විශේෂාංග

නැටුමට හිත ගිහින් ගෙදරින් පැනගිය මුස්ලිම් දියණියෝ

කෙසෙල්වත්ත මාටිස් පටුමගේ නිවසක පදිංචි මොහොමඩ් අබුබකර්ට සිටියේ ලස්සන දියණියක් දෙදෙනෙකි. ඉන් වැඩිමලී පහළොස් වියැති වූ අතර, බාල දියණිය දහතුන් වියැති වූවාය. මේ පැංචියන් දෙදෙනා පොතපතේ ඉගෙනීමට වඩා ඇළුම් කළේ නැටුමට හා සංගීතයටයි. රූපවාහිනියේ එවැනි වැඩසටහනක් ගියහොත් බැණුම් අහමින් හෝ එය නැරඹීමේ පුරුද්දක් මේ අක්කා නගෝ දෙදෙනාටම විය. මෙය පියාට වාගේම මවටද හිසරදයක් වෙමින් තිබුණි.

‘‘වැඩි වැඩ ඕන නෑ. ඉගෙනගත්තම ඇතිමොකද සුපර්ස්ටාලා වෙන්නද…?’’

නැටුම් පන්තියට යාමට අවැසි යැයි කියද්දී ගෙදරින් ඔවුනට ලැබුණේ එවන් ප්‍රතිචාරයකි. මූණ වසාගෙන, ඇඟ වසාගෙන ඇඳුම් පැළඳුම් ඇඳීමටද මේ දැරියන් දෙදෙනා තුළම කැමැත්තක් නොවිනි.

කොරෝනා නිසා ගෙදරටම වී ඉන්නට සිදුවීමද දැරියන් දෙදෙනාගේ හිත පාළුවෙන් සාංකාවෙන් පුරවන්නට සමත් විය. මේ අතර පාසලේ ඔන්ලයින් පාඩම් වැඩ කරගන්නට ලැබුණු ජංගම දුරකතනය ඔවුනට ගෙනාවේ නොසිතූ බලාපොරොත්තුවකි. ඔවුන් ඔන්ලයින් පංති ඉවර වූ සැණින් අන්තර්ජාලය ඔස්සේ විවිධ තොරතුරු සොයන්නට වූහ. එපමණක්ද නොවේ. ඔවුනට ෆේස්බුක් ගිණුමක්ද තිබුණි. ඒ හරහාත්, යූ ටියුබ් හරහාත් තොරතුරු සොයද්දී අක්කාට ඔත්තු බැලුවේ නංගියි. ඔවුන් දෙදෙනාම කැමැත්තෙන් සිටියේ කොරියානු සංගීතය හා නැටුම් ක්‍රම ඉගෙනගන්නටය.

දැරියන්ගේ මෙම බලාපොරොත්තු සමඟ කාලය ගතවිනි. ඔක්තෝබර් තිහදා මෙම දැරියන්ගේ මවගේ නැගණිය මෙම නිවසට පැමිණෙන්නේ, ඇයගේ දහතුන් හැවිරිදි දියණිය සමඟයි. ගම්පොළ පදිංචි ඔවුන්, ඥාති දියණියකගේ විවාහ මංගල උත්සවයකට සහභාගී වී ආපසු යද්දී සොයුරියගේ නිවසට ගොඩවී යන්නටද අමතක නොකළහ. එදාම යන්නට කියා ආවත් අක්කාගේ දියණියන් දෙදෙනාගේ ඉල්ලීමට ගම්පොළ දියණියද ටික දිනක් එහි නතරවූයේ පාසල් පටන් ගැනීමටද තව කල් තිබූ හෙයිනි.

නිවසටම කොටුවී සිටි අබුබකර්ගේ දියණියන් දෙදෙනාට ඥාති සොයුරියගේ පැමිණීම ඉමහත් සතුටක් විය. ඔවුන් එම දින කීපයේ වඩාත් සතුටින් වාගේම පොතපත අතරේ සිටිනු දුටු දැරියන්ගේ මවට යම් අස්වැසිල්ලක් දැනුණාය.

මෙසේ දින කිහිපයක් ගෙවිනි. ඔක්තෝබර් අටවනදාට පහන් වෙද්දී වෙනදා වාගේම අබුබකර් පාන්දර පහට ඇහැරුණේය. ගෙදර හැමෝම ඒ වෙලාවට දෙවියන් නැමඳීම කළෙන් දැරියන් තිදෙනාද පුරුදු පරිදි ඊට එක්වූවාය. අනතුරුව අබුබකර් ත්‍රීරෝද රැකියාවට ගියේය. දැරියන් කාමරයට ගියේ තවත් ටික වේලාවක් නිදාගන්නටය. ගෙදර වැඩ කරන අතරේ මව පාන්දර හතහමාරටත් ඔවුන් නිදි වග දකින්නේ ගේ අතුගාන අතරතුර කාමරයට කරපොවා බැලූ නිසාය. එහෙත් අටයි තිහටත් ඔවුන්ගේ හැලහොල්මනක් නොවූයෙන් මව යළි කාමරයට එබුණාය. කිසිවකු කාමරයේ නැත. දැරියන් කොහිදැයි විපරම් කළ මවට සිය ජංගම දුරකතනයද නැතැයි පෙනෙද්දී බියක් දැනුණාය.

