ප්‍රීතිමත් ජීවිතයකට

පියයුරේ ප්‍රමාණයට වඩා ප්‍රමාණයෙන් ලොකු බ්‍රෙසියර අඳින එකත් ප්‍රශ්නයක්

සාහිත්‍ය පතපොතේ ස්ත්‍රී රූප සොබාවය ගැන කරාපු වර්ණනා ඕසෙට. ඔය අතරිනුත් කවියන්ගේ ඇහැ වැඩිපුරම යොමුවෙලා තියෙන්නේ ස්ත්‍රී පියොයුරු දිහාවට. ඕන් අහගන්ටකෝ දවසක්දා අන්දරේ උන්දැගේ මායියා ප්‍රකෝප ගන්වන්න කියාපු කවියක්.

 

‘ඉස දෙස බැලිමි පොල් කෙඳි වැන්න පීරනා   

බඳ දෙස බැලිමි හෙරලිය වැන්න ආරනා   

තන දෙස බැලිමි වැටකොළු වැන්න එල්ලෙනා   

නුඹ දෙස බැලිමි වැඳිරිය වැන්න දලු කනා’   

 

අන්දරේගේ ඔය අරියාදු කතාවට මායියා හොඳටෝම විස්සෝප වුණාලු. ඒ පාර ඇයව සනසන්න අන්දරේ මේන් මෙහෙම කවියක් කිව්වා.

 

‘ඉස දෙස බැලිමි රන් කෙඳි වැන්න පීරනා   

බඳ දෙස බැලිමි රන් කඳ වැන්න ආරනා   

තන දෙස බැලිමි තැඹිලිය වැන්න දිලිසෙනා   

නුඹ දෙස බැලිමි සුරඟන වැන්න රුසිරෙනා’

 

අන්දරේ කරාපු අනිත් විහිලුවලට වඩා බිරින්දෑගේ හිත රිදෙන්න ඇත්තේ පියොයුරු වැටකොළු වාගේ එල්ලෙනවා කිව්ව එකට බව සහතිකයි. මොකද ඕක ගොඩක් බවලතියන්ගේ හිත් රිදෙන්න බලපාන කාරණාවක්. උණ පුරුකේ දැම්මත් බලු වලිගේ ඇද නෑරේ කියන්නා වාගේ එල්ලා වැටෙන දෙතන් ආයේ සරි කරන්න බැහැයි කියලයි ගොඩක් බවලතියෝ හිතාගෙන ඉන්නේ. ඒක බොරු කියලා ඔප්පු කරන්න හොඳම සාක්ෂිකාරි එංගලන්තේ මෙල්සි ජෝර්ජියා.

“අවුරුදු හතකට කලින් මම මගේ පියයුරුවලට වෛර කළා.”

පියයුරු එල්ලා වැටෙද්දි ජෝර්ජියාට යාන්තම් අවුරුදු 22යිලු.

“මම සැත්කමක් කරන්න හිටියේ. ඒකට දීර්ඝ කාලයක් පොරොත්තු ලේඛනේ ඉන්න වුණු නිසා මම පියයුරුවලට ව්‍යායාම කරන්න පටන්ගත්තා. ව්‍යායාමවලින් පියයුරු ආයෙම යථා තත්ත්වයට පත්වුණ නිසා මට සැත්කම කරන්න ඕනේ වුණේ නෑ.”

එල්ලා වැටෙන පියොයුරු නිසා ජෝර්ජියා හිටියා වාගේ හිත්තැවුලෙන් ඉන්න කෙනෙක් නම් ඒකට කරන්න ඕනේ ව්‍යායාම මොනවද කියන එක වගේම පියයුරු එල්ලා වැටීම පාලනය කරන හැටිත් මේ ලිපියෙන් කතා කරමු.

