ප්‍රීතිමත් ජීවිතයකට

රටේම ඉන්න උන් එක්ක තියෙන තරහා ගෙදර මිනිහගෙ පිටින් යැව්වම හරිද?

‘‘ඔය මඟුල කරගත්තොත් අම්මපල්ලා මම ගිනි තියාගෙන මැරෙනවා. කෑලි කපලා ගඟක මූදක දැම්මත් උඹව ඌට නම් දෙන්නේ නෑ.’’

වැඩිමල් දියණිය සඳමිණීගේ පෙම්පලහිලව්ව ගැන කනවැකුණුදා සුමනා වැලහින්නියක මෙන් හඬමින් එලෙස කෑගෑවාය.

සඳමිණී මේ පටලැවිල්ල ඇති කරගෙන තිබුණේ ඒ අවටම හාදයෙකු වූ කසුන් සමඟය. සළෙලු බේබද්දෙකු ලෙස පළාතේ නම් දැරූ අයෙකි කසුන්.

දන්නා දහම්ගැට සියල්ල දැමුවත් කසුන් කෙරෙහි මව්පිය සිත් පහදවා ගැනීමට සඳමිණී ගත් උත්සාහය ව්‍යර්ථ විය.

මේ ප්‍රශ්නෙන් අවුරුද්දක් ගතවීමටත් පෙර හොඳ තැනකින් සඳමිණීට මංගල්‍යයක් කරදීමට සුමනාත් ඇයගේ සැමියාත් ඉක්මන් වූවාය.

‘‘මම මේ කසාදේ කරගත්තේ ඒ ගෙදර ඉඳන් උඹලගේ මූණු බලන්න බැරි නිසයි. මම කසුන්ව බැන්දොත් මැරෙනවා කිව්වනේ. දැන් ඉතින් උඹලා තුන්දෙනාටම මැරි මැරි ඉපදෙන්න තමයි වෙන්නේ.’’

මව්පියන් හැරයන මොහොතේදී සඳමිණී මවගේ කනට කර කීවේ කෝපයෙන් දිලිසෙන දෑසින්ය.

විවාහ වී මාස කිහිපයක් ගත වුවත් සඳමිණී, ඇගේ සැමියා චරිත සමඟ ලිංගිකව එක්වූයේ නැත. චරිතගේ පසුම්බියෙන් මුදල් සොරකම් කිරීමටත්, ඔහු හරිහම්බකරන මුදල් නිස්කාරණේ වියදම් කිරීමටත් සඳමිණී පසුබට නොවීය.

විවාහ ජීවිතයේදී තමා අපේක්ෂා කළ කායික ඇසුර සිය බිරිඳගෙන් නොලැබීම ගැන චරිත සිටියේ කණස්සල්ලෙනි. ඒ නිසා සතියකට දින කිහිපයක් මත්පැන් පානය කර නිවසට පැමිණීම ඔහුගේ පුරුද්දක් විය.

කෙසේ නමුත් මේ අතර සඳමිණීගේත් චරිතගේත් පවුලට තවත් අමුත්තෙකු එකතු වෙන ලක්ෂණ පහල විය.

‘‘මම කවදද ඕයි තමුසෙට ළමයෙක් හදලා දුන්නේ?’’ කාරණාව දැනගත් චරිත ප්‍රශ්න කළේ මැද සාලයේ තිබුණු සෙරමික් බඳුන් දෙක තුනක්ම පොඩි කරන ගමන්ය.

‘‘හැමදාම කණමදයා වගේ බීගෙන ඇවිල්ලා තමුසේ කරන ඒවා තමුසෙවත් දන්නේ නැහැ.’’

සඳමිණී පිළිතුරු දුන්නේ චරිතගේ හඬටත් වඩා උස් හඬකින්ය. සඳමිණීගේ වචනය විශ්වාස කළ ඔහු සඳමිණීටත් දරුවාටත් පෙරටත් වඩා සැලකිය යුතු බව තදින් හිතට ගත්තාය.

‘‘පැටියාගේ මූණ දැක්කම කෙල්ලගේ හිතේ තියෙන ආරෝව ඇරිලා යයි.’’ සුමනාවතීත් සිතුවාය.

‘‘දන්නවද මේ ළමයගේ තාත්තා කවුද කියලා…? කසුන්…. හිතුවද මම ඒක ලේසියකට නවත්තලා දායි කියලා?’’

සුමනාවතීගේ ඒ සිතුවිල්ල පෑලදොරින් පැනගියේ සඳමිණීගේ ඒ කතාව ඇසුවාට පසුය.

ඒ වනවිට කසුන්ද විවාහ වී සිටියෙන් මේවා එසේ මෙසේ සෙල්ලම් නොවන බව සඳමිණීට තේරුම් කරදීමට සුමනාවතී නොගත් උත්සාහයක් නැත.

‘‘මේ ළමයා වෙන එකෙක්ගේ කියලා මම ළඟදිම චරිතට කියනවා. උඹලා ඒකව රවට්ටලා මාව උගේ කරේ ගැහුවා කියලත් මම කියනවා.’’

