දිරිය දිනූ කතුන්

කීමෝ ප්‍රතිකාර නිසා කොණ්ඩේ ගියපු කෙනෙක් මගේ හෙයාර් ඔයිල් එකෙන් ආපහු කොණ්ඩේ වවාගෙන තිබුණා – ගයත්‍රි ප්‍රියංජනා පාදුක්ක

70 දශකයේ තිරගත වුණු ‘අභිමාන්’ චිත්‍රපටයෙන් පස්සේ අමිතාබ් බච්චන්ව කවුරුත් හැඳින්වුවේ භාරත සිනමාවේ සුපිරි තරුව විදියට. 90 දශකයේ මුල් කාලේ වෙනකල්ම ඒ ජනප්‍රියත්වයේ අඩුවක් වුණේ නෑ. මේ කාලෙ විවිධ සමාගම්වලින් ඔවුන්ගේ ප්‍රචාරක දැන්වීම් සඳහා අමිතාබ්ව යොදාගන්න තිබුණේ දැඩි තරඟයක්. එක වතාවක් ඔහුට ඉන්දියාවේ ප්‍රසිද්ධ චොක්ලට් සමාගමක් ඔවුන්ගේ ප්‍රචාරක දැන්වීමක් වෙනුවෙන් පෙනී සිටින්න ආරාධනා කළා. අමිතාබ්ට ඒ වෙනුවෙන් අතිවිශාල මුදලක් ලබාදෙන්නත් ඔවුන් පොරොන්දු වුණා. හැබැයි අමිතාබ් කියන්නේ අද කාලේ සමහරක් නළු නිළියෝ වගේ සල්ලිවලට ඕනම කුණුගොඩක් ඇඟේ හලාගන්න ජාතියේ චරිතයක් නෙවෙයි. ඒ නිසා ඔහු වෙළඳ දැන්වීමට පෙනී හිටින්න කලින් මුලින්ම කළේ ඒ චොක්ලට් වර්ගය ගැන හොයලා බලපු එක. එතැනදි තමයි ඔහුට දැනගන්න ලැබුණේ ඒක කුඩා දරුවන්ට නුසුදුසු කෘත්‍රිම රසකාරක, වර්ණකාරක අඩංගු චොක්ලට් වර්ගයක් කියලා. ඒ හින්දා ඔහු ඒ චොක්ලට් සමාගම කරපු ආරාධනය ප්‍රතික්ෂේප කළා. “මං කොහොමද අපේ රටේ පොඩි දරුවන්ට මෙහෙම චොක්ලට් එකක් කන්න කියලා කටක් ඇරලා කියන්නේ?” කියලත් ඔවුන්ගෙන් ප්‍රශ්න කළා. ඒ තමයි අමිතාබ් බච්චන්.

මට මේ කතාව මතක්වුණේ ගයත්‍රි නිසා. ගයත්‍රි කියන්නේ සොබාවික අමුද්‍රව්‍ය යොදාගෙන කිසිඳු රසායනික ද්‍රව්‍ය භාවිතයකින් තොරව සිරුරට හිතකර රූපලාවණ්‍ය නිෂ්පාදන සිදුකරන තරුණියක්. ගයත්‍රි කියපු මෙන්න මේ කතාව නිසා තමයි මට අර උඩ කියපු අමිතාබ් බච්චන්ගේ කතාව මතක් වුණේ. 

“අලුතින් රූපලාවණ්‍ය නිෂ්පාදනයක් හදපු ගමන් මං මුලින්ම කරන්නේ ඒක මම පාවිච්චි කරලා බලන එක. මට හොඳයි නම් ඊටපස්සේ කරන්නේ මගේ දරුවො දෙන්නට පාවිච්චි කරන්න දීලා බලන එක. මොකද ඒ නිෂ්පාදනය මගේ සමට හරියන්නේ නැත්නම් මගේ දරුවන්ගේ සමට හරියන්නේ නැත්නම් ඒක කාටවත්ම පාවිච්චි කරන්න සුදුසු එකක් වෙන්න බෑ.”

