නවතම ප්‍රවෘත්ති

අපි උපරිම අඩි හැටක් ගැඹුරට ත්‍රිකුණාමල මුහුදේ කිමිදුනා

1940-50 කාලය කියන්නේ කාන්තාවකට ඇමෙරිකානු වෙරළේ නිදහසේ ඇවිදින්නවත් බැරිව තිබුණු කාලයක්. ඒ කාලයේ ඩොටී ෆ්‍රෙසියර්’ (Dottie Frazier) කියන ඇමෙරිකානු තරුණිය හිටියේ ගුවන් සමාගමක සේවය කරමින්. ඔය අතරතුරේ ඇයට පුවත්පතක හරි අපූරු දැන්වීමක් දකින්න ලැබුණා. ඒ කිමිදුම් පාඨමාලාවක් ගැන. හැබැයි ඒ වෙනකොට කිමිදුම් අංශයේ ආධිපත්‍යය තිබුණේ පිරිමින්ගේ අතේ. නමුත් ඇය දෙපාරක් නොහිතා මේ කිමිදුම් පාඨමාලාවට අයැදුම් කළා. ඒත් ඇය කාන්තාවක් වීම නිසා ඒ අවස්ථාව ඇයට ලැබුණේ නෑ. හැබැයි තමන්ගේ අරමුණ වෙනුවෙන් දිගටම උත්සාහ කළ නිසා ඇය නැවතුණේ ලෝකයේ පළමු කිමිදුම්කාරිය වෙලා.

පසුගියදා අපි කොළඹ නාවික හමුදා මූලස්ථානයට ගියෙත් ඒ වගේම කතාවක් ගැන අහන්න ලැබුණු නිසා. ඔබ දන්නවා ඇති මේ වෙනකල් නාවික හමුදාවේ කිමිදුම්කරුවන් වෙලා හිටියේ නාවිකයින් විතරයි. ඒත් පසුගියදා ශ්‍රී ලංකා නාවික හමුදා ඉතිහාසයේ පළමු වතාවට මූලික කිමිදුම් පාඨමාලාවක් සාර්ථකව නිමකරන්න කාන්තා නිලධාරියන් දෙදෙනෙක් සහ එක් කාන්තා නාවිකයෙක් සමත්වුණා. ඒ ශ්‍රී ලංකා නාවික හමුදාවේ ලුතිනන් (සැපයුම්) ගයන්කා සතරසිංහ, උප ලුතිනන් (ස්වේච්ඡා) නිමාෂා ජයවික්‍රම සහ බල කාන්තා නාවික ජී.ඩී.ඩී.සකුන්තලා. ඉතින් නාවික හමුදා ඉතිහාසය අලුතින් ලියපු ඒ තරුණියන් තිදෙනාගේ රුවින් තමයි අද ධරණිකවරය හැඩවෙන්නේ. මේ කතාවත් ඔවුන් ගැනමයි.

මං අධ්‍යාපනය ලැබුවේ මිලාගිරිය ශාන්ත පාවුලු බාලිකා විද්‍යාලයෙන්. උසස් පෙළ කළේ වාණිජ විෂය ධාරාවෙන්. මොකද බැංකු ක්ෂේත්‍රයේ රැකියාවක් කරන්න මට ලොකු ආසාවක් තිබුණා. ඔය අතරේ තමයි මගේ අක්කා ගුවන් හමුදාවට බැඳුණේ. එයා ගුවන් හමුදා නිල ඇඳුම ඇන්දට පස්සේ අම්මයි තාත්තයි ඒ දිහා බලලා ගොඩාක් සතුටු වුණා. පස්සේ එයාලට ඕන වුණා මාවත් එතැනට යවන්න. අන්තිමේ ඒ දෙන්නගේ බලාපොරොත්තු ඉටුකරන්න මම නාවික හමුදාවට බැඳුණා.

පුංචි සන්ධියේ මතක මතින් මුලින්ම අපේ කතාබහට එකතුවුණේ ලුතිනන් (සැපයුම්) ගයන්කා සතරසිංහ. බොරලැස්ගමුවේ පදිංචි ඇය මේ වෙනකොට 27 හැවිරිදි තරුණියක්. 2014 වසරේ නාවික හමුදාවට බැඳුණු ගයන්කාගේ පාසල් කාලය ගෙවිලා තියෙන්නෙත් ක්‍රීඩාවත් එක්ක. දැනට නාවික හමුදාවේ සැපයුම් අංශයේ රාජකාරි කරන ඇයට ඒ ක්‍රීඩා කුසලතාවයන් විශාල රුකුලක් වුණා කියලයි ඇය කිව්වේ.

