Uncategorized

මම දවල්ට ගෙවල් හදනවා, රෑ‍ට කේක් හදනවා – විහඟා වීරසිංහ

ගිය අවුරුද්දේ දෙසැම්බර් මාසේ කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ වසරේ දැවැන්තම කේක් නිර්මාණ ප්‍රදර්ශනය නමින් ලොකු ප්‍රදර්ශනයක් තිබුණා. මේ ප්‍රදර්ශනයේ එකිනෙකට වෙනස්, දැවැන්ත සහ ඉතා නිර්මාණශීලී කේක් ආකෘති සියයකට අධික ප්‍රමාණයක් දකින්න ලැබුණා. ඒ අතරින් හැමෝගේම වගේ අවධානය දිනාගත්ත කේක් ආකෘතියක් තමයි එලිසබෙත් මහා රැජිනගේ උඩුකය නිරූපණය වෙන විදියට හදලා තිබුණු වෙනස්ම කේක් ආකෘතිය. රැජිනගේ වයසක පෙනුමයි ඒ විදියට නිර්මාණය කරලා තිබුණේ.

ඒක හදලා තිබුණේ විහඟා වීරසිංහ. ඇයත් එක්ක එක්ක ටිකක් කතාබහ කරද්දී තමයි දැනගන්න ලැබුණේ විහඟා කියලා කියන්නේ ගොඩනැගිලි ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියාව කරන ඉංජිනේරු සැලසුම් ශිල්පිනියක් කියලා. ඒ රැකියාව කරන අතරවාරෙයි ඇය අමතර ආදායම් මාර්ගයක් විදියට කේක් ව්‍යාපාරයකුත් කරගෙන යන්නේ. ඉතින් ඒ විදියෙ උත්සාහවන්ත තරුණියන්ට ‘ධරණී’ පත්තරේ ඉඩක් වෙන්කරන්න අපි දෙපාරක් හිතන්නේ නැති බව ඔබ දන්නවනේ. ඒ නිසාම සතුටින් ජීවිතය දරන ඇගේ කතාව ඔබත් සමඟ බෙදාගන්න ගමන්ම ධරණී කවරය දරා සිටින්නත් අපි විහඟාට ආරාධනා කළා.

“එදා මං එලිසබෙත් රැජිනිගේ විදියට හදපු කේක් ආකෘතිය සමාජමාධ්‍යවල සෑහෙන්න ප්‍රසිද්ධ වෙලා තිබුණා. ඒක දැකපු ගොඩාක් අය මගෙන් ඇහුවා මං ඇයි රැජිනම හැදුවේ කියලා. තව අය කිව්වා ඔයාට ඩයනාව හදන්න තිබුණේ කියලා. ඇත්‍තටම මං පුංචි කාලේ ඉඳන් රජ පවුලට හරි කැමතියි. මං එලිසබෙත් රැජින හදන්න තීරණය කළේ දෙවැනි එලිසබෙත් රැජින ඒ ආසන්නම කාලෙක මියගිය නිසා. ඒ වෙනකොටත් හැමෝම කතාවුණේ ඒක ගැන. ඉතින් මට හිතුණා එලිසබෙත් රැජිනගේ කේක් ආකෘතියක් හැදුවා නම් හොඳයි කියලා.”

විහඟා පුංචි කාලේ හීන දැකලා තියෙන්නේ නීතීඥවරියක් වෙන්න. ඒත් කාලයත් එක්ක ඇය ආස කරපු හීනය අත්හරින්න වෙලා. මොකද ගෙදරින් කිව්වලු උසස්පෙළ විද්‍යා විෂයෙන් හදාරලා ඒ අංශයෙන් ඉස්සරහට යන්න කියලා. උසස්පෙළ සමත්වෙලා හෙද විද්‍යාලයට යන්න අවස්ථාවක් ලැබුණත් විහඟා ඒ අවස්ථාව භාර අරගෙන නැත්තේ ඒ රැකියාවට ඇගේ ආසාවක් නොතිබුණු හින්දා. පස්සේ ඇය රත්මලාන තාක්ෂණික විද්‍යාලයට ඇතුළත් වෙලා. ඒ අලුත් හීනයක් පස්සේ දුවන්න බලාගෙන.

