ප්‍රීතිමත් ජීවිතයකට

ගෙදර නඩු විසඳන්න ආදරේ විතරක් පාවිච්චි කරන්න…

නතාරි දූ ඉස්කෝලේ ඇරිලා ගෙදර එද්දී ගොඩක් වෙලාවට ගේන්න ඕන දේවල් අමතක කරලා එන පුරුද්දක් තිබුණා. වතුර බෝතලේ, පැන්සල් පෙට්ටිය, ගුරුදෙගුරු සම්බන්ධතා පොත, ජපන් භාෂාව කියවීමේ පොත, ඇඟේ උෂ්ණත්වය මැනලා ලියලා යවන කාඩ් එක, ගෙදර වැඩ ලියාගෙන එන පොත වගේ මේ දේවල්වලින් එකක් දෙකක් ඉස්කෝලේ දාලා ඇවිත් ගේන්න අමතක වුණා කියනවා. ඇත්තටම අමතක වෙනවත් ඇති, ගෙදර වැඩ නම් හොරාට අමතක කරලා එනවත් ඇති. අපිත් එහෙම දේවල් ඉස්කෝලේ කාලෙදි කරානේ.

ඉතින් මං මේ ගැන එයාට තුන් හතර පාරකට වඩා අවවාද කළා. සමහරදාට දුව ඇත්තම කියනවා අරන් ආවේ නෑ කියලා. එහෙම කළාම, ඔයා මමාට ඇත්ත කිව්වට ගොඩාක් ස්තූතියි කියලා මං එයාට හාද්දක් දීලා වැළඳගන්නවා. දූට සැර කරලාවත් බැණලාවත් මේ දේවල් තේරුම් කරන්න මට ඕන වුණේ නෑ. එහෙම කළොත් එයා තව තව දේවල් මට හොරෙන් කරන්න හදයි කියලා මට පුංචි බයක් තිබුණා.

ඉතින් පහුගිය සුමානෙකත් ඔය වගේ ගෙදර වැඩ ලියාගෙන එන පොත ඉස්කෝලේ දාලා ඇවිත් තිබුණා. මෙච්චර කිව්වට පස්සෙත් නතාරි තවමත් ඒ දේම කරන නිසා මට පුංචි උපායක් කල්පනා වුණා. ඒකෙන් එයාගේ හිත රිදෙන්නෙත් නෑ, දවස ගානේ ගෙදර ගේන්න ඕන දේවල් අමතක කරලා එන්නත් බෑ, අමතක වුණා කියලා කියන්නත් බෑ.

මං කොළයක් අරන් පොඩි වගුවක් ගැහුවා. ඒකෙ නතාරි දූ දවස ගානේ ගෙදර ගේන්න ඕන දේවල් ටික මතක් කර කර වගුව බෙදුවා. ඊට ඉස්සරහින් පොඩි තීරු කොටු පහක් ගහලා ඒක සතියේ දවස් පහට වෙන් කළා. නතාරි දූටම එන්න කියලා, ඒ වෙන්කරපු තීරුවල එයා ලව්වාම පැන්සල් පෙට්ටිය, වතුර බොතලේ, ගුරුදෙගුරු සම්බන්ධතා පොත වගේ දවස ගානේ ගෙදර ගේන අනික් දේවලුත් ලියෙව්වා. දවස් පහට වෙන් කරපු තීරු උඩින්, සඳුදා ඉඳන් සිකුරාදා වෙනකන් නම් කරලා, My Check List කියලා ඒ වගුව උඩින් ලිව්වා.

පස්සේ මං කීවා, නතාරී ඔයාට ඉස්කෝලේ ඇරිලා එද්දි ගේන්න ඕන ඒවා අමතක වෙනවනේ. ඒ නිසයි මමා මෙහෙම Check List එකක් හැදුවේ. ඔයා ඉස්කෝලෙන් එන්න ලෑස්ති වෙද්දි බලන්න මේකේ ලියපුවා ඔයා ඔක්කොම දාගෙනද කියලා. ඒ හැම එකක් ඉස්සරහින් තියෙන කොටුවේ පොඩි මාර්ක් එකක් දාන්න. එතකොට ඔයාට කිසිම දෙයක් අමතක නොකර ගේන්න පුළුවන් කියලා. ඉස්කෝලේ බෑග් එකේ කාලසටහන දාන තැන මං ඒ චෙක් ලිස්ට් එක දැම්මා. බෑග් එක අරිද්දි වහද්දි ඒක එතකොට පේනවා. නතාරිත් ඒකට ආස වුණා.