ස්ත්‍රී රූපේ ලාලිත්‍යවත් බව වැඩිවෙන්න පියොයුරු බලපානවා. තැඹිලි වාගේ පිරිච්ච පුන් පියයුරු තියෙනවට කාන්තාවො කැමතියි. ඒකනේ සමහර උදවිය සිලිකන්වලින් පියයුරු පුම්බන්නේ. දැන් ඉන්න අය විතරක් නෙමේ ඒ කාලේ ඊජිප්තුවේ හිටපු නෙෆර්ටිටි රජ කුමාරියත් පියොයුරුවල හැඩය ගැන හරියටවත් හිතාපු කෙනෙක්ලු. මූර්ති නිර්මාණය කරද්දි පියයුරු උස් අතට කැපිලා පේන විදියට නිර්මාණය කරන්න කියලලු ඇගේ මූර්ති ශිල්පීන්ට අණ ලැබුණේ. ඒ වගේම ඇය පියයුරු උස්ව තියාගන්න බ්‍රෙසියර (push-up bras) ඇන්දාය කියලත් කියැවෙනවා. දැනුත් සමහරු පියොයුරු එල්ලා වැටෙන්න ගත්තු හැටියේ push-up බ්‍රෙසියරවලට මාරු වෙනවා. ඒක ඉතින් තාවකාලික විසඳුමක් විතරයි.

පියයුරු එල්ලා වැටෙන්නේ ඇයි කියන එක ගැනයි අපි මුලින්ම කතා කරන්න ඕනේ. ඉලඇට කූඩුවට ඉදිරියෙන් පෙක්ටෝරල් මාංශපේශි (Pectoral Muscles) කියලා පේශි දෙකක් තියෙනවා. ඒ පේශිවලට උඩින් තමයි පියොයුරු පිහිටලා තියෙන්නේ. පියයුරු හැදිලා තියෙන්නේ තන්තුමය පටකවලින්. ඒ කියන්නේ මෙව්වට මාංශපේශිවත් අස්ථිවත් නැහැ. ඒ නිසා මේ අවයවය එල්ලා වැටෙන්න තියෙන අවදානම වැඩියි.

වයස්ගත වීම පියයුරු එල්ලා වැටෙන්න බලපාන මූලිකම හේතුවක්. වයසට යද්දි පියොයුරුවල කොලැජන් දුර්වල වෙලා හමේ තදබව අඩුවෙලා පියයුරු එල්ලෙන්න ගන්නවා.

ඊළඟ කාරණාව ජානමය බලපෑම. පවුලේ උදවියගේ පියයුරුත් වයසට කලින් වයසට ගිහිල්ලා නම් ඒ ආරෙට තරුණ උදවියගෙත් පියයුරු එල්ලා වැටෙන්න පුළුවන්. 

ඊගාවට අනවශ්‍ය විදියට ආහාර ගන්න අයගෙත් පියයුරු එල්ලා වැටෙන්න පුළුවන්. මෙහෙමයි. වැඩිපුර ආහාර ගන්නකොට පියයුරුවල මේදය තැම්පත් වෙනවා. එතකොට ඒ බර අර කියාපු පටකවලට දරාගන්න අමාරු නිසා පියයුරු එල්ලෙනවා.

ඊළඟ හේතුව පියයුරේ ප්‍රමාණයට වඩා ප්‍රමාණයෙන් ලොකු බ්‍රෙසියර අඳින එක. 

මුනින් අතට නිදාගනිපුවාම ගුරුත්වාකර්ෂණ බලය නිසා ඉක්මනට සම වයසට යනවා කියලා ගිය සතියේ අපි කතා කළා. ඒවගේම තමයි මුනින් අතට නිදාගත්තහම පියයුරුත් පො‍ළොව දිහාවට ඇදගන්නවා. එතකොට ඉතින් ඉක්මනින් පියයුරු එල්ලා වැටීම අහන්නත් දෙයක්ද?

මව්කිරි දීම නිසා පියොයුරු එල්ලා වැටෙනවා කියලා ඇතැම්මු ගජබින්න දෙසාබානවා. ඒ කතාව සම්පූර්ණ බොරුවක් කියලා මෑත කාලයේදී වෛද්‍ය විද්‍යාවෙන් තහවුරු කරලා තියෙන නිසා ඒ ගැන සැකයක් තියාගන්න එපා.

