විශේෂාංග

අයියා අනුකරණය කරන්න ගිහින් මම අයියාට වඩා උඩ ගියා

පුංචි සන්ධියේ පටන් හිරුණිගේ ලෝකයේ ලොකුම වීරයා වුණේ ඇගේ එකම අයියාය. ඒ නිසා මේ පුංචි කෙල්ල එදා තෙක් කරන තරමක් කළේ අයියාගේ වැඩවලට ඇඟිලි ගැසීමයි. ඔහුගේ කමිසයක් ඇඳගෙන ඔහුව අනුකරණය කිරීමත්, ඔහු කරන සෑම සියලුදේම කිරීමත් ඇගේ එකම විනෝදාංශය විය. අයියාගේ කරාතේ පුහුණුවීම් දෙස බලා සිටීම පුරුද්දක් කරගෙන සිටි හිරුණිට ඔය අතරතුර කරාතේ ඉගෙනීමට අදහසක් පහල විය. එදා කරා‍තේ ක්‍රීඩාවේ අගක් මුලක් නොදැන අයියා අනුකරණය කළද අද වනවිට ඇය ලෝකයක් දිනා රටට කීර්තියක් ගෙන ආ කරාතේ ශූරියකි.

මේ ඒ ගමන ගැන හිරුණි සමල්‍යා ගමඇතිගේ අපට කී කතාවය.

‘‘මම මුලින්ම කරාතේ පුහුණුවීම්වලට පංතියකට බැඳුණේ තුන වසරේ ඉගෙනගනිද්දි. එතකොට මට හරියටම අවුරුදු අටයි. ඇත්තම කිව්වොත් අම්මටයි අප්පච්චිටයි වද කරලා එදා ඒ පන්තියට ගියේ කරාතේ ඉගෙනගන්න තිබුණ ආසාවට නෙවෙයි. අයියා කරන වැඩ කරන්න තිබුණ ආසාවට.’’

කතාව අතරතුරත් ඇය සිනාසුණේ පුංචි සන්ධියේ කළ දඩබ්බර වැඩ මතකයට ආ නිසා විය යුතුය.

‘‘ඔහොම ටික කාලයක් යනකොට ඉස්කෝලෙදි පොඩි පොඩි කරාතේ තරඟවලට සහභාගී වෙලා ජයග්‍රහණ ලැබෙන්න පටන්ගත්තා. ඊටපස්සේ ඒ තරඟවලින් පදක්කම් සහතික වගේ දේවල් ලබෙන්න පටන්ගත්තම මටත් හිත ඇතුළෙන් පුංචි ආඩම්බරයක් ඇති වුණා. ඉතින් ටික කාලයක් ක්‍රීඩා කරද්දි පළාත් තරඟ, සමස්ත ලංකා තරඟ එහෙම ජයග්‍රහණය කළාම ඉස්කෝලෙදි මට පිළිගැනීමක් වගේම ගුරුවරුන්ගේ ආදරයත් ලැබුණා. එතකොට තමයි මම හිතුවේ ඉස්කෝලෙට ජයග්‍රහණ ගේනවා වගේ කවදහරි දවසක මගේ රටටත් ජයග්‍රහණයක් ගෙනැල්ලා දෙනවාමයි කියලා. ඒ අධිෂ්ඨානය තමයි අද මට මේ විදියට මුළු ​ලෝකයක් ඉස්සරහ සටන් කරලා දිනන්න ශක්තියක් වුණේ.’’

මහරගම ඇරැව්වල පදිංචි හිරුණි තවමත් විසි හැවිරිදිය. මේ වනවිට වරලත් ගණකාධිකරණය සම්බන්ධව උසස් අධ්‍යාපනය හදාරමින් සිටින ඇය කොළඹ විශාඛා විද්‍යාලයේ ආදි සිසුවියකි.

‘‘මම කරාතේ ඉගෙනගන්න ආසයි කිව්වම අම්මයි අප්පච්චියි මාව මුලින්ම එක්කගෙන ගියේ නිමල් සෙන්සෙගේ (ගුරුතුමා) මහරගම තිබුණ කරාතේ පංතියට. ඔහු තමයි අද වෙනකොට ජාතික කරාතේ සම්මේලනයේ උප සභාපති විදියට කටයුතු කරන්නේ. ඒ විදියට කරාතේවල මූලික දැනුම ප්‍රගුණ කරගෙන ටික ටික ඉස්සරහට යද්දි තමයි 2015දී කල්‍යාණ සෙන්සෙ (ගුරුතුමා) ළඟ පුහුණුවීම් කරන්න අවස්ථාව ලැබුණේ. ඔහු තමයි අද වෙනකොටත් මගේ කරාතේ ජාතික පුහුණුකරු වශයෙන් කටයුතු කරන්නේ.’’

