විශේෂාංග

එන්නත විද්දම SEX කරන්න බැරිද?

මම ලබන අවුරුද්දේ මැරි කරන්න ඉන්නේ ඩොක්ටර්ඒ අස්සේ ඔය ඉන්ජෙක්ෂන් එක ගහගෙන මට මුකුත් අවුලක් වෙයිද?”

ඒ සති දෙක තුනකට පෙරාතුව මා දන්නා හඳුනන තරුණයෙක් මගෙන් ඇසූ ප්‍රශ්නයක්ය.

ඔහුගේ ගැටළුව පැහැදිලි නොවූයෙන්, ‘අවුලක්’ යනුවෙන් ඔහු අදහස් කරන්නේ කුමක්දැයි මා විමසුවෙමි.

අවුලක් කියන්නේ ඩොක්ටර්ලිංගික අප්‍රාණිකත්වයක් වගේ දෙයක්. කොවිඩ් එන්නත් ගැහුවම එහෙම වෙනවා කියලා ඔය සමහරු කියන්නේ…”

එවිට මා පෙරලා ඔහුගෙන් අසා සිටියේ එවැනි තොරතුරක් ඔහුට ලැබුනේ කෙසේද යන්නයි. එවිට එම තරුණයා පැවසුවේ මුහුණුපොතේ තිබුණු සටහනකින් ඔහු මේ බව දැනගත් බවයි.

දැන් ෆේස්බුක් එකේ හැමදේම දාන නිසා ඉස්සර වගේ මිනිස්සුන්ට කොලේ වහන්න ලේසි නැහැ.”

යනුවෙන්ද ඔහු පැවසුවේය.

වෛද්‍යවරුන් පවසන දෙයට වඩා වෛද්‍ය දැනුමකින් තොර පුද්ගලයින් තම යටි අරමුණු සාක්ෂාත් කරගැනීම උදෙසා සිදුකරන ප්‍රචාරණවලට රැවටීමට තරුණ පරපුර අඥාන නොවිය යුතු බව මම ඔහුට පැහැදිලි කළෙමි.

සාර්ථක ලිංගික ජීවිතයක් ගත කිරීමටත් ප්‍රථමයෙන් අප පණ රැකගෙන සිටිය යුතු නැතිදැයි මම ද ඔහුගෙන් ප්‍රශ්න කළෙමි.

විසිහතර හැවිරිදි එම තරුණයා එන්නත ලබාගැනීම පිළිබඳව සලකා බලන බව මා සමඟ පැවසූයේ දැනට තිබෙන විද්‍යාත්මක සාධකවලට අනුව කොවිඩ් මර්ධන එන්නත හේතුවෙන් එවැනි තත්ත්වයක් ඇති නොවන බව පැහැදිලි කිරීමෙන් අනතුරුවය.

කොවිඩ් එන්නත පිළිබඳව පැතිර යන මේ දුර්මතයට බියවී ඇති එකම තරුණයා ඔහු නොවන බව පැහැදිලි වන්නේ මේ කාරණය ගැන විමසා දිනකට මට ලැබෙන දුරකතන ඇමතුම් ප්‍රමාණය සලකා බලන විටය.

මේ කටකතාව ඩෙල්ටා ප්‍රභේදයට වඩා සීඝ්‍රයෙන් සමාජ මාධ්‍යයන් තුළ ව්‍යාප්ත වී ඇති නිසාදෝ තමන්ට දැනටමත් ලිංගික අකර්මණ්‍යතාවක් ඇතිදැයි පරීක්ෂා කරගැනීමට එන්නත විදගත් බොහෝ අයවලුන් මේ දිනවල අපගේ සායනවලට සහභාගී වෙයි.

එසේම මේ පදනම් විරහිත කටකතාව නිසා බොහොමයක් තරුණයන් කොවිඩ් එන්නත ලබාගැනීම ප්‍රතික්ෂේප කරන බව කණගාටුවෙන් වුවත් සටහන් කළ යුතුය.

මුලින් සඳහන් කළ තරුණයාට මා පැහැදිලි කළ කරුණු කාරණාම ඔබේ දැනුවත්භාවය උදෙසාත් මෙසේ සටහන් කිරීම වඩා හොඳ යැයි මා සිතුවේ ඒ නිසාය.

යම් එන්නතක් සායනික වශයෙන් අනුමත වන්නේ එයින් මිනිසාට ලබාගත හැකි යහපත් ප්‍රතිලාභ වැඩි වී සංකූලතා ප්‍රමාණය අවම වනවා නම් පමණි. කොවිඩ් මර්ධනය සඳහා ලබාදෙන එන්නත් සියල්ලම පාහේ ගසකින් ගෙඩි වැටෙන්නා වාගේ කඩාපත් වූ ඒවා නොවන බව අවධාරණය කිරීමට කැමැත්තෙමි.

මේ සියලු එන්නත් ලෝක සෞඛ්‍ය සංවිධානය සහ ලෝක වෛද්‍ය සංගමයේ වෛද්‍ය ආචාර ධර්මවලට අනුකූලව විවිධ පරීක්ෂණ, සමීක්ෂණවලින් අනුමත වීමෙන් පසු නිර්දේශ වූ ඒවාය.

වසංගතය වසන්තයක් කරගනිමින් ජයටම මුදල් උපයන උදවිය හුදු ලාභ ප්‍රයෝජන උදෙසා කොවිඩ් මර්ධන එන්නත් පිළිබඳව සමාජය තුළට වැරදි ප්‍රචාරණ ගෙන යන බව පැහැදිලිය. එසේම ලාභ ප්‍රයෝජන නොමැති වුවද වැරදි දෑ සමාජගත කරමින් අස්වාභාවික මානසික තෘප්තියක් ලබන මානසික ව්‍යාකූලතා සහිත පිරිසක්ද මේ අතර සිටියි.