ශ්‍රී ලංකා නාවික හමුදා කිමිදුම් අංශය ස්ථාපිත කළ බව සඳහන් වෙන්නේ 1962 වසරේ. එයින් වසර 36කට පස්සේ ඒ කියන්නේ 1998 වසරේ ඔවුන් තීරණය කළා නාවික හමුදා සෙබළුන්ට විධිමත් කිමිදුම් පුහුණුවක් ලබාදීමේ අරමුණෙන් නාවික හමුදා කිමිදුම් පුහුණු පාසලක් ආරම්භ කරන්න. ඒ ත්‍රිකුණාමලය නාවික තටාකාංගණ පරිශ්‍රයේදී. නමුත් එදා ඒ වරම හිමිවුණේ නාවික සෙබළුන්ට පමණයි. ඒත් පසුගියදා ශ්‍රී ලංකා නාවික හමුදා ඉතිහාසයේ පළමු වතාවට නාවික සෙබළියන් වෙනුවෙනුත් මූලික කිමිදුම් පාඨමාලාවක් ආරම්භ කළා. ඒ නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතාගේ සංකල්පයකට අනුව. ඒ පාඨමාලව ගැනත් ගයන්කා අපිට විස්තර කළා.

ඇත්තටම කාන්තාවන් වෙනුවෙන් මීට පෙර නාවික හමුදාවේ කිමිදුම් පාඨමාලාවක් තිබුණේ නෑ. එහෙම වෙලාවක තමයි මේ වගේ පාඨමාලාවක් පටන්ගත්තේ. මටත් හිතුණා ඒ අභියෝගය බාරඅරගෙන බලන්න. මුලදිනම් වතුරට ලොකු බයක් තිබුණා. ඒත් පස්සේ ඒක හරි ගියා. අපි දින 20ක් පුරාවටම කිමිදුම් පාඨමාලාව සිදුකළා.

ඊළඟට අපි ඇගෙන් ඇහුවේ කිමිදුම් පාඨමාලාව ඇයට කොතරම් අභියෝගයක් වුණාද කියලා.

මේ පාඨමාලාවට ඉල්ලුම් කරන තැන ඉඳන්ම තිබුණේ අභියෝග. ඒකට සුදුසුකම් ලබන්නනම් ශාරීරික යෝග්‍යතාව උපරිමයෙන් තියෙන්න ඕන වුණා. වෛද්‍ය පරීක්ෂණ රැසකටම මුහුණදුන්නා. ගොඩාක් අය බයට ඉල්ලුම් කළේ නෑ. මුලදිනම් සමහරුන්ට සැකයක් තිබුණා කාන්තාවන්ට මේක කරගන්න පුළුවන් වෙයිද කියලත්. ඒත් අන්තිමේ මමයි තව දෙන්නෙකුයි එක්ක පාඨමාලාව සාර්ථකව අවසන් කළා.

කාන්තා නාවිකයින්ට මූලික කිමිදුම් පාඨමාලාව හැදෑරීමේ අවස්ථාව ලැබෙද්දි කැමැත්තෙන්ම ඉදිරිපත් වූ තවත් තරුණියක් තමයි උප ලුතිනන් (ස්වේච්ඡා) නිමාෂා ජයවික්‍රම.

මං පොඩි කාලේ ඉඳන් පිහිනුම් කළා. මට හොඳට පීනන්න පුළුවන්. හැබැයි විශ්වවිද්‍යාල ගමනත් එක්ක ඒක අතෑරිලා ගියා. ඒත් නාවික හමුදාවට බැඳුණාට පස්සේ  ඒ හැකියාවෙන් වැඩක් ගන්න හිතුවා. ඒක කරන්නේ කොහොමද කියලා හිත හිතා ඉන්නකොට තමයි කිමිදුම් පාඨමාලව පටන්ගත්තේ. ඒත් කොච්චර පීනන්න දැනගෙන හිටියත් පාඨමාලාව කරද්දි හිතට ලොකු චකිතයක් බයක් දැනුණා.

