මධුසමයට යන රථය අපේ ගෙදරට හරවද්දී මම හිතුවෙ පාර වැරදිලා කියලා
පේරාදෙණිය බාහිර දරුවන් එක්ක දවසක් මමත් තවත් ගුරුවරුන් පිරිසකුත් සීගිරිය නරඹන්න ගියා. මේ කියන කාලයේ ජංගම දුරකතන තිබුණෙ නැහැ. මගේ අතේ තිබුණා සේයාපට ඇතුළු කරලා ඡායාරූප ගන්න කැමරාවක්. මං ඒකත් අරගෙන දරු දැරියන් එක්ක කන්ද තරණය කරා. මෙහෙම ගමන් ගියාම මම ළමයින් කන, බොන, දඟ කරන, විනෝද වෙන ඡායාරූප එයාලට හොරෙන් අරගෙන ඒවා පසුව මුද්‍රණය කරලා පංතියේ දැන්වීම් පුවරුවේ අලවනවා. ළමයි තමන්ගෙ ඡායාරූපවල පිටපත් ස්ටූඩියෝ එකකට ගිහින් මුද්‍රණය කරගන්නවා. ඉතින් මම කඳු මුදුන වටේ අපේ දරුවන්ගේ ඡායාරූප අරන් එකතු කරනකොට මං දැක්කා කඳු මුදුනෙදි මත්පැන් පානය කරපු එක් තරුණ සිසුවෙක්ව ඔසවාගෙන කට්ටියක් පහලට එන හැටි. මම මගේ කැමරාවෙන් එහි පිටපත් කිහිපයක් ගත්තා. ඊට සතියකට පස්සේ මම ඒ ඡායාරූප පිටපත් කරලා ඒ ඡායාරූප හැර අන් සියල්ලම දැන්වීම් පුවරුවට දැම්මා.
අර බීමත්ව උස්සගෙන ආව දරුවගෙ ඡායාරූප හා ඒවයේ නෙගටිව් කොටස් ටික ලියුම් කවරයක දාලා දිනක් ඒ තරුණයාගේ අතේ තිබ්බා. තරුණයා එය රැගෙන ගියා. ඊටපස්සේ මම තවදුරටත් ඒ තරුණයාව දැක්කේ නැහැ. කාලය ගෙවිලා ගියා. ඒ තරුණයා හිටිය කණ්ඩායමත් උපාධි රැගෙන පිටව ගියා. ඒත් ඒ තරුණයා උපාධිය ගත්තාද නැද්ද යන්නවත් මම දැනගෙන හිටියේ නැහැ. ඊට බොහෝ කාලයකට පස්සේ මගේ නිවස දෙසට මංගල රථයක් එනවා දැකලා මං පුදුම වුණා. අපේ ගෙදර හෝටලයක් කියලා හිතලා මේ අය එනවාවත්ද කියලා සැක හිතිලා මම බලාගෙන හිටියා. කාර් එක ලස්සනට සරසලා තිබුණා. කාරයේ පිටිපස දොර හැරගෙන මනමාලි බැස්සා කාරෙකෙන් එළියට. ඇය කාර් එකේ අනෙක් පැත්තට ගිහින් මනමාලයාව අතින් අල්ලාගෙන මගේ දිහාවට ආවා. මට තරුණයාව මතකයට ආවා. මේ දැනට වසර කිහිපයකට පෙර මම සීගිරියේදී දුටු අර තරුණයායි.
දෙන්නම මං පිළිගත්තම මනාලිය ඇහුවා “සර්ට මෙයා මතකද?” මම කිව්වා “ඔව් දුව මට මතකයි.” “සර්ට මතකද දවසක් සීගිරියෙදි සර් මෙයාගේ පින්තූර වගයක් අරගෙන ඒ ටික මෙයාගේ අතටම දුන්නා? සර් ඒ පින්තූර දැන්වීම් පුවරුවේ දැම්මෙ නැහැ. ඉතින් සර් එදා ඉඳලා මෙයා මත්පැන් බොන එක නැවැත්තුවා. මට මෙයාව හම්බවෙනකොටත් සර් මෙයා අමු බේබද්දෙක්. එදා සර් සීගිරියෙදි කළ දේ හින්දා මෙයා වෙනස් චරිතයක් වුණා. මම කිව්වා මං කවදාහරි දවසක විවාහවෙලා නුවරඑළි යන්නෙ ඔයත් එක්ක ගිහින් සර්ට කතා කරලා කියලා. ඉතින් සර් මට අද හරි ආඩම්බරයි මෙයා ගැන. දඬුවම් දීලා හිර කරලා හදන්න බැරි කෙනෙක් යහපත් ඇසුරෙන් වෙනස් කරන හැටි සර් කියලා දුන්නා. අනෙක මං ඇහුවා මෙයාගෙන් ඇයි මෙච්චර බොන්න පුරුදු වුණේ කියලා.” මේ විස්තර කියද්දි මගේ ආදරණීය තරුණ පුත්‍රයා මගේ අත අල්ලගෙන හිටියා.