මේ විවාහයට වැඩි ආයුෂ නැති බව තේරුම්ගත් සුමනාවතීත් ඇගේ සැමියාත් සඳමිණීව හැකි ඉක්මණින් උපදේශනයක් වෙත යොමු කිරීමට තීරණය කළාය.

‘‘තමන්ගේ කැමැත්තට ඉඩ නුදුන්නු තරහට දෙමව්පියන්ගෙන් පලිගන්න හිතාගෙන තමයි සඳමිණී විවාහ වෙලා තියෙන්නේ. දෙමව්පියන්ගේ විතරක් නෙවෙයි කිසිම දෙයක් නොදන්න සැමියාගෙන් පවා ඇය නිස්කාරණේ පළි අරගෙන තියෙනවා.

සැමියාගෙන් වෙන්වුණොත් අනියම් සැමියා ඇයව භාරගනීවිද කියන කාරණාව ගැන මම මුලින්ම සඳමිණීගෙන් අහලා බැලුවා. ඒ ගැන නිශ්චිත අදහසක් ඇයට තිබුණෙ නැහැ. ඔහුත් විවාහකයෙක්. ඒ නිසා සඳමිණීගේ හැසිරීම ඒ පවුලටත් කරන වැරැද්දක් බව මම ඇයට තේරුම් කළා.

ආදරේට ලස්සන, මිල මුදල්, අඩුපාඩු අදාළ නැහැ තමයි. හැබැයි බඳින්න යන මනුස්සයා අමු බේබද්දෙක් නම්, ගෑනු සොඬක් නම් ගැහැනියක්ට ජීවිත කාලෙම විඳව විඳව ඉන්න තමයි වෙන්නේ. ඒ වගේ මගේ ගාවට ආව ප්‍රශ්න කිහිපයක්ම සාක්ෂිත් එක්කම මම සඳමිණීට පෙන්නලා දුන්නා. අම්මා, තාත්තා ඇයට කළේ වරදක් නෙවෙයි කියන එක පස්සේ ඇය තේරුම් ගත්තා.

තමන්ගේ ජීවිතේ යටගියාව හිතේ තියාගෙන විඳවන එක තරම් මානසික පීඩාවක් තවත් නැහැ. අපි ජීවත්වෙලා ඉන්නේ ටික කාලයයි. ඉතින් ගිය දේවල් ගැන හිත හිත ඉඳලා මැරිලා යනවට වඩා ගිය දේ ගියා කියලා හිතලා මැරෙනකල් සතුටින් ජීවත්වෙන එක හොඳයි කියලා මම සඳමිණීට තේරුම් කළා. මේ කිසිම දෙයක් නොදන්න චරිතට මේ විදියට සැලකුව එක මානුෂික නොවන බවත් මම ඇයට කිව්වා. බැඳපු අලුත නිසා අවුරුද්දක් දෙකක් යනකල් ඉවසුවත් මනුස්සයෙක් දිගින් දිගටම මෙවැනි දේ ඉවසන්නේ නැහැ. මේ පවුල කැඩුණොත් දරුවත් එක්ක ඇය තනිවෙන බව ඇයත් තේරුම් ගත්තා.

වෙනත් පුද්ගලයන් එක්ක ඇති කරගත්ත තරහා තමන්ගේ සැමියාගේ පිටින් යවන්න බිරින්දෑවරු හරි දක්ෂයි. ඒ වගේ දේවල් නිසා සැමියගේ හිතේ බිරිඳ ගැන තියෙන ආදරය, ගෞරවය අඩුවෙනවා කියන එක අමුතුවෙන් කියන්න ඕන නැහැනේ.

ඒ වගේම තව දෙයක් කියන්න ඕනේ මේ වගේ යටි අරමුණු තියාගෙන විවාහ වෙනවට වඩා විවාහ නොවී ඉන්න එක හොඳයි. විවාහ ජීවිතේ කියන්නේ දෙදෙනෙක් අතර ඇතිකරගන්නා සුන්දර බැඳීමක්. තම තමන්ගේ පටු අරමුණු ඉටු කරගන්න විවාහ වෙන්න ගිහින් දවසක තමුනුත් අමාරුවේ වැටෙන්න බැරි නැහැ කියන එක මතක තියාගන්න ඕනේ.

සඳමිණීගේ යටගියාව ගැන ඇයගේ හිතේ තිබුණු පීඩාව යටපත් කරන්න මට පුළුවන් වුණා. ඉන්පසු සඳමිණී සැමියාට වගේම අම්මා තාත්තාටත් හොඳින් සැලකුවා කියලා මට දැනගන්න ලැබුණා. හැබැයි සඳමිණීගේ දරුවා තමන්ගේ නොවන බව නම් අදටත් ඒ සැමියා දන්නේ නැහැ.’’

මානව හැකියා ප්‍රවර්ධන විශේෂඥ හා ජ්‍යෙෂ්ඨ මනෝවිද්‍යා උපදේශිකා රත්නා පුෂ්ප කුමාරි

 

සෙව්වන්දි හෙට්ටිආරච්චි