විශේෂාංග

ලෙඩ හදාගන්න එකද හැඟීම් පාලනය කරගන්න එකද වඩා ලෙහෙසි?

වයස අවුරුදු විසි දෙකක පමණ ඉතා සුන්දර යුවතියක් දිනක් මගේ සායනයට පැමිණියාය. පෞද්ගලිකත්වය හෙළිදරව් නොවන ලෙස ඇගේ කතාව පැවසිය යුතු නිසා මම ඇයව සුදීමා නමින් හඳුන්වමි.

මගේ රහස් ප්‍රදේශයේ තුවාල කිහිපයක් ඇවිල්ලා ඩොක්ටර්. වෙලාවකට ඉවසගන්න බැරිතරම් රිදෙනවා…”

එසේම දරාගත නොහැකි යටි බඩේ වේදනාවක් පිළිබඳවත්, මුත්‍රා කිරීමේදී දැනෙන අපහසුතා පිළිබඳවත් ඈ තවදුරටත් විස්තර කළාය.

යෝනියේ තුවාල ඇතිවීම සඳහා බලපාන ප්‍රධාන හේතු කිහිපයකි. පළමුවැන්න ලිංගාශ්‍රිතව බෝවන රෝගයක රෝග ලක්ෂණ ලෙස යෝනි තුවාල ඇතිවීමයි. ඊට අමතරව ශරීර අභ්‍යන්තරයේ ඇතිවන යම් යම් කායික රෝග, යෝනි මාර්ගය ආශ්‍රිතව ඇතිවන ආසාත්මිකතා, බැක්ටීරියා සහ දිලීර ආසාදනද හේතු විය හැකිය.

සුදීමාට තිබූ අනෙකුත් රෝග ලක්ෂණ සළකා බැලීමේදී මෙම යෝනි තුවාල ඇති වීමට හේතුව ලිංගාශ්‍රිත රෝගයක රෝග ලක්ෂණ බව මට පැහැදිලි විය.

ඒ නිසාම මම ඇයගේ කායික සබඳතාවල ඉතිහාසය පිළිබඳව විමසා බැලුවෙමි.

එවිට ඇය කීවේ ඇය කිසිදිනක ලිංගික සබඳතා පවත්වා නොමැති බවය.

පසුව මම ඇයව කායික පරීක්ෂාවකට බඳුන් කළෙමි. එමෙන්ම ඇයගේ යෝනි තුවාල ආශ්‍රිත නියැදි පරීක්ෂාවට ලක් කළෙමි. එම පරීක්ෂණ මගින් තහවුරු වූයේ ඒ වනවිටත් ඇය ‘හර්පීස්’ නමැති ලිංගාශ්‍රිත රෝගයෙන් පීඩා විඳිනා බවය.

සුදීමාට වැළඳී ඇති රෝගය පිළිබඳව ඇයට පැහැදිලි කළ පසු ඇය මහ හඩින් හඬා වැටෙන්නට වූවාය.

අනේ ඩොක්ටර් මම ඉස්සෙල්ලා බොරු කිව්වේ…”

ලිංගාශ්‍රිත සායනයකදී කරුණු කාරණා සඟවා කතා කිරීම තමාටම කරගන්නා අවැඩක් බවත්, සායනයේදී පවසන අතිශය පෞද්ගලික ලිංගික කරුණු කිසිවෙකුටත් හෙළි නොකිරීම වෛද්‍යවරුන් වන අපගේ වගකීම බවත් අනතුරුව මම ඇයට පැහැදිලි කළෙමි.

 “මම මෙහෙ කෙනෙක් නෙවෙයි ඩොක්ටර්. ගොඩක් දුක්ෂර ගමක ගෑනු ළමයෙක්. මම මෙහෙට එනකොට මට අවුරුදු දහඅටක් විතර ඇති.”

සුදීමා ඇයගේ ගම හැරදා නාගරික ප්‍රදේශයකට පැමිණ තිබුණේ පවුල් වූ දැඩි ආර්ථික දුෂ්කරතා නිසාය. මිතුරියකගේ මාර්ගයෙන් පහසුවෙන්ම කර්මාන්තශාලාවක රැකියාවක් සොයාගත් ඈ කාලයාගේ අවෑමෙන් ගැමි ගතිගුණවලට සමුදී නගරබද ජීවිතයට හුරු වී ඇත.

සම්පත් වැඩ කළෙත් මම වැඩ කරන තැනමයි. මම රස්සාවට ගිය මුල් කාලෙ ඉඳලම එයා මගේ ගැන උනන්දුයි කියලා මට තේරුණා.”

රැකියාවට ගොස් මාස කිහිපයකින්ම ඇය සම්පත් නම් තරුණයෙකු සමඟ පෙම් සබඳතාවක් ඇති කරගෙන තිබුණි.

එයා ඇත්තටම මට ආදරෙයි කියලයි මම හිතුවා. යාළු වෙලා මාසයක් යන්නත් කලින් රූම් එකකට එක්කගෙන යද්දී මම එයාව විශ්වාස කළා.”

පෙම්වතාගේ ඉල්ලීම ඉවතලීමට නොහැකි තැන තමා සම්පත් සමඟ අඹුසැමි සබඳතා පැවැත්වූ බව සුදීමා පැවසූයේ හැඬූ කඳුළෙනි.