ඇගේ නම ගයත්‍රි ප්‍රියංජනා පාදුක්ක. ‘Gayu Natural’ රූපලාවණ්‍ය නිෂ්පාදන ආයතනයේ හිමිකාරිනිය තමයි ඇය. අපේ රටේ මිනිස්සුන්ට 100%ක් ගුණාත්මක රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් ලබාදෙන එකලු ඇගේ එකම අභිලාෂය. හැබැයි ‘ධරණී’ කවරය දරන්න ගයත්‍රිට අපි ආරාධනා කළේ ඒ නිසාම නෙවෙයි. ලෝකෙටම පිළිලයක් වුණු කොවිඩ් වසංගතය ආශිර්වාදයක් කරගෙන පොඩියට පටන්ගත්තු ව්‍යාපාරය අද වනවිට බොහොම සාර්ථකව සිදුකරගෙන යන ව්‍යවසායිකාවක් නිසා. 

“මගේ ගෙවල් පානදුර. පානදුර සුමංගල බාලිකා විද්‍යාලයේ ඉගෙනගත්තේ. උසස්පෙළ වාණිජ අංශයෙන් කළත් කැම්පස් නම් යන්න බැරිවුණා. ඊටපස්සේ බැංකු ක්ෂේත්‍රයේ රැකියාවක් කළා. විවාහයෙන් පස්සේ ගෙදර නැවතුනා. ඒ ඉන්නකොට තමයි කොවිඩ් වසංගතය ආවේ. අන්න ඒ කාලේ මං දැක්කා කොවිඩ් වසංගතය ආශිර්වාදයක් කරගෙන පොඩි පොඩි ව්‍යාපාර පටන් අරන් දියුණුවෙන අය. ඒක දැකලා මටත් එහෙම වෙන්න හිතුණා.”

එහෙම හිතපු ගයත්‍රි යූටියුබ් එකට ගිහින් ගෙදරදි සබන් හදන වීඩියෝවක් බලලා. ඒ බලන අතරෙයි ඇයට අලුත් අදහසක් ඇවිත් තියෙන්නේ. ඒ අපේ රටේ තියෙන සොබාවික අමුද්‍රව්‍ය යොදාගෙන සබන් එකක් නිෂ්පාදන කරන්න. පස්සේ වැඩි දවසක් නොයවාම ගයත්‍රි ඒ වැඩේට අතගහලා.

“මං දැනගෙන හිටියේ සබන් කැටයක් හදන හැටි විතරයි. ඒකට සොබාවික අමුද්‍රව්‍ය එකතුකරන්නේ කොහොමද වගේ දේවල් මං ටිකක්වත් දැනගෙන හිටියේ නෑ. පස්සේ මං විවිධ අත්හදාබැලීම් කළා. මාසයක් දෙකක් එකදිගට අත්හදා බලද්දි හොඳ සබන් එකක් මගේ අතින් නිෂ්පාදනය වුණා.”

ගයත්‍රිගේ මුල්ම සබන් එක කුරුඳු යොදාගෙන හදපු සබන් එකක්. මුලින් ඒක පාවිච්චි කරලා බලලා තියෙන්නෙත් ගයත්‍රිමයි. ඊටපස්සේ ඇගේ දරුවන්ටත් පාවිච්චි කරන්න දීල බැලුවලු. හැමඅතින්ම හොඳයි කියලා හිතුණු නිසා ඇය කුරුඳු යොදාගෙන ඒ සබන් කැටය දිගටම නිෂ්පාදනය කරන්න තීරණය කරලා.

“මං ඒ සබන් එක දන්න කීපදෙනෙක්ට දීලා බැලුවා. එයාලත් කිව්වා කඩේ ඒවට වඩා හොඳයි කියලා. කිසිම හැදෑරීමක් නැතුව නිෂ්පාදනය කළා කියපු කතාව නම් ඒ අය කොහොමවත්ම පිළිගත්තේ නෑ. හැබැයි මේ ලෝකේ හැමදේම මුලින් හොයාගත්ත කෙනෙක් ඉන්නවා. දැන් බලන්න ග්‍රැහැම් බෙල් දුරකතනය කියන එක හොයාගත්තා. ඒක ඔහුගේ අත්හදාබැලීමක ප්‍රතිඵලයක්. හැබැයි සාර්ථක වුණා.”

සබන් එක සාර්ථකවීමත් එක්ක ගයත්‍රිට තව තව රූපලාවණ්‍ය නිෂ්පාදන කරන්න පෙළඹවීමක් ඇවිත්. ඒ පෙළඹීම උඩයි කාලයක් අරන් ඇය රූපලාවණ්‍ය නිෂ්පාදන එකින් එක බිහිකරන්න පටන් අරන් තියෙන්නේ.