ඇයට මෙරට ජාතික කරාතේ කණ්ඩායම නියෝජනය කිරීමට අවස්ථාව හිමිවන්නේ 2015 වසරේ සිටය. පසුව 2016 වසරේදී ඉන්දියාවේ නවදිල්ලි නුවර පැවති තුන්වන දකුණු ආසියානු කරාතේ ශූරතාවලියට සහභාගී වූ ඇය එහිදී ලෝකඩ පදක්කම් දිනාගත්තාය. එතැනින් නොනැවතුණු ඇය 2017 වසරේදී මෙරට පැවති හතරවන දකුණු ආසියානු කරාතේ ශූරතාවලියට සහභාගී වීමට අවස්ථාව උදාකරගන්නීය. එහිදී රන් පදක්කමක් දිනාගත් ඇය 2019 වසරේදී මැලේසියාව බලා යන්නේ දහඅටවන ආසියානු කරාතේ ශූරතාවලිය නියෝජනය කිරීමටයි. මැලේසියාවේ ‘සභා’ නගරයේදී පැවති මෙම තරඟාවලියට රටවල් 25 කට ආසන්න ප්‍රමාණයකින් ක්‍රීඩක කීඩිකාවන් විශාල පිරිසක් සහභාගී විය. එහිදී ලෝකඩ පදක්කමක් දිනාගත් හිරුණිගේ නම මෙරට කරාතේ ඉතිහාසයට එකතුවන්නේ වසර විස්සකට පසු කරාතේ ‘කුමති’ අංශයෙන් ලංකාවට ජයග්‍රහණයක් ගෙනා පළමු ක්‍රීඩිකාව ලෙසය. ඉන් අනතුරුව පසුගිය 2021 වසරේදීද මෙරට පැවති කරාතේ ශූරතාවලියේදී රන් පදක්කම් දිනාගැනීමට සමත් වූ ඇය මෙම වසරේ ඩුබායිහිදී පැවැත්වීමට නියමිත කරාතේ ආසියානු ශූරතාවලිය නියෝජනය කිරීමටද සුදුසුකම් ලබා සිටින්නීය.

‘‘ඇත්තම කිව්වොත් අද වෙනකල් මේ හැම තරඟාවලියකටම අවශ්‍ය ඇඳුම් පැළඳුම් ගන්න, ක්‍රීඩා උපකරණ ගන්න, විදෙස්ගතවීමට අවශ්‍ය වැඩකටයුතු කරගන්න පවා ගෙදරින් තමයි මට වියපැහැදම් කළේ. ආසියානු ජයග්‍රහණය ලැබුවට පස්සේ නම් ඉරාණයෙන් පුහුණුකරුවෙක් ගෙන්නලා, මේ දක්වා පැවති ක්‍රමවේදය අලුත් කරගෙන යන්න රජයෙන් කටයුතු කරන බවක් පේන්න තියෙනවා.’’

අවශ්‍ය සියලුම වියපැහැදම් නැති වුවත් යම් ප්‍රමාණයකට හෝ සහයෝගයක් ලබාදෙන්නට ක්‍රීඩා අමාත්‍යංශය මැදිහත් වන්නේ නම් එයින් කරාතේ ක්‍රීඩාවේ අනාගතය යහපත් කරගත හැකි බවයි ඇගේ අදහස.

‘‘ඇත්තම කිව්වොත් කරාතේ ක්‍රීඩාවට කොයිතරම් දක්ෂතා තියෙන ළමයි හිටියත් ඒ අයගේ දෙමව්පියන්ට ඒ වෙනුවෙන් මුදල් වියදම් කරන්න හැකියාවක් නැත්නම් මේ ක්‍රීඩාවෙන් ඉස්සරහට යන්න අමාරුයි කියන එක අපිට කණගාටුවෙන් වුණත් පිළිගන්න සිද්ධවෙනවා. මොකද මගේ අම්මයි, අප්පච්චියි වුණත් මට අවශ්‍ය වියදම්වලට සල්ලි දෙන්න ගොඩක් මහන්සි වුණා.’’

ඇය කියන්නේ අධ්‍යාපනය ලබන දරු දැරියන්ගේ මතක ශක්තිය වැඩිදියුණු කරගැනීමටත්, කාලය කළමනාකරණය කරගැනීමටත් කරාතේ ක්‍රීඩාව බෙහෙවින් ඉවහල් වන බවයි.කරාතේ ක්‍රීඩාවෙන් ඉදිරියට යන අතරතුර ඇගේ ඊළඟ බලාපොරොත්තුව තමන්ගේම කියා ව්‍යාපාරයක් ඇරඹීමය. ඇගේ එකී සිහින සැබෑ වේවායි අපිද සුභාසිංසන එක් කළෙමු.

ලිහිණි මධුෂිකා