දැරියන් ගෙදර ඒදැයි බලා සිටි අබුබකර් කෙසෙල්වත්ත පොලිසියට දිවගියේ පසුදා උදෑසනය. තම දියණියන් දෙදෙනාත් ඥාති දියණියත් ගෙදර නැති බව ඔහු කීවේ හඬාවැටෙමිනි. තිදෙනාම බාල වයස්කාරියන් බැවින් පොලිසියද ඒ පිළිබඳව වැඩි අවධානයක් යොමු කළේය. ඔවුන් පළමුව කළේ අබුබකර්ගේ නිවස අසළ සීසීටීවී පරීක්ෂා කිරීමයි. දැරියන් තිදෙනා ඇඳුම් බෑග් තුනක්ද රැගෙන නිවස අසළ පටු මාවතේ ගමන් කරන දර්ශන එහි සටහන්ව තිබිණි. ඔවුන් ගියේ කොහිදැයි, ඔවුනට කුමක්වීදැයි කියන්නට නොදත් නිසාම, අබුබකර් පොලිසියෙන් ඉල්ලුවේ දියණියන් තිදෙනාගේ ඡායාරූප මාධ්‍ය ආයතනවලට ලබාදෙන ලෙසයි. ඒ අනුව විද්‍යුත් මාධ්‍යයන්හි දැරියන්ගේ ඡායාරූප සමඟ අදාළ පුවත ප්‍රචාරය විනි. මොවුන් සෙවීමේ කටයුතු සඳහා පොලිසිය සමඟ කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන අංශයත්, පොලිස් විශේෂ අපරාධ විමර්ශන ඒකකයත් මෙහෙයුමක් දියත් කළේ මේ අතරතුරය. එහෙත් පැයෙන් පැය ගෙවී යමින් තිබුණද දැරියන් ගැන කිසිඳු තොරතුරක් ලැබුණේ නැත. ඥාතීන් ගිනිගෙන දැරියන් සොයමින් සිටියද, ඔවුන් සිත්සේ කමින්, බොමින්, බටහිර පන්නයට සැරසී නැටුම් පන්ති සොයා විවිධ තැන්වල සැරිසරමින් සිටියේ කිසිඳු බරක්පතළක් නැතිවය. අනතුරුව පැය තිස්අටකට පසු ඔවුන් නිවසට පැමිණ තිබුණි.

ෆාතිමා කදීරා දියණිය, පසුදා කෙසෙල්වත්ත පොලිසියට ලබාදෙන කටඋත්තරය මෙබඳුය.

‘‘අපි තුන්දෙනා අටවෙනිදා උදේ පිටකොටුවට ගියා. අපිට ඕන වුණේ කොරියන් සංගීතය ඉගෙනගන්න. කොරියාවේ ‘බ්ලැක් පින්ක්’ කියලා ප්‍රසිද්ධ ගායන හා නර්තන කණ්ඩායමක් ඉන්නවා. එයාලා වගේ විලාසිතාවලට අපිට කැමැත්තක් ආවා. ඒ නැටුම් ක්‍රම හදාරන්න ආසාවක් ආවා. ඉතින් අපි මුද්දක් උගස් කරලා රුපියල් හැටහතර දාහක් අරගත්තා. හොඳට කෑමත් කෑවා. ඊළඟට ඩෙනිම් ටී ෂර්ට් වගේ ලස්සන ඇඳුම් පිටකොටුවෙන්ම ගත්තා.’’

සැබෑවටම ඉස්ලාමීය සම්ප්‍රදායික ඇඳුම ඔවුන්ට එපා වී තිබුණි. සැහැල්ලු ඇඳුම් ඇඳ සිටින තරුණියන් දකිද්දී, ඒ සැහැල්ලුව ලබන්නට, තමන් කැමති දෙයක් උගනින්නට ඔවුනටද ඕනෑ විය. අක්කා නගෝ ඒ ගැන නිතර කතා කරමින් සිටි අතර, ඥාති නැගණියද ආ පසු ඊට තවත් ධෛර්යයක් ලැබිණි.

ඔවුන් කළ සැලසුමට අනුව පළමුව යන්නේ අනුරාධපුරයටය. කොළඹින් අනුරාධපුර බසයට ගොඩවන්නේ සවස පහයි තිහට බැවින්, බසය අනුරාධපුරයට ළඟාවනවිට මධ්‍යම රාත්‍රිය පසුකර තිබුණි. රාත්‍රියේ නැටුම් පන්ති සොයන්නට බැරි නිසා, දැරියන් කොන්දොස්තරට කීවේ යළි කොළඹට යන්න බස් රථයක් සොයාදෙන ලෙසයි.

දැරියන්ගේ ඉල්ලීමට කන් දුන් කොන්දොස්තර මහතා මන්නාරමේ සිට කොළඹ බලා පැමිණි සුඛෝපභෝගී බසයකට ඔවුන් නංවන්නේ එහි කොන්දොස්තර මහතාට හා රියදුරුට මෙම ළමුන්ට අතරමගදී බසින්නට ඉඩ නොදෙන්නැයි ඉල්ලමිනි.

‘‘අපි කොළඹට එද්දි උදේ 7.30 විතර වුණා. උදේ කෑම අරන් අපි විහාරමහාදේවි උද්‍යානයට ආවා. ඒ එනකොට අපි අරගත්තු ඩෙනිම් ඇඳලයි හිටියේ. අපි කොරියානු නර්තන පන්ති තියෙන තැන් හරියට දැනන් හිටියේ නෑ. හොයාගන්න තමයි ඇවිද්දේ. විහාරමහාදේවි උද්‍යානය ළඟට ගියේ ත්‍රීවිල් එකකින්. අපි ඊටපස්සේ කොළඹ මාකස් ප්‍රනාන්දු පාරේ තියෙන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහත්තයාගේ කාර්යාලයට ගියා. අපි එහෙම ගියේ නර්තන පාඨමාලාවක් ගැන දැනගන්න. ඒත් එතුමා හිටියේ නෑ. ඊටපස්සේ අපි මහනුවරටත් ගියා. ඒත් පන්තියක් හමුවුණේ නෑ. එදා කොළඹ එද්දි රෑ වෙලා. අපි හෝටලයකට ගිහින් නවතින්න කාමරයක් ඉල්ලුවත්, හැඳුනුම්පත් නැතුව නතර කරගන්න බෑ කියලා බාරගත්තේ නැහැ. අපිට ගෙවල්වලට යන්න කියලා ඔවුන් කෑගැහුවා. ඒ වෙනකොට අතේ සල්ලි තිබුණෙත් ටිකයි. පස්සේ අපි ගෙදර ආවා.’’

ඉස්ලාමීය ආගමට පටහැනියැයි කියා දියණියන්ගේ කැමැත්තට අවසරයක් නොදුන් එම දෙමාපියන් දුටුවේ බටහිර ඇඳුමින් සැරසී සිටින දැරියන් තිදෙනායි. ඩෙනිම, ටීෂර්ටය පමණක් නොව ඔවුන් තොප්පිද දමා තිබුණි. ඔවුන් උසාවියට ඉදිරිපත් කිරීමෙන් පසු යළි දෙමාපිය භාරකාරත්වයට පත්කර තිබුණි.

‘‘අපිට ගෙදරින් එළියටවත් යන්න දුන්නේ නෑ. අපි ඉගෙනගත්තේ මුස්ලිම් ඉස්කෝලෙක වුණාට බටහිර විදියට අඳින පළඳින යාළුවෝ අපට ඉන්නවා.’’

ඔවුන් සොයා ගියේ එම නිදහස වන්නට ඇත. දරුවන්ගේ ඇසින් මේ දෙස බැලිය යුතු වුවද, ඔවුන් ගියේ තනිව නොයා යුතු ගමනකි. බස් කොන්දොස්තර මහතා වැනි අය විමසිලිමත්ව සිට, ඔවුන්ට හරි පාර පෙන්වීම හොඳය. නවාතැන් ගන්නට ගිය හෝටලයෙන් බාර නොගැනීමද හොඳය. අවසානයේ ඔවුන් නිරුපද්‍රිතව ගෙදර පැමිණීමද හොඳය. එහෙත් දරුවන්ගේ හිත් මේ තරම් දුරකට ගමන් කරන්නට නොදී දෙමාපියන් ඔවුන් කියන්නකට ඇහුම්කන් දීමත්, ඒවායේ ආදීනව ආදරයෙන් කියාදීමත් ඊටත් වඩා හොඳ යැයි අපට හැඟෙන්නේ මේ පුපුරා යෑම තුළ ඇති කතාව බොහෝ ගැඹුරු නිසාය.

දීපා වසන්ති එදිරිසිංහ