විශේෂාංග

දර ලොරියක් හිමි පුතුට කිරිපිටි පැකට් පහක් හිමි මනාලියක් සොයයි

ඒ ගඟක් අසල දසුනකි. පිරිමින් කිහිපදෙනෙක් ගෑස් සිලින්ඩර ඔසවාගෙන එනු පෙනුණි. පළමුව ආ පුද්ගලයා තම කර මත වූ ගෑස් සිලින්ඩරය එකවරම ගඟට දැමුවේය. සෙස්සෝ ද ඔහු අනුකරණය කරනු පෙනුණි. අනතුරුව ඔවුන් ආපසු හැරුණේ දර මිටි කිහිපයක් කිහිලි ගන්වා ගනිමිනි.

උපහාසාත්මක වුවත් ඒ රූප රාමු පෙළ අපේ රටේ හුදී ජනයාගේ අප්‍රසාදය හෝ අපහාසය ආණ්ඩුවට දැක්වූ අවස්ථාවක් නොවන බව පැහැදිලිය. ඒ එම රූප රාමුවල තිබූ ගෑස් සිලින්ඩර රතු පාට ඒවා මිස නිල් හෝ කහ පාට ඒවා නොවුණු නිසාය.

කෙසේ වුවත් අපේ ර​ටේ ගෑස් මිල ඉහළ යාමද, ඒ රූප රාමු පෙළ අයිති රටේ සන්තෑසියටම දෙවෙනි නැත. ඉතිසාහයේ අන් කවරදාවත් නොවූ ලෙස 85%කින් ගෑස් මිල ඉහළ නැංවීම නිසා, ජනතාවට අත් විඳින්නට සිදුව ඇත්තේ, ගහෙන් වැටුණු මිනිහාට ගොනා වරක් නොව කිහිපවරක් ඇන්නා වැනි වැඩකි.

වරින්වර ගෑස් මිල ඉහළ පහල ගිය අවස්ථා තිබුණත්, එකවර දෙගුණයකින් මිල ඉහළ ගිය පළමු අවස්ථාව මෙයය. ඒ අනුව රුපියල් 1,493ක මිලට පැවති කිලෝග්‍රෑම් 12.5ක ලිට්රෝ ගෑස් සිලින්ඩරය, රුපියල් 2,750ක් දක්වා ඉහළ ගියේය. 12.5ක ලාෆ් ගෑස් සිලින්ඩරය රුපියල් 984කින් ඉහළ දැමුවේ ඉකුත් අගොස්තු මාසයේද රුපියල් 363කින් මිල ඉහළ දමා ඇති පසුබිමකය. ඒ අනුව රුපියල් 1,856ක්ව පැවති ලාෆ් ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 2,840 දක්වා ඉහළ ගියේය.

මේ මිල ඉහළ නැංවීම රටේ බහුතරයක් ජනතාවට දැරිය නොහැකි තත්ත්වයක් වන්නේ දවසින් දවස පාලනයකින් තොරව අනෙකුත් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිලද ඉහළ යමින් ඇති නිසාය. වැඩි කළ මිලට පෝලිමේ හිඳ කිරිපිටි පැකට් එකක් ගෙන ආපහු හැරෙද්දී හාල්, තිරිඟු පිටි, පරිප්පු, එළවලු, බී ලූනු ආදී සියල්ලේ මිල ඉහළ ගොසිනි.

ගෑස් මිල ඉහළ දමා දෙදිනක් යද්දී, විකල්පයන් සොයන්නට බොහෝදෙනා වෙහෙසෙන අයුරු දැකගත හැකිවිය. එය පැහැදිලි වූයේ පිටකොටුවේ භූමිතෙල් ලිප් ගන්නට පොරකන ජනතාවගෙනි. මේ අතර ලිප්වල මිල ගණන්ද ඉහළ නංවා තිබූ අතර, තවත් පිරිසක් දර ලිපට මාරු වුණි. එහෙත් මේ කිසිවක්ම කරකියා ගන්නට බැරි පිරිසක්ද අප අතර සිටිති.

