විශේෂාංග

සෞඛ්‍ය ගිණුමට බැරවෙන ගණුදෙනු කරන්න ඕන හරිම පරිස්සමෙන්

රටේ පවතින අර්බුද නිසා තැන තැන පෝලිම්වල කාලය ගෙවා දමන්නට සිදුවුවත්, ගෘහණියක ලෙස පවුලේ පෝෂණ වගකීමෙන් බැහැර වන්නට ඔබට නොහැකිය. ඒ නිසා සකස් කරනු ලබන ආහාරවේල කුමක් වුවත් එය පෝෂ්‍ය පදාර්ථ රැකෙන අයුරින් පිසගැනීමට තරම් සමර්ථ විය යුතුය. ඒ වැඩෙන දරුවාගේ, නිවසේ ගැබිනි මවගේ, කිරිදෙන මවගේ සිට වැඩිහිටියා දක්වා සියලු දෙනාගේ පෝෂණ අවශ්‍යතාව සපුරාගැනීමේ වැදගත්කම නොසලකා හැරිය නොහැකි බැවිනි.

ඇත්තටම දශක කිහිපයකට පස්සේ අපේ ජීවන රටාවේ යම් වෙනසක් මේ වෙනකොට සිදුවෙමින් තියෙනවා. ගෑස් ප්‍රශ්නය එක්ක දර ලිපට යන්න සිද්ධවෙලා තියෙනවා. ඒ එක්කම එළවලු ගිනි ගණන් කිව්වත්, අපි කොහොමහරි එළවලුවක්,‍ කොළ පලාවක් හදලා කෑමට ගන්නවා. අපි කතාවටත් කියනවා,

වැටක් දිගේ අතක් ගියොත්

හැටක් පළා නෙළා ගෙනේ

කියලා. එයින් කියන්නේ වත්තේ පිටියේ අවට කොතැන බැලුවත් කොළ පලා ටිකක් සොයාගැනීම අපිට අමාරු නෑ කියන එකයි. ගොටුකොළ, මුකුණුවැන්න, කලවම් කොළ ආදී වශයෙන් මොන විදියට ගත්තත් අපි එහි කොළපාට ගුණය ආරක්ෂා වන විදියට සම්බෝලයක් විදියට සාදාගැනීම හෝ පිසගැනීම කළ යුතුයි. සමහරු කොළ මැල්ලුම අවර්ණ වෙනකල්ම ලිපේ තියෙනවා. එහෙම කළාම පාට විතරක් නෙවෙයි පෝෂණ ගුණයත් විනාශ වී යනවා. ඒ වගේම අපි ගොඩක් වෙලාවට කරන්නේ ලූනුඅමුමිරිස්, පොල්, ලියාගත්තු කොළ ටික එකට දාලා මිශ්‍ර කරලා තෙල් දාන එකයි. එතැනදිත් පොල්, ලූනු මිශ්‍රණය කලින් රත් කරලා පස්සේ කොළ ටික මිශ්‍ර කරන්න හැකි නම් රසය ගුණය සහ සුවත් රැකගෙන හො පැහැයකින් ආහාරයට ගන්න පුළුවන්.

ඇය කියන්නා සේම, ආහාර පිළියෙල කිරීමේ වැරදි ක්‍රම නිසා ලැබිය හැකි පෝෂණයත් නොලැබීයන අවස්ථා තිබේ. එහිදී ශක්තිජනක ආහාර, වර්ධක ආහාර හා ආරක්ෂිත ආහාර යනුවෙන් තෙයාකාර එකතුවක් ඇත. ශක්තිජනක ආහාර මගින් කරන්නේ වැයවන ශක්තිය යළි ලබාදීමයි. බත්, කොස්, දෙල්, අල, බතල මෙන්ම පිටි සහිත කාබෝහයිඩ්‍රේට් අඩංගු ආහාර මේ යටතට ගැනේ. වර්ධක ආහාර මගින් සිදුකරන්නේ ශරීරයේ ගෙවීගිය කොටස් අලුත්වැඩියා කිරීමයි. මස්, මාළු, හාල්මැස්සෝ, කව්පි, කඩල මේ යටතට ගත හැකිය. ශරීර පටක අලුත්වැඩියා කරන්නේ ආරක්ෂක ආහාර මගිනි. එළවලු, පලතුරු, පලා වර්ග ඒ යටතට ගැනේ.

