විශේෂාංග

හැම ගෙඩියම පිළිකාවක් නොවෙයි

සම අභ්‍යන්තරයේ හටගන්නා විවිධ ‘ගෙඩි’ හේතුවෙන් පීඩාවන්ට ලක්වූවන් කොතෙකුත් හිඳී. උපතින්ම ඇතිවන ගෙඩි, ජානමය හේතූන් නිසා හටගන්නා ගෙඩි, තෙල් ගෙඩි, සැරව ගෙඩි මෙන්ම කලාතුරකින් පිළිකා නිසා හටගන්නා ගෙඩි ද ඒ යටතට ගැනේ.

විශේෂඥ ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය කවින්ද රාජපක්ෂ මහතා මෙවර කතාබහ කරන්නේ සිරුරේ හටගන්නා එවන් ගෙඩි හඳුනාගැනීම හා ඊට ඇති පිළියම් පිළිබඳවයි.

 

ශරීරයේ ඇතිවන ගෙඩි ගැන ඇතැමුන් බිය වෙනවා. ඇතැමුන් නොසලකා හරිනවා. ඇත්තටම අපි ඒ ගැන සැලකිලිමත් වෙන්න ඕන ඇයි?

සිරුරේ හටගන්නා ගෙඩි වර්ග දෙකක් තියෙනවා. අපි අද කතා කරන්නේ සිරුර අභ්‍යන්තරයේ නොව, සමට යටින් ඇතිවන පිටතට පෙනෙන ගෙඩි ගැනයි. මෙවන් ගෙඩි සැමවිටම භයානක ප්‍රතිඵල අත්කර නොදුන්නත්, කැක්කුම් එන අවස්ථා තිබෙනවා. ඒ වගේම කුඩාවට පටන්ගෙන විශාල ලෙස වර්ධනය වන අවස්ථා තිබෙනවා. මේ අතර පෙනුමට අවලස්සනක් එක්කරන අවස්ථාත් තිබෙනවා. ඒ නිසා මේවා පරීක්ෂා කර බලා ඉක්මනින් අවශ්‍ය පිළියම් යෙදීම වැදගත්. ඒ වගේම සමට යටින් එන සියලු ගෙඩි පිළිකා නොවන බවත් කිව යුතුයි.

කුඩා දරුවන්ගේ ගත්තොත් ඩර්මොයිඩ් සිස්ට් (Dermoid Cyst) කියන ගෙඩි ඇතිවෙනවා. මෙය ළමා රෝග විශේෂඥවරුන් හඳුන්වන්නේ උපතින්ම ඇතිවන සම අභ්‍යන්තර දියරමය ගෙඩි ලෙසයි. කළලය වර්ධනය වන අවස්ථාවේ ඇතිවන පටක තෙරපුම් ඇතුළු විෂමතා නිසා එවැනි ගෙඩි හටගන්නවා. ඇහැ කෙළවර, කන පිටුපස, නළල මැද ආදී ස්ථානවල මේවා දැකගත හැකියි. ඒ වගේම මෙනින්ජියෝමා තත්ත්වය කියන්නේ මොළය හා සුසුම්නාව වටා ඇති පටල, ගෙඩියක් ලෙස වර්ධනය වීමයි. මෙය තරමක් බහුලව පවතින තත්ත්වයක්. මෙය කාලයක් වර්ධනය වෙමින් පැවතීමටද ඉඩ තිබෙනවා.

ඒ වගේම තෙල්ගෙඩි ද සෙමෙන් වැඩෙන මේද ගැටිත්තක් (ගෙඩියක්) වන අතර, එය සමේ යටි මාංශ පේෂි තට්ටුව අතර මතුවීමට ඉඩ තිබෙනවා. එම ගෙඩිය ඇඟිල්ලෙන් තෙරපුමක් කළවිට එහාට මෙහාට යනවා. එය පිළිකා තත්ත්වයක් නොවන නිසා බොහෝදෙනා ප්‍රතිකාර සඳහා යොමුවනවා අඩුයි. එහෙත් ඒ විදියට බලා නොසිටිය යුතු අවස්ථාත් තිබෙනවා.

ඒ මොන වගේ අවස්ථාවන්ද?

යම් අවස්ථාවල ලයිපෝමා (මේද ගෙඩිය) නිසා වේදනාවක් හටගැනෙන අවස්ථා තිබෙනවා. ඒ වගේම එය වර්ධනය වන අවස්ථා තිබෙනවා. එමෙන්ම ඒ ආශ්‍රිතව සිදුවන ස්නායු තෙරපුම නිසා එය වේදනාකාරී අත්දැකීමක් වෙනවා. එවන් විටක විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයෙකුගෙන් උපදෙස් පැතිය යුතුයි. එවිට එය වර්ධනය වන ස්වරූපය පරීක්ෂා කර සැත්කමට භාජනය වීමට අවශ්‍ය දැයි නිගමනය කරනවා. විශේෂයෙන්ම ලයිපෝමා ගෙඩි එකකට වඩා ඇති අවස්ථාවල සැත්කමක් සඳහා යොමුවීම වැදගත්. මෙහිදී පූර්ණ නිර්වින්දන හෝ හිරිවැට්ටීමෙන් සමේ කැපුමක් සිදුකර එය ඉවත් කරනවා වගේම ප්‍රතිකාර කිරීමේදී ලයිපෝසක්ෂන් (Lyposuction) ක්‍රමය යොදාගන්නා අවස්ථා තිබෙනවා. මෙය බිය විය යුතු සැත්කමක් නොවෙයි.

