ප්‍රීතිමත් ජීවිතයකට

මොන දේ කළත් සතුටක් නැත්නම් මේ වැඩෙත් කරලා බලන්න

මම හැමවෙලාවෙම හිතන දෙයක් තමයි හෙට මං මැරුණොත් අද මං එක්ක ජීවත්වෙන අයට සුන්දර මතක ඉතිරි කරන්න ඕන කියලා. ඇත්තටම මං ආස මගේ මහත්තයා දහම්ට, මගේ දරුවන්ට විතරක්  නෙවෙයි මං ළඟින්ම ආශ්‍රය කරන අයටත් සුන්දර මතකයක් වෙන්න. මොකද අපි හැමදාටම ජීවත්වෙන්න මේ ලෝකෙට ආපු මිනිස්සු නෙවෙයිනේ. කවදා, කොහේ, කොයි මොහොතක, මොන විදියට මේ ජීවිතේ අත්හැරලා යන්න වෙයිද කියලා අපි දන්නේ නෑ. ඒ නිසා මං හැම මොහොතම මගේ හිතේ සතුට, සැනසීම රැකගන්න උත්සාහ කරනවා වගේම මගේම අයගේ හිත්වල සතුට, සැනසීම රකින්නත් උත්සාහ කරනවා .

ඒ නිසාම හැමදාම උදේ ඇහැරුණු ගමන් අලුත් දවසක් මගේ ජීවිතේට ලැබුණු එක ගැන සහ ඒ දවසට මම ස්තූතිවන්ත වෙනවා. කවුරුහරි මාව කේන්ති ගැස්සුවත් කේන්ති නොගෙන ඉන්න මං හැඩගැගිලා. මගේ වචනෙකින්වත් කාටවත් නරකක් වෙන්න හොඳ නෑ කියලා හිතෙන තරමට මම මගේ හිත හුරු කරගෙන. මාව පීඩාවට පත්කරන අය දිහා පවා අනුකම්පාවෙන් බලන්න පුළුවන් තරමට මට ශක්තිය ලැබිලා. ඒ විදියට අපේ අභ්‍යන්තරය අපි විසින්ම වෙනස් කරගත්තම ජීවිතය ඉතාම සුබවාදීව වෙනස් වෙනවා. හිතට සැනසීම පිරුණ සතුටක් දැනෙනවා. ඊටපස්සේ ඉතින් ලෝකේ පෙරලුනා කිව්වත් ඒ සැනසීම නැති කරන්න කාටවත් බෑ.

මගේ සතුට වැඩි කරගන්න මම කරන තව පොඩි දෙයක් කියන්නම්. මං පටන්ගත්තා සතුටු පොතක් ලියන්න. දවස ගානේ මං සතුටු වුණ දේවල් ගැන තමයි මං මගේ සතුටු පොතේ ලියන්නේ. මං කාවහරි සතුටු කළානම් ඒක, පුංචි පුංචි දේවල්වලින් මං හිතුවට වඩා මට ලැබුණ සතුට ගැන, මං දකින දේවල්වලින් ලැබුණ සතුට, මං කරපු දේවල්වලින් ලැබුණ සතුට ගැන මං ඒකෙ ලියනවා.

දවසේ අන්තිමට තමයි මං මේක ලියන්නේ. සතුටු හිතෙන හේතු ගොඩක් තිබ්බොත් එදා දවසෙ විස්තරය ටිකක් දිග වැඩි වෙනවා. මුළු දවස පුරාවටම මට සතුටු වෙන්න ලැබුණේ පුංචි එක කරණාවද ඒකත් මම ලියනවා. එතකොට එදා දවසේ දුක හිතුණ, හිත කළකිරවපු සිද්ධි ඉබේම අමතකවෙලා සතුට ගෙනාපු පුංචිම සිද්ධිය මතක තියාගෙන මම නින්දට යනවා. ඒකෙන් සුවබර නින්දක් මට ලැබෙනවා.

සමහරදාට ගෙදර ජනේලෙන් හිරුඑළිය වැටෙන දිහා බලන් ඉඳපු එක මට සතුටක්. මං ඒක ගැනත් ලියලා තියනවා. මගේ දරුවන්ට අලුත් කෑමක් හදලා ඒක එයාලා සතුටෙන් රස කර කර කන එකත් සතුටක් විදියට මං ලියලා තියනවා. කාටම හරි හිත දිරිගැන්වීමක් කළානම්, සුබවාදීව හිතන්න උදව් වුණානම් ඒක සතුටක් විදියට මං සතුටු පොතේ ලියලා තියනවා. එකදිගට එහෙම මාසයක් ලියලා ඒ ලියපුවා කියවලා බැලුවා. එතකොට මට දැනුණා මං නොහිතපු ගොඩක් දේවල් ඇතුළේ පවා මං සතුට හොයාගෙන තියෙනවා කියලා. ඉතින් ඒ නිසා මට ඒක පිරිත් පොතක් වගේ. හිතට සැනසීමක් දැනුණා කියවද්දී.