මේ ටිකේම Check List එකේ පොඩි හරියක් දාලා දවස ගානේ ගේන්න ඕන දේවල් ටික එයා අමතක නොකර ගෙනත් තිබ්බා. ගහන්න බණින්න ඕන වුණේ නෑ. මම කළේ පොඩි උපායක් පාවිච්චි කරලා එයාට අමතක වෙලා හරි, හිතාමතාම හරි දාලා එන දේවල් ටික ගේන විදියට එයාව පොළඹවපු එක.

මාත් පුංචි කාලේ අමතක වෙලා ඉස්කෝලේ දේවල් දාලා ආවම අපේ අම්මා මට බණිනවා. ගහලත් තියෙනවා. පුංචි පුංචි ටොකුත් අනිනවා ඔලුවට. මට හරියට දුක හිතිලා තියෙනවා. මං උවමනාවෙන් දාලා ආවේ නෑ කීවට විශ්වාස කළේ නෑ. ඉතින් මට මගේ දරුවට එහෙම දුකක් දෙන්න හිතුණේ නෑ. එයාලා තාම පුංචියි. සැර කළාම ඒ හිත් ගොඩක් රිදෙනවා. මං කරපු දේ නිසා ආසාවෙන් කරන්න අලුත් වැඩක් ලැබුණා වගේ නතාරි සතුටින් හිටියේ. පහුවුණු ඉරිදාත් මං ඒ වගේ වගුවක් ගහලා සඳුදායින් පටන් ගන්න අලුත් සුමනේට එයා ලවාම Check List එකක් හැදුවා. ඉතින් මට විශ්වාසයි නතාරි තව මාසයක් යද්දි Check List එකක් නැතුවම ඉස්කෝලෙන් එදිනෙදා ගේන්න ඕන දේවල් මතක් කරලාම අරන් එයි කියලා.

තරහව, කේන්තියට වඩා ආදරේට පුළුවන් ගොඩක් දේවල් ලස්සනට නිවැරදි කරන්න. විශේෂයෙන්ම අපේ දරුවන්ව.

මං කරපු ඒ කරපු පුංචි වැඩේ ගැන දහම්ට කීවාම ඒක ලොකු දෙයක් වගේ එයා ගොඩක් මාව අගේ කළා. ඒකත් මගේ හිතට සතුටක්.

ගහන්න බණින්න ඉක්මන් වෙන්නේ නැතුව දරුවන්ට ආදරෙන් දේවල් තේරුම් කරද්දී එයාලගේ හිත් තැලෙන්නේ නෑ. ඒ වගේම එයාලට අපිව එපා වෙන්නෙත් නෑ. අපිට දුකක් දැනෙන්නෙත් නෑ. හරි දේ එහෙමත් නැත්නම් විය යුතු දේ මොකක්ද කියලා දරුවට ආදරෙන් දෙන ගමන් නිදහසේ එයාලට ගොඩනැගෙන්න පුළුවන් අවකාශය හදලා දෙන්න පුළුවන්.

ඒ නිසා දරුවන්ගේ අතින් හිතාමතාම හෝ නොදැනුවත්කම නිසා වැරැද්දක් සිද්ධ වෙනවනම් ටිකක් කල්පනා කරලා බලන්න ඒක නිවැරදි කරන්න පුළුවන් හොඳම විදිය මොකක්ද කියලා. දාහක් වැඩ අස්සේ දරුවොත් හිතුවක්කාර වෙද්දී ටිකක් තරහා යනවා තමයි. හැබැයි දරුවන්ට ගහලා බැනලා ඒ තරහා පිට කරන්න ගියොත් එයාලගේ හිතේ අපි ගැන ඉතුරු වෙන මතකය එච්චර හොඳ එකක් නොවෙන්න පුළුවන්. අනික වැරැද්ද නිවැරදි වෙනවා වෙනුවට දරුවා දෙමව්පියන්ට බොරු කියන සහ හිතුවක්කාර දරුවෙක් වෙන්නත් පුළුවන්. ඒ නිසා වැරදි නිවැරදි කරන වැඩේට පුළුවන් හැම වෙලාවකම ආදරේ විතරක් පාවිච්චි කරන්න.

 

හෂිණි මනමේන්ද්‍ර