විශේෂාංග

සැත්කමකට දරුවෙක් සූදානම් කරන්නේ මෙහෙමයි

කුඩා දරුවන් සැත්කම්වලට ලක් කරන්නට සිදුවන අවස්ථා දෙකක් ඇත. හදිසි අනතුරු නිසා සිදුකරන හදිසි ශල්‍යකර්ම සහ ඇතැම් ලෙඩ රෝග නිසා සිදුකරන ශල්‍යකර්ම වශයෙනි.

මේ අතර දරුවාට සිහි නැතිකර සැත්කම සිදු කරන්නට වන අවස්ථා ගැන මව්පියන් තුළ අනියත බියක් පවතියි. නිසා එවැනි සැත්කමක් ඳහා දරුවෙකු සුදානම් කිරීමේදී අවධානය යොමු කළ යුතු කරුණු කිහිපයක් ඇත.  

විශේෂඥ ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය කවින්ද රාජපක්ෂ මහතා මෙවර කතාබහ කරන්නේ ඒ පිළිබඳවයි.

හදිසි ශල්‍යකර්ම පිළිබඳ කතා කරද්දී දරුවන් වැඩිපුරම මුහුණදෙන අනතුරු මොනවාද?

ගෘහස්ථව වාගේම දරුවෙක් පාරේ යද්දී රථ වාහන අනතුරකට වුවත් මුහුණදීමේ හැකියාව තිබෙනවා. එතැනදී අනතුරේ ස්වභාවය අනුව දරුවාගේ මුහුණ ආශ්‍රිතව හෝ ශරීරයේ වෙනයම් ප්‍රදේශයක ලොකු පරාසයකට හානි වී තිබිය හැකියි. සමහර දරුවන්ගේ ඇඟිලි ලාච්චුවලට, දොරවල්වලට අහුවෙලා දැඩිව හානිවන අවස්ථා තිබෙනවා. පිහියකට හෝ වෙනත් තියුණු ආයුධයකට කපාගන්න අවස්ථා තිබෙනවා. බල්ලෝ, පූසෝ කාලා වගේම, පිළිස්සුම් තුවාලවලට ලක්වුණු දරුවෝ ගේනවා. මේ දිනවල උණුවතුර හුමාලය අල්ලන්න ගිහින්, ඇඟට උණුවතුර වැටිලා පිළිස්සුණු දරුවෝ රැගෙන එනවා. මේ අතරින් ඇතැම් අනතුරුවලදී ක්ෂණිකව සැත්කම් සඳහා යොමු කරන අවස්ථා තිබෙනවා. එහිදී කල් බල බලා ඉන්න බැහැ. කාලය කළමනාකරණය කරගනිමින් ඉක්මනින් සුදුසු පියවර ගත යුතුයි.

 

වෙනත් ලෙඩ රෝගවලදී ඔය කියන කාලය සම්බන්ධ ගැටළු අවමයි නේද?

ඔව්. ඇතැම් රෝග නිසා සැත්කමකට ලක් කරද්දී ඊට කාලය තිබෙනවා. උදාහරණ විදිහට එවැනි අවස්ථාවක් තමයි උණ්ඩුක පුච්චය පැසවීම (ඇපෙන්ඩිටයිටීස්) වගේ රෝග, එහෙම නැත්නම් සැරව ගෙඩියක් ඇවිත් එය ඉවත් කරන්නට සිදුවන අවස්ථාවක්. එහිදී අවශ්‍ය කරන සායනික පරීක්ෂාවන් වගේම වාර්තා ලබාගෙන සැත්කමට දරුවා සූදානම් කරන්න කාලය තිබෙනවා. එවැනි ලෙඩ රෝග සඳහා ප්‍රතිකාර කිරීම කරන්නේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුයි. ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍යවරයා වෙත වැඩිපුරම රැගෙන එන්නේ හදිසි අනතුරුවලට ලක්වුණු දරුවනුයි. එතැනදී වයස අවුරුදු දහයට අඩු දරුවන් ගැන විශේෂයෙන් සැලකිලිමත් විය යුතු දේ තිබෙනවා.

 

මොනවාද?

