගෙදරක කියලා තමයි මට කිව්වේ.’’

කමනි කෙරේ ඇති කරගත් දැඩි අනුකම්පාව හේතුවෙන් ඈ පැවසූ සියලු විස්තර තමා දෙවරක් නොසිතාම පිළිගත් බව ඔහු කියයි.

‘‘නතර වෙලා ඉන්න ගෙදර අය එයාට සලකන්නේ නැහැ කිව්ව හින්දා මට පුළුවන් උපරිමෙන්ම මම එයා ගැන හොයලා බැලුවා.’’

රංගනගේ වත්පොහොසත්කම් හොඳින් වටහාගත් කමනි වරින් වර ඔහුගෙන් මුදල් ලබාගැනීමටද කටයුතු කර තිබුණි.

‘‘බඳින්න හදිස්සි කළ නිසා අම්මටත් මම එයා ගැන කිව්වා. කාත් කවුරුත් නැති දුප්පත් කෙනෙක් නිසා අම්මා මුලින්ම කැමති වුණෙත් නැහැ.’’

පුතුගේ දැඩි ඉල්ලීම ඉවතලීමට නොහැකි තැන අකමැත්තෙන් වුවද කමනිව තමා හමුවට කැඳවාගෙන එන ලෙස සීතා රංගනට පවසා ඇත්තේ ඔය අතරය.

‘‘අම්මා කිව්ව නිසා දවසක් මම එයාව ගෙදරට එක්කරගෙන ගියා. අම්මව දැක්ක ගමන් මෙයා බිම බඩගාගෙන අම්මට වැන්දා. පැය ගානක් අම්මා එක්ක ආදරෙන් කතා කර කර ඉඳලා ගෙදර වැඩත් සේරම කරලා දීලා තමයි එදා එයා ගියේ.’’

රංගනගේ කතාව අතරතුර සීතා නැවතත් ඇයගේ හඬ අවදි කළාය.

‘‘දෙකට ගනින්න බැහැ වගේ හිටි​යේ ඔය අම්මණ්ඩි. අනේ! මගෙ දරුවව රවට්ටගත්තා…’’

සීතා නැවතත් හඬන්නට වූයෙන් ප්‍රථමයෙන් ඇයව සන්සුන් කිරීමට මම කටයුතු කළෙමි.

‘‘මේ ගෙදරට කවදහරි සිරියාව ගේන්නේ ඔය කෙල්ල තමයි කියලා අම්මා එදා කමනි ගියාට පස්සේ කිව්වා.’’

කමනි පිළිබඳව සතුටු සිත් උපදවාගත් තම මව ඇයව හැකි ඉක්මනින් විවාහකරගන්නා ලෙස තමාට පැවසූ බවත් රංගන කියයි.

‘‘මගේ වයසත් පහුවෙන නිසා ඉක්මනට බඳින්න මටත් උවමනාවක් තිබුණා. කාත් කවුරුත් නැති නිසා ලොකුවට වෙඩින් ගන්න කමනි කැමති වුණේ නැහැ. පොතේ අත්සන් කරලා අපේ ගෙදරට එන්නම් කියලා තමයි එයා කිව්වේ. ඒ ගමන අම්මා ඒකටත් අකමැති වුණා. පස්සේ මම කොහොමහරි අම්මව ඒකටත් කැමති කරවගත්තා.’’

දැන හඳුනාගෙන මාස හයක් ගතවීමටත් පෙරාතුව කමනිව විවාහ කරගැනීමට රංගන කටයුතු කර තිබුණි.

‘‘මම කසාඳ බැන්ද ශ්‍රියාකාන්තාව මළ යක්ෂණියක් වෙන්න දවස් තුනක්වත් ගත වු​ණේ නැහැ මිස්…’’

රංගන පැවුසවේ ඉහළට ගත් දිගු සුසුමක් පහලට හෙළන ගමන්ය.

‘‘මම කසාද බැඳලා ඩිවෝස් වුණු කෙනෙක්. මට ලොකු පිරිමි දරුවෝ දෙන්නෙක් ඉන්නවා කියලා කිසිම බයක් සැකක් නැතුව ඒ ගෑනි මට කිව්වා.’’

