නවතම ප්‍රවෘත්ති

මට පයිලට් කෙනෙක් වෙන්න බෑ කියපු ගුරුවරු එදා මාව දැකලා මගහැරලා ගියා

අහස් යන්තරාවක් පදින්න තියා එහෙව් එකක් ළඟින් යන්නත් දැනුම් තේරුම් ඇති සමහර උදවිය පවා බයවෙද්දි අවුරුදු 17ක පුංචි කෙල්ලෙක් ගුවන්යානයක් පදවනවා කියන එක විශ්වාස කරන්නත් අමාරුයි වගේ නේද?

ඇත්තටම ඒක පුදුම වෙන්න කාරණාවක් තමයි. අද ‘ධරණී’ කවරය ඇය වෙනුවෙන් වෙන්කරන්න හේතුවත් ඒකයි. උත්සාහය, කැපවීම තියෙනවානම් අහස අල්ලන්නත් වයස ප්‍රශ්නයක් නෙමෙයි කියලා ඔප්පු කරලා පෙන්නපු ඇය තමයි ශ්‍රී ලංකාවේ ළාබාලතම ගුවන්නියමුවරිය. සත්නාරා ප්‍රනාන්දු…

“මගේ අම්මා ගුවන්සේවිකාවක්. මතක ඇති කාලේ ඉඳලා මම ප්ලේන්වලට ආසයි. අම්මා කියනවා චූටි කාලේ මම සෙල්ලම් කළෙත් සෙල්ලම් ප්ලේන් එක්කලු. පොඩි කාලේ අපි හිටියේ කටුබැද්දේ. සිවිල් යුද්දේ කාලෙදි අපේ ගේ ළඟින් නිතරම ගුවන්යානා, කෆීර් එහෙම යනවා. එතකොට මට අවුරුදු තුන හතරක් ඇති. ප්ලේන් එකක් යන යන සැරේට මම දුවලා ගිහිල්ලා අහසට කෑගගහ අත වනනවා මට තාම මතකයි.”

පංතියේ හිටපු ළමයි හැමෝම ලොකුවෙලා ගුරුවරු, ඉංජිනේරුවෝ, වෛද්‍යවරු වෙනවා කියද්දි කවදාහරි ලොකුවෙලා ගුවන්නියමුවරියක් වෙනවා කියලලු සත්නාරා නම් කිව්වේ.

“මම ඉගෙනගත්තේ බම්බලපිටිය ශුද්ධ වූ පවුලේ බාලිකා පාසලෙන්. මම අට වසරේ ඉද්දි ස්පෝර්ට් මීට් එකේ ප්‍රධාන ආරාධිත අමුත්තිය විදියට ශ්‍රී ලංකන් එයාර්ලයින් එකේ පළවැනි ගුවන්නියමුවරිය කැප්ටන් අනූෂා මොහොමඩ් අපේ ඉස්කෝලෙට ආවා. ඇය අපේ පාසලේ ආදි ශිෂ්‍යාවක්. එදා ඇයව දැකලා මට හරි සතුටුයි. කවදහරි ගුවන්නියමුවරියක් වෙනවාමයි කියන එක මම තදටම හිතට ගත්තේ එදයි.”

2019 දී අපොස සා.පෙළ විභාගයට මුහුණ දීපූ සත්නාරා විභාග ප්‍රතිඵල ලැබෙන්නත් කලින් ගුවන් පුහුණු පාසලකට ඇතුළුවෙන්න තීරණය කළාලු.

“සාමාන්‍ය පෙළ ප්‍රතිපල එන්න කලින් මම සකුරා ගුවන් පුහුණු පාසලට ඇතුලත් වුණා. ගණිතය, විද්‍යාව, ඉංග්‍රීසි, සාමාන්‍ය දැනීම වගේ විෂයන් ආශ්‍රිත විභාගයක් තියලයි එයාලා ශිෂ්‍යයින් තෝරගන්නේ. පුහුණුවට බැඳුණු දා ඉඳලා ගොඩක් මහන්සිවෙලා ඉගෙනගත්තා. ඒකේ ප්‍රතිඵලය විදියට 2021දී මට පෞද්ගලික ගුවන්නියමු බලපත්‍රය ලබාගන්න පුළුවන් වුණා.”

