විශේෂාංග

පුංචි දබර අමතක වෙන්නත් එක්ක රසම රස තක්කාලි බතක් හදමුද?

මටනම් මගේ ජීවිතේ හැම කෑමක් එක්කම සුන්දර මතකයක් තියෙනවා. අද මං ලියන්නෙත් ඒ වගේ සුන්දර මතකයක් තියෙන කෑමක් ගැන. ඒක විශේෂිත බතක්. මගේ අම්මා හරිම රසට මේක හදනවා. මං ගොඩක් ආස ඒ බත උයපු දවසට වඩා පහුවදාට කන්න. එතකොට තවත් රහයි. ඉතින් මං මේ අගේ කර කර කිව්වේ මගේ අම්මා උයන තක්කාලි බත ගැන. කහබත්, ගී බත්, ෆ්‍රයිඩ් රයිස්, බිරියානි කියන අපි හොඳටම දන්න බත් වර්ගවලට වඩා මේ බත විශේෂයි.

දැන් මං කියන්නම් මේක හදන විදිය. හරිම ලේසියි.

හාල් කෝප්ප 2 කුයි, පොඩියට කපාගත්ත ලොකු තක්කාලි ගෙඩි 2 කුයි, ලොකු කෑලිවලට කපාගත්ත ලූනු ගෙඩි බාගයකුයි, කරපිංචා ටිකකුයි, කොටාගත්ත සුදුලූනු අමුඉඟුරු මේස හැන්දක්, තව කුරුඳුපොතු කෑල්ලක්, කරඳමුංගු 4ක්, කරාබුනැටි 4ක්, බටර් මේස හැඳි 1 1/2, සෝයා සෝස් මේස හැඳි 1 1/2, ලුණු තේ හැන්දක්, තක්කාලි සෝස් මේස හැන්දක් ඕන වෙනවා මේ රසම රස තක්කාලි බත හදන්න.

මුලින්ම හාල් ටික සෝදලා වතුර බේරෙන්න තියන්න. පස්සේ රයිස්කුකර් එක on කරලා ඒකට බටර් දාලා, බටර් දිය වෙද්දි සුදුලූනු, ඉඟුරු, කරඳමුංගු, කරාබුනැටි, කුරුඳුපොතු කෑල්ල දාලා හොඳට තෙම්පරාදු කරන්න. පස්සේ ලූනු ටික දාලා කවලම් කරලා විනාඩියකින් තක්කාලි ටිකත් දාලා කවලම් කරන්න. තක්කාලි ටික විනාඩි දෙක තුනක් තැම්බෙන්න තියලා ඒකටම හාල් ටික දාලා කවලම් කරලා, සෝයා සෝස් දාලා කවලම් කරන්න. හාල් ඇට පොඩ්ඩක් බැදෙනකන් තියලා තමයි වතුර දාන්නේ. මං ඉතින් මගේ මැද ඇඟිල්ලේ පළවෙනි පුරුකට වෙනකල් වතුර තිබ්බා. එහෙම හුරු නැත්තම් හාල් ගත්තු කෝප්පෙන්ම වතුර කෝප්ප 4 ක් දාන්න. රස බලලා ලුණුත් දාලා කවලම් කරලා බත ඉදෙන්න තියන්න. බත ඉදුනාට පස්සේ තක්කාලි සෝස් මේස හැන්දක් දාලා බත කවලම් කරන්න. එච්චරයි.

මේකට සම්බා හාල, බාස්මති හාල පාවිච්චි කරන්න පුළුවන්. බාස්මතීවලින් උයද්දී නම් එක හාල් කෝප්පෙකට එක වතුර කෝප්පයයි තියන්නේ. මමත් ඒක ඉගෙනගත්තේ මගේ අම්මාගෙන්.

මේ බත එක්ක කන්න ගොඩක් වෙලාවට මං හදන්නේ කළුවට උයපු කුකුල් මස් ව්‍යංජනයයි, තෙල් දාපු අල ව්‍යංජනයයි, අන්නාසි, පිපිඤ්ඤා, ලූනු දාලා හදපු සලාදෙකුයි.

ඒ මෙනු එක හරිම රසයි මේ බත් එකට.