අපි ආහාරවේලක් අරගන්නවා කියන්නේ බඩ පුරවාගන්නවා කියන එකම නෙවෙයි. පිසගැනීමේදී, කැපීමේදී, සේදීමේදී පෝෂණ කොටස් ආරක්ෂා වෙන ආකාරයට එම ආහාරය පිළියෙල කරගැනීමටත් වගබලා ගන්න ඕන. උදාහරණයක් විදියට කැ කෝප්පයක් පිළියෙල කරද්දී හාල් ටික හොින් තම්බලා, පොඩිකරලා, පොල්කිරි එක්කරලා හොින් උතුරද්දී තමයි කොටාගත් කොළ යුෂ එක්කරන්න ඕන. එහිදී මැදින් බුබුළු එද්දි කොළ කැ එක ලිපෙන් බාගන්න ඕන. එහෙම නැතුව ගොඩක් වෙලා රත්වෙද්දි පෝෂණ ගුණය නැතිව යනවා.

තවද තම්බපු සහල්, නිවුඩ්ඩ සහිත සහල් ආදිය සේදීමේදී සැලකිලිමත් විය යුතුය. නිවුඩ්ඩ යනතුරුම සේදීම කළහොත් පෝෂණ ගුණයද සේදී යනු ඇත. ඒ වාගේම පියළි ඇට වර්ග රැයක් පෙඟෙන්නට හැර තම්බා අනුභව කිරීමෙන් ක්ෂුද්‍ර පෝෂක උරාගැනීම පහසු කරවයි. දිනක් පොඟවා මුල් ඇදුනු පසු ආහාරයට ගැනීම මගින් දිරවීම පහසු කරවයි. ගොටුකොළ සම්බෝලයකට දෙහි යුෂ එක්කිරීමෙන් යකඩ අවශෝෂණය පහසු කරවයි. ගොරකා, සියඹලා යුෂ ව්‍යංජනයට එක්කිරීම මගින් බලාපොරොත්තු වන්නේද ආහාරයේ යකඩ අවශෝෂණයේ පහසුවයි.

තවද පලතුරු වර්ගවල පොතු ඉවත් කිරීමේදී අප නොදැනුවත්ව එහි පෝෂණ කොටස් ඉවතලන අවස්ථා තිබේ. ගස්ලබු, අඹ වැනි පලතුරුවල ලෙල්ල අතර මදය කොටසේ පෝෂණ කොටස් වැඩිපුර ඇත. එය වැඩිපුර රැහීම මගින් එම කොටස් විනාශ වන අතර, යාන්තමට පොත්ත ඉවත් කිරීම වඩා සුදුසුය. තවද පේර කෑමට ගැනීමේදී පොත්ත ඉවත් කිරීමද සුදුසු නැත. පැණි කොමඩුවලත් රතුපාට කොටස පමණක් නොව සුදුපාට කොටසත් ආහාරයට ගැනීමෙන් වරදක් නොවේ. ගැබිනි අම්මලා, කිරිදෙන අම්මලා වගේම දරුවන්ටද වත්තේ පිටියේ පහසුවෙන් ලබාගත හැකි පලතුරක් වේ නම් එය අපතේ නොයැවිය යුතුය.

විශේෂයෙන්ම දින 180ක් යනතුරු අලුත උපන් දරුවෙකුට නිර්දේශ කරන්නේ මව්කිරි පමණයි. ඉන්පසුව දරුවගේ වැඩීම වේගවත් නිසා අමතර ආහාරයන්ට හුරු කරවනවා. බබාට දෙන බත් තලපය වුණත් පෝෂණ ගුණය රැකෙන විදියට හදාගන්න පුළුවන්. ඒ වගේම අපිට පුළුවන් විදියට ආහාරයට විවිධත්වය එක් කරන්න ඕන. වැඩි වියදමක් නැතුව කොස් නූඩ්ල්ස් ටිකක් ඕනම කෙනෙකුට පහසුවෙන් හදාගන්න පුළුවන්. ඒ සහා කොස්මදුලු ටික ඉතාම සිහින්ව දිග අතට තීරු කපාගන්න ඕන. අනතුරුව එය වාෂ්පයෙන් තම්බාගෙන, යකඩ බහුලව තියෙන වැට මුරුංගා කොළ ටිකක් මිශ්‍ර කරලාකැරට් ගෙඩියකුත් සිහින්ව කපාගෙන, බිත්තරයක් මිශ්‍ර කරලා නූඩ්ල්ස් එකක් හදාගන්න ආකාරයෙන් මේ කොස් නූඩ්ල්ස් එක හදලා රස බලන්න පුළුවන්. ුරු, සුදුලූනු ටිකක් තලලා දාලා ගම්මිරිස්, මිරිස් ස්වල්පයක් මිශ්‍ර කරලා කොත්තුවක් ආකාරයට වුණත් එය සාදාගන්න පුළුවන්.

