ප්‍රීතිමත් ජීවිතයකට

මහත්තුරු නිවුණම අවුළුවන්න වගේම ඇවිළුනාම නිවන්නත් නෝනලාට පුළුවන් වෙන්න ඕනේ

මීට කලින් ලියපු එක ලිපියක මං ලිව්වා මගේ හැම දවසක්ම හරිම ලස්සනයි කියලා. ඒක කියවපු කාටහරි කෙනෙකුට එතකොට හිතෙන්න පුළුවන් හිත් රිදීම්, කඩාවැටීම්, ප්‍රතික්ෂේපවීම් මගේ ජීවිතේ ඇත්තෙම නැද්ද කියලා. ඇත්තටම ඒවා මගේ ජීවිතෙත් තියෙනවා. මොකද අනිත් අය එක්ක ගණුදෙනු කරනකොට හිත් රිදීම්, ප්‍රතික්ෂේපවීම් වෙන එක අපිට වළක්වන්න බෑ. ඒවා වෙනස් කරන්නත් බෑ. ඒත් මං ජීවිතේ දිහා බලන විදිය වෙනස් කරගත්තා. එහෙම වෙනස් විදියට බලද්දී මට පුළුවන් වුණා දවසේ වෙන හිත් රිත්රිදීම්, කඩාවැටීම්, ප්‍රතික්ෂේපවීම් දිහා පුළුල් මනසකින් බලන්න. වෙන විදියට ඒවට මූණ දීලා, දවස සුන්දර කරගන්න. මගේ හිත රිදිලා තියෙද්දිත් ඒ විදියට මගේ දවසක් සුන්දර කරගත්ත සිද්ධියක් ගැනයි මේ කියන්න යන්නේ.

එදා දහම් ගෙදර ඉඳන් වැඩ කරපු දවසක්. එහෙම දවසකට දහම් එක්ක පොඩ්ඩක් එළියට ගිහින් පුංචි Coffee Shop එකක පාර පේන වීදුරු ජනේලයක් ළඟ ඉඳගෙන උණු උණු කෝපි එකක් බොන්න මං ආසයි.

එදත් මට එහෙම යන්න හිතුනා.

‘‘එළියට ගිහින් එමුද?’’ කියලා දහම්ගෙන් ඇහුවේ ඒ ආසාව හිත යට තියාගෙන ගොඩක් ආදරෙන්.

‘‘ගෙදර ඉන්නේ වැඩ කරන්න. ඇවිදින්න යන්න නෙවෙයි. මට වැඩ තියෙනවා. ඔයාට ඕන නම් ගිහින් එන්න’’ කියලා මං ආදරෙන් අහපු දේට දහම් උත්තර දුන්නේ මං හිතුවෙවත් නැති විදියට තරහෙන්.

ඇත්තටම ඉස්සර ඔහොම දෙයක් වුණොත් මගේ නහයෙන් ලාවට රිදිල්ලක් ඇවිත් ඒ රිදිල්ල ඇස්වලට ගිහින්, කදුළු වෙලා ඇස්වලින් වැටිලා, මහා ඇඬිල්ලකින් ඉවර වෙනවා. ඒ ගමන්ම එකට එක කියාගෙනත් යනවා. තරහා අරන් කතා නොකර ඉන්නවා. ඒ තරහා දරුවෝ පිටින් යවනවා. නොසෑහෙන්න හිතලා දවස විතරක් නෙවෙයි මුළු සතියම අවුල් කරගන්නවා. හැබැයි ඒ ඉස්සර.

එදා මම හිතුවා ඇත්තනේ Work from home කියන්නේ හැමදාම ‘Outing with Hashi’ නෙවෙයිනේ කියලා. එහෙම හිතන ගමන් මං නව නව හිටපු රෙදි ටිකත් නවලා ඉවර කරලා, අයාන් පුතාවත් ඇඟ සෝදලා ලෑස්ති කළා.

‘‘අයියේ ඔයා අයාන්ව ගිහින් school bus එකට දානවද? මං එක්කන් යන්නද?’’ කියලා ඊගාවට ඇහුවේ දහම් ඉන්නකොට කොහොමත් මං අයාන් එක්ක යන්න එන්නේ නෑ කියලා දන්න නිසා.

‘‘මං එක්ක යන්නම්, අයාන්ව දාලා ඇවිත් අපි එළියට ගිහින් එමු’’ කියලා එයාම කිව්වා..

ඉතින් අරක හිතේ තියාගෙන ඉඳලා මං කියන්න ගියේ නෑ ‘‘නෑ ඕන නෑ මං තනියෙන් යන්නම්. ඔයාගේ වැඩක් කරගන්න’’ කියලා. ඒ වෙනුවට මාත් ‘‘හා, මං ඇදුමක් දාලා තියන්නම්’’ කියලා කිව්වේ ලෝභ නැතුව හිනාවෙන ගමන්.

ඊටපස්සෙ අපි දෙන්න පයින්ම ගිහින්, මට ඕන දේවල් ටිකකුත් අරන්, කෝපි එකකුත් බීලා හිමින් ඇවිදන් ආවා. ඒක ජපානේ සරත් ඍතුවේ දවසක් නිසා අව්වයි රස්නෙයි ටිකක් වැඩියි. ඒත් මට ඒක දැනුණේ නැති තරමට සතුටුයි. ගෙදර ඇවිත් එයා ආසම විදියට කෑමවේලකුත් හැදුවා එයාගෙත් උදව් ඇතුවම. රෑ නිදියද්දී උදේ කේන්ති ගියපු එකට සමාව ඉල්ලුවේ නළලට උණුසුම් හාද්දකුත් දීලා. ඉතින් එදා මගේ දවස හොඳම හොඳයි.