“ඉතින් සර් මෙයා එක්තරා කාලෙක 1989 කැරලි සමයේ රජයේ හමුදාව මෙයාව බූස්ස බන්ධනාගාරයට යවලා තියෙනවා. එයා එතැන අවුරුදු හතරක් පහක් ඉඳලා එනකොට මෙයාගේ පෙම්වතිය මෙයාව අතහැරලා වෙන විවාහයක් කරගෙන. ඉතින් සර් මෙයා ඒකට පලිගත්තෙ ඒ ගෑනු ළමයගෙන් නෙවෙයි. මෙයා ගැහැනු ළමයින්ට බොරු කිය කියා විනෝද වෙලා. හැබැයි ඒ අය සමඟ කිසිම ලිංගික ඇසුරක් පවත්වලා ඒ අය දූෂණය කරලා නැහැ. පළමු පෙම්වතිය හැරගිය නිසා තමයි මෙයා බීමට ඇබ්බැහි වුණේ. ඉතින් ඒ වෛරය මම ටික ටික නැති කළා. සර් හින්දා මත්පැන් බොන එක නැවතුණා. ස්ත්‍රීන්ට ආදරය කරන හැටි මං මෙයාට ටික ටික කියලා දුන්නා. සර්ට පින් මට මෙයාව වෙනස් කරන්න උදව් කරපු එකට. අපි හනිමූන් එකට නුවරඑළිය තෝරගත්තෙ සර් ඉන්නෙත් නුවරඑළිය පාරේ ගම්පල අගුණවැලනෙ. ඒකයි අපි සර් බලලා යන්න ආවේ.”
මේ සිදුවීම වෙලා දැන් බොහෝ කාලයක්. ඒ මගේ ආදරණීය පුත්‍රයා දැන් උසස් නිලයක් දරණ කෙනෙක්. දරුවන් ලැබ ඉතාම සතුටින් මේ අය ජීවිතය ගත කරනවා. මං ඒ අයට පූජාවලිය 31 පරිච්ඡේදයේ භාර්යාවන් වර්ග කරන හැටි කියලා දීලා තිබුණා. හොඳම භාර්යාව කියන්නේ මාතු භාර්යා, භගිනි භාර්යා, චෞර භාර්යා, ස්වාමි භාර්යා, වධක භාර්යා යන භාර්යා අතර සිටින සඛී භාර්යාව බව මං දූලට කියලා තිබුණා. දෙදෙනෙකුට එකෙකු මෙන් සිටිය හැකිනම් ඒ දෙන්නම මිතුරන් විය යුතුයි. ඉතින් මගෙ දුව මගේ සිසු පුත්‍රයාට සඛී භාර්යාවක් වෙලා ඒ දරුවා වාසනාවන්ත දරුවෙක් කරා. මේ දුවත් මේ පුතත් මගේ ගුරු ජීවිතයේ මා ලද වාසනාවන්තම දරුවන්. මේ සඳහා මට ශතයක්වත් වියදම් වුණේ නැහැ. මගේ හයියට ඒ පුතාට කල්‍යාණ මිත්‍ර යෙහෙළියක් හම්බ වුණා. ඉතින් දුවේ ජීවිතය කියන්නේ තමන්ගේ ක්‍රමයට ජීවිතය නිවැරදි දිහාවට හරවාගැනීමයි. ඒ පුතාට මත්ද්‍රව්‍ය බොන්න එපා කියලා මං කිව්වේ නැහැ. මං ඔහුගේ ක්‍රියාව ඔහුටම පෙන්නලා තීරණය ගැනීම ඔහුටම බාර කරා. ඒත් ඒක නෙවෙයි දුවේ වටිනාම දේ. ඒ තරුණ පුත්‍රයාගේ හදවත තේරුම් ගත් අර මගේ ආදරණීය දියණියයි.
ඒ නිසා තමන්ගේ ස්වාමිපුරුෂයා හෝ ප්‍රේමවන්තයා මොකක් හෝ වැරද්දකින් යහමගට ගන්න අවශ්‍ය නම් දුවේ, අඩි හප්පලා කෑ ගහනවට වඩා කලින් කරන්න ගොඩක් දේවල් තියනවා කියන එක දුවලා තේරුම්ගන්න ඕන.
අත්තනායක එම්.හේරත්