විශේෂාංග

වැලන්ටයින් එකට තෑගි දෙන්නෙ නැත්තෙ ආදරේ අඩු වුණාමද?

සහශ්‍රා හිටියේ ෆෝන් එකත් අතේ තියාගෙන හූල්ල හූල්ල.

ඉස්කෝලේ කාලේ යාළුවෝ එකතු වෙලා හදාගත්තු වට්සැප් චැට් එක පුරාවටම තිබුණේ යාළුවෝ වැලන්ටයින් සමරපු හැටි. නදිනිව ඇගේ පෙම්වතා ලස්සන තැනකට එක්කගෙන ගිහින්. රතු මල් පොකුරක් එක්ක, රතු අකුරින් සුබ වැලන්ටයින් දිනයක් කියලා වැඩ දාපු සුදු පාට කේක් එකක ෆොටෝ ගොඩක් නදිනි එවලා.

එතකොට මාධවී, ඇගේ පෙම්වතා ඇයට මුද්දක් අරගෙන දීලා. ඒක ගොඩක් වටිනවලු. හදලා තියෙන්නේ සුදු රත්තරන්වලින්ලු.

ඒත් අසිත? අසිතට අඩුම තරමේ වැලන්ටයින් එකට සුබ පතන්නවත් උවමනාවක් නැහැ. අසිත කොලඹ බෝර්ඩ් වෙලා රැකියාවක් කරනවා. ඔහු ගොඩක් කාර්යබහුලයි. 14 වෙනිදට ගමේ එන්න බැරිද කියලා සහශ්‍රා අහද්දි අසිත ඇහුවේ ‘‘ඔයාට පිස්සුද?’’ කියලා.

‘‘සහශ්‍රා ඇයි කතා නැත්තේ? අසිත අයියා මොනවාද දුන්නේ?’’ එකපාරටම යෙහෙළියක් වට්සැප් ගෲප් එකට මැසේජ් එකක් එවනවා දකිද්දි සහශ්‍රාට හිතුනේ ඩේටා ඕෆ් කරගන්න.

ඒත් ඉතින් දැන් උත්තර බඳින්නම එපැයි.

‘‘අසිත අයියා හරි අමුතුයි අනේ. එයාට ලොකු ඔෆිස් එකේ මීටින්. අඩුම තරමේ අද මාව බලන්නවත් ආවේ නැහැ. එයාට වැදගත් මීටින් එකක් තියෙනවාලු. නිවාඩු ගත්තොත් ප්‍රමෝෂන් එකට හොඳ නැහැලු. මට නම් දැන් එපා වෙලා.’’ සහශ්‍රා අකුරු කළේ හිතේ වේදනාව.

‘‘අපෝ අපෝ ඒක නම් හරි යන වැඩක් නෙවේ වගේ.’’

‘‘පොඩ්ඩක් හොයලා බලන්න සහශ්‍රා. අසිත අයියට කොළඹින් කවුරුහරි මුණගැහිලද දන්නෙත් නැහැ.’’

යෙහෙළියෝ එක එක උත්තර එවද්දි සහස්‍රාගේ හිත තවත් කඩාගෙන වැටුණා.

සහශ්‍රා අසිතට අවේලාවේ කෝල් කරන්නේ නැත්තෙත් අසිත ගොඩක් කාර්යබහුලයි කියලා දන්න නිසා. ඒත් අද දවස නොසළකා ඇරපු එක ගැන නම් සහශ්‍රාගේ හිතේ තියෙන්නේ දුකක්, නොරිස්සුමක්.

අසිත හවස්වරුවේ කෝල් කරද්දි සහශ්‍රා ඒ දුරකතන ඇමතුම් මඟ ඇරියෙත් හිතේ තිබුණු දුක නිසා. ඊළඟ මොහොතේ සහශ්‍රාගේ ගෙදර ලෑන්ඩ් ෆෝන් එක නාද වෙන්න පටන් ගත්තා.

‘‘දූ.. මෙන්න අර දරුවා කතා කරනවා.’’ ඒ අම්මා.

සහශ්‍රා ඇමතුමට සම්බන්ධ වුණා.

‘‘සහී, ඔයාට කියන්න සුබම සුබ ආරංචියක් තියෙනවා.’’ අසිතගේ කට හඬේ නම් සතුට උතුරනවා.

‘‘මොකද්ද?’’ සහශ්‍රා ඇහුවේ ඕනෙවට එපාවට.

‘‘අද මීටින්ග් එක හොඳටම සාර්ථකයි. මාව ලබන මාසේ ඉඳන් කුරුණෑගල බ්‍රාන්ච් එකේ මැනේජර් කරලා එවනවා.’’

‘‘මොනවා!’’ සහශ්‍රාට කෑ ගැහුනේ සතුට වැඩිකමට.

‘‘ඒ කියන්නේ ඔයා ඊළඟ මාසේ ඉඳන් දිගටම ඉන්නේ ගෙදර නේද? ගෙදර ඉඳන් නේද වැඩට යන්නේ?’’ සහශ්‍රා ඇහුවේ හරි හදිස්සියෙන්.

කොළඹ ඉන්න අසිතව සතියකට පාරක්වත් දැකගන්න නැතුව පාලුවෙන් හිටිය කාලය ඉවරයි කියලා හිතද්දි සහශ්‍රාට කියා ගන්න බැරි තරම් සතුටක් දැනුණා.

‘‘ඔව්. ඔන්න දැන් අපි දෙන්නට නිවී හැනහිල්ලේ මුණ ගැහෙන්න පුළුවන් නිතරම වගේ. විතරක්ද? මගේ සැලරි එකත් වැඩි වුණා. මම හිතන් ඉන්නේ එකතු කරගත්තු සල්ලිත් දාලා අර අපි දෙන්නගේ නමට ගත්තු ඉඩමේ ගේ හදන වැඩේ ලබන මාසෙම පටන් ගන්න. එතකොට බැන්දට පස්සෙ අපි දෙන්නට කෙළින්ම ගිහින් පදිංචි වෙන්න විතරයි තියෙන්නේ.’’ අසිතගේ කටහඬේ තිබ්බ උද්යෝගය, සතුට සහශ්‍රාගේ හිතටත් මාරු වුණේ හරිම ඉක්මණට.

‘‘අනේ මේ ඔයා මට දෙන වැලන්ටයින් තෑග්ගද? මට හරිම සතුටුයි.’’ සහශ්‍රා ඇහුවේ ඒ නිසා.

‘‘අප්පා. අද වැලන්ටයින් නේද? අනේ කෙල්ලේ මට අමතක වුණානේ. අනේ මට ඔය දවස් මතක හිටින්නේ හරි අඩුවෙන්. තරහ නෑනේ?’’ අසිත සෙනෙහසින් ඇහුවා.

සහශ්‍රා එවර නම් ‘‘නෑ’’ කිව්වේ හදවතින්මයි.

තමන්ගේ යාළුවෝ වැලන්ටයින් සමරලා සතුටු වුණා වගේම තමනුත් අසිතගේ සුබ ආරංචිය අහලා සතුටු වුණ බව තේරුම් ගියාම, හැමෝම කරන දේවල් නොකෙරුවා කියලා වරදක් වෙන්නේ නැහැ කියලත්, වැදගත් වෙන්නේ අවසානයේ හිමිවෙන සතුට විතරක් බවත් සහශ්‍රාට තේරුණා.

සමාධි ඩයස්