“මගේ අරමුණ වුණේ සබන් එක හදපු විදියටම ඒ නිෂ්පාදනත් රසායනික ද්‍රව්‍යවලින් තොර සොබාවික ඖෂධ සාරයෙන් හදන්න. ඒක සාර්ථක වුණා. මට පුළුවන් වුණා කිසිම හැදෑරීමක් නැතිව කුරුඳු සබන් එකෙන් පටන් අරන් මිනිස්සුන්ගේ හිසේ ඉඳන් දෙපතුලට යනකල්ම සබන් වර්ග, ක්‍රීම් වර්ග, හෙයාර් ඔයිල්, ෂැම්පු වගේ රූපලාවණ්‍ය නිෂ්පාදන රාශ්‍රියක්ම නිෂ්පාදනය කරන්න. ඒ වගේම ඒ හැම එකකටම පර්යේෂණාත්මක සහතික කිරීම් ITI, SLS වගේ තත්ත්ව සහතික සහ ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය ලබාගන්නත් පුළුවන් වුණා.”

හැබැයි මොන මොන නිෂ්පාදන බිහිකළත් ඒවා මිනිස්සු අතරට යවන හපන්කම නම් කරන්න ගයත්‍රිට අමාරු වෙලා. ඒ ගැන හිතමින් ඉන්නකොටයි ඇයට කොළඹ සිටි සෙන්ටර්වල තිබුණු ‘කැන් මාර්කට්’ (CAN MARKET) එක ගැන දැනගන්න ලැබිලා තියෙන්නේ. ඒ හරහා ඇයගේ රූපලාවණ්‍ය නිෂ්පාදන සියල්ල වෙනුවෙන් හොඳ වෙළඳපොළක් හදාගන්න ගයත්‍රිට පුළුවන් වෙලා.

“ඒ CAN මාර්කට් එක ආරම්භ කරපු කේෂිනි සෙනවිරත්නට මහත්මිය මේ වෙලාවේ මතක් කරන්න ඕනේ. ඇයගේ ඒ සංකල්පය හරහා ස්වයං රැකියා කරන අයට තමන්ගේ නිෂ්පාදනයන්ට හොඳ වෙළඳපොළක් හදාගන්න මගක් විවරවෙනවා කිව්වොත් හරි. දැන් නම් CAN මාර්කට් එක වන්ගෝල්ෆේස් එකේ තියෙන්නේ.”

එතැනදී ලැබුණු පන්නරයෙනුයි ගයත්‍රි වෙළෙඳපොළේ තියෙන ප්‍රසිද්ධ රූපලාවණ්‍ය නිෂ්පාදනයන්ට පවා අභියෝග කරමින් ‘Gayu Natural’ නමින් ඇගේ රූපලාවණ්‍ය නිෂ්පාදන ආයතනය පටන් අරන් තියෙන්නේ. ඒ හරහා කෙටි කාලයක් ඇතුළත ඇගේ නිෂ්පාදනවලට රට වටෙන්ම ලොකු ඉල්ලුමක් නිර්මාණය වෙලා.

“මං හිතන්නේ මගේ නිෂ්පාදන ඉතා ඉක්මනින් මිනිස්සු අතරට ගියේ මේ වෙනකොට වෙළඳපොළේ තියෙන බොහෝ නිෂ්පාදන අතරින් මගේ ඒවා පැහැදිලිවම වෙනස් හින්දා. අද වෙද්දි වෙළඳපොළේ විවිධ සන්නාම යටතේ ශාකසාර ඖෂධ සාරයන් සහිත කියලා නිෂ්පාදන රැසක් තියෙනවා. නමුත් ඒ නිෂ්පාදන බොහෝමයක් සකස් කරලා තියෙන්නේ කෘත්‍රිම රසායනික විශාල ප්‍රමාණයකට කන් හැන්දක තරම් කුඩා ප්‍රමාණයක් සොබාවික අමුද්‍රව්‍ය එකතු කරලා. ඔවුන්ගේ අරමුණ වෙළඳ උපක්‍රම මඟින් පාරිභෝගිකයා රවටා ගැනීම මිස පාරිභෝගිකයාට සැබෑ ගුණාත්මක නිෂ්පාදනයන් ලබාදෙන එක නෙවෙයි. ඒ වුණාට මං කරන්නේ 100%ක් සොබාවික ඖෂධ සාරයන්ගෙන් යුතු රසායනික ද්‍රව්‍යවලින් තොර සෞඛ්‍ය ආරක්ෂිත නිෂ්පාදන පෙළක් පාරිභෝගිකයා වෙතට ලබාදීම නිසා මගේ නිෂ්පාදන වෙනුවෙන් ලොකු ඉල්ලුමක් හැදුනා.”