එක්කෙනෙක් ඇවිලෙද්දී අනිත් කෙනා අනිවාර්යයෙන් නිවෙන්න ඕනේ. නිවෙන්න ඕනේ විතරක් නෙවෙයි ඇවිලුන කෙනාට නිවෙන්න කාලයක් දෙන්නත් ඕනේ.

අන්න ඒ පුංචිම පුංචි දේ තමයි මාත් කළේ. මාත් නොදන්න හේතුවකට ඇවිලුන දහම්ට නිවෙන්න කාලේ දුන්නා. හැබැයි අනිත් අතට මාත් ඇවිලුනා නම්, එදා දවස හොඳම දවස කරගන්න තිබ්බ ලස්සනම හේතුවක් අපිට මගහැරෙන්න තිබ්බා.

කේන්තියට වඩා නිවීම ජීවිතේ සුන්දර මොහොතවල් වැඩි කරනවා. සුන්දර මතක එකතු කරනවා. ඉතින් මට එදා එහෙම ලස්සන දවසක්.

ඔයත් නිවෙන්න, ඇවිලුන අයත් ඔයාගේ නිවිල්ලෙන් නිවන්න.

ජීවිතේ හැම දවසකම අනපේක්ෂිත හිත් රිදවීම්, කඩාගෙන වැටීම්, ප්‍රතික්ෂේපවීම් වෙන්න පුළුවන්. ඒ නිසා හිතට එන නොසන්සුන්කම, ආවේගය, දුක, උච්චම තැනට අරන් යන්නේ නැතුව නිවීසැනසිල්ලේ ඒකට නිවෙන්න දෙන්න.

ස්වාමිපුරුෂයාගෙන්, ප්‍රේමවන්තයාගෙන්, වැඩකරන තැන කෙනෙක්ගෙන්, ළඟම යාළුවෙක්ගෙන්, නෑදෑයෙක්ගෙන් වුණත් හිත් රිදවීම්, ප්‍රතික්ෂේපවීම් වෙන්න පුළුවන්. ඒ වෙලාවට පොඩි වෙලාවක් අරන් ඔයාව නිවාගන්න. ඊටපස්සෙ සැනසිල්ලේ හිතන්න. ප්‍රශ්නවලට හොඳම උත්තර ලැබෙන්නෙ නිවිලා ඉන්නකොට මිසක් ඇවිලිලා ඉන්නකොට නෙවෙයි. සමහරවිට කාලයක් යාවි. ඒත් හිත් රිදවීමක්, ප්‍රතික්ෂේපවීමක් වුණ මොහොතේ, ඔයා ආවේගශීලී නොවී ඔයාව නිවාගෙන හිටපු එකම ඔයාට සැනසිල්ලක් වේවි.

හැම දවසක්ම හොඳම දවසක් කරගන්න පුළුවන් වෙන්නේ අපි ඒ දවසට මූණදෙන විදිය එක්ක. ඒ දවස එක්ක ගණුදෙනු කරන විදිය එක්ක. එතකොට දවස උපරිමෙන් විඳින්න වගේම ආදරෙන් පුරවගන්නත් පුළුවන්.

කවුරුත් ඇවිත් අපේ දවස සතුටෙන් පුරවනකන් අපිට බලන් ඉන්න බෑ. එහෙම බලන් ඉන්නත් එපා. අපිම තමයි දවස සතුටෙන් පුරවගෙන ඒක හොඳම දවස බවට පත් කරගන්න ඕනේ. සතුට තියන්නේ අපි ගාව කියලා මං හැමවෙලේම කියන්නේ ඒකයි.

මුලින්ම පුංචි දේවල්වලින් සතුටු වෙන්න උත්සාහ කරන්න. ඒක හරිම ලේසියි. තියෙන දේයි හොදම දේ කියලා හිතට ඒත්තු ගන්නන්න. ලොකු වෙනසක් ජීවිතේ වෙනවා ඔයාලටම දැනේවි. අත්වැරදීම් සහ මගහැරුණ දේවල් ගැන පසුතැවෙන එක වැඩක් නැති දෙයක් විදියට අවබෝධ කරගන්න. අද වැඩේ හෙටට කල් නොදා අදම කරලා, අදට වඩා හෙට හොඳ කරගන්න විශ්වාසය ඇති කරගන්න. හිත සැනසෙන වචනයක් එළියට දැම්මොත් මිසක් වචනෙකින්වත් කාගෙවත් හිතක් නොරිද්දවන්න පරිස්සම් වෙන්න. මේවා මහ ලොකු දේවල් නෙවෙයි හරිම සරල දේවල්. උත්සාහ කරලා බැලුවොත් ඕනම කෙනෙක්ට ​තේරේවි මං මේ කියන්නේ කරන්න අමාරු දේවල් නෙවෙයි කියලා.

මේ කිව්වේ මං ජීවිතේ තේරුම්ගත්ත පුංචි දේවල් ටිකක්. මගේ ජීවිතේ ගෙවෙන හැම දවසක්ම හොඳ වෙන්නෙ ඒකයි.

අපි හැමෝම ගාව, අපි වෙනුවෙන් අපිට හොයාගන්න දේවල් ගොඩක් තියෙනවා. තේරුම්ගන්න ගොඩක් දේවල් තියෙනවා. ඒවා හොයාගත්තොත් ඒ හැමදේකින්ම ලැබෙන්නේ හොඳම දේවල්. ඒ නිසා තවත් පහුනොවී ඒවා හොයාගන්න උත්සාහ කරන්න.

විශ්වාස කරන්න, එතකොට පුළුවන් ජීවිතේ හැම දවසක්ම හොඳම දවසක් කරගෙන සතුටු වෙන්න.

හෂීණි මනමේන්ද්‍ර