තවද පරපෝෂිත පණුවන් නිසා සිරුරේ ඇතිවන ගෙඩි තිබෙනවා. සුනඛයන් ආශ්‍රිත ෆයිලේරියා පරපෝෂිතයා ඊට එක් උදාහරණයක්. ඒ වගේම, විෂවීම් හේතුවෙන් හටගන්නා ගෙඩි, සැරව පිරුණු ගෙඩි වගේම සුදුපාට ඝනකම් (කොස්සක් වැනි) ද්‍රව්‍යයෙන් පිරුණු ගෙඩි තිබෙනවා. බොහෝදුරට පිට, මුහුණ, ඉකිලි, කිහිලි හා රෝම කූප, වෘෂණ කෝෂ ආශ්‍රිතව මෙම ගෙඩි හටගන්නවා.

ඒ වගේම දිලීර ආසාදන සිරුර අභ්‍යන්තරගත වීම නිසාත් එසේ සිදුවිය හැකියි.

මේ අතර පිළිකාමය ගෙඩි හඳුනාගන්නේ කොහොමද?

කලාතුරකින් එසේ ඇතිවූ ගෙඩි පිළිකා ලෙස හඳුනාගන්නා අවස්ථා තිබෙනවා. එහිදී හිස්කබලේ කපාට අස්ථිය අශ්‍රිතව එන ගෙඩි ගැන සැලකිලිමත් විය යුතුයි. එය සාමාන්‍ය ගෙඩියකට වඩා වෙනස්. ශල්‍ය වෛද්‍යවරයාට ඒ ගැන නිගමනය කළ හැකියි. ඒ අනුව අවශ්‍ය නම් CT ස්කෑන් පරීක්ෂණයක් වගේම, එම ස්ථානයෙන් සෛල ලබාගෙන විද්‍යාගාර පරීක්ෂණයක්ද කළ හැකියි. සමහර පිළිකා සම යට තියෙන්නේ. එය පෙනෙන්නේ නැහැ. කෙසේ නමුත් ඒ සඳහා කළ යුතු පරීක්ෂාවන් වෙනම කළ යුතු වෙනවා.

ඒ වගේම සමහරුන්ගේ කුද්දටි එනවා. බෙල්ලේ ඉකිලියේ, ගෙඩියක් ලෙසින් එය මතුවෙනවා. ඒත් එම ඝනවීම මේ යටතට ගැනෙන්නේ නැහැ. ක්ෂය රෝගය, ලිව්කේමියාව වැනි රෝග තත්ත්වයක් හෝ කකුලේ වන වෙනත් තුවාලයක් නිසා එසේ කුද්දටි මතුවූවා විය හැකියි. එහිදී ඉහත කී රෝග මූලයට ප්‍රතිකාර ලබාදුන්නම එය සාමාන්‍ය අතට හැරෙනවා. ඒ වගේම සමහර පුද්ගලයින්ගේ මුළු ඇඟේම ගෙඩි හැදුනු අවස්ථා තිබෙනවා. (නියුරෝ ෆයි​බෝ මැටෝසිස්) එහිදී ස්නායුවල ගැටිති එනවා. එය පෙනුමට බලපානවා. ඒවා කොටස් වශයෙන් ඉවත් කිරීම කළ හැකියි. කෙසේ නමුත් එසේ සිදුවීමට හේතුව ජානමය විකෘතිතාවක්, වෙනස්කමක් විය හැකියි.

මෙම ගෙඩි සෑමවිටම ලිහිල් ස්වභාවයෙන් යුතුද?

නැහැ. අස්ථි වැඩෙද්දී අස්ථිවල එන ගෙඩි තිබෙනවා. නළලේ සහ හිස්කබලේ ඔස්ටියෝම තත්ත්වයේදී එම ගෙඩිය ඝනකම්ව තදට අතට හසුවෙනවා. මෙයද පෙනුමට බාධාවක් වන අවස්ථාවක සැත්කමක් මගින් ඉවත් කළ හැකියි.

අදාළ සැත්කම සිදුවිය යුතු ආකාරය තීරණය කරන්නේ කෙසේද?

ඇත්තටම ගෙඩියේ ස්වභාවය, පරීක්ෂණ වාර්තා අනුව අවශ්‍ය සැත්කම සිදු කරනවා. එහිදී හිරිවට්ටලා වගේම, නිර්වින්ද එන්නත් ලබාදී සිහි නැතිකොට එය සිදුකළ හැකියි. නළල, මුහුණ ආශ්‍රිත සැත්කමකදී ශල්‍ය වෛද්‍යවරුන් සාමාන්‍ය පෙනුමට හානියක් නොවන පරිදි හිස්කබලේ කෙස් අතරින් කැපුමක් දාලා ගෙඩිය ඉවත් කරනවා. කුඩා දරුවන්ගේ නම් සැත්කම කරන්නේ සිහි නැති කරයි. ඒ, සැත්කම අවස්ථාවේ දරුවා දැඟලුවොත් වෙනයම් අනතුරකට ඉඩ ඇති නිසයි.

ඇතැම් ගෙඩි ඉවත් කිරීමේදී මොළයේ පටක ආරක්ෂාවට සුසුම්නා තරලයේ වැදගත්කම ගැනද සැලකිලිමත් විය යුතුයි. ඒ වගේම මෙසේ සිරුරින් ඉවත් කරන සෑම ගෙඩියක්ම රසායනාගාර පරීක්ෂාවට ලක්කරනු ලබනවා. එම පරීක්ෂණ වාර්තාවට අනුව එය කුමන ආකාරයේ ගෙඩියක්ද යන්න සැක හැර දැනගැනීමට අවස්ථාව සැලසෙනවා.

දීපා වසන්ති එදිරිසිංහ