නවතම ප්‍රවෘත්ති

අධික කාමාශාවෙන් පෙළුණු මෙහෙකාර කත පුංචි පුතාට අතවර කරලා!

අසංක ප්‍රධාන පෙළේ ආයතනයක මාධ්‍යවේදියෙකි. ඔහුගේ බිරිය නිලංකා සේවය කළේද මාධ්‍ය ආයතනයකයි. මේ දෙදෙනාම රාජකාරියට වෙහෙසුණ අතර සිය පවුලේ ඉදිරිය වෙනුවෙන්ද විවිධ සැලසුම් සැකසූහ. ඔවුහු කුලී පදනම මත කඩවත ප්‍රදේශයේ නිවසක පදිංචිව සිටියහ. ඉන්පසු 2002 වසරේ ඔවුන්ගේ කුඩා කැදැල්ලට තවත් අමුත්තෙක් ආවේය. පුංචි පුතාගේ දඟකාරකම් අතරින් දෙදෙනාටම නොදැනී කාලය වේගයෙන් ඉගිල ගියේය. නිලංකාගේ ප්‍රසූත නිවාඩු ද ක්‍රමයෙන් අවසන් වෙමින් තිබිණ. නැවත රැකියාවට වාර්තා කළ යුතු කාලය ටිකෙන් ටික ළං විය. අසංක – නිලංකා යුවළට මුහුණදීමට සිදුවූයේ මෙරට බොහෝ දෙමාපියන්ට ඇතිවෙන ගැටලුවටයි. ඒ, පුංචි පුතු කාගේ රැකවරණය යටතේ තබා රැකියාවට යන්නේද යන්නයි. පුංචි පුතාගේ සුරතල්ම වයසේදී ඔහු තනිකර දමා යාමට සිත් නොදේ. එහෙත් රැකියාවද බේරා ගත යුතුය. බොහෝදෙනාගේ උපදෙස් පතන්නට යුවළට සිදුවූයේ සියල්ල විසඳෙන ආකාරයේ පිළිතුරක් අවැසි වූ බැවිනි. නිලංකාගේ උපන් ගම බදුල්ලයි. ඇය වහාම එහි පදිංචි සිය දෙමාපියන්ට තමන්ගේ අවශ්‍යතාව දැනුම් දුන්නාය. අධ්‍යාපන සේවයේ සිට විශ්‍රාම ගිය නිලංකාගේ පියා ඒ අනුව මුණුපුරා බලාගැනීමට සුදුසු තැනැත්තියක සෙවීමේ බර කරට ගත්තේය. පස්සර ප්‍රදේශයෙන් හමු වූ තරුණියක වූ සීතා සිය නිවසේ ටික කලක් තබාගෙන පරීක්ෂා කළේ වැඩි හොඳටය. 

“අපිට ගෑනු ළමයෙක් හම්බ වුණා. ගෙදර වැඩපළ ඔක්කොම හොඳට පිළිවෙලට කරනවා. බය වෙන්න දෙයක් නෑ. එයා දරුවව හොඳට බලාගනී.”

ඒ ආරංචිය තරුණ දෙමාපිය යුවළට සැනසීමක් ගෙන දුන්නේය. තරුණිය කඩිනමින් නිවසට ගෙනාවේ දරුවා ඇයට හුරු කරවීමද අවශ්‍ය වූ බැවිනි. අසංක – නිලංකා දෙදෙනාම සීතාගේ සේවය සම්බන්ධව සෑහීමකට පත්වූහ. ඇයට දරුවා බාර දී නිදහසේ රැකියාවට යා හැකි වීම ගැන දෙදෙනාටම වූයේ සතුටකි. අසංක නිවසට පැමිණෙන්නේ තරමක් රෑ බෝ වීය. එහෙත් නිලංකා සවස 4 – 5 වෙද්දී පැමිණෙන්නීය. එතෙක් කුඩා පුතු රැඳී සිටින්නේ සීතාගේ රැකවරණය යටතේයි. වෙනත් කිසිවකු නිවසේ නැත. එනිසාම අසල්වැසි නිවසේ අයද දැනුවත් කර තැබීමට අසංක පියවර ගත්තේය. ඒ, හදිසි අවස්ථාවක් මතු වුවහොත් සීතාට සහාය ලබාගනු පිණිසයි. 

ටිකෙන් ටික දින ගතවෙද්දී සියලු කටයුතු සාමාන්‍ය පරිදි විය. සීතාට පුංචි පුතා හුරුවෙමින් තිබිණ. මාස හයක් වූ දරුවා බලාගැනීමේ කාර්යය සීතා හොඳින් කරගෙන ගියාය. අසංක සහ නිලංකා ද සාමාන්‍ය පරිදි සිය දෛනික කටයුතුවල නිරත වූහ. එසේ තිබියදී දිනක් කාර්යාලයේ සිටි අසංකට හදිසි දුරකතන ඇමතුමක් ලැබිණ. ඒ, සිය අසල්වැසි නිවසිනි. 

“ගෙදරට කවුද කට්ටියක් පැනලා. පොඩි කලබලයක්. බයවෙන්න එපා. අපි බබාවයි, සීතාවයි අපේ ගෙදරට ගෙනාවා. ඉක්මනට එන්නකෝ.”

සිද්ධිය දැනගත් වහාම අසංක පෑලියගොඩ පොලිස් විශේෂ විමර්ශන ඒකකයට ඇමතුමක් දුන්නේය. 

“මගෙ ගෙදරට කවුද කට්ටියක් පැනලා. එතැන ලොකු කලබලයක් කරලා. ගිනිත් තියලා. සර්වන්ට් එක්ක මගෙ පොඩි බබා විතරයි ගෙදර හිටියෙ. අල්ලපු ගෙදර අය ඒ දෙන්නවනං එහෙට ගෙනිහින්. අනේ, මේ ගැන ඉක්මනට බලනවද?”

අසංක පැවති රජයට පක්ෂපාතීව කටයුතු කළ අයෙකි. එබැවින් නිවසට පිරිසක් කඩා වැදීමට දේශපාලන මැදිහත් වීමක් තිබේද යන්න ගැන සැකයක්ද මතුවිය. එවකට පෑලියගොඩ පොලිස් විශේෂ විමර්ශන ඒකකය භාරව සිටියේ විශ්‍රාමික ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි ය. ඔහුගේ අධීක්ෂණය යටතේ පරීක්ෂණ ඇරඹිණ. පොලිස් කණ්ඩායමක් වහාම අසංකගේ කඩවත නිවසට ගියේය. ඒ වනවිට නිවස දුමෙන් පිරී තිබිණ. මෙට්ටයක් ගිනි තැබීම ඊට හේතු වී තිබේ. නිවසේ බඩු මුට්ටුද ඇද දමා තිබිණ. ඒ හැර වෙනත් තදබල අලාභ හානි කිසිවක් දක්නට නොවීය. දරුවා සහ මෙහෙකාරිය අසල්වැසි නිවසේය. මෙහෙකාරිය සිහි මූර්ඡා වූ බවක් දක්නට තිබිණ. අසල්වැසියන් දැනුම් දුන්නේ දරුවාට තරමක් අසාධ්‍ය බවක් පෙනී යන බවයි. නිවසේ ඇති වූ දුම දරුවාට දරා ගැනීම අසීරු වන්නට ඇත. එසේම ඔහුගේ ලිංගේන්ද්‍රිය තුවාල වී ඇති බවද දක්නට ලැබී තිබේ. වහාම දරුවා වෛද්‍ය ප්‍රතිකාර වෙත යොමු කෙරිණ. 

මෙහෙකාර කාන්තාව සිහි මූර්ඡා වූ බවක් පෙන්වුවද එය එතරම් බරපතළ තත්ත්වයක් නොවීය. වතුර ටිකක් ඉස, කතා කළ විට ඇය ප්‍රකෘති තත්ත්වයට ආවාය. ඇයද රෝහල්ගත කෙරිණ. සිදුවුයේ කුමක්ද යන්න හරිහැටි දන්නේ සීතාය. පොලිසිය ඒ ගැන ඇගෙන් ප්‍රශ්න කළේය. 

“නෝනයි මහත්තයයි වෙනදා විදියටම එදත් වැඩට ගියා. බබාට කිරි එහෙමත් හදලා කරලා ගියේ. එයාලා ගියාම මම වෙනදා වගේම දොර වහලා බබා එක්ක ගේ ඇතුළට වෙලා හිටියා. ටිකක් වෙලා ගිහින් කළු පාට ඇඳුම් ඇඳගත්තු හතර පස්දෙනෙක් ආවා. එයාලා ඇස් බැඳලා හිටියෙ. ඒගොල්ලො මහත්තයාගෙ නම කියලා මේක එයාගෙ ගේ ද ඇහුවා. මං ඔව් කියලා කිව්වා. කෝ එයා කොහෙද ඉන්නෙ කියලා ඒ කට්ටිය මගෙන් ඇහුවා. මං එතකොට කිව්වා මහත්තයා වැඩට ගියා කියලා. ඒ කට්ටිය ඒ වෙලාවෙ කිව්වා එයාලට ගේ සර්ච් කරන්න ඕනෙ කියලා. ඊටපස්සෙ එයාලා ගේ ඇතුළට පැනලා ඔක්කොම බඩු මුට්ටු අදින්න ගත්තා. එයාලා එද්දි මං බබාව මෙට්ටෙක තියාගෙන හිටියෙ. පස්සෙ මං බබාව කාමරේට දාලා වැහුවා. ටික වෙලාවකින් මහා ලොකු දුමක් එන්න ගත්තා. ඒක හරිම අමාරුයි. එතැනින් පස්සෙ මොනවා වුණාද කියන්න මං දන්නෙ නෑ.”

එතැනින් පසු කතාව අසල්වාසීන්ගෙනි. 

“මේ ගෙදරින් ලොකු දුමක් යනවා දැක්කා. අපිට අසංකත් කියලා තියෙන්නෙ දවල්ට ගෙදර ඉන්නෙ බබායි සීතායි විතරයි කියලා. ඒ නිසා අපි ඉක්මනට තාප්පෙන් පැනලා ගියා බලන්න. යනකොට මෙට්ටයක් ගිනි ගන්නවා. බබායි සීතායි ඉස්සරහා කාමරේ හිටියෙ. බබා හොඳටම අඬනවා. සීතා හිටියෙ සිහිය නැතුව බිම වැටිලා. එයාට වතුර එහෙම ඉහලා අපි ඉක්මනට දෙන්නවම අපේ ගෙදරට අරන් ගියා. පස්සෙ ලේ පැල්ලම් තිබුණ නිසා බලද්දියි දැක්කෙ බබාට තුවාල වෙලා කියලා.”

රෝහල්ගත කෙරුණු සීතා එදිනම සවස්වරුවේ වෛද්‍යවරුන් විසින් නිවසට යවනු ලැබුවේ කිසිඳු රෝගී තත්ත්වයක් ඇයට නොමැති බව සඳහන් කරමිනි. ඇගේ ප්‍රකාශවල ඇති සැකසහිත බව නිසාම පොලිසියට ඇගෙන් නැවත ප්‍රශ්න කිරීමට අවැසි විය. එබැවින්ම සීතා පොලිසියට රැගෙන යාමට පියවර ගැනිණ. එහිදී ඇගෙන් දීර්ඝ වශයෙන් ප්‍රශ්න කිරීමට නිලධාරීහු කටයුතු කළහ. සැබෑ කතාව හෙළිදරව් වූයේ ඒ අනුවයි. 

සීතාට සිටියේ මව පමණි. ඔවුන් පදිංචිව සිටියේ පස්සර ප්‍රදේශයේය. අදාළ පළාතෙන් ඈ පිළිබඳ වැඩිදුර තොරතුරු සෙවීමට පොලිසිය කටයුතු කළේය. එහිදී දැන ගැනීමට ලැබී ඇත්තේ සීතා අධික කාමාශාවකින් යුතු තැනැත්තියක බවයි. ඈ ඇතැම් අවස්ථාවල මුදල් ගෙවා තමා වෙත පිරිමින් ගෙන්වා ගන්නා තැනැත්තියකි. නිවෙස්වල සේවයට ගිය විට ඒවායේ සිටින පිරිමින් සමඟ සබඳතා ඇතිකර ගැනීමටද සීතා පෙළඹී සිටියාය. නිලංකාගේ මහගෙදරට සීතාව එවා ඇත්තේ මවගේද මැදිහත් වීමෙනි. දියණියගේ ක්‍රියා කලාපය නොරිස්සූ බැවින් ඇය එසේ කළා විය හැක. වැඩක් පලක් කරගෙන සිටියදී දියණියගේ ගති ලක්ෂණ වෙනස් වනු ඇතැයි ඈ සිතුවා වීමටද ඉඩ තිබේ. එහෙත් එය වෙනස්ම ආකාරයේ ගැටලුවක් ඇති වේයැයි ඈ බලාපොරොත්තු නොවන්නට ඇත. 

බදුල්ලේ සිට කොළඹට පැමිණි සීතාට සිය නිදහස් ජීවන රටාව ගෙන යාම අපහසු විය. ඉන් ඇයට දැඩි සාංකාවක් දැනෙමින් තිබිණ. සේවය කරන නිවසේ යුවළ හොඳින් සැලකුවද එය ප්‍රමාණවත් නොවීය. දවල් දවස් තිස්සේ කාලය ගත කිරීමට වන්නේ දරුවා සමඟිනි. එය සීතාට නීරස වන්නට ඇත. එනිසාම ඇයට ශාරීරික අවශ්‍යතා වැඩියෙන් දැනුණ අවස්ථාවක එය පාලනය කර ගැනීමට නොහැකි විය. 

“මට හිතාගන්න බැරි වුණා මං මොකද කරන්නෙ කියලා. මට මොනවා වුණාද කියලා මම දන්නෙත් නෑ.”

ඒ හැඟීමත් සමඟ ඇය කුඩා දරුවාගේ ලිංගේන්ද්‍රිය සපා ඇත. කිසිවක් නොදන්නා අහිංසක දරුවා විලාප තියන්නට ගත්තේය. ඒ සමඟ සීතා පියවි සිහියට එළැඹුණාය. සිඟිත්තා තුවාල ලබා ඇත. තමා කුඩා දරුවාට කළ අකටයුත්ත කිසිවකුට පැවසිය නොහැකි ආකාරයේ එකක් බව සීතාට අවබෝධ විය. එබැවින් දරුවා හඬද්දීම ඇය සිදුවීමක් නිර්මාණය කළාය. දරුවා කාමරයට දැමූ සීතා නිවසේ බඩු බාහිරාදිය ඇද දමා මෙට්ටයක් ගිනි තැබුවාය. සිහි මූර්ඡා වී ඇති පරිදි රංගනයක යෙදුණේ අනතුරුවයි. නිවසට කඩා වැදුණු කිසිවකු නැත. සියල්ල සීතා ගෙතූ කතාවකි. දරුවා අවදානම් තත්ත්වයක නැති බව වෛද්‍යවරුන් දැනුම් දෙන තෙක් දෙමාපියන් හිස ගිනිගත්තා මෙන් සිටියා මිස සීතා ගැන සැක කරන්නට ඔවුන්ට කාලය නොතිබිණ. එහෙත් තමන්ගේ ආදරණීය දරුවා තමන් බාර දී ගොස් ඇත්තේ නුසුදුසු දෑතකට බව ඔවුන්ට අවබෝධ වන විට සියල්ල සිදුව අවසන්ය. මෙහෙකරුවන් බඳවා ගැනීමේදී සේම, විශේෂයෙන් දරුවන් යමෙකුට බාර දී යාමේදී සිය දහස් වාරයක් විමසා බැලිය යුතුය. විශ්‍රාමික ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි පෙන්වා දෙන්නේ මේ සිදුවීම අනෙකුත් දෙමාපියන්ට පාඩමක් බවයි. 

“දරුවන් යම් කෙනෙකුට හෝ තැනකට බාර දෙනවානම් ඒ ගැන දැඩි අවධානය යොමු කරන්න ඕනෙ. විශේෂයෙන් මෙහෙකාරියක් ගෙන්වා ගන්නවා නම් දරුවා ඇය සමඟ තනිව තබා යාමට සිදුවෙනවා. ඒ වගේ තැන්වලදී ගොඩක් පරිස්සම් වෙන්න ඕනෙ. නිවසේ කටයුතු නිරීක්ෂණයට වැඩිහිටියකු නොමැති නම් ඒ විදියට සේවයට ගන්නා කෙනාගේ ශාරීරික තත්ත්වය වගේම මානසික තත්ත්වයත් පරීක්ෂා කිරීම වැදගත්. ඇය ජීවත්ව සිටින ප්‍රදේශයේ පොලිස් ස්ථානයෙන්, ග්‍රාම සේවකගෙන් වාර්තා ලබාගැනීම වැදගත්. මොකද දරුවෙක් කියන්නෙ අපේ වටිනාම දේ. ඒ දරුවා බාර දෙන්නෙ කාටද කියන එක ගැන අපි උපරිම දැනුවත් වෙන්න ඕනෙ.”

නීතීඥ රෂ්නිකා ලියනගේ