ඇත්තටම ඒ වයසේ දරුවෙකුට හිරි වට්ටලා ශල්‍යකර්මය කිරීම සුදුසු නෑ. මොකද ඒ මොහොතේ දරුවා කලබල වෙලයි ඉන්නේ. ඒ වගේම එයාට ඒ ගැන ලොකු අවබෝධයක් නැහැ. ඉඳිකටුව දැක්කත්, අම්මාටත් පයින් ගහලා, දොස්තරවත් පෙරලගෙන දුවනවා. ඒ වගේම එතැනදී දරුවා කායිකවත් මානසිකවත් තවත් පීඩාවට ලක්වෙනවා. සෞඛ්‍ය කාර්යය මණ්ඩල ඇතුළු කිහිපදෙනෙක් එම දරුවව අල්ලගෙන සැත්කම කළොත්, එය කල් යද්දී පවා ජීවිතයේ අමිහිරි මතකයක් වීමට ඉඩ තිබෙනවා. ඒ වගේමයි හිරි වට්ටලා ශල්‍යකර්මය කළත්, ඒ ස්ථානය විතරයි හිරි වැටෙන්නේ.එහෙම අවස්ථාවක දරුවා දඟලලා ඉඳිකටුවක්වත් ඇහැක ඇනුණොත් වෙන හානිය සදාකාලිකයි. ඒ නිසා මෙවැනි අවස්ථාවක සුදුසුම පියවර වෙන්නේ සිහි නැතිකර ශල්‍යකර්මයට ලක් කිරීමයි.

 

දරුවා සිහි නැති කරන්නේ කොහොමද?

ඒ සඳහා සිහි නැති කරන ඖෂධ වර්ග තියෙනවා. එන්නත් වගේම ගෑස් එක අල්ලලාත් සිහි නැති කරනවා. අදාළ දරුවාට සුදුසු ක්‍රමවේදය කුමක්ද කියනෙක තීරණය කරන්නේ නිර්වින්දන වෛද්‍යවරයා විසින්. සැත්කමට ගතවන කාලය වැඩි නම් රුධිර නාලයට කැනියුලාවක් දාලා සිහි නැති කරනවා. දරුවාට ඇදුම වගේ රෝගයක් තිබෙනවා නම්, දුම අල්ලලා ඒ අවධානම් මට්ටම අඩු කරලයි සිහි නැති කරන්නේ. ඒ කියන්නේ සියලු ආරක්ෂක පියවරයන් සිහි නැති කිරීමට පෙර ගනු ලබනවා. මේ අවස්ථාවට නිර්වින්දන වෛද්‍යවරයා වගේම සහායක කාර්යය මණ්ඩලයක් සහභාගී වෙනවා. අද වනවිට ලංකාව ලෝකයේ අනෙකුත් රටවල් භාවිතා කරන ආකාරයේ උසස් නිර්වින්දන ඖෂධ වගේම ප්‍රතිජීවක ඖෂධ භාවිතා කරනවා. එහිදී දරුවා නැවත යථා තත්තවයට ඒමේදී ඇතිවන ගැටළු ඉතාම අවමයි.

 

අවමයි යන්නෙන් ඔබ අදහස් කරන්නේ, යම් යම් සංකූලතා වුණත් ඇතිවෙන්න පුළුවන් කියන එකද?

මෙහෙමයි. දරුවෙකුට ඉතාම කලාතුරකින් එකවර හුස්ම ගැනීමේ ගැටළු ඇතිවීමට ඉඩ තිබෙනවා. හැබැයි එය අපි දැන් නොදකින තරම් දෙයක්. ඒ වගේම සිහිය එන වෙලාවේ අම්මා, තාත්තා ළඟ නොහිටියොත් දරුවා කෑගහන්න බලනවා. සෙම පෙනහළුවලට යාමේ ඉඩක් වගේම කෑම කවලා තිබුණොත් සිහි නැති කරන අවස්ථාවේ එම ආහාර පෙනහළුවලට යාමේ ඉඩක් පවතිනවා. ඒ නිසයි සැත්කමට පැය හයකට කලින් ආහාර දීම වගේම, පැය දෙකකට කලින් ජලය පානයට දීම නතර කරන්නේ.