“එහෙම තමයි මං ඉංජිනේරු සැලසුම් ශිල්පිනියක් විදියට ගොඩනැගිලි ඉදිකිරීම් ක්ෂේත්‍රයට එකතු වුණේ. එදා ඉඳන් මං ගෙවල් අඳින වැඩ, හදන වැඩ, මනින වැඩ, බලන වැඩ සහ අධීක්ෂණය කරන වැඩ කරනවා. ඒ විදියට අවුරුදු පහක් විතර වැඩ කරගන ඉන්නකොට තමයි අපේ රටටත් කොවිඩ් වසංගතයේ බලපෑම් ආවේ.”

එදා හැමෝම කොවිඩ් වසංගතය කරදරයක් විදියට බාරගනිද්දි විහඟා ඒක ආශිර්වාදයක් කරගෙන. ඒත් එක්ක තමයි මේ ඉංජිනේරු සැලසුම් ශිල්පිනිය ගෙවල්වලට අමතරව කේක් හදන්නත් පටන් අරගෙන තියෙන්නේ.

“කොවිඩ් කාලේ ගෙදර ඉඳන්නේ අපට රැකියාව කරන්න වුණේ. ඉතින් ඉන්න ගමන් මට හිතුණා කේක් එකක් හදලා බලන්න. ඒත් ගෙදර තිබුණේ ගෑස් අවන් එකක්. ඉතින් යූටියුබ් බලාගෙන ඒකෙන් කේක් හැදුවත් හරියට හැදුනේ නෑ. ආයේ ආයේ හැදුවත් වුණේ ඒකමයි. ඔය අතරේ මගේ උපන්දිනේට බෝයිෆ්‍රෙන්ඩ් මට අවන් එකක් තෑගි දුන්නා. ඊටපස්සේ තමයි හරියටම කේක් හදන්න පුළුවන් වුණේ.”

ඕනම වැඩක් හැදෑරීමක් එක්ක කළොත් දිගු ගමනක් යන්න පුළුවන් කියලා කතාවක් තියෙනවනේ. ඒකයි පුංචි කාලේ ඉඳන්ම කොච්චර හොඳට දුවන්න පුළුවන් වුණත් උසේන් බෝල්ට්ට පවා පුහුණුකරුවෙක් හිටියේ. විහඟා කේක් හදන්න උගන්වන පාඨමාලාවන් කීපයකට සම්බන්ධ වෙලා තියෙන්නෙත් එහෙම හිතලා.

“මුලින්ම කේක් හදන්න ඉගෙනගන්න ගියේ ඈන්ස් කිචන් එකේ ඈන් මිස්ගේ ගාවට. ඊටපස්සේ ලක්ෂ්මි කුමාරි මිස් ගාවින් ඉගෙනගත්තා. ලක්ෂ්මි මිස් තමා මට අර එලිසබෙත් රැජිනගේ කේක් එක හදන්න ඉගැන්වුවේ. හැමදේම ඉගෙනගත්තට පස්සේ ඉඩක් ලැබුණු ගමන්ම පොඩි පොඩි කේක් හැදුවා. අපේ පවුලේ කාගේ හරි බර්ත්ඩේ එකක් එහෙම තිබුණොත් මං බලෙන්ම කේක් එකක් හදාගෙන එහෙට යනවා. කන හැමෝම කියන්නේ කඩේ ඒවට වඩා රසයි කියලා. රහස මොකක්ද අහපුවම අහන හැමෝටම මං කියන්නේ කේක් හදද්දි ආදරේ ටිකක් වැඩිපුර දැම්මොත් කේක් එක රස වෙනවා කියලා. ඒක බොරුවක් නෙවෙයි. ඒ නිසා තමයි කඩේ ගන්න තියෙන කේක්වලට වැඩිය ගෙදර හදන කේක් රසයෙන් වැඩි.”

විහඟා කේක් හදන්න පුරුදුවෙලා තියෙන්නේ 2019 අවුරුද්දේ. 2020 තමයි ඇයට පළවැනි කේක් ඕඩර් එක ඇවිත් තියෙන්නේ. ඒ රත්මලානේ තාක්ෂණික විද්‍යලේ ඉගෙනගන්න කාලේ මුණගැහුනු මිතුරෙකුගෙන්.

“එදා මට හරි සතුටුයි. පස්සේ මං උපරිම මහන්සිවෙලා එයාට කේක් එක හදලා දුන්නා. ඒක උපන්දින කේක් එකක්. දවස් දෙකකට පස්සේ කතා කරලා කිව්වා ඒ කේක් එක නම් මාර රහයි කියලා. අන්න එදා තමයි මට හිතුණේ රැකියාවත් කරන ගමන් පොඩියට කේක් ඕඩර්ස් බාරඅරන් කරන්න. එහෙම හිතලා තමයි මං ‘Vihi’s Oven’ පටන්ගත්තේ.”

