විශේෂාංග

වහ දීලා මරනකල්ම, මරණ දඬුවමට නියම වුණු හේතුවවත් ලීසා දැනගෙන හිටියේ නෑ

තරුණියන් කොහොමත් සුරතලුන්ට කැමතිය. 36 හැවිරිදි ලීසා මොන්ට්ගොමෙරි (Lisa Montgomery) හිටියේද ඒ ගොඩේය. ඇය වැඩියෙන්ම ඇලුම් කළේ සුරතල් බලු පැටවුන්ටය. ඒ නිසාම නිවසට සුරතල් බලු පැටවෙකු ගෙන එන්නට සිතා සිටියත් සිත්ගත් සුරතලෙකු හමුනොවීම නිසා වැඩේ කල් ගියේය.

මේ අතරතුර 2004 වසරේදී අන්තර්ජාලය හරහා ලීසාට අලුත් යෙහෙළියක් මුණගැසිනි. ඇගේ නම බොබී ජෝ ස්ටිනෙට් ය. ඒ වනවිටත් ගැබිනියකව සිටි 23 හැවිරිදි බොබීගේ නිවසේ බලු පැටවුන් කීපදෙනෙක්ම සිටි නිසා මේ යාළුකමත් දුරදිග ගියේය.

මමත් දවසක ඔයාලගේ ගෙදර එන්නම් බලු පැටව් බලන්න. මමත් බලු පැටවුන්ට පුදුම විදියට ආසයි.

දිනක් ලීසා බොබීට එහෙම කිව් පසු ඇයද එක පයින්ම ඊට කැමැත්ත පල කළාය.

අද හෙටම එන්න. මමත් කැමතියි ඔයාව දකින්න.

දෙදෙනා හමුවීමට යොදාගත්තේ 2004 වසරේ දෙසැම්බර් මාසයේ දිනයකි. නමුත් ලීසාට එය දුෂ්කර ගමනක් විය. කොතරම් දුෂ්කරද කිව්වොත් ලීසා පදිංචිව සිටි ඇමෙරිකාවේ කැන්සාස්හි පිහිටි නිවසේ සිට බොබී උන් මිසූරි ප්‍රාන්තයේ ස්කිඩ්මෝර් දක්වා දුර ප්‍රමාණය කිලෝමීටර් 281.5ක් පමණ විය. නමුත් දුර ගැන නොතැකූ ලීසා කෙසේ හෝ තම මෝටර් රථයෙන් මිතුරියගේ නිවස බලා යන්නට අදිටන් කරගත්තාය.

බොබී සිටියේ ලීසා පිළිගන්නට මග බලාගෙනයි. ඒ අතරවාරයේ ඇගේ නිවසට ඩාර්ලින් ෆිෂර් නමැති වෙනත් තරුණියකද පැමිණ තිබුණි. ඒ අන්තර්ජාලයෙන් කතාකරගත් පරිදි බොබීගෙන් බලු පැටියෙකු මිලට ගන්නටයි.

නමුත් මේ ඩාර්ලින් ෆිෂර් වෙනත් කෙනෙකු නොව ලීසාම බව ඇය දැනසිටියේ නැත. ලීසා ඒ නමින් අන්තර්ජාලය හරහාම බොබී හා මිතුරුව තිබුණි. මේ කිසිවක් නොදන්නා බොබී ඇයව නිවසට කැඳවාගෙන ගිය අතර සිදුවූයේ ඇය කිසිවිටෙකත් නොසිතූ අන්දමේ සිදුවීමකි. ඒ එක්වරම ඇයගේ ඇඟට කඩාපැන්න තරුණිය ඇගේ ගෙල සිරකොට මරා දැමීමයි. එයින් නොනැවතුණු අමුත්තිය තියුණු ආයුධයකින් ඇගේ උදරය පලා එහි වූ අටමස් බිළිඳියද පැහැර ගත්තාය.

ඉන්පසු ලීසා වහාම එතැනින් පලාගියද ඇයට නීතියේ රැහැනින් ගැලවෙන්නට හැකියාවක් ලැබුණේ නැත. ඇයට එල්ල වූ චෝදනාව නම් මිනීමැරීම සහ ළදරුවෙකු පැහැර ගැනීමයි. ඇයට දිය හැකි උපරිම දඬුවම ලබාදීමට ඇමෙරිකාවේ ඉන්දියානා ප්‍රාන්තයේ දකුණු දිස්ත්‍රික් අධිකරණය විසින් තීරණය ක‍ර තිබිණි. එනම් නියම කරන දිනයක ඇයව මරා දැමීමටයි.