 

*කොයිතරම් ගැඹුරකට වගේ කිමිදෙන්න අවස්ථාව ලැබුණද?

අපි උපරිම අඩි හැටක් දක්වා ගැඹුරකට ත්‍රිකුණාමල මුහුදේ කිමිදුනා. ඒක වෙනස්ම අත්දැකීමක්.

 

අම්බලන්ගොඩ පදිංචි 28 හැවිරිදි නිමාෂා කියන්නේ උපාධිධාරිනියක්. උපාධියක් අතේ තියාගෙන හමුදාවට බැඳෙන එක ගැන සමාජයට ප්‍රශ්නයක් තිබුණත් ඇයට නම් ඒක ප්‍රශ්නයක් නොවුණු බවයි ඇය අපට කිව්වේ.

මං අධ්‍යාපනය ලැබුවේ අම්බලන්ගොඩ ශාන්ත/පී..එස්.කුලරත්න මහා විද්‍යාලයෙන්. උසස් පෙළ කරලා විශ්වවිද්‍යාලේ ගිහින් උපාධිධාරිනියක් වෙලා තමයි නාවික හමුදාවට බැඳු‍ණේ. 2021 අවුරුද්දේ. ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ සහ වාණිජ විද්‍යා පීඨයේ ව්‍යවසායික අධ්‍යාපන අංශයේ මගේ උපාධිය සම්පූර්ණ කළේ. උපාධිධාරිනියක් විදියට නාවික හමුදාවට බැඳෙද්දි සමහරු එක එක කතා කිව්වා. උපාධියක් තියාගෙන හමුදාවට යන්නේ ඇයි ඇහුවා. එහෙම එකක් නෑ. අපි දැනට ඉන්න තැනෙන් ඉහළට යන්න ඒ සුදුසුකම සෑහෙන්න බලපානවා. කෙනෙක් හිතනවානම් අධ්‍යාපනය මට්ටමින් පහළ අය විතරයි හමුදාවට බැඳෙන්නේ කියලා ඒක කතාවට කියන දෙයක් විතරයි. මොකද හොඳට ඉගෙනගෙන ඇවිත් උසස් නිලවලට ගියපු ගොඩක් අය හමුදාවේ ඉන්නවා.

පසුගිය සැප්තැම්බර් 24 වැනිදා ත්‍රිකුණාමලය නාවික තටාකාංගණ පරිශ්‍රයේදී පාඨමාලාව සාර්ථකව අවසන් කිරීම වෙනුවෙන් ඔවුන්ට සහතික පත්‍ර ප්‍රදානය කෙරුණා. ඒ නාවික හා සාගරික විද්‍යාපීඨයේ ආඥාපති කොමදෝරු ඩේමියන් ප්‍රනාන්දු මහතාගේ ප්‍රදානත්වයෙන්.

නාවික හමුදාවට බැඳෙනකොට මට පීනන්නවත් බෑ. ඇත්තටම බැඳුණට පස්සෙයි පීනන්න පවා පුරුදුවුණේ. ඔය අතරේ තමයි කාන්තාවන්ට කිමිදුම් පාඨමාලාවක් පටන්ගන්න යනවා කියලා දැනගන්න ලැබුණේ. හිතේ චකිතයක් තිබුණත් මං ඒකට ඉල්ලුම් කළා. මුලින්ම කිමිදුම් කරපු දවසෙනම් ගැඹුරත් එක්ක හිත ගැස්සුණා. ඒත් ඒක වෙනස්ම අත්දැකීමක් වුණා. මොකද එහෙම අවස්ථාවක් හැමෝටම ලැබෙන්නේ හෝ ලබාගන්න බෑ.

කිමිදුම් පාඨමාලාවේ අමතක නොවෙන මතක එක්ක ඒ විදියට අවසන් කතාබහට මුලපිරුවේ බල කාන්තා නාවික ජී.ඩී.ඩී.සකුන්තලා. ඇය තමයි කිමිදුම් පාඨමාලාව සාර්ථකව අවසන් කළ තුන්වැන්නා. තවමත් 22 හැවිරිදි වියේ පසුවෙන ඇගේ පදිංචිය හොරණ. ඇය නාවික හමුදාවේ ශාරීරික අභ්‍යාස අංශයෙයි සේවය කරන්නේ.