සත්නාරා අවුරුදු 17 දී ලංකාවේ ළාබාලතම ගුවන්නියමුවරිය වෙන්නේ ඔය විදියටයි. පෞද්ගලික ගුවන්නියමු බලපත්‍රය යටතේ ඇයට සෙස්නා, පයිපර් වගේ පුහුණු ගුවන්යානා පැදවීමට හැකියාව තිබෙනවා.

 

*මුලින්ම ප්ලේන් එකක් තනියම පැදපු දවස මතකද?

“ඔව්. 2020 අගෝස්තු 18 රත්මලාන එයාර්පෝර්ට් එකේ ඉඳලා කළුතරට ගුවන්යානය පැදෙව්වා. මගේ පුහුණු ගුරුවරයා කැප්ටන් දිනිඳුත් ඒ ගමනට ආවා. පුංචි කාලේ ඉඳලා පෙරුම් පිරුව හීනේ සැබෑවුණු ඒ දවස මට කවදාවත් අමතක වෙන එකක් නෑ.”

බලාපොරොත්තුව ඉටුවීමේ සතුට එවෙලේත් සත්නාරගේ හඬේ තිබුණා.

“ප්ලේන් පදින්න බය නැද්ද කියලා සමහරු අහනවා. ආසාවක් ඇරෙන්න කවදාවත් මට බයක් නම් දැනිලා නැහැ. අනික උඩුගුවනෙදි ඇතිවෙන්න පුළුවන් අනතුරු, කාර්මික දෝෂ වළක්වාගන්න හැටි පුහුණුවේදි අපිට උගන්වලයි තියෙන්නේ.”

උඩුගුවනේදි විශේෂ අත්දැකීම්වලට එහෙම මුහුණදීලා නැද්ද කියලත් ඇගෙන් අපි අහලා බැලුවා.

“ගුවන් වාර මනින්නේ පැයවලින්. ඉතින් මේ වෙනකොට මම ගුවන් පැය 124.08ක් ගුවන් වාර පදවලා තියෙනවා. ඒ මුළු කාලයම මට විශේෂයි. මම පදවන පෞද්ගලික ගුවන්යානා අඩි 10,000කට වඩා ඉහළට ගියොත් ඔක්සිජන් ගැටලු එනවා. ඒ නිසා අඩි 8,500ක වගේ උසක තමයි යානය පියාසර කරන්නේ. ඒ යනකොට පොළොව හුඟාක් චූටියට පේනවා. පොළොවේ ඉඳලා බලනවට වඩා උඩින් බලද්දි අපේ රට ගොඩක් ලස්සනට පේනවා.

වෙලාවකට වලාකුළු අස්සෙනුත් යනවා. එතකොට අහස පේන්නෙත් නෑ ගොඩබිම පේන්නෙත් නෑ. හරියට සුදුම සුදු මීදුමක් ඇතුළෙන් යනවා වගෙයි. සමහර වලාකුළු ඇතුළේ වහිනවා නැත්තම් අකුණු ගහනවා. ඒ නිසා හොඳ කල්පනාවෙන් යානය ඇතුළු කරන්න ඕනේ. දවසක් මම වලාකුළු අල්ලන්න අත එළියට දාලා බැලුවා. එවෙලේ මගේ අත කැඩෙන්න වගේ ආවා. මම මුහුද උඩින් තනියම පැය 31ක් පියාසර කරලා තියෙනවා. ඒකත් අපූරු අත්දැකීමක්. මුහුද උඩ තනියම යද්දි ලොකූ නිදහසක් දැනෙනවා. මුහුදේ නැව් යනවා නම් ඒවා එක්ක මම තරඟෙට ප්ලේන් එක පදිනවා.”

සත්නාරා ඇගේ ගුවන් අත්දැකීම්වලින් ටිකක් අපිත් එක්ක විස්තර කළේ ඔහොම. හැබැයි මේ ගමනෙදි ඇයට ආපු අභියෝග ඒ කිව් අත්දැකීම් තරම් ලස්සන නැතිලු.

