විශේෂාංග

නෑයින්ගෙ මහ ලොකු ගෙවල්වලට වඩා කොළඹ බෝඩිං කෑල්ල සැපයි

‘‘කෙල්ලව තනියම කොළඹ තියන්න නම් ලෑස්ති වෙන්න එපා ඔන්න. අපේ ගෙදර නවතින්න පුළුවන්.’’ චමත්කාට කොළඹින් රැකියාවක් ලැබුණු බව ආරංචි වුණු ගමන්ම චමත්කාගේ නැන්දා ගෙදරට කෝල් කරලා කිව්වා.

‘‘අනේ තාත්තා, නැන්දා කොළඹ කිව්වට කොළඹම නෙවේනේ. නැන්දලාගේ ගෙදර ඉඳන් ඔෆිස් එකට සෑහෙන දුරක් තියෙනවා. පයින්ම යන්නත් එපැයි ලොකු දුරක්’’ චමත්කා කිව්වේ හිතේ අකමැත්තෙන්.

‘‘ඒක නම් ඇත්ත තමා දුවේ. ඒත් මේ දුව ගෙදරින් පිට ඉන්න යන පළවෙනි වතාවේ. දන්න කියන අපේම කෙනෙක් ගාව දුවව හිතේ බරක් නැතුව නවත්තන්න පුළුවන්නේ. පොඩ්ඩක් දුර බව ඇත්ත. ඒත් ආරක්ෂාව උපරිමයිනේ දුවේ.’’ තාත්තා කියද්දි චමත්කාට ඒ කතාව අහක දාන්නම බැරි වුණා.

චමත්කාව නැන්දාගේ ගෙදරට එක්කගෙන ගිය තාත්තා දාහේ කොළ කීපයක් නැන්දාගේ අතේ තිබ්බා.

‘‘නංගියේ මේක වියදමට තියාගන්න.’’

‘‘අනේ පිස්සුද අයියේ? මේ අපේම දරුවෙක්නේ. අයියා පිස්සු නැතුව මේ සල්ලි අරන් යන්න.’’ ඇය ආයෙමත් මුදල් නෝට්ටු ටික චමත්කාගේ තාත්තගේ අතට දෙන ගමන් කිව්වා.

‘‘දුවේ එහෙනම් මේක තියාගන්න. නැන්දාට ගෙදරට ඕනෙ බඩු ටිකක්වත් ගෙනත් දෙන්න.’’ යන්න කලින් තාත්තා චමත්කාට හොරෙන් කිව්වා.

මුල් දවස්වල චමත්කාට තිබුණු එකම ප්‍රශ්නය උදේ හවස බස් එක අල්ල ගන්න ලොකු දුරක් පයින් යන්න වුණු එක.

හතරවෙනි දවසේ චමත්කා වැඩ ඇරිලා ඔෆිස් එකෙන් එළියට එද්දිම චමත්කාට කෝල් එකක් ආවා.

‘‘අක්කී, අනේ මගේ ෂැම්පු බෝතලේ ඉවර වෙලානේ. අක්කට පුළුවන්ද එකක් ගේන්න එන ගමන්?’’ ඒ නැන්දාගේ දුව ශානිකා.

චමත්කා ෂැම්පු බෝතලය එක්කම ගෙදරට ඕනෙ කරන බඩු ගොඩකුත් අරගෙන ආවා.

‘‘මේ කෙල්ලට පිස්සුනේ. මොකටද මේ බඩු උස්සන් ආවේ?’’ කියන ගමන් නැන්දා චමත්කාට තේ එකක් හදලා දුන්නා.

හැබැයි නංගිගෙන් කෝල් එන එක නම් හැමදාම වගේ සිද්ධ වුණා.

‘‘අක්කී, අද එද්දි මට ස්පන්චි දෙකක් ගේන්නකෝ.’’