තමා දහවල් වළක වැටී ඇති බව රංගන වටහාගෙන තිබුණේ කමනිගේ ඒ හතරබීරි කතාව ඇසූ පසුවය.

‘‘ළමයි නැතිව ඉන්න බැහැ කියලා සතියක් යන්න කලින් කමනි ඒ වසවර්තියෝ දෙන්නවත් අපේ ගේ අස්සට දාගත්තා. ඊටපස්සේ තමයි අම්මයි පුතාලා දෙන්නයි එකතුවෙලා අපේ ගෙදර බාල් නටන්න පටන්ගත්තේ.’’

රංගනගේ මුදල් නැතිනාස්ති කරමින් නිවසේ සියලු පාලන බලතල තමා අතට ගැනීමට කමනි කටයුතු කර තිබුණි.

‘‘ඒ ළමයි මගෙන් කකා අපේ ගෙදරට වෙලා හිටියා. අපේ වත්තේ පිටියේ ගස්ගෙඩි හිටන් විකුණන්න පටන්ගත්තා.’’

රංගන කියන්නේ රණ්ඩු සරුවල් ඇතිකර ගැනීමට තිබූ අකමැත්ත නිසාම තමාත් තම මවත් ඔවුන්ගේ අමුතු හැසිරීම් හැකිතාක් ඉවසා දරාගත් බවය.

‘‘පස්සේ පස්සේ මෙයාලා අම්මව වැඩකාරකමට ගන්න පටන්ගත්තා. මම ඒකට විරුද්ධ වුණාම අපේ ගේ විකුණලා අම්මට ඉන්න වෙනම ගෙයක් අරන් දෙමු කියලා කමනි කිව්වා. මුලින්ම මම ඒ ඉල්ලීමට කැමති වුණේ නැහැ.’’

රංගනගේ අකමැත්ත කූඨ ලෙස කැමැත්තකට පෙරලාගත් මෙම කාන්තාව, සීතාට පරම්පරාවෙන් ලැබුණු වලව්ව විකුණා කොළඹ ප්‍රදේශයෙන් ඇගේම නමට සුපිරි පන්නයේ නිවසක් මිලදී ගෙන ඇත.

‘‘පස්සේ අම්මව කුලී ගෙදරක නැවැත්තුවා. ඒ සිද්ධියෙන් පස්සේ මගේ අයියලා මට කතා කරලා හොඳටම බැන්නා. මම මැරිලා කියලා හිත හදාගන්නවා කියලයි ඒ අය කිව්වේ.’’

කමනි සමඟ කොළඹ නිවසේ ජීවත් වීමට ගිය පසු තමා කිසිසේත් අපේක්ෂා නොකළ සිදුවීම්වලට පවා මුහුණදීමට පවා සිදුවූ බව ඔහු කීවේ දැඩි පීඩනයකින්ය.

‘‘ගෙදරට එක එක මිනිස්සු එන්න පටන්ගත්තා. ඒ ගෑනි මුඩුක්කු ගෑනියෙක්ද කොහෙද. උන් එක්ක හැප්පෙනවට වඩා පාඩුවේ ඉන්න එක හොඳයි කියලා මට හිතුනා. ඉතින් මම කොහොමහරි ඒ ගෑනිගෙන් දික්කසාදේ අරගත්තා මිස්…’’

කිසිවක් නොසොයා, නොබලා අහම්බයකින් මුහුණුපොතෙන් හමුවූ කාන්තාවක් විවාහ කරගැනීමට යාම නිසා රංගනට අවසානයේ ඉතිරි වූයේ කළකිරීම සහ පශ්චාත්තාපය පමණකි.

‘‘අන්තිමට කෝටි ගානක් වටින ගේත් නැතුව පාරට වැටෙන්නයි අපිට වුණේ.’’

තම පුතුට සිදුවූ විපැත්තිය සහ පරම්පරාවෙන් හිමි වූ නිවස මෙවැනි වංචනික උගුලකට හසුවිම පිළිබඳව සීතා සිටියේ දැඩි මානසික පීඩනයකින්ය.