අපේ රටේ කොච්චර කේක් හදන අය හිටියත් විහඟාගේ කේක් ඒ අතරින් හරි විශේෂයි කියලයි ඇය අපිත් එක්ක කිව්වේ. ඒ විතරක් නෙවෙයි අපේ රටේ මේ වෙනකොටත් ව්‍යාපාරයක් විදියට ෂිෆෝන් කේක් අලෙවි කරන්නේ විහඟා විතරයි.

“මට නිතරම ඕන වුණේ අලුත් දෙයක් කරන්න. මං හදන කේක් කාපුවම කෙනෙක්ට වාව් කියන හැඟීම දැනෙන්න ඕනේ. ඒ නිසා කේක් ටොපර් එකේ ඉඳන්ම වෙනසක් කරන්නයි උත්සාහ කරන්නේ. කිව්වත් වගේ අපේ රටේ මං විතරයි දැනට බිස්නස් එකක් විදියට ෂිෆෝන් කේක් එක කරන්නේ. ෂිෆෝන් කේක් කියන්නේ පැණි රස අඩු, සීනි අඩු සහ අයිසින් නැති ස්පොන්ච් වර්ගයේ කේක් එකක්. කද්දි කටේම දියවෙනවා. ඒක මැලේසියන් එකක්. මේ වෙද්දි ඒකටත් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. අපේ රටට තාම ඒක අලුත්.”

කේක් අලෙවියේදි විහඟා වැඩිපුර සතුටුවෙන්නේ ඇයට කේක් ඕඩර් එකක් දීපු කෙනෙක් දෙවැනි පාරටත් ඇයටම ඕඩර්ස් එකක් දෙනකොටලු. ඒ හරහා තමන්ගේ සාර්ථකත්වය තමන්ටම මැන ගන්න පුළුවන් කියලයි ඇය අපිත් එක්ක කිව්වේ.

“ගිය පෙබරවාරි මාසයේ වැලන්ටයින් එකට මට කේක් ඕඩර් එකක් ආවා. ඒක එදා දවල් 12.30 වෙනකොට ඩිලිවරි සර්විස් එකකින් නුගේගොඩට එවන්න කියලා කස්ටමර් කියලා තිබුණා. මගේ ගෙවල් දෙහිවල. ඩිලිවරි සර්විස් එකෙන් යැව්වොත් පැය බාගයක් යයි. කොහොමහරි එදා ඒක යැව්වා. මෙන්න දවල් දෙකට තුනට කස්ටමර් කතා කරලා කියපි අර කේක් එක ලැබුණේ නෑ කියලා. අදටත් ඒ කේක් එකට වුණු දේ අභිරහසක්. ඒත් මං හිතන්නේ ඩිලිවරි සර්විස් එකේ කෙනාම කේක් එක ගන්න ඇති.”

ඉඳලා හිටලා එහෙම දේවලුත් වෙනවා කියලා විහඟා කිව්වේ හිනාවෙන ගමන්. හැබැයි මොන දේ වුණත් විහඟාගේ කේක් ව්‍යාපාරයට ගෙදර අයගෙන් නම් හිතාගන්න බැරි සහායක් ලැබෙනවලු.

“අපි ලොකු පවුලක්. අම්මයි තාත්තයි ඇරුනම මට තව අක්කයි මල්ලියි නංගිලා දෙන්නෙකුයි ඉන්නවා. මුල් කාලේ එයාලා තමයි හැමදේටම මට උදව් කළේ. දැන් නම් ඉතින් හැමදේම කරන්නේ හස්බන්ඩ්. රෑ දොළහට බිත්තර නෑ කිව්වත් එයා මොන ලෝකෙන් හරි ගිහිල්ලා බිත්තර අරගෙන එනවා. අපි කතාවට සාර්ථක පිරිමින්ගේ පිටිපස්සේ ගැහැනියක් ඉන්නවා කිව්වට මේ වගේ සාර්ථක ගැහැනු පිටිපස්සේ පිරිමි ඉන්න වෙලාවලුත් තියෙනවා.”

ඉංජිනේරු සැලසුම් ශිල්පිනියක් විදියට සිය වෘත්තියත් කරන ගමන් විහඟා කේක් ව්‍යාපාරයකුත් කරන්නේ කොහොමද? ඇයට ඒ වෙනුවෙන් කාලය තියෙනවද? ගෙවල් හදන ගමන් කේක් හදන විහඟාට අපෙන් ඊළඟට ලැබුණු ප්‍රශ්නය වුණේ ඒක.