එතකොට පියයුරු එල්ලා වැටීම පාලනය කරගන්නේ කොහොමද? වයස්ගතවීම නිසා පියොයුරු එල්ලා වැටෙනවා නම් කරන්න තියෙන හොඳම වැඩේ වැඩිපුර කොලැජන් තියෙන ආහාරපාන ගන්න එක. වයස්ගත වෙනකොට අපේ ඇඟේ තියෙන ඊස්ට්‍රජන් ඒ කියන්නේ ගෑනු හෝර්මෝනය එහෙමත් අඩුවෙනවා. ඒකත් පියුයරුවල හැඩය නැතිවෙන්න හේතුවක්. ඉතින් ආර්ථවභාවයෙන් පස්සේ ​වෛද්‍ය උපදෙස් මත ඊස්ට්‍රජන් හෝර්මෝනය පිටතින් ලබාගන්න නැතිනම් අලිගැටපේර, සුදුලූනු, ටෝෆු, සෝයා ඇට වර්ග, ධාන්‍ය වර්ග වගේ ඊස්ට්‍රජන් බහුල ආහාර වැඩිපුර කන්න.

ශරීරයේ බර නිසා පියයුරු එල්ලා වැටෙන කෙනෙක් නම් කරන්න තියෙන්නේ ශරීර බර අඩු කරගන්න එක. සාමාන්‍යයෙන් ලංකාවේ කාන්තාවකගේ ශරීර ස්කන්ධ දර්ශකය 18-22 අතර තියාගන්න ඕනේ. හැබැයි උසට අනුව මේ ප්‍රමාණ වෙනස් වෙන්නත් පුළුවන්. කොහොම වුණත් ​උසට සරිලන බරක් තියාගන්න එකයි වැදගත්. හැබැයි පුතේ ශරීරයේ බර එකපාර අඩු කරන්න යන්නත් එපා. ඒකත් පියයුරු එල්ලා වැටෙන්න හේතුවක්. ක්‍රමානුකූලව නිසි උපදෙස් අනුව ඒ වැඩ කරන එකයි හරි වැඩේ.

අනිත් වැදගත්ම කාරණාව ප්‍රමිතියෙන් යුතු බ්‍රෙසියරයක් ගන්න. අවුරුදු ගණන් එකම බ්‍රෙසියර අඳින්න එපා. මොකද නිතරම අපේ ඇඟේ හැඩය ප්‍රමාණය වෙනස් වෙනවා. ඒ නිසා අවුරද්දකට සැරයක්වත් පියුයරු මැනලා දෙතන්වල ප්‍රමාණයට ​‍ෆිට් වෙන බ්‍රා තෝරගන්න. ඒ වගේම ව්‍යායම කරද්දි පියයුරු තදවෙන තනපට අඳින්න. විශේෂයෙන්ම උඩ පනිද්දි, දුවද්දි පියයුරු පටක ලිහිල් වෙන්න පුළුවන්. ඒ නිසා ව්‍යායාම කරද්දි ස්පෝර්ට් බ්‍රා එකක් අඳින්න අමතක කරන්නම එපා.

ඒ වගේම නිතරම ශරීරයේ තෙතමනය රැකගන්න බලන්න. ශරීරය විජලනය වුණාම කොලැජන් තන්තුවලට හානි වෙනවා. ඒ නිසා දවසට වතුර ලීටර 2ක් බොන්න. අනික අතපයට විතරක් මොයිස්චරයිසර් ආලේප නොකර පපු ප්‍රදේශයටත් ආලේප කරන්න.

දැනටමත් පියයුරු එල්ලා වැටෙනවා නම් පුෂ්-අප් (push-ups), බෙන්ච් ප්‍රෙස් (bench press), ආර්ම් කර්ල්ස් (Arm curls) වගේ ව්‍යායම කරන්න. තව එතකොට පිහිනීමත් පපු ප්‍රදේශයට හොඳයි. මේ ව්‍යායමවලින් පටක ශක්තිමත් වෙලා මේදය දහනය වෙනවා. කතාව අහවර කරන්න කලින් තව දෙයක් කියන්න ඕනේ. එල්ලා වැටෙන පියයුරු යථා තත්ත්වයට ගන්න පුළුවන් තෙල් වර්ග, බාම් වර්ග එහෙම දැන් ඕසෙට වෙළඳපොළේ තියෙනවා. කපුටගේ කළු මකන්න බෑ වාගේ එව්වා ගෑවා කියලා නම් කවදාවත් පියයුරු ඝන කරන්න බැහැ. ඉතින් නිස්කාරණේ ඒවට සල්ලි වියදම් නොකර ඉහතින් කතා කරාපු යහපත් සෞඛ්‍ය පුරුදු ටික හදාගන්න එකයි කරන්න තියෙන්නේ.