යම්කිසි නිෂ්පාදනයක් කෙරෙහි පාරිභෝගික විශ්වාසය ඇතිකිරීම පහසු නොවුණද කෙටි කාලයක් තු‍ළ තමාගේ නිෂ්පාදන ගැන පාරිභෝගිකයින් තුළ පැහැදිලි විශ්වාසයක් ගොඩනැගී ඇති බවයි ගයත්‍රි අපිත් සමඟින් පැවසුවේ.

“මගේ නිෂ්පාදනවලට ප්‍රතිචාර ඉතාම ඉහළයි. අපි හිතමු මගෙන් කෙනෙක් සබන් එකක් ගත්තා කියලා. ඒ පුද්ගලයා ආයෙත් සබන් ගන්න එන්නේ මගේ ළඟටමයි. දාහක් ක්‍රීම් ගාලා හොඳවුණේ නැති කුරුලෑ මගේ නිෂ්පාදන හරහා සුවවුණු ඕනතරම් අය ඉන්නවා. ඔය තරුණ තරුණියන්ගේ හිසකෙස් යන ප්‍රශ්නයටත් මගේ ගාව හෙයාර් ඔයිල් එකක් තියෙනවා.”

 

*ඒ හැරුනම දැනට ගයත්‍රිගේ ළඟ තියන සුවිශේෂී  නිෂ්පාදන මොනවද? 

“අඟුරු සබන්, නිල් කටරොළු බොඩි ක්‍රීම්, එකට බීට්රූට් ෆේස් සබන්, රෝස්මරි, කරාබුනැටි හෙයාර් ඔයිල් සහ පොකුරු වද හෙයාර් ඔයිල් එකට දැනට ලොකු ඉල්ලුමක් තියෙනවා. ඊට අමතරව කුරුඳු, කෝපි, ගස්ලබු, කීකිරිදිය, මීපැණි, කැරට්, ගස් පෙනෙල, කොහොඹ, කරපිංචා, පිපිඤ්ඤා, ඇත්තෝර, අර්තාපල්, කෝමාරිකා වගේ සොබාවික ශාකසාර ඖෂධවලින් මං රූපලාවණ්‍ය නිෂ්පාදන 30කට ආසන්න ප්‍රමාණයක් කරලා තියෙනවා. දැනටත් අලුත් නිෂ්පාදන හදන්න අත්හදාබැලීම් කරගෙන යනවා.”

ගයත්‍රිගේ රූපලාවණ්‍ය නිෂ්පාදන භාවිතා කරන පාරිභෝගිකයන්ගෙන් ඇයට දවසින් දවස ප්‍රතිචාර එනවලු. ඒ අතරිනුත් පසුගිය සතියේ ආපු අමතක නොවන ප්‍රතිචාරයක් ගැන ගයත්‍රි කීවේ මේ විදියට.

“එයා මාලදිවයිනේ කෙනෙක්. පිළිකාවක් හැදිලා ඒකට ප්‍රතිකාර කරද්දි කොණ්ඩේ බාගෙට බාගයක් ගිහිල්ලා. ඉතින් මගේ හෙයාර් ඔයිල් එකක් ගාලා ටික දවසක් යනකොට කොණ්ඩේ ආයේ ඇවිත්. ඒකට එයා මට සෑහෙන්න ස්තූති කළා. ඇත්තම කීවොත් ඒක ඇහුවම එයාට වඩා සතුටු හිතුණේ මට.”