සතුටු පොතේ පිටු ඉවර වුණාම මං මගේ ෆෝන් එකේ නෝට්වල ලියන්න පටන්ගත්තා. එදා දවසේ ගත්තු අහඹු පින්තූරත් ඒකට ටික කාලෙකින් එකතු වුණා. මගේ හැම සටහනක් පහලින්ම එදා දවසේ දිනයයි, මං සටහන ලියන්න පටන්ගත්ත වෙලාවයි ලියනවා. දැන් මං හැමදේකම සතුටක් දකින නිසා, මගේ හිතට සැනසීමක් සතුටක් දැනුණ දේ මං සතුටු පොතේ ලියනවා. හිතට නොසන්සුන්කමක් දැනෙන වෙලාවකදී වුණත් ඒ ලියපුවා ආයේ කියවද්දි හිතට ලොකු සහනයක් දැනෙනවා.

ඉස්කෝලේ කාලේ අපි කරපු පුංචි පුංචි පිං වැඩ මතක් වෙන්න පිං පොත ලිව්වා වගේ තමයි අපිව සතුටින් තියපු පුංචි පුංචි කාරණා ලියන සතුටු පොතත්. සතුටුවෙන්න පොඩි පොඩි හේතු ළඟම තියෙද්දී, දුක දැනෙන දේවල් ඇතුළෙම ඉන්න, අඬන්න, වැළපෙන්න, දුක කියන්නයි ගොඩක් අය ආස. මං අකමැතිම දේත් ඒක. මට හිතෙන්නේ දුක මත්තෙම නැහෙද්දී අපි ජීවිතේ ආපස්සට යනවා කියලා. ඒ නිසයි මං සතුට ගැන හිතන්නේ.

මං සතුටු පොත ලියන්න ගත්තේ 2020 අගෝස්තු මාසේ ඉඳන්. ඔයාලට හිතෙයි මේ වැඩ අස්සේ ඕවා කරන්න වෙලාවක් තියෙයිද කියලා. ඒත් සුමානයක් ඔයාගේ phone එකේ නෝට් පෑඩ් එකේ ලියන්න. ඔයාට ඊළඟ සුමානෙත් ලියන්න හිතෙනවා. සතුටු හිතෙන දේවල්ම පේනවා. ඊටපස්සේ ඒ සතුට ඔයා ළඟ විතරක් තියාගන්නේ නැතුව ඔයා බෙදනවා.

සමහර දවස්වල සතුටු පොතේ සටහන් මං මගේ ෆේස්බුක් පිටුවේ අනිත් යාළුවන්ට කියවන්න පළකරනවා. ගොඩක් අය දැන් සතුටු පොත් ලියන්න අරන්. මේ තියන්නේ සතුටු පොතේ මං ලියපු සටහනක එක කොටසක්.

උදේ කුස්සියට වෙලා වැඩ කරද්දී පිටිපස්සෙන් ඇවිත් මාව බදාගත්ත පුංචි අත් දෙක ඔවී දූගේ කියලා දැනුණාම මගේ මූණේ ඇුන හිනාව කවුරුහරි දැක්කානම් මගේ හිතේ එවලේ තිබ්බ සතුට මොන වගේද කියලා ඕන කෙනෙක්‍ට දැනෙනවා. මං අනික් පැත්ත හැරිලා පොඩ්ඩක් වඩාගත්තේ කෙල්ල ආසයි කියලා දන්න නිසා.

‘Mama you are my Happy Hug’ කියලා එකපාරම කීවම මට දැනුණේ පුදුම සතුටක්

අද දවසම මං හිටියේ ඒ වචන ටිකේ සතුටින්. සතුටුවෙන හේතු ගොඩාක් තිබ්බත් වැඩියෙන්ම හිත උත්කර්ශවත් වුණේ ඔවී දූ කියපු වචන ටිකට. සැනසීමෙන් ඉන්න ඊට වඩා මොනවත් ඕන නෑ කියලා මට හිතුණා.

ඔවින්යා කියන නමේ තේරුම දෙවියන් පවා ප්‍රිය කරන කියන දේ වුණත්, මං ඔවී කියන හැම සැරේකම මට දැනෙන්නේ, මට පේන්නේ ආදරයකරුණාව සමාවදීම සතුට එතැනින් එහාටත් සතුට විතරමයි

 

29-05-2022

රාත්‍රී 22.50

සමහරවිට තමන්ගේ අම්මා, තාත්තා නිසා, සහෝදරයෝ නිසා, එහෙම නැත්නම් පාරෙ තොටේ හම්බවුණු කෙනෙක් නිසා, ගෙදර හදන සුරතල් සතෙක් නිසා ඔයාගේ මූණට හිනාවක් ආවනම් ඒක ලියලා තියන්න. සමහරවිට ඊළඟ දවසක දැනුවත්ව හෝ නොදැනුවත්ව එයාලගෙන් ඔයාගේ හිත රිදෙන විදියේ දෙයක් වුණත් අර පරණ සතුට මතක් කරලා ඒක අමතක කරලා දාන්න පුළුවන්.

ඉතින් ඒ නිසා මට කිසි සතුටක් නෑ, කොයි දේ කළත් සැනසීමක් නෑ කියලා කාටහරි හිතෙනවනම් සතුටු පොතක් ලියන්න පටන්ගන්න. ඔයාගේ ජීවිතේට සතුට දෝරේ ගලන තරමට සතුටු වෙන්න කරණා ලැබෙයි කියලා මට විශ්වාසයි.

 

හෂිණි මනමේන්ද්‍ර