ලීසා මහත්මියගේ මානසික සෞඛ්‍ය තත්ත්වය එතරම් යහපත් මට්ටමේ නෑ. ඒක කොච්චර අයහපත් මට්ටමේද තියෙන්නේ කිව්වොත් ඇයට මරණ දණ්ඩනය නියම වුණේ මොන වරදටද කියාවත් ඇය දන්නේ නෑ.

ලීසා මරණ දඬුවමට නියම වූ මොහොතේ එසේ පැවසුවේ විනිසුරු ජේම්ස් හැන්ලන් ය. මේ අතර ලීසා වෙනුවෙන් පෙනී සිටි නීතිවේදී කෙලී හෙන්රි ද එකී තීරණය සම්බන්ධයෙන් පවසා සිටියේ මෙවැන්නකි.

ලීසා මහත්මියගේ මොළයට ලොකු හානියක් වෙලා තියෙනවා. ඇය දිගු කාලයක පටන් බරපතළ මානසික ව්‍යාධියකින් පෙළෙන කෙනෙක්. අපිට දැනගන්න ලැබුණා ඇය භාරකරුවන් ග්‍රහණයේ සිටියදී බොහෝ ලිංගික පීඩාවන්ට ගොදුරුවෙලා තියෙන බව. ඒ තත්ත්වය උඩ ජීවිත කාලය පුරාවටම ලීසා මහත්මිය මානසික ව්‍යාධියකින් පෙළිලා තියෙනවා.

සැබැවින්ම ලීසාට සොඳුරු ළමා කාලයක් තිබුණේ නැත. ඇගේ ළමා කාලය තනිකරම මිහිපිට අපායක් බඳු එකක් විය. ඇයට නිතර නිතර වයසට නොගැළපෙන හිරිහැරයන්ට සහ අතවරයන්ට මුහුණදීමට සිදුවිය. නමුත් කරුමයටදෝ ඒ සියල්ල එළිවූයේ ඇය බොබීගේ ඝාතනය සිදුකිරීමෙන් අනතුරුවය.

ලීසා මහත්මියගේ මුළු කතාවම ඛේදජනකයි. ඇය ඉපදුණු දවසේ ඉඳන්ම ඇයට හොඳ ජීවිතයක් තිබිලා නෑ. ඇයගේ මව තමයි ජූඩ් කියන්නේ. ඇය ලීසා ඉපදෙන්න බඩේ ඉද්දි පවා හැමදාම වගේ අධිකව මත්පැන් පානය කරලා. ඒ නිසා ලීසා ඉපදිලා තියෙන්නේ කළලයේදීම මත්පැන් නිසා වැළඳෙන භ්‍රෑණ ඇල්කොහොල් ආබාධයක් එක්ක. වෛද්‍ය වෘත්තිය තුළ ඒක හඳුන්වන්නේ Foetal Alcohol Syndrome’ කියන නමින්. විශේෂඥ වෛද්‍යවරු පවා ඒ බව සනාථ කළා.

එසේ පවසා සිටියේ ලීසා වෙනුවෙන් පෙනී සිටි නීතිවේදී කෙලී හෙන්රි ය. ඔහු තම නීතිවේදීන් කණ්ඩායම සමඟ ඇගේ වටා සිටි බොහෝ අයගෙන් ඇය ගැන තොරතුරු සපයාගෙන තිබුණි. ඒ අනුව ඔහු පැවසුවේ අක්‍රමවත් පවුල් ජීවිත, නොසැළකිලිමත් බව, අපයෝජනය, මත්ද්‍රව්‍ය භාවිතය මෙන්ම ප්‍රතිකාර නොකළ මානසික රෝග වැනි කරුණු ගණනාවක් ලීසාගේ පවුල වටා ගෙතී ඇති බවයි.

ලීසාට එක් සහෝදරියකි. ඒ ඩියෙන් මැටිංලි ය. ඔවුන්ගේ මව වූ ජූඩ්, දෙදෙනාට කුඩා කල පටන්ම නිතරම දුන්නේ මවක් කිසිවිටෙකත් දරුවෙකුට නොදෙන තරමේ කුරිරු දඬුවම්ය. විටෙක ඇය දරුවන්ගේ වයස ගැනවත් නොසිතා පහර පිට පහර දුන්නාය. තවත් විටෙක කට වසා ටේප් ඇලෙව්වාය. ඇතැම් දිනවල නිරුවතින්ම හිම මතට තල්ලු කර දැම්මාය. ගැහැනු දරුවන් දෙදෙනා ඒ සියල්ල අමාරුවෙන් ඉවසුවත් ඔවුන්‍ට ඉවසිය නොහැකි වූ එකම දෙය මවගේ අනියම් සැමියන්ගෙන් දිගින් දිගටම දූෂණය වීමයි.