“කාටත් තියෙන පැය විසිහතරම තමයි මටත් තියෙන්නේ. ඒක කළමනාකරණය කරගෙනයි මං මේ වැඩ දෙකම මෙහෙම කරගෙන යන්නේ. මං කේක් හදන්නේ රෑට. හැමදාම වැඩට ගිහිල්ලා එනකොට හස්බන්ඩ් අවශ්‍ය සේරම ලෑස්තිකරලා තියනවා. මට තියෙන්නේ හදන්න. හැබැයි මං දවසට ඕඩර්ස් හතරකට වඩා නම් බාරගන්නේ නෑ. ඊට වඩා බාරගත්තොත් කරන්න අමාරුයි. ඕඩර්ස් හතරක් බාර අරනුත් සේරම වැඩ කරලා ඉවරවෙද්දි පාන්දර දෙක තුන වෙන වෙලාවල් ඕනතරම් තිබිලා තියෙනවා.”

මේ අතරේ විහඟා කිව්වේ අපූරු කතාවක්. ඒ නිදිමරන පැය ගණන අනුවයි කාගේ වුණත් සාර්ථකත්වය රැඳිලා තියෙන්නේ කියලා. 

“ගොඩනැගිලි ඉදිකිරීම් ක්ෂේත්‍රය තුළ සැලසුම් නිර්මාණ ශිල්පිනියක් විදියට මේ මගේ අටවැනි අවුරුද්ද. කේක් නම් හදන්න අරගෙන දැන් අවුරුදු තුනක්. ඒ අතරේ හුඟාක් අය අහනවා මේ රැකියා දෙකෙන් ලේසි කොයි එකද කියලා. මට නම් දෙකම ගොඩාක් අමාරුයි. මොකද දෙකේම තියෙන්නේ නිර්මාණශීලීව දෙයක් ගොඩනගලා කෙනෙක්ව සතුටු කරන්න. එතැනදි ඒ පුද්ගලයා සතුටක් නොලැබුවොත් මං ෆේල්. ඒ නිසා රැකියා දෙකම කරන්න ලේසි නෑ.”

මේ අතර නිවෙස්වල ඉඳන් ‘ධරණී’ කියවන කාන්තාවන් වෙනුවෙන් විහඟා හරි අපූරු යෝජනාවකුත් කළා. ඒ ඇය රැකියාවක් කරන ගමන් මේ විදියට කේක් ව්‍යාපාරයක් කළාට කෙනෙක්ට කේක් ව්‍යාපරයක් විතරක්ම කරලත් හරි ලේසියෙන් ජීවිතය ගොඩදාගන්න පුළුවන් කියලා. දන්නවද ටිකක් මහන්සි වුණොත් කේක් හදලා මාසෙට ලක්ෂෙට කොඩිය දාන්න වුණත් පුළුවන්ලු.

“මට තාම වයස අවුරුදු 32යි. වයසත් එක්ක බලද්දි මං සාර්ථක ගැහැනියක් කියලා මට හිතෙනවා. මං හැමෝටම කියන්න කැමතියි තමන් ආස පාරෙන් ඉස්සරහට යන්න ලස්සන ඉලක්කයක් හදාගන්න. ආසාව තිබුණට කැපවීම තිබුණට මදි. හොඳ හැදෑරීමක් එක්කයි ඒ ඉලක්කයට යන්න ඕනේ. අනික හැමෝම හිතන විදියට නැතුව වෙනස් විදියට නිර්මාණශීලීව හිතන කෙනෙක් වෙන්නත් ඕනේ. මේ ගෙවෙන කාලය ආයෙත් එන්නේ නෑනේ. ඒ නිසා පුළුවන් කාලේ මහන්සි වෙන්න ඕනේ. එහෙම වුණොත් කාට වුණත් තමන්ගේ සාර්ථකත්වය ළඟාකරගන්න පුළුවන්.”

ඇහැ පිනවන්න හිත පිනවන්න බලාගෙන ගෙවල් හදන ගමන් දිව පිනවන්න කේක් හදන ඉංජිනේරුවරිය අපේ කතාබහට සමුදුන්නේ එහෙම.

රුවන් එස්.සෙනවිරත්න

ඡායාරූප – චමත් ඒකනායක