අපේ ගෙදර ඉන්නේ අම්මයි, තාත්තයි, මල්ලියි, මමයි. පුංචි කාලේ ඉඳන්ම මට හීනයක් තිබුණා ගුරුවරියක් වෙන්න. ඒත් වරක් මගේ යාළුවෙක් නාවික හමුදාවට බැඳුණා. ඒ දැකලා මටත් හිතුණා මමත් යන්න ඕන කියලා. ඒ වෙනකොට මං උසස් පෙළ කරලා හිටියේ. උසස් පෙළ කළේ හොරණ ශ්‍රීපාලි ජාතික පාසලෙන්. ගෙදර එකම ගෑනු ළමයා හමුදාවට දෙන්න අම්මලානම් මුලින් කැමතිවුණේ නෑ. ඒත් පස්සේ කැමැත්ත ලැබුණා. මං නාවික හමුදා නිල ඇඳුමට පුදුම ආදරෙයි. මේ පාඨමාලව සාර්ථකව ඉවර කළාට පස්සේ ඒ ආදරේ තවත් වැඩිවුණා. මොකද මේ නිල ඇඳුම නිසයි ඒ අවස්ථාව ලැබුණේ.

හමුදා නිල ඇඳුමක් අඳින්න හිත හදාගන්න හැම තරුණියකටම බෑ. මොකද ඒ තුළ ඇති සීමා රාමුවලට කොටුවෙන්න බොහෝ අය අකැමතියි. එහෙම අකමැත්තක් තිබුණෙම නැද්ද කියලත් අපි සකුන්තලාගෙන් ඇහුවා.

හමුදාවේ කොහොමත් විනය තමයි අංක එක. ඒක හැමෝටම පොදුයි. නිල ඇඳුම ඇන්දට පස්සේ අපි ඒක රකිනවා. සිවිල් ඇඳුමින් ඉන්නකොටනම් අපිට කැමති දෙයක් කරන්න පුළුවන්. ඒත් අපි දැනගන්න ඕන අපේ සීමාවන්. ඒ සීමාවන් තුළ ඉඳලයි අපි නිදහස භුක්ති විඳින්නේ. මේ ඇඳුම අඳින කවුරුත් කොතැන ගියත් ඒක අකුරටම පිළිපදිනවා.

මේ වනවිට නාවික හමුදා කිමිදුම් අංශය දෛනිකව කිමිදුම් සහාය ලබාදීමේ මෙහෙයුම්, දිය යට පරීක්ෂාකිරීම්, අලුත්වැඩියාකිරීම්, නඩත්තුකිරීම්, ගොඩගැනීමේ මෙහෙයුම්, ආරක්ෂණ නිෂ්කාශන කටයුතු සඳහා සහායවීම, දිය යට ඉදිකිරීම්, දිය යට මිනුම් කටයුතු, දිය යට සෙවීම් හා මුදාගැනීම් මෙන්ම රාජ්‍ය හා පෞද්ගලික අංශය වෙත අවශ්‍ය විවිධ කිමිදුම් සහාය ලබාදීම ඇතුළු පුළුල් පරාසයක කිමිදුම් මෙහෙයුම් සිදුකරන බව කවුරුත් දන්න කාරණාවක්. මෙසේ මූලික කිමිදුම් පාඨමාලාව සම්පූර්ණ කළ ප්‍රථම නාවික කාන්තාවන් තිදෙනාද ඉදිරියේදී ලබාගන්නා කිමිදුම් ප්‍රවීණතාවය මත කිමිදුම් මෙහෙයුම් සඳහා යෙදවීමට බලාපොරොත්තු වෙන බවයි නාවික හමුදාව පැවසුවේ. ඉතින් ශ්‍රී ලංකා ඉතිහාසයේ අලුතින් නම් ලියූ කාන්තා නාවිකයින් තිදෙනාට ‘ධරණී’ පාඨකයින් වෙනුවෙන් සුබපැතුම් එකතුකරන්නත් අපි අමතක කළේ නෑ.

රුවන් එස්.සෙනවිරත්න

ඡායාරූප ප්‍රදීප් දඹරගේ