මගේ අම්මා වංචනික ගැහැනියක්. ඇය නපුරුයි. ඇය අපිට හිරිහැර කරලා අසීමිත සතුටක් ලැබුවා.

ඒ ඩියෙන් ය. වරක් එරට සමාජසේවා අංශය මගින් ඇයව එම නිවසින් ඉවත් කිරීමට කටයුතු කළද ලීසා දිගටම එහි රැඳී සිටියාය. එහි ප්‍රතිඵලය වූයේ ජූඩ්ගේ අනියම් සැමියන් අතින් මෙන්ම ඔවුන්ගේ මිතුරන්ගෙන් ඇය දිගින් දිගටම දූෂණය වීමයි. එපමණක් නොව ලීසාගේ මව ඇයව පිටස්තර මිනිසුන්ට විකිණීමටද කටයුතු කළාය. නිවසේ වැඩට එන විදුලි කාර්මිකයන්ට, ජලනල අලුත්වැඩියා කරන්නන්ට පවා ඇය මුදල් වෙනුවට හිලව්වට දුන්නේ තම දැරියයි. එහිදී ඔවුන් ලීසාව රැගෙන ගොස් ඇයව බැඳ පහරදී දූෂණය කර ඇඟට මුත්‍රා දැමූ බව වරක් ඇය ඇගේ ඥාති සහෝදරයෙකුට පවසා තිබුණි.

කෙසේ වුවත් පසුගිය 2021 ජනවාරි 12 වෙනිදා ලීසාගේ කතාව නිමවූවාය. ඒ ඇයට එරෙහිව අධිකරණය විසින් නියම කරනු ලැබ තිබූ මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීම නිසාය. මරණ දණ්ඩනය සිදුකළේ ලීසාගේ ශරීරයට විෂ එන්නතක් ඇතුල් කිරීමෙනි. ලීසා වෙනුවෙන් පෙනීසිටි නීතිවේදීන් ඇයව බේරාගැනීමට කොතරම් උත්සාහ කළද ඒ කිසිඳු උත්සාහයක් සාර්ථක වූයේ නැත. ඔවුන් දිගින් දිගටම පවසා සිටියේ තම සේවාදායිකාව යහපත් මානසික තත්ත්වයක නැති බවත්, ඇය උපතින්ම ඌන මානසික සංවර්ධනයක් සහිත කාන්තාවක බවත්ය. නමුත් ඒ ප්‍රකාශය මරණ දණ්ඩනයට අභියෝග කරන්නට තරම් ප්‍රමාණවත් වූයේ නැත.

ලීසාට මරණ දඬුවම ලබාදුන්නේ ඇමෙරිකාවේ ඉන්දියානා ප්‍රාන්තයේ ‘ටෙරේ හෝට්’ (Terre Haute) නම් බන්ධනාගාරයේදීය. ඒ වනවිට ඇය 52 හැවිරිදි වියේ පසුවූවාය. එම මරණ දඬුවමේ තවත් එක් විශේෂත්වයක් වූයේ ඇමෙරිකානු අධිකරණ ඉතිහාසයේ කාන්තාවකට එරෙහිව මරණීය දණ්ඩනය ක්‍රියාත්මක වූයේ වසර 68 කට පසුව වීමයි. ඇමෙරිකා එක්සත් ජනපදයේ මරණීය දණ්ඩන තොරතුරු මධ්‍යස්ථානය පවසන පරිදි ආණ්ඩුව විසින් ලීසාට පෙර කාන්තාවකට එරෙහිව මරණීය දණ්ඩනය ක්‍රියාවට නංවා තිබුණේ 1953 වසරේදීය. ඒ බොනී හෙඩී (Bonnie Heady) නම් තරුණියකටය. එසේ බැලූ කල ලීසා මොන්ට්ගොමෙරි කොතරම් නම් අවාසනාවන්ත ගැහැනියක්ද යන්න පැහැදිලිය.

 

රුවන් එස්.සෙනවිරත්න