රූපලවන්‍ය

තලවලින් ලස්සන වෙන හැටි

තල ගොඩේ උපන් තල ගොඩේම ලගින තරුණ කාන්තාවනි 

තල තුළට තෙල් ආවේ කෙසේද?

 

1955 අවුරුද්දේ ලංකාවේ තිරගත වුණ ‘මාතලන්’ චිත්‍රපටයේ ලතා වල්පොල මහත්මිය ගයන ‘රන්වන් දුනු කරලින් පැසිලා නැමිලා බරවීලා… තල වැවිලා රමණී සෝබා කෙත්වතු පිරිලා සාරා’ කියන ගීතය ඇහෙද්දිම කාගෙ වුණත් මතකයට නැගෙන්නෙ කරල් බරවුණ තල හේනක්. ඒ කිව්වා වගේම මාතලන් චිත්‍රපටයෙත් ඔය සිංදුව පසුතලයෙන් ඇහෙද්දි පෙන්නන්නේ තල හේනක්. ඒ විතරක් නෙමෙයි ඒ මැද්දේ තල කුල්ලක් අතින් ගත්තු ගොවි තරුණියකුත් තවත් තරුණියන් පිරිවරාගෙන ඉදිරියට ඇදෙනවා.

සිංදුව වාදනය වෙලා අවසන් වෙද්දිම ඒ තරුණිය තල වේලෙන දර්ශනයක් තමයි පෙන්නන්නෙ. ඒත් එක්කම එතැනට රාජකුමාරයෙක් එනවා. ඇගේ රූ සපුවට වගේම දිගු වරළටත් වහ වැටෙන රජකුමාරයා ඇගෙන්  ප්‍රශ්නයක් අහනවා.

“තල ගොඩේ උපන් තල ගොඩේම ලගින තරුණ කාන්තාවනි තල තුළට තෙල් ආවේ කෙසේද?”

කුමාරයාට වඩා ගොවිතරුණිය බුද්ධිමත්. කුමාරයාගේ ප්‍රශ්නයට උත්තර දෙන එක මගහැරපු ඇය ආපිට කුමාරයාගෙන් ප්‍රශ්නයක් ඇසුවා.

“මල් ගොඩේ උපන් මල් මතම ලගින රාජ කුමාරයාණෙනි මල් තුළට පැණි ආවේ කෙසේද?”

ඉන්දියානු ජනකතාවක් ඇසුරු කරන් නිර්මාණය කරපු මාතලන් චිත්‍රපටයේ එන ඔය දෙබස් දෙක ඒ කාලේ හරි ප්‍රසිද්ධයි. ඒ ප්‍රසිද්ධිය කොච්චරද කියනවා නම් කඩපිළට ගියත් මගතොටේ ගියත් බොහෝදෙනෙක්ගේ මුවඟ රැඳුණේ ඔය දෙබස් දෙකයි.

ඔය දෙබස් දෙක නිසා ප්‍රේක්ෂක ජනතාව චිත්‍රපටයට බැඳුණට මොකද චිත්‍රපටයේ රාජකුමාරයා නම් බැඳුණේ තල වේලපු ගොවි තරුණියගේ ලස්සනටයි. රස්සාව විදියට ගොවි තරුණිය තල වේළුවා වගේම ලස්සන වෙන්නත් තල භාවිත කළා කියලා හිතන්න බැරිකමක් නෑ. ඒ නිසා තල වේලපු තරුණිය වගේ ලස්සන වෙන්න තල වලින් කරන්න පුළුවන් සත්කාර කිහිපයක් ගැනයි අද කියන්න යන්නේ. අලුත් අවුරුද්දටත් කැවිලි හදන්න තල ගේන එකේ අමුතුවෙන් තල හොයන්න මහන්සි වෙන්න ඕනත් නෑ.  

මේ කියන තලවල සුදු තල හා කළු තල කියලා තල වර්ග දෙකක් තියෙනවා. මේ දෙකෙන්ම ගුණයි කියන්නේ කළු තලයි. මොන වරේගෙ තලවල වුණත් තලවල තියෙන්නේ පෝෂ්‍යදායී ගුණ සමුදායක්. තල ග්‍රෑම් 100ක ශක්තිය කැලරි 503, මේදය 43.3gක් කියලයි  කියන්නේ. ඒ විතරක් නෙමෙයි කාබෝහයිඩ්‍රේට්, කැල්සියම් හා යකඩ වගේම විටමින් වර්ගත් තලවල අඩංගුයි. අර්ශස්, වාත රෝග, අධික රුධිර පීඩනය මුත්‍රා ගල් ආදියටත් කියාපුම ඔසුවක්  තල කියන්නේ. ඒ විතරක්ද හිසකෙස් වර්ධනයට, සමේ තෙතමනය ආරක්ෂා කිරීමට වගේම වේදනානාශකයක් විදියටත් තල භාවිත කරන්න පුළුවන්. 

ආහාරයට ගන්නවටත් වඩා ගුණයිලු තල තෙල් ශරීරයේ ආලේප කරලා සම්බාහනය කරන එක. තල තෙල්වල වාජීකරණ ගුණයත් තියෙන නිසා එහෙම කරාම තරුණ පෙනුම රැකිලා දෝෂ ගති ඔක්කෝම පහවෙලා පැහැපත් වෙනවා කියලයි කියන්නේ. ඒක නිසා තලතෙල් ශරීරයේ ආලේප කරලා සම්බාහනය කිරීමෙන් ලස්සන පෙනුමක් ලබාගන්න පුළුවන්.

මාංශයෙන් පිරුණු සිහින් සිරුරක් ලබාගන්න තල  තෙල් සම්බාහනය වඩාත් සුදුසුයි.

සමේ ලප කැළැල් ඉවත් කර ගන්න තල, කොකුම් පොතු වගේම වෙනිවැල්ගැටත් සියුම්ව අඹරලා සමේ ආලේප කරන්න.

වැල් මී, කහ හා තල ඇල්දියෙන් අඹරලා එළකිරිත් මිශ්‍ර කරලා ආලේප කළොත් ලප කැළැල් මැකෙනවා සිකුරුයි. 

ඒ විතරක් නෙමෙයි තල සපා ඇල්දිය බිව්වොත් කටෙහි දුර්ගන්ධය නැත්තටම නැති කරගන්නත් පුළුවන්.

හිසකෙස් සුදුවීම හා අකලට හිසකෙස් වැටීමෙන් වැළකෙන්න ඕනෑ නම් කළු තල ඇට ඇල්දියෙන් අඹරා හිසේ ගෑම වඩාත් සුදුසුයි.

හිසකෙස් වර්ධනයට වගේම  හිසකෙස් කළු කිරීමට තල ශාකයේ කොළ වගේම මුල් තම්බලා පෙරාගත් වතුරෙන් හිස සෝදාගන්න. ඊටපස්සේ තල තෙල් හිසේ ගෑමයි කරන්න ඕනෑ.

නෙත්මි තෂාරා