‘‘අක්කී, මට රෑට බත් කන්න බෑ අනේ. සොසේජස් බන් එකක් ගේන්නකෝ.’’

‘‘අක්කී, මගේ බෑග් එකේ සිප් එක කැඩුනානේ. අලුත් බෑග් එකක් ගේන්නකෝ. හොඳට ඉඩ තියෙන ලොකු එකක් ගේන්න හොදේ.’’

දවසකට එක ගානේ ඉල්ලීම්ය. නැන්දාවත්, නංගීවත් ඒ සල්ලි ආයේ දුන්නේද නැත.

මේ බස් එකේත්, කෝච්චියේත් හිටගෙන යාමේ ගමන චමත්කාට එපා වෙන්න මහ කාලයක් ගියේ නැහැ. 135 බස් එකේ උදේට ඇඟිල්ලක් ගහන්නට බැරි තරම් සෙනග. කෝච්චියේත් වෙනසක් නැහැ.

හවස ගෙදරට එන විට බාගෙට මැරිලා වගේ තමයි චමත්කාට දැනෙන්නේ.

ඒත් ගෙදර ආවත් චමත්කාට නම් විවේකයක් නැහැ.

‘‘දුවේ, ඇඟ හෝදගෙන එන්න අපි රෑට උයමු.’’ ගෙට ගොඩ වෙද්දිම නැන්දා කියන්නේ චමත්කාගේ වෙහෙස තවත් වැඩි වෙද්දි.

‘‘ගෑනු ළමයෙක් වුණාම තමන් ඉන්න තැන අතුපතු ගාලා තියාගන්න ඕනේ.’’

ඉතින් වෙහෙස නොබලා චමත්කා මුළු නිවසම අතුගාන්නීය.

ඉරිදා නිවාඩු දවසේ ටිකක් වැඩිපුර නිදාගන්නට සිතුවත් එයටද ඉඩක් නැත.

‘‘අපොයි දුවේ, ඔහොම කම්මැලි වෙලා බෑ. නංගි හැදෙන්නෙත් ඔයා දිහා බලලනේ. පස්සට එළිය වැටෙනකම් නිදාගන්න එක ගෑනු ළමයෙක්ට ගැළපෙන්නේ නැහැ.’’

ඔෆිස් එක ළඟම බෝර්ඩ් වෙලා ඉන්න තිළිණි චමත්කාගේ මිතුරියක් වීමට වැඩි කාලයක් ගතවුණේ නැහැ.

‘‘බෝඩිම් ටිකක් ගණන් තමයි. මම ඉන්නෙත් 5000. ඒත් ඒ වගේ නෙවේ දැනෙන සහනය. ඔෆිස් එකට පයින් යන්න පුළුවන්. මහන්සි නම් නිදාගත්තා, බඩගිනි නම් උයාගෙන කෑවා. උයන්න කම්මැලි නම් කඩෙන් මොනවහරි ගෙනත් කෑවා. හරිම නිදහස්.’’

තිළිණි නිතරම කියද්දි එය සැබෑවක් බව චමත්කාට වැටහුණි.

තාත්තට කරුණු කියා චමත්කා ඊළඟ මාසයේදීම තිළිණිගේ බෝඩිමේම තවත් කාමරයක් කුලියට ගත්තාය.

‘‘තමන්ගේ නෑයෙක් ළඟ ආරක්ෂාවට ඉන්න, ගෙදරක උයලා දෙන කෑම කන්න තියෙන පිනට පයින් ගහලා ඔය උඩ දාගෙන ගියේ නම් හොඳකට වෙන්න බෑ. බෝඩිම්වලට ගියේ නම් හොඳකට නෙවේ…’’

නැන්දා තැනින් තැන කිය කියා යන බව චමත්කාට ආරංචි වුණත් නිදහස ඊට වඩා වටිනා නිසා ඇය තමන්ගේ තීරණය ආයෙමත් වෙනස් කළේ නැහැ.

සමාධි ඩයස්