‘‘අපි ඉන්නේ තට්ටු ගෙදරක. දර ලිපක් හදාගන්න අපට ඉඩක් නෑ. භූමිතෙල් ලිපක් ගත්තත් තෙල් මිල ඉදිරියේදී කොහොම වෙයිද කියලා කියන්නත් බැහැ. කඩෙන් කන්නත් බැහැ. ගෑස් මිල එක්ක කෑමබීම මිලත් වැඩි වෙනවා. බඩු වැඩි වුණාට ලැබෙන ආදායම එතනමයි. දවසේ කුලී වැඩක්වත් කරගන්න බැරි තත්ත්වෙකට මිනිස්සු වැටිලා. එහෙම හිටිය මිනිස්සු මේ මිල වැඩිවීම කොහොම දරාගන්නද?’’

ඒ මොරටුවේ ප්‍රේමලතායි. ඇය භූමිතෙල් ලිපක් මිලට ගෙන තිබුණේ රුපියල් 3,000කටය. ඊටත් වඩා මිලට අලෙවි වන භූමිතෙල් ලිප් වර්ගවලට ඇති ඉල්ලුමද ඉහළ ගොස් ඇත. සමාජමාධ්‍ය ඔස්සේ ද විදුලි උදුනට, දර ලිපට හා භූමිතෙල් ලිපට යොමුවන ලෙස ජනාතව පොළඹවන අයුරින් නිර්මාණය කළ විවිධ පෝස්ටු ද දකින්නට ලැබුණි.

ගෑස් ලිප ගේ ඉදිරිපස මල් බඳුන තබන්නටත්, ගෑස් ටැංකි දෙකක් එක්කොට මැටි ලිප තියාගන්නට ආධාරකයක් හදාගැනීමටත් පමණක් නොව නොකා නොබී හිඳ ගෑස් හදාගන්නා ආකාරය ගැන කියැවෙන වෛද්‍ය අනුරුද්ධ පාදෙණියගේ නම යෙදූ පෝස්ටු ද සයිබර් අවකාශයේ සංසරණය වනු පෙනුණි. තවත් පෝස්ටුවක වූයේ දර ලොරියක් හිමි පුතුට කිරිපිටි පැකට් පහක් හිමි මනාලියක සොයනා බවය. තවත් තැනක ගෑස් සිලින්ඩරයක් ගන්නට වත්කම හිමි තරුණයෙකු විවාහයට තරුණියකට ඇරයුම් කරන අයුරු දැක්විනි.

‘‘රට ඇරලා දවස් කීයදකොරෝනා නිසා හදන බත් පැකට් විස්සවත් විකුණගන්න බැරුව ඉන්න අපට ඉහමොළ රත්වෙන්නම ගෑස් ටැංකියෙන් දමලා ගැහුවා. අපි යාන්තමට ගෑස් එක දවස් විස්සක් පාවිච්චි කළා. දැන් කෑම පැකට් කරන්න නෙවෙයි වෙන්නේ වහ කන්න. ගෑස් විතරක් නෙවෙයි හැමදේම ගණන් ගියා. ඒත් අපට හම්බවෙන ආදායම එකම තැන. දැන් බඩගින්නේ මැරිලා යන්නයි වෙන්නේ.’’

ඒ මාගරට් ගුණවතී ය. ඒ වනවිටත් ඇයගේ කෑම පාර්සල්වලින් අලෙවි වී තිබුණේ තුන හතරකි. නිවසේ සතරදෙනාගෙන් ස්ථිර රැකියාවක් ඇති කිසිවෙකුත් නැත. සැමියා සිටින්නේ එක්තැන්ව බවත්, දියණිය ආබාධිත බවත් කී ඇය කීවේ පුතු ද දවසේ කුලී රැකියාවක නියැලෙන්නෙක් බවයි.

මේ මාගරට්ලා වාගේම අපේ රටේ බහුතරයක් දෙනාගේ කතාවය. රස කෑම නොව බඩගින්දර නිවාගන්නට මඟක් නැති බොහෝදෙනෙකු කෑවායින් නොකෑවැයින් දිවි ගෙවනා හැටිය. කුසේ ගින්දර දරාගෙන දරුවාට කිරිපිටි පැකට් එකක් ගන්නට පෝලිමේ දාඩිය දාගෙන හිඳ ආපසු හැරෙද්දී, අනෙක් බඩු මුට්ටු සියල්ලද රුපියල් දහය පහළොවකින් හෝ වැඩිව තිබේ.

ගල්කිස්ස ප්‍රදේශයේ අවන්හලක් පවත්වාගෙන යන පියුමාලි ‘ධරණී’ට කීවේ මෙවන් කතාවකි.