දේවිකා කොඩිතුවක්කු මහත්මිය පෙන්වා දෙන්නේ, ගුණය ආරක්ෂා කරමින් ප්‍රියමනාපව, රසට ආහාර පිළියෙල කරගත යුතු බවයි. දැනට මිල ඉහළ යමින් ඇතත් බිත්තර පොඩි දරුවන්ට ගුණදායක ආහාරයකි. මෙය උතුරන වතුරේ විනාඩි පහක් තම්බාගැනීම ප්‍රමාණවත්ය. ඇතැම් අවස්ථාවල, තැම්බී වැඩිවූ විට දරුවන් එය ආහාරයට ගැනීම ප්‍රතික්ෂේප කරන අවස්ථාද තිබේ.

ඒ වගේ වෙලාවට බිත්තර ඔම්ලට් එකක් පෝෂ්‍යදායී විදියට හදාගන්න එක තමයි වැදගත් වෙන්නේ. ඒකට නිවිති කොළයක්, එහෙම නැත්නම් ළපටි බඩඉරිු කරලක් කපලා දාලා සදාගන්න පුළුවන්නම් එහි පෝෂණ ගුණය ඉහළයි. ඒ වගේම හාල්පිටි ටිකකට වැට මුරුංගා කොළ ටිකක්කපාගත් ලූනු, ලුණු මිශ්‍ර කරලා පෝෂණ රොටියක් හදාගන්න හැකියාව තියෙනවා. රොටී කන්න අකමැතිනම් එය පිට්ටුවක් ආකාරයෙන් හදාගන්න පුළුවන්. වගේම වට්ටක්කා කෑල්ලක් තම්බලා සුප් එකක් හදාගන්න පුළුවන්නම් වෙළපොළෙන් ගන්න කෘත්‍රිම රසකාරක මිශ්‍ර ඇතැම් ආහාර ද්‍රව්‍යවලට වඩා වටිනවා. ඇත්තටම ආහාර හියක් ඇතත්, නැතත් අපි පෝෂණය ගැන හිතලා ආහාර ද්‍රව්‍ය පිළියෙල කරගන්නවානම් එය අවසානයේ එය අපේ සෞඛ්‍ය ගිණුමට වාසිදායක වෙනවා.

ඒ වගේම මෙම ආහාර වැඩිහරියක්ම රසට පිළියෙල කරගත හැක්කේ මැටි ඇතිලිවලය. ඇලුමිනියම් සන්නායක ලෝහයක් බැවින් ඉක්මනින් ආහාර පිසගැනීම කළ හැකි වුවත් එය තාපය හා ඇතිවන ප්‍රතික්‍රියාවේදීත්, අම්ල වර්ග හා දක්වන ප්‍රතික්‍රියාවේදීත් ශරීරයට අහිතකර හයිඩ්‍රොක්සයිට් ආහාරයට මුසුවීමේ ඉඩක් තිබේ. එය ශරීරයට අහිතකරය.

දෙහිවිනාකිරි වගේ අම්ල ඇලුමිනියම් සම වේගයෙන් ප්‍රතික්‍රියා කරනවා. ඒ වගේම ඇලුමිනියම් භාජනවල ආහාර පිසගෙන ඒවා පිරිසිදු කරන්න සේදුම්කාරක කුඩු, කම්බි දර ආදිය ගන්නවා. ඒවා මගින් බඳුන පිරිසිදු වුණත්ඇලුමිනියම් කුඩු රැඳෙනවා. ඊටපස්සේ නැවත ආහාරය පිසගැනීමේදී එය ආහාරයට එක්වෙනවා. එහෙත් මැටි බුනක, දර ලිපේ ආහාර පිසගන්න පුළුවන්නම් ඉතාම හොයි. ඒ වගේම අපි මැටි බඳුන් සෝදන්න ඉස්සර ගත්තේ පොල්මුඩු කෑල්ලක්, ලණු කොස්සක් වගේ දෙයක්. ඒ පුරුදු අදටත් වැදගත්. මොකද ආහාරයක ගුණ රැකෙන්න, පිළියෙල කරනා විදිය වගේම, පිසින භාජනයත් වැදගත්.

ඇය කියන්නා සේම මේ සියල්ල අවසානයේ බැරවන්නේ සෞඛ්‍ය නමැති ගිණුමටය. එහිදී ගන්නා ආහාරයේ මිල අඩු වැඩි බව නොව, කොස් මදුල වුව රස ගුණ රැකෙන පරිදි පිළියෙල කරගන්නා පිළිවෙල වැදගත් වෙනු ඇත.

දීපා වසන්ති එදිරිසිංහ