විශේෂාංග

මල්ලි ඉස්කෝලෙ යනකන් සයිමන් සීයාටත් ඉස්කෝලෙ යන්න වුණා

සිංහල සිනමාවට වසර 75ක් පිරුණේ ඊයේ පෙරේදාය. එතුවක් කල් ගියත් විජය කුමාරතුංග වැනි අතිවිශිෂ්ට රංගධරයෙකුගේ අඩුව පිරවිය හැක්කෙක් සිංහල සිනමාවට බිහිවේද යන්න සැකසහිතය. එතුමා ඝාතනය වී එළැඹෙන 16 දිනට වසර 35කි. එනයින්, විජය කුමාරතුංග මහතාගේ අක්කණ්ඩිය වන රූපා කුමාරණතුංග මහත්මිය ඔහු පිළිබඳව ධරණීට කළ මතක ආවර්ජනය ඇසුරෙන් මෙම ලිපිය සකස් කර ඇත.

මගේ තාත්තා බෙන්ජමින් කුමාරණතුංග. අම්මා ක්ලෙරා බියට්‍රිස් පෙරේරා. පවුලේ දරුවෝ හතරදෙනයි. වැඩිමලා සිඩ්නි කුමාරණතුංග (ජීවන් කුමාරණතුංගගේ පියා). ඊළඟට විවියන් කුමාරණතුංග. තුන්වැනි දරුවා මම. පවුලේ බාලයා විජය ඇන්ටනි කුමාරණතුංග. මල්ලිගෙයි මගෙයි වයස් පරතරය අවුරුදු පහක්. තාත්තා ඉංග්‍රීසි පාලන කාලයේ පොලිස් විදානේ කෙනෙක් ව​ගේම ව්‍යාපාරිකයෙක් විදියටත් කටයුතු කළා. කොහොමහරි විජය මල්ලිට අවුරුදු එකහාමරක් වගේ තියෙද්දි තාත්තා අන්ත්‍රා වුණා. ඒ නිසා මල්ලිට තාත්තා ගැන මතකයක් තිබුණෙම නැහැ. මල්ලි ඉස්කෝලෙ යන කාලය එද්දි අපේ ගෙදරට අල්ලපු වැටේ තිබුණු පාසලට යවන්න අම්මා තීරණය කළා. ඒ පාසල පවත්වාගෙන ගියේ සීදූව මීසමේ ඉඳපු ප්‍රංශ ජාතික ස්වාමි කෙනෙක්. පවුලේ අනිත් අය ඉගෙනගත්තේ වෙනත් පාසල්වල. ඒ නිසා පවුලේ හුරතලයට හැදුන විජය මල්ලි තනියම ඉස්කෝලෙ යන්න බෑම කිව්වා.

විජය කුමාරතුංග කුඩා දරුවා පාසල් යාම ප්‍රතික්ෂේප කිරීමත් සමඟ මව බියට්‍රිස් කුමාරණතුංග මුහුණපෑවේ උභතෝකෝටික ගැටලුවකටය. විජය කුඩා කාලයේ ඔහුගේ තනි නොතනියට සයිමන් සීයා නම් ඥාතියෙකු නිවසට පැමිණ සිටියේය. අවසානයේදී සයිමන් සීයා සමඟ පාසල් යෑමට විජය එකඟ විය.

හැබැයි සයිමන් සීයා මාත් එක්කම පංතියේ ඉන්න ඕන.

ඒ කොන්දේසියක්ද දැමීමෙන් පසුවය.

ඉන් පසුව විජය පාසල් ගිය අතර, විජය සිටි පංතියේම පිටුපස ආසනයක සයිමන් සීයාටද වාඩි වී සිටින්නට සිදුවිය. විජය කැමැත්තෙන් පාසල් ගියද සයිමන් සීයා නම් පාසල් ගියේ එතරම් කැමැත්තකින් නොවේ. දින කිහිපයකට පසුව පාසල් අවසන් වී විජය සමඟ සයිමන් සීයා විජයගේ මව බියට්‍රිස් කුමාරණතුංග හමුවට පැමිණියේ එල්ලාගත් මුහුණෙන් යුතුවය.

නෝනා තවත් නම් මට ළමයගෙ තනියට ඉස්කෝලෙට යන්න බැහැ.

ඇයි සයිමන්?”

කොල්ලො මට ඔච්චම් කරනවා සීයේ විභාගය කවදද? හොඳට ඉගෙනගන්න, ඉස්කෝලෙ එන්න දැන්ද මතක් වුණේ? වගේ එක එක දේවල් කියනවා.

සයිමන් සීයා බියට්‍රිස් කුමාරණතුංගට කීවේය.

විජය, සයිමන් සීයා නොමැතිව පාසල් යාමටද අකමැතිය. සයිමන් සීයා, විජය සමඟ පංතියේ සිටීමට අකමැතිය. අවසානයේදී විසඳුම වූයේ පංති කාමරය හා කොරිඩෝරය වෙන් කෙරෙන කොට බිත්තිය අසළ කොරිඩෝරයේ පුටුවක් දමා සයිමන් සීයා සිටීමයි. කොට බිත්තියට යාබදව පංති කාමරයේ විජයගේ ඩෙස්ක් එක සහ පුටුව තිබුණ අතර බිත්තියෙන් එළියේ සයිමන් සීයා සිටියේය.

ඔය විදියට ටික දවසක් යද්දි ගුරුවරු කියන්න ගත්තා විජයගේ වැඩේ සැරෙන් සැරේ ඩෙස්ක් එක උඩට නැගලා කොට බිත්තියෙන් එහා පැත්තේ සයිමන් සීයා ඉන්නවද කියලා බලන එක කියලා. ඔහොම ටික කාලයක් යද්දි විජය ඉස්කෝලෙ ගමනට හුරුවුණා. පස්සෙනම් ගියේ කොටහේන ශාන්ත බෙනඩික්ට් ඉස්කෝලෙට.

රූපා කුමාරණතුංග විජයගේ පාසල් සමය සිහිපත් කළේ එලෙසිනි.

 

*එතකොට විජය රඟපෑමට ආවේ කොහොමද?

මල්ලිගෙ පොඩි කාලේ ඉඳලම කැමැත්ත තිබුණේ පොලිස් නිලධාරියෙක් වෙන්න. ඒ නිසා උපපොලිස් පරීක්ෂක තනතුරට ඉල්ලුම් කරලා තිබුණා. ඒ අතර චිත්‍රපටයක රඟපාන්න සම්මුඛ පරීක්ෂණයකට ගිහින් තිබුණා. ඔහොම ඉද්දි තමයි එක දවසෙම ලියුම් දෙකක් ආ​වේ. එක ලියුමක් පොලිස් දෙපාර්තමේන්තුවෙන් සම්මුඛ පරීක්ෂණයෙන් විජයව තෝරාගෙන තිබුණා පුහුණුවට. අනිත් ලියුම අධ්‍යක්ෂ සුගතපාල සෙනරත් මහත්තයාගෙන්. හන්තානෙ කතාවචිත්‍රපටයේ ප්‍රධාන චරිතයට මල්ලිව තෝරගත් බව කියන්න. මෙතැනදි මල්ලි තෝරාගත්තෙ පොලිසියේ රැකියාව. ඒ පොඩි කාලයේ ඉඳලා තිබුණ බලාපොරොත්තුව නිසා වෙන්න ඇති. ඒත් අම්මා පොලිසියේ රස්සාවට තදින්ම අකමැති වුණා.

උඹ පොලිසියෙ රස්සාවට ගියොත් මම මහණ වෙනවාකියලා අම්මා කීවා. මහාචාර්ය කාලෝ ‍ෆොන්සේකා අපේ ළඟම ඥාතියෙක්. එයා කීවේ පොලිසියට යන්නෙ නැතිව රඟපෑම තෝරගන්න කියලා. ඒ විදියට තමයි විජය මල්ලි සිනමාවට ආවේ. ඊටපස්සෙ මල්ලිගෙ ගමන කාටවත් නතර කරන්න බැරි වුණා.

විජය කුමාරතුංග යනු සිංහල සිනමාවේ සිටි කඩවසම් මෙන්ම ආකර්ෂණීයම රංගන ශිල්පියෙකි. ඒ නිසා විජයට තරුණියන්ගේ ආකර්ෂණයද නොඅඩුව තිබිණි. ඒ පිළිබඳවද රූපා කුමාරණතුංගගෙන් විමසීමි.

මල්ලි ලස්සනයි කියලා අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ. ඒක හැමෝම දන්න දෙයක්. ඉස්කෝලෙ යන කාලයේ සීදූවෙම අපිත් දන්න ගෑනු ළමයෙක් එක්ක ප්‍රේම සම්බන්ධයක් තිබුණා. ඒක අපිට ආරංචි වුණාම සිඩ්නි අයියා විජය මල්ලිව ගෙන්නලා ඇහුවම එහෙම සම්බන්ධයක් තියෙනවා කියලා මල්ලි පිළිගත්තා. මොකක්හරි හේතුවක් නිසා ඒ සම්බන්ධය නැතිවුණා. ඊටපස්සේ මාලිනී එක්ක ඇතිවුණ සම්බන්ධය ප්‍රසිද්ධ රහසක්නේ. මාලිනීත් ලස්සනයි, ජනප්‍රියයි. ඒ කාල​යේ සිනමාවේ විජය මාලිනී කියලා යුගයකුත් ඇතිවෙලා තිබුණා. ඒ නිසා හැමෝගෙම ප්‍රාර්ථනාව වුණේ මේ දෙන්නා එකතු වෙනවා දකින්න. මල්ලි දවසක් ඇවිත් මට කීවා පොඩි අක්කේ මම හෙට මාලිනීව කසාද බඳිනවාකියලා. ඔය අතරේ බොහොම අවාසනාවන්ත දෙයක් සිදුවුණා. ලොකු අයියා සිඩ්නි හදිසියේම අසනීප වුණා. අසනීපය දැනගත්ත ගමන් අපේ ඥාති වෛද්‍ය කාලෝ ෆොන්සේකා කීවා සිඩ්නියෝ මෙහෙ ඇවිත් නැවතිලා බෙහෙත් ගනින්කියලා. අයියා කොළඹ මහරෝහලේ නැවතුණා. ඊටපස්සෙ විජය මල්ලියි, මාලිනී ෆොන්සේකායි, මමයි සිඩ්නි අයියව බලන්න රෝහලට ගියා. එදා අප්‍රේල් 29දා. අප්‍රේල් 30දා මාලිනීගේ උපන්දිනය දවසේ තමයි විවාහයට දින යෙදිලා තිබුණේ. රෝහලට ගියාම මල්ලි සිඩ්නි අයියාට කීවා, ‘අයියෙ මාලිනීයි මමයි කසාද බඳිනවාකියලා.

අයියා ලෙඩ ඇඳේ ඉඳගෙනම දෙන්නට ආශිර්වාද කළා. එදා රෑ සිඩ්නි අයියා අන්ත්‍රා වුණා. තාත්තා නැති වුණාම පවුලේ වැඩිමලා සිඩ්නි අයියා තමයි තාත්තා වගේ අපි ගැන හොයලා බැලුවේ. මල්ලි විවාහය ලියාපදිංචිය අවලංගු කළා. කසාදය දවසේ අඳින්න සූදානම් කරපු ඇඳුම තමයි සිඩ්නි අයියගෙ මෘතදේහයට ඇන්දුවේ.”

 

*එතකොට චන්ද්‍රිකා මැතිනියගේ විවාහයට පාර හැදුනේ කොහොමද?

ඇත්තටම ඒක කොහොමද වු‍ණේ කියලා මම දන්නේ නැහැ. මම හිතන්නේ කටාන අතුරු මැතිවරණය කාලයේදි තමයි ඔය සම්බන්ධය ඇතිවුණේ කියලා. 1977 තිබුණ මහ මැතිවරණයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කටාන ආසන අපේක්ෂකයා විදියට මල්ලි ඉදිරිපත් වුණා. ඒ මැතිවරණයෙන් පස්සේ 1978 පෙබරවාරි 20 දී තමයි චන්ද්‍රිකා මැතිනිය එක්ක විවාහය සිදුවුණේ.

චන්ද්‍රිකා මැතිනිය යනු එකල ඉහළ රදල පැලැන්තිය නියෝජනය කරන පවුලක සාමාජිකාවක විය. නමුත් විජය කුමාරතුංග යනු සාමාන්‍ය පවුල් පසුබිමකින් පැමිණ ජනප්‍රිය වූ පුද්ගලයෙකු පමණක් විය. එම දෙදෙනාගේ විවාහ ජීවිතය කෙසේ ගලපා ගත්තේද යන්න රූපා කුමාරතුංග මහත්මියගෙන් විමසීමි.

අගමැති එස්.ඩබ්.ආර්.ඩී.බණ්ඩාරනායක වගේම ලෝකයේ ප්‍රථම අගමැතිනිය සිරිමා බණ්ඩාරනායක කියන්නේ චන්ද්‍රිකා මැතිනියගේ දෙමව්පියන්. බණ්ඩාරනායක පවුල කීවාම මුළු ලෝකයම දන්නවා. හැබැයි මල්ලි අපට කීවේ ඔයාලා ඔයාල​ගේ පාඩුවේ ඉන්න කියලා. අපිත් අවශ්‍ය අවස්ථාවලදී විතරයි බණ්ඩාරනායක පවුලට සම්බන්ධ වුණේ. නිසා ගැටලුවක් වුණේ නැහැ. සාමාන්‍ය විදියට සම්බන්ධතා පවත්වාගෙන ගියා. විවාහ උත්සවය වුණත් ලොකුවට ගත්තේ නැහැ. විවාහය ලියාපදිංචියට අපේ පැත්තෙන් හිටියේ අම්මා විතරයි. චන්ද්‍රිකා මැතිනියගේ පැත්තෙන් සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය, සුනේත්‍රා බණ්ඩාරනායක හා අනුර බණ්ඩාරනායක හිටියා. කසාදයට මල්ලිගෙ පැත්තෙන් අත්සන් කළේ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහත්තයා. චන්ද්‍රිකා මැතිනියගේ පැත්තෙන් හෙක්ටර් කොබ්බෑකඩුව මහත්තයා අත්සන් කළා. විවාහයට කලින් තව දෙයක් සිද්ධ වුණා. අපි පාරම්පරික කතෝලිකයෝ නිසා කේන්දර නැහැ. ඒත් සිරිමාවෝ මැතිනියට අවශ්‍ය වුණා නැකතක් හදලා විවාහය සිදු කරන්න. ඒ නිසා මල්ලිගේ උපන් වෙලාව ඉල්ලගත්තා නැකතක් හදන්න කියලා.

විවාහයෙන් පස්සේ විජය මල්ලි රොස්මිඩ් පෙදෙසේ වෙනත් ගෙදරක පදිංචි වුණා. විවාහයෙන් අවුරුදු කීපයකට පස්සේ තමයි චන්ද්‍රිකා මැතිනිය අම්මා කෙනෙක් වුණේ. චන්ද්‍රිකා මැතිනියට දරුවෙක් ලැබෙන්න ඉන්නවා කීවම සිරිමා මැතිනිය ගොඩක් සතුටු වුණා. මැතිනි බබා ලැබෙන දිනය ගැන හරිම උනන්දුවෙන් හිටියේ. මැකැනි නර්සිං හෝම් එකේදි තමයි චන්ද්‍රිකා මැතිනියට කුළුඳුල් දුව ලැබුණේ. බණ්ඩාරනායක පවුලට අලුතෙන් එකතු වුණ පළවැනි දරුවා. සිරිමා මැතිනිය පණිවිඩයක් එවලා තිබුණා බබාවත් අරගෙන රොස්මිඩ් වලව්වට ඒ කියන්නේ මහගෙදරට එන්න කියලා. විජය මල්ලි එයාගෙ වාහනය අරගෙන ඇවිත් හිටියා. මම තමයි චූටි දුවව වඩාගත්තෙ. අපි රොස්මිඩ් වලව්වට යද්දි සිරිමා මැතිනිය බබාව ගේනකම් ආසාවෙන් බලාගෙන හිටියා. බබාට කියලා කාමරයක් හරිම පිළිවෙලට සූදානම් කරලා තිබුණා. මම බබාව ඇඳ උඩින් තිබ්බම සිරිමා මැතිනිය හරිම සතුටින් තමයි බබාව බැලුවේ. ඊටපස්සේ චන්ද්‍රිකා මැතිනිය බබාත් එක්ක කීප දවසක් මහගෙදර ඉඳලා තමයි ආවේ.

 

*එතකොට විජයව ඝාතනයට ලක්වුණ දවස මතකද?

ඔව්. ඒ දිනය 1988 පෙබරවාරි 16 දිනය මට හොඳට මතකයි. මගේ අනුරාධපුරයේ හිතවත් කෙනෙක්ගේ දරුවෙක් හිටියා විශේෂ අවශ්‍යතා තියෙන ළමයෙක්. ඒ ළමයට රැකවරණය සහ ප්‍රතිකාර දෙන්න පුළුවන් තැනක් හොයලා දෙන්න කියලා මම විජය මල්ලිට කීවා. මල්ලි ලියුමක් දීලා කීවා ගංගාරාමේ පොඩි හාමුදුරුවෝ හම්බවෙන්න, හරිගියේ නැතිනම් ඇවිත් කියන්න කියලා. මම ලියුම අරගෙන ගියාම හාමුදුරුවෝ කීවා එතැන සාමාන්‍ය ළමයි ඉන්නේ, වෙනත් සුදුසු තැනක් බලන්න කියලා. වැඩේ හරි නොගිය නිසා ගෙදරට යන්න කියලා බස් එකට නගින්න විහාරමහාදේවි එක ළඟ බස් හෝල්ට් එකට ආවා. එතැන ඉද්දි මිනිස්සු එකපාරටම කඩිගුලක් වගේ ඇවිස්සිලා වගේ කලබලයෙන් එහෙ මෙහෙ යන්න ගත්තා.

විජයට වෙඩි තියලා

කියනවා ඇහුනා. විස්තරය අහද්දි කීවා විජයට වෙඩි තියලා කියලා. විස්තරය බලන්න පොල්හේන්ගොඩ ගෙදරට යද්දි එතැන සෙනඟ පිරිලා හිටියා. මම විජය​ගේ අක්කා කීවම එතැන ඉඳපු පොලිස් නිලධාරියෙක් සෙනඟ අතරින් මාව ගේ ඇතුළට ගත්තා. එතැනදි විස්තරය දැනගත්තා.

 

*අවසාන වශයෙන් මොකක්ද කියන්න තියෙන්නේ?

රූපා කුමාරණතුංග මහත්මියගෙන් මා ඇසුවෙමි.

මල්ලි මරපු අයගෙන් මට අහන්න දෙයක් තියෙනවා. මිනිස්සුන්ට ආදරය කරපු, රටක් ආදරය කරපු මගේ අහිංසක මල්ලි මැරුවේ ඇයි? මොකක්ද ඔහු කරපු වැරැද්ද?

කඳුළු පිරි දෙනෙතින් යුතුව වසර 35කට පසුත් ඇය තම පවුලේ ආදරණීය බඩපිස්සා සිහිකළේ එහෙමය.

 

සනත් ප්‍රියන්ත