“ඉස්කෝලේ යන කාලේ පයිලට් කෙනෙක් වෙනවා කිව්වහම පංතියේ ළමයි මට හිනාවුණා. 9-10 පංතිවල ඉන්දැද්දි මට එච්චර ගණන් බැහැ. ඔයාට කවදාවත් පයිලට් කෙනෙක් වෙන්න බෑ කියලා සමහර ගුරුවරුත් මට කිව්වා. මේ ළඟදි මම පයිලට් යුනිෆෝම් එක ඇඳගෙන ඉස්කෝලෙට ගියා. එතකොට එහෙම කිව්ව ටීචර්ස්ලා මාව දැකලා මඟඇරලා ගියා. අනික ඉස්සර මම හරි මහතයි. මහත නිසා ප්ලේන් පදින්න බැහැ කියලාත් කට්ටිය මට හිනාවුණා. පස්සේ මම ගොඩාක් මහන්සි වෙලා බර අඩු කරගත්තා. ඒ අය මාව පහලට දාපු තරමටම මම උඩට ආවා. ඒ අය එහෙම කිව්වේ නැත්තම් අද මම මෙතන නැහැ. ඒ නිසා ඒවා අභියෝගවලට වඩා ආශිර්වාද විදියට හඳුන්වන්නයි මම කැමති.”

අනිත් මිනිස්සු අපිව පහලට අදින්න කියන වචන ඉහළට යන්න ඉනිමඟක් කරගන්න කියලයි ඇය කියන්නේ.

“ඉස්සර ගුවන්නියමුවෙක් කිව්වම ඒක පිරිමි අයටම වෙන්වුණු වෘත්තියක්නේ. හැබැයි දැන් ඒක එහෙම නැහැ. ශ්‍රී ලංකන් ගුවන් සමාගමෙත් දැන් කාන්තා නියමුවරියන් 22ක් විතර ඉන්නවා. මඟීන් අරගෙන යන්න නම් වාණිජ ගුවන්බලපත්‍රයක් ගන්න ඕනේ. ඒකට උපාධිය සම්පූර්ණ කරන්න ඕනේ. ගුවන්නියමුවෙක්ට නිතරම විභාග තියෙනවා. ඒවයින් ලැබෙන ලකුණු එක්ක තමයි කැප්ටන් තනතුර දක්වා යන්නේ. ඒ හැමදේම සම්පූර්ණ කරලා කැප්ටන් කෙනෙක් වෙන එක තමයි අනාගත බලාපොරොත්තුව.”

ගුවන්නියමුවරියකට අමතරව සත්නාරා කාලාකාරිනියක්, සමාජ ක්‍රියාකාරිනියක් විදියටත් කටයුතු කරනවා. 2022 දෙරණ අවුරුදු කුමරිය තරඟයේ තුන්වැනි ස්ථානය ලබාගත්තෙත් ඇයයි.

“මම නර්ථනය සහ වේදිකා නාට්‍ය හදාරලා තියෙනවා. උඩරට නර්ථනයෙන් පාහියන්පත් පවා බැන්දා. ඊට අමතරව ‘ෆවුන්ඩේශන් ඔෆ් ගුඩ්නස්’ කියන පදනම එක්ක එකතුවෙලා අසරණ පවුල් 50කට විතර උදව් කරනවා. ඇත්තටම මම දෙරණ අවුරුදු කුමරිය තරඟයට ගියේ ජයග්‍රහණයක් ලැබුණොත් ලැබෙන මුදල ඔවුන්ට පරිත්‍යාග කරන්න හිතාගෙන. හිතුවා වගේම ඒ දේ කරන්න මට පුළුවන් වුණා. අපිට දෙයක් ලැබෙනවානම් ඒකෙන් කොටසක් අපි නැති බැරි කෙනෙක්ට පරිත්‍යාග කරන්න ඕනේ. ඒක තමයි සොබාදහම වෙනුවෙන් අපිට කරන්න පුළුවන් හොඳම දේ.”

ඔය කතාවෙන් පස්සේ ‘ධරණී’ පාඨකයන් වෙනුවෙන් ආදරෙන් වචනයක් කියන්නත් ඇය අමතක කළේ නැහැ.

“දෙයක් කරන්න ආස හිතුණොත් ඒක කරනවාමයි කියන එක තදින්ම හිතට ගන්න. එතකොට ඕනම කෙනෙක්ට ඕනම දෙයක් කරන්න පුළුවන් කියන එකයි මට කියන්න ඕනේ.”

සෙව්වන්දි හෙට්ටිආරච්චි

ඡායාරූප – ජගත් නානායක්කාර