ඒ මිනිහා ඒ හැමදේම වීඩියෝ කරලාමාව රැවැට්ටුවා.”

සියල්ල වීඩියෝගත කිරීමට පමණක් නොව ඒවා ඇයගේ දෙමව්පියන්ට පෙන්වන බවට තර්ජනය කරමින් සුදීමාව ඔහුගේ සගයන් සමඟ යහන්ගත කිරීමටද සම්පත් කටයුතු කර තිබුණි.

ඉන්පසු කිහිපදෙනෙක් සමඟම ලිංගික සබඳතා පැවැත්වීමට සිදුවූ බවත්, ඉන් කිහිපදෙනෙක්ම තමාට වඩා වයසින් වැඩි වැඩිහිටි පිරිමීන් බවත් ඇය පැවසුවාය.

නමුත් ඒ වනවිට සුදීමා සිටියේ රෝගයේ මුල් අදියරේ නිසා ප්‍රතිකාර මගින් රෝගය මැනවින් පාලනය කළ හැකි බවත්, අනාගතයේදී යහපත් පවුල් ජීවිතයක් ගත කළ හැකි බවත් මම පැහැදිලි කළෙමි.

එසේම ඇයගේ කායික ප්‍රතිකාර අරඹා උපදේශන මගින් ඇයගේ මානසික පීඩනය යටපත් කිරීමටත් මම කටයුතු කළෙමි.

මෙහිදී සුදීමාට වැළඳී තිබුණු ‘හර්පීස්’ නමැති ලිංගාශ්‍රිතව බෝවන රෝගය පිළිබඳව ඔබට තවදුරටත් පැහැදිලි කිරීම වැදගත්ය.

හර්පීස් ඇතිවීමට හේතුවන්නේ ‘හර්පීස් සිම්ප්ලෙක්ස් (Herpes Simplex)’ නමැති වෛරසයයි.

රෝග තත්ත්වය ඇතිවන්නේ අනාරක්ෂිත යෝනි, ගුද හෝ මුඛ ලිංගික සබඳතා මගිනි.

වෛසරය ආසාදනය වූ පසුව සමහර පුද්ගලයන්ගේ ලිංගික ප්‍රදේශයේ කුඩා දිය බිබිලි මතුවී ඒවා කැඩීගොස් තුවාල ඇති වී වේදනාවක් මතු වේ. ලිංගික ප්‍රදේශ හැරුණුවිට මේවා ගුද මාර්ගයේ හා මුඛය තුළද ඇතිවිය හැකිය.

ඊට අමතරව ලිංගික ප්‍රදේශවල වේදනාවක් නැතහොත් කැසීමක් ඇතිවීම, මුත්‍රා දැවිල්ල, උණ ඇතිවීම සහ ඇඟපත වේදනාව, හිසරදය වැනි රෝග ලක්ෂණද ඇතිවිය හැකිය.

යමෙක්ට මේ කිසිඳු රෝග ලක්ෂණයක් නොපෙන්වා වුවත් වෛරසය ආසාදනය වී තිබිය හැකිය. එවිට වෛරසය ඔහුගේ ලිංගික සහකරුවන්ටද බෝවේ. එසේම කලින් කලට වෛරසය සක්‍රීය වී නැවත නැවත රෝග ලක්ෂණ මතුවීමටද ඉඩ ඇත.

ඉහත සඳහන් රෝග ලක්ෂණ ඇත්නම් වහාම ළඟම ඇති ලිංගාශ්‍රිත රෝග සායනයට සහභාගී විය යුතු අතර එහිදී දිය බිබිලිවලින් හෝ තුවාලවලින් මාත්තුවක් ගෙන ලිංගික හර්පීස් පරීක්ෂාවක් (HSV PCR) සිදුකර අදාළ රෝගියාව නිසි ප්‍රතිකාර වෙත යොමු කරනු ලබයි.

සුදීමාගේ කතාවෙන් මට මතුකළ යුතු තවත් වැදගත් කාරණාවක් ඇත. ඒ තරුණ විය ගතකරන ඔබ ලිංගික හැඟීම් කළමනාකරණය කරගැනීම වැදගත් බවය.

මෙවැනි අවාසනාවන්ත ඉරණම්වලට මුහුණදෙන ළාබාල යුවතියන් ඕනෑතරම් මගේ වෘත්තීය ජීවිතය තුළදී මාහට හමුවන බව කණගාටුවෙන් වුවත් පැවසිය යුතුය.

තරුණ වියේදී ආදරණීය සබඳතා ඇති කරගැනීම අතිශය ස්වභාවිකය. නමුත් සබඳතාවලදී ඇතිවන හැඟීම් කළමනාකරණය කරගනිමින් පළමු එක්වීම විවාහය දක්වා කල්දැමිය හැකිනම් වඩා හොඳය.

එසේත් නැතහොත් ලිංගික එක්වීමකදී ආරක්ෂක ක්‍රමවේදයක් භාවිත කිරීමට ඔබ බුද්ධිමත් විය යුතුය.

ලිංගාශ්‍රිත රෝග පිළිබඳ  විශේෂඥ වෛද්‍ය

I.L. ජයවීර

MBBS.PG. Diploma

MD (Venereology)

ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්ධන වැඩසටහන

 

සෙව්වන්දි හෙට්ටිආරච්චි