මේ බත් එකට අනිත් ගැළපෙන රසම මෙනු එක තමයි දැන් ලියන්නේ. බටු මෝජු, කජු ව්‍යංජනය, තෙල් දාපු අල ව්‍යංජනය, රතු පාටට තෙල් පීදෙන්න උයපු කුකුල් මස් ව්‍යංජනය, සැමන් රස වැඩිවෙන්න හදපු කට්ලට්, අන්නාසි, පිපිඤ්ඤා, ලූනු දාලා හදපු සලාදයක් එක්ක පපඩම්.

මෙන්න මේ මෙනු එක තමයි ගොඩක්ම රස. මං මුලින්ම තක්කාලි බත් ඉව්ව දවසේ හැදුවේ මේ මෙනු එක. මට නතාරි දූ ලැබෙන්න ඉන්නකොට මගේ අම්මයි, තාත්‍තායි මාව බලන්න ජපානෙට ආවා. එයාලට දවල්ට කන්න දෙන්නයි මං මේ මෙනු එක හැදුවේ. කලින්ම තක්කාලි බත හදන විදිය අහගෙන හැදුවේ. එදා තාත්තා කන කටක් කටක් ගානේ රසයි කිව්ව හැටි මට තාම මතකයි.

ඒක තමයි මේ තක්කාලි බත එක්ක බැඳුන මගේ සුන්දරම මතකේ.

අපේ ගෙදරට යාළුවෙක් එනවා නම් මං මේ තක්කාලි බත, උඩින් ලියපු මෙනු එකත් එක්කම හදනවා. මේ බත කන ඕන කෙනෙක් අහන්නේ හරිම රසයි, හදන්නෙ කොහොමද කියලා. ඒ අහන අයට අකුරක් නෑර මං හදන විදිය කියන්නේ ඒ බත එක්ක බැඳිච්ච මතක බෙදාගන්න ගමන්.

අම්මා මේ බත හැදුවාම මං ආස නිසාම ඉස්සෝ බැදලා, තව මුරුංගා කොළ තෙලට දාලා බැදලා, කජු මුද්දරස්පලම්, ග්‍රීන්පීස් බැදලා අරන් තක්කාලි බතට කවලම් කරනවා. හරිම රසයි. මේ දේවල් කවලම් කරලා බත මේසෙට තිබ්බාම අනිත් ව්‍යංජන එක්ක මුළු මේසෙම ලස්සනයි.

මාත් ගෙදර මේ තක්කාලි බත මාසෙකට පාරක් හරි හදනවා. විශේෂයෙන්ම සතිඅන්තවල. ඒ හැමපාරකම මගේ මතක අලුත් වෙනවා. ඉවීම එක්ක මට බැඳීම මේ තරමට වැඩි වෙන්න හේතුවත් හැම කෑමකටම සුන්දර මතක එකතු වෙන නිසා වෙන්න ඇති.

සතිඅන්තයේ හරි, විශේෂ දවසක හරි අමුත්තෙක් නිවසට එද්දී මේ බත හදලා ඒ අයගේ හිත් සතුටු කරන්න ඔයාලට පුළුවන් වෙයි කියලා මට විශ්වාසයි.

හිත නොහොඳකමක් ආදරේට පෙරලගන්න, සාමාන්‍ය දවසක් විශේෂ දවසක් කරගන්න, ලස්සන මතක එකතු කරගන්න මේ තක්කාලි බත ඔයාලට උදව් වේවි.

කෑම කියන්නේ සතුට බෙදන තවත් විදිහක්. ඉවීම සතුටෙන් කරන්න. ආදරෙන් කරන්න. ඒ අපි වෙනුවෙන් නෙවෙයි, අපේ ආදරණීයයන් වෙනුවෙන්, පවුල වෙනුවෙන්.

ඉතින් ආදරෙත් එක්ක උයන්න, තවත් ලිපියකින් මුණගැහෙන්නම්. සතුටින් පරිස්සමෙන් ඉන්න.

ගෙවෙන දවසට වඩා උදාවෙන දවස සුබ වේවා!!!

 

හෂීණී මනමේන්ද්‍ර