මෙහිදී ඔවුන් වෙනුවෙන් විශාල දෙයක් කිරීමට ඉතිරි වී නොතිබුණෙන් රංගනගේත් සීතාගේත් අනාගත ජීවිතය ශක්තිමත්ව පවත්වාගැනීමට අවශ්‍ය උපදේශනය ලබාදී ඔවුන්ගේ මානසික පීඩනය යටපත් කිරීමට මම සමත් වීමි.

රංගනගේ​ මේ කතාවෙන් මට මතුකළ යුතු කාරණා කිහිපයක් ඇත. ඉන් පළමුවැන්න ජීවිතයට අහම්බෙන් හමුවන මිනිසුන් ගහෙන් ගෙඩි එන්නා වාගේ විවාහ කරගැනීම එතරම් නුවණට හුරු නැති බවය.

වෙනත් පුද්ගලයෙකු කෙරේ අපගේ සිතේ ප්‍රථමයෙන් ඇති වන්නේ ආකර්ශනයක්ය. යමෙකු පිළිබඳ එවන් ආකර්ශනයක් ඇතිවූ පසු ඔහුගේ, ඇයගේ සමාජයීය පසුබිම, හැසිරීම් රටා, අදහස් සහ සිතුවිලිවල ස්වභාවය වැනි කරුණු පිළිබඳව සොයා බැලීම වැදගත්ය.

විවාහය සඳහා එවැනි කිසිවක් අදාළ නැත සහ විශේෂයෙන්ම කාත් කවුරුත් නැති දුප්පත් කාන්තාවක් විවාහ කරගැනීමෙන් දුක් කරදර නැති පවුල් ජීවිතයක් ගත කළ හැකිය යන මතය නිසාදෝ අහඹු ලෙස හඳුනාගන්නා පුද්ගලයින්ව දෙවරක් නොසිතා විවාහ කරගැනීමෙන් ගැටළු ඇති කරගත් අයවලුන් ඕනෑතරම් මට හමුවී ඇත. අතිශය දක්ෂ ලෙස මවාපෑම්වල සිදුකර විවාහ වන බොහෝදෙනාගේ සැබෑ මුහුණ මතුවන්නේ මාස කිහිපයක් ගතවන විටය. නමුත් කාලය අරගෙන අදාළ පුද්ගලයින්ගේ හැසිරීම් හොඳින් නිරීක්ෂණය කරන්නේ නම් ඔබට ඔහුගේ චරිතය හඳුනාගැනීමට අපහසු නැත.

එසේම මේ කතාවෙන් මට මතුකරලිය යුතු අනෙකුත් කාරණාව වන්නේ පරම්පරා​වේ උජාරුව, නම්බුනාම, පවුලේ තාන්නමාන්නවලින් හිස උදුම්මවාගෙන තම දරුවන්ට මඟුල් තුලා සෙවීමට යාමෙන්ද මෙවැනි ගැටළු ඇතිවිය හැකි බවය.

ධනය, බලය, නම්බුනාම මේ කිසිවක් සදාකාලික නොවන අතර, ඒ කිසිවක් නොමැති අයෙකු වුවත් පසුකාලීනව ඒ සියල්ල උපයාගත හැකි බව වටහාගත යුතුය.

ඒ නිසා විවාහයකදී ධනය, බලය පිළිබඳව සිතනවාට වඩා ගුණයහපත්කම් පිළිබඳව සිතීම වඩා හොඳය.

(මෙය මානව හැකියා ප්‍රවර්ධන විශේෂඥ හා ජ්‍යෙෂ්ඨ මනෝවිද්‍යා උපදේශිකා රත්නා පුෂ්ප කුමාරි මහත්මියගේ වෘත්තීය ජීවිතයේ අත්දැකීම් ඔස්සේ සේවාලාභීන් හඳුනාගත නොහැකි පරිදි නිර්මාණාත්මක ලෙස වෙනස් කරන ලද කතාවකි.)

සෙව්වන්දි හෙට්ටිආරච්චි