‘‘ඇත්තටම 12.5 ගෑස් සිලින්ඩර දෙකක් අපට මාසෙකට ඕන. සමහර අවස්ථාවල දෙකත් මදි. එතකොට ඉස්සර තුන්දාහකට අඩු වියදමක් ගියා. දැන් වියදම හයදාහයි. එතකොට අපි ඒවා කවර් කරගන්න ඕන. ඒකට කෑම මිල වැඩි කරන්න වෙනවා. ආප්ප එකක් දුන්නේ රුපියල් විස්සට. දැන් තිහයි. ඉඳිආප්පයක් රුපියලකින් වැඩි කළා. එතකොට ඉඳිආප්ප දහයක් ගන්න කෙනාට රුපියල් දහයක් වැඩිවෙනවා. ස්ථිර, මාසික ආදායමක් තියෙන අයෙකුට නම් ඒවා ලොකු ගැටළු නෙවෙයි. ඒත් දවසේ ආදායටම ජීවත්වෙන අය ගාන වැඩියි කියලා ආපහු යන වෙලාවල් තියෙනවා. පැටිස් එක රෝල් එකත් රුපියල් දහයකින් වැඩි වුණා. ප්ලේන්ටිය, කිරි තේ එකත් එහෙමයි. මේ බිස්නස් අඩුවීම ඉදිරියේදි තවත් වැඩිවේවි. පොඩි ව්‍යාපාරයක් කරගෙන ජීවත්වෙන කෙනාටත්, පොඩි මිනිහටත් මේ තත්ත්වය දරාගන්න බෑ. ගෙඩිය පිටින් ගෑස් 2,750ට නග්ගලා, රුපියල් හැත්තෑ පහකින් අඩු කරනවා. ඇත්තටම මේ විදිහේ විහිළු නොකර ආණ්ඩුව ජනතාවට සහනයක් සැලසිය යුතුයි.’’

ඇය කීවාය.

ලෝක වෙළෙඳපො‍ළ් ඉන්ධන මිල ඉහළයාම, ගෝලීය නිෂ්පාදන අසාමාන්‍ය ලෙස පහත වැටීමත් නිසා මෙම ගැටළුව නිර්මාණය වූ බව ආණ්ඩුව කීවද, පොඩි මිනිහාගේ බඩගින්නේ අර්බුදය නැතිවන්නේ නැත. දරුවන් බඩගින්නේ හඬනාවිට ඔවුනට කෑම වේලක් දීගත නොහැකිව විඳවන්නට වෙන්නේද අහිංසක දෙමාපියන්ටය.

‘‘අපි ඉන්නේ තට්ටු ගෙදරක. දර ලිපක උයන්න බැහැ. කුලියට ගේ දුන්නේ දර ලිපේ උයන්නේ නෑ කියන පොරොන්දුවත් අරන්. කොහොමත් පුංචි ගේ කෑල්ලේ දර ලිපක් තියන්න ඉඩක් නැහැ. කඩෙන් කන්නත් බෑ ගාණ වැඩියි. පෙරේදා ගෑස් එක ඉවර වුණා. ත්‍රීවිල් එකේ ගිහින් ගෑස් එක හොයන් ගෙනෙද්දී රුපියල් තුන්දාහයි.’’

ඒ බත්තරමුල්ලේ ෆාතිමා ය. දර ලිපක් හදාගත්තත් නගරයේ බොහෝදෙනෙකුට දර සොයා ගැනීමේ ගැටළුවද මතුවෙයි. රැකියාවට යද්දී ඉක්මනට පහසුවට ගෑස් එකේ වෑංජනයක් දෙකක් උයා ගත්තාට වඩා ලිපට ගිනි පිඹින්නට යාමද තවත් පැත්තකින් දුෂ්කරය. ඒ අනුව ඉන්ද වඩාත් පීඩාවට පත්වන්නේ ගෘහනියන්ය.

වෙනදාට වැඩ ඇරී දරුවන්ට පලතුරක්, රස කැවිල්ලක් ගෙනෙන තාත්තලාට දැන් ගෙදර එන්නට වෙන්නේ හිස් අතිනි.. ​බොහෝ අහිංසකයින්ට ගෑස් මිල නැංවීමේ ගෑස් බලන්නට වෙන්නේ එලෙස පටි තදකර ගැනීමෙන් නොවේද?

දීපා වසන්ති එදිරිසිංහ