 

හදිසි අවස්ථාවකදී පැය හයක් බලා සිටීම කළ නොහැකියි නේද?

ඔව්. දරුවා ආහාර ගෙන ඇති අවස්ථාවල, සැත්කම වඩාත් හදිසි එකක් නම් කරන්නේ පෙනහළුවලට ආහාර නොයන විදිහට ශ්වාස නාලය බ්ලොක් කර බට දාලා සැත්කම සිදු කිරීමයි. කොහොම නමුත් නවීන වෛද්‍ය විද්‍යාව තුළ මේ සියල්ලටම අද විසඳුම් තිබෙනවා.

 

මෙතැනදී දෙමාපියන්ට දිය යුතු පණිවිඩය කුමක්ද?

ඇත්තටම ඇතැම් අවස්ථාවල දරුවෙක් සිහි නැති කරනවා කිව්වම අම්මට බියක් ඇතිවෙන්න පුළුවන්. සැත්කමේ බරපතළකම එක්ක මවට මෙය පැහැදිලි කර දුන්විට තේරුම් ගන්නවා. ඒ වගේම දරුවා සිහිය එන අවස්ථාවේ අඬන්නේ වෙනයම් වේදනාවක් නිසා නෙවෙයි. එක්කෝ බඩගින්නට එහෙම නැත්නම් අම්මා ළඟ නැති වුණහම. එතැනදී එකවරම ආහාර ලබාදීම සුදුසු නැහැ. ඇතැම් දරුවෝ නින්දෙන් නැගිටිද්දී වගේ අඬාගෙනයි නැගිටින්නේ. එය බිය විය යුතු දෙයක් නොවෙයි.

ඒ වගේම සමහර අනතුරු තිබෙනවා වැටිලා ඔලුව වැදිලා බාහිරව නොපෙනුණත් අභ්‍යන්තර රුධිර වහනයන් සිදුවන. ඒ වගේම හදිසි අනතුරුවලදී CT ස්කෑන් වගේ, එක්ස් රේ ලබාගත යුතු අවස්ථා. සමහර විටක සැත්කම සිදුකළ විගසම දරුවා නිවසට රැගෙන යන්න ඇතැම් මව්වරු උත්සුක වෙනවා. මෙහිදී දරුවා පැය හතරක්වත් රෝහලේ තබාගත යුතුයි. නිර්වින්දන ඖෂධ නිසා දරුවාට වමනය එන්න පුළුවන් වගේම දරුවා අඩ නින්දක වගේ පසුවනවා විය හැකියි. ඒ නිසා පැය කිහිපයක් වෛද්‍යවරුන් දරුවා ගැන අධීක්ෂණයෙන් පසුවීම අවශ්‍යයි. එය පැය හතරක් හෝ හයක් වීම ප්‍රමාණවත්.

ඒ වගේම හදිසි අනතුරකට ලක්වන දරුවාට කවලා පොවලා රෝහලට ගේන්න එපා. එවිට සැත්කම කරන්න කල් යනවා වගේම, මේ දිනවල කොරෝනා ඇන්ටිජන් පරීක්ෂාවට විනාඩි 20-30ක් වෙන් කරන්න වෙනවා. මව ඇතුළු භාරකරුවන්ටත් එසේයි.

දරුවා සිහි නැති කිරීමට පෙර රෝහල් කාර්යය මණ්ඩලය, දරුවාට සෙල්ලම් බඩු දී වෙනසක් නොදැනෙන ලෙස සුහදව කටයුතු කරනවා. සිහි නැති කරනතුරු දරුවා ළඟ මවට සිටිය හැකියි. සැත්කම කෙරෙනවිට මවට ළඟ සිටින්නට අවස්ථාව නොදුන්නත්, දරුවාට යළි සිහිය එද්දී මවට දරුවා ළඟට එන්න අවස්ථාව ලැබෙනවා. එවිට දකින්නේ මව නිසා ඔහු කලබල වනවාත් අඩුයි.

 

දීපා වසන්ති එදිරිසිංහ