කොවිඩ් එන්නත නිසා ලිංගික අකර්මණ්‍යතා ඇති නොවූවද කොවිඩ් ආසාදනයේ අතුරු සංකූලතාවයක් ලෙස ලිංගික අකර්මණ්‍යතාවය ඇතිවිය හැකි බව එන්නත එපා යැයි කෑකෝ ගසනා බොහෝ උදවිය නොදන්නා කරුණක්ය.

කොවිඩ් තත්ත්වය නිසා රුධිරවාහිනීවල ඇතිවන ගැටළු, මානසික බිඳවැටීම සහ පශ්චාත් කොවිච් සංකූලතා යන මේ කරුණු නිසා දරුණු කොවිඩ් සංකූලතා මතුවූවෙකුට ලිංගික අකර්මණ්‍යතාවයක් ඇති වීමට 20%ක පමණ අවධානමක් ඇත.

එසේම කොවිඩ් වෛරසයට ලිංගික පද්ධතීන්වල මාස කිහිපයක් වුවත් රැඳී සිටිය හැකි බව සනාථ වී ඇති බවත් විශේෂයෙන්ම සටහන් කළ යුතුය.

සාමාන්‍යයෙන් ලිංගික අකර්මණ්‍යතාවයක් (Sexual Dysfunction) ඇතිවීමට බලාපන හේතු දෙකක් ඇත. එනම් කායික හා මානසිකව බලපාන හේතූන්ය. මෙහිදී ලිංගික අකර්මණ්‍යතාවයක් ඇතිවීමට මූලික වශයෙන්ම බලපාන්නේ මානසික හේතූන්ය.

ඉන් අදහස් වන්නේ ලිංගිකත්වය හා බැඳුනු යම් යම් කරුණු කාරණා සිත තුළ තදින් පැලපදියම් වීම නිසා මෙම තත්ත්වය ඇතිවීමට වැඩි ඉඩකඩක් ඇති බවයි.

ඉදින් එන්නත ගැසීමෙන් ලිංගික ශක්තිය හීන වේ යැයි නිතර නිතර සිතීමට යාමෙන් එවැනි තත්ත්වයක් ඇතිවීමටද බැරි නැත.

වයස අවුරුදු 40 පසුකළ පුද්ගලයන්ගෙන් 40%ක් පමණ යම් අවස්ථාවකදී ලිංගික ගැටළුවකට මුහුණදිය හැකි බව ගණන් බලා ඇත. එසේම අධිරුධිර පීඩනය, දියවැඩියාව, තයිරොයිඩ් ග්‍රන්ථිය ආශ්‍රිත ගැටළු, හෘද රෝග ඇතුළු විවිධ රෝගත් යමෙකු ලිංගිකව අකර්මණ්‍ය වීමට බලපෑ හැකිය. ඊට අමතරව දුම්පානය සහ මත්ද්‍රව්‍ය නිසාද මෙවැනි තත්ත්වයක් ඇතිවීමට වැඩි ඉඩකඩක් ඇත.

මේ කරුණු සටහන් කිරීමේදී මගේ මතකයට නැගෙන්නේ දින කිහිපයකට පෙර මා හමුවට පැමිණි පුද්ගලයෙකු කියූ කතාවක්ය.

වයස අවුරුදු පනස් හතක පමණ ඔහු දැඩි විශ්වාසයෙන් මා සමඟ පැවසූයේ එන්නත ලබාගැනීමෙන් පසු ඔහුට ලිංගික අකර්මණ්‍යතාවයක් ඇතිවූ බවය.

නමුත් කරුණු කාරණා සලකා බැලීමේදී තහවුරු වූයේ අධික දුම්පානය සහ වයස්ගතවීම සමඟ ඔහුට මේ තත්ත්වය උද්ගත වී ඇති බවය.

එන්නත පිළිබඳව වැරදි දුර්මත කොතරම් නම් සමාජගත වී ඇතිදැයි පැහැදිලි කිරීමට එම උදාහරණයම ප්‍රමාණවත්ය.

මෙවැනි පුස් මත අන්‍යයන් සමඟ හුවමාරු කරගන්නවා වෙනුවට සමාජ වගකීමක්ලෙස සිතා එන්නත ලබාගැනීමට කටයුතු කිරීම අප සියලුදෙනාගේම වගකීමක්ය.

එන්නත වෙනුවට ආදේශකයන් ලෙස යම් යම් නිෂ්පාදන අලෙවි කරනා කූඨ පුද්ගලයන්ට නොරැවටී තමන්ට ලැබෙන ඕනෑම එන්නතක් ලැබෙන මුල් අවස්ථාවේදීම ලබාගැනීමෙන් කොවිඩ් තත්ත්වය නිසා ඇතිවිය හැකි සංකුලතා වළක්වාගත හැකිය.

එසේම ඔබට වෙනත් හේතුවක් නිසා යම් ලිංගික අකර්මණ්‍යතාවයක් තිබේ නම් සුදුසුකම් ඇති වෛද්‍යවරයෙකු හමුවී තත්ත්වය නිට්ටාවටම සුව කිරීම හෝ මැනවින් පාලනය කිරීමට හැකි බවත් අවසාන වශයෙන් පැවසිය යුතුය.

ලිංගාශ්‍රිත රෝග පිළිබඳ  විශේෂඥ වෛද්‍ය

I.L. ජයවීර

MBBS.PG. Diploma

MD (Venereology)

ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්ධන වැඩසටහන

 

සෙව්වන්දි හෙට්ටිආරච්චි