Latest News

අව් රශ්මියට නිරාවරණය වුනොත් කුඩා දරුවන්ට තාප ආඝාතය වැළඳිය හැකියි

රට තුල පවතින අධික උෂ්ණත්වය හේතුවෙන් කුඩා දරුවන්ට හා රෝගී තත්ත්වයෙන් පෙළෙන වැඩිහිටියන්ට දැඩි බලපෑම් එල්ල විය හැකි බව ආසියා – ශාන්තිකර ප්‍රජා සෞඛ්‍ය සංවිධානයේ මහලේකම්, මහාචාර්ය ඉන්දික කරුණාතිලක මහතා පවසනවා.

ඒ මහතා ප්‍රකාශයක් සිදුකරමින් සඳහන් කලේ, අව් රශ්මියේ වැඩි කාලයක් ගතකරන ක්‍රීඩකයින්ට ද මෙය බලපෑම් එල්ල කළ හැකි බවයි.

මෙලෙස අධික උෂ්ණත්වය හේතුවෙන් ඇති වන විජලන තත්ත්වයෙන් ජීවිත පවා අහිමිවිය හැකි බව ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළා.

මහාචාර්ය ඉන්දික කරුණාතිලක මහතා සඳහන් කලේ, තාප ආඝාතය නැමති මෙම රෝගී තත්ත්වයෙන් මිදීම සඳහා කුඩා දරුවන් හා රෝගී තත්ත්වයෙන් පෙළෙන වැඩිහිටියන් හැකිතාක් අව් රශ්මියට නිරාවරණය වීමෙන් වැළකිය යුතු බවයි.

විශේෂයෙන්ම මේ දිනවල ලා වර්ණයෙන් යුතු ලිහිල් ඇදුම් භාවිත කරන්නේ නම් වඩාත් යෝග්‍ය බව ද ඒ මහතා කියා සිටියා.

එමෙන්ම දැඩි අව් රශ්මියක සිටින්නේ නම් හම ආරක්ෂා කරගත හැකි ක්‍රීම් වර්ගයක් භාවිත කළ හැකි බවද පැවසු කරුණාතිලක මහතා, ජලය වැඩි වශයෙන් භාවිත කිරීම සුදුසු බව ද පැවසුවා.

මේ අතර ගොවීන් හා ධීවර ජනතාව ද මේ පිළිබඳව නිරන්තරයෙන් අවධානය යොමුකළ යුතු බව ඔහු සඳහන් කළා.

“මෙය ආකාර ගණනාවකින් බලපානවා අධික තාපය නිසා ඇති වන විජලනය. ඒ වගේම අධික තාපය සහ අධික ආද්‍රතාවය නිසා ඇති වෙන සෞඛ්‍ය ගැටලු. මෙහිදී ඇත්තටම බරපතළ ගැටලුකාරී තත්ත්වයක් තියෙනවා ඒකට අපි කියනවා හීට් ස්ට්‍රෝක් නැත්නම් තාප අඝාතය කියලා. තාපයට වැඩි වෙලාවක් නිරාවරණය වුණොත් ඒ වගේ තත්ත්ව ඇති වෙන්න පුළුවන්. මුලින්ම කෙනෙකුට ඇති වෙන්නේ යම් අපහසුතාවයක්. එහිදී දකින්න ලැබෙනවා යම් ආකාරයක ක්ලාන්ත ගතියක් හා පිපාසයක් මුල් අවස්ථාවේ දී. හැබැයි ඉතා වැඩි වේලාවක් මේ තාපයට නිරාවරණය වුණොත් සමහර විට තාප ආඝාතය කියන බරපතළ තත්ත්වය ඇති වෙන්න පුළුවන්.

මෙහිදී ඇති වෙන රෝග ලක්ෂණ තමා මුලිකව විජලනය, පිපාසය, ක්ලාන්තය, වමනය. ඒ වගේ රෝග ලක්ෂණ තියෙනවා නම් වහාම එම තත්ත්වයෙන් ඉවත්වෙලා එම තත්ත්වය සමනය කරගැනීම වැදගත්.”

මේ අතර අද (18) දිනය තුළ දිස්ත්‍රික්ක කිහිපයක මිනිස් සිරුරට දැනෙන උණුසුම අවදානය යොමුකළ යුතු මට්ටමක පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කර සිටියේ, කිලිනොච්චිය, වව්නියාව, මුලතිව්, මන්නාරම, අනුරාධපුරය, කුරුණෑගල, හම්බන්තොට සහ මොනරාගල දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට එම තත්ත්වය බලපෑම් එල්ල කරන බවයි.

මෙම උණුසුම් තත්ත්වය නිරිතදිග මෝසම ආරම්භ වන තුරු එනම් මැයි මස අග සිට ජූනි මස මුල පමණ වනතුරු පැවතිය හැකි එම දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.