ඒ විදියට ගයත්‍රිගේ නිෂ්පාදන අපේ රටේ විතරක් නෙවෙයි විදෙස් රටවලත් ප්‍රසිද්ධයි. හැබැයි ඇයට ලොකුම ඉල්ලුම නම් තියෙන්නේ කොළඹ රටේ නෝනලා මහත්තුරුන්ගෙන් සහ සැලුන්වලින්ලු. ඒ වුණත් වට්සැප් සහ ෆේස්බුක් හරහා මේ නිෂ්පාදන ඕනෑම එකක් ඔබේ ගෙදරටම ගෙන්න ගන්නත් පුළුවන් කියලත් ගයත්‍රි අපිත් එක්ක කිව්වා.

“මේ නිෂ්පාදන හැම එකක්ම හදන තැන ඉඳන් අලෙවිය දක්වාම දේවල් කරන්නේ මමම නිසා ලොකු කැපකිරීමක් කරන්න වෙනවා. සමහර දවස්වලට රෑ නිදාගන්න වෙලාවක් නෑ. හැබැයි ඉතින් ආසාවෙන් කරන නිසා මහන්සියක් නම් දැනෙන්නේ නෑ. හස්බන්ඩ් සහ මගේ අම්මා තාත්තා මේ වෙලාවේ මතක් කරන්නම ඕනේ. ඒ අය තමයි හැමදේටම මගේ පිටිපස්සෙන් ඉන්නේ. ඒ වගේම මේ අපි වගේ ස්වයං ව්‍යාපාර කරන අයට නැගිටින්න අතහිත දෙන දිලිත් ජයවීර මහතාවත් මතක් කරන්න ඕනේ. මට මතකයි එක සැරයක් එතුමා CAN මාර්කට් එකට ඇවිත් මගේ නිෂ්පාදනත් මිලට ගත්තා.”

37 හැවිරිදි ගයත්‍රිගේ මේ පුංචි ව්‍යාපාරයට දැන් අවුරුදු 4ක්. නමුත් ඒ කෙටි කාලය තුළ ඇය විශ්වාස කළ දුරටත් වඩා දුරක් පැමිණි බවයි ‘ධරණී’ට පැවසුවේ.

“ඒ සාර්ථකත්වයට හොඳම සාක්ෂියක් තමයි අපේ පවුල. අපි අද ජීවත්වෙන්නේ මේ ව්‍යාපාරයෙන්. අපි නිතරම මිනිස්සුන්ට හොඳ දෙයක් දුන්නොත් කිසිම වෙලාවක නරකක් වෙන්නේ නෑ. ඕනම කෙනෙක්ට මේ වගේ ව්‍යාපාරයක් පටන් අරන් දියුණු වෙන්න පුළුවන්. ව්‍යාපාරයක් විදියටම හිතලත් නෙවෙයි නිකන් ගෙදර ඉන්න අතරෙත් කරලා බලන්න පුළුවන්. මේ කාලේ අපේ ගෙදර පාවිච්චියට සබන් කෑල්ලක් හදන්න පුළුවන් කියන්නේම ඒක කොච්චර ඉතිරියක්ද? දන්නවද දැන් අවුරුදු හතරකින් අපේ ගෙදරට කඩෙන් සබන් කැටයක් ගෙනැල්ලා නෑ.”

අවසානෙට අප ඇයගෙන් ඇසුවේ අලුත් ව්‍යවසායක තරුණ තරුණියන්ට ඇයගේ සාර්ථකත්වය තුළින් දෙන්න පුළුවන් පණිවිඩයක් ගැන. ඒකට ගයත්‍රි අපට දුන්නේ මෙහෙම පිළිතුරක්.

“මහන්සි වෙන්න තියෙන කාලේ හාන්සි වෙලා හිටියොත් හාන්සි වෙන්න තියෙන කාලේ මහන්සි වෙන්න වෙනවා. ඒ ගැන හිතලා පුළුවන් කාලේ උපරිමයෙන් මහන්සි වෙන්න. තමන්ට තරඟයක් තියෙන්නේ තමන් එක්ක මිසක් අනෙක් අය එක්ක නෙවෙයි. ඒක නිසා කිසිම මොහොතක නිකන් ඉන්න එපා. අලුත් දෙයක් ගැන හිතන්න. අත්හදා බැලීම් කරන්න. එතකොට මට වගේම ඔබටත් සාර්ථකත්වය ළඟාකරගන්න පුළුවන්.”

රුවන් එස්.සෙනවිරත්න

ඡායාරූප – චමත් ඒකනායක

පසුතලය – සෝලිස් හොටෙල්, පිටකෝට්ටේ