විශේෂාංග

අලි සිරුරක් මෙන්ම අලි හදවතක් ද හිමි අම්බානිගේ අලි නිවහන ‘ වන්තාරා’

මේ දිනවල ප්‍රධාන ධාරාවේ මාධ්‍ය මෙන්ම සමාජ මාධ්‍ය ද අනෙක් සියලූම මඟුල් පැත්තකට දමා කතා වෙන්නේ එකම එක මඟුලක් ගැනය. ඒ අසල්වැසි රටේ මහා ධනවතා වන මුකේෂ් අම්බානිගේ බාල පුත් අනාන්ත්ගේ මඟුලයි. ලෙහෙසි පහසු පුතෙකුට කන්නට බැරි විලසින් අධික පිරිවැයක් දරා කෑ අම්බානි පුතුගේ මඟුල ගැන මෙලෙස කතා වෙන්නට විශේෂ හේතුවක්ද තිබිණි. ඒ ඔහු සමඟ විවාහ වුණු රාධිකා ඉතා සුන්දර යුවතියක් වුණත් අනාන්ත් අධික තරබාරු සිරුරකින් යුතු පුද්ගලයෙකු වීමයි. තමන්ගේ මට්ටම් තම්මැට්ටම් කියන්නාක් සේ, ඒ දෙපළට හොඳනම් අපිට ඒ කතාවලින් පලක් නැත. මේ කතාව විසල් සිරුරකින් යුත් අනාන්ත් අම්බානිගේ විසල් හදවත පිළිඹිබු කෙරෙන ‘වන්තාරා’ අභය භූමිය පිළිබඳවයි. 

වන්තාරා යන්නෙහි තේරුම වනාන්තරයේ තාරකාව යන්නයි. ගුජරාට් ප්‍රාන්තයේ ජම්නගර්හි පිහිටා ඇති වන්තාරා සත්ව අභය භූමියේ විශාලත්වය අක්කර තුන්දහස ඉක්‌මවයි. එහි විවිධ විශේෂ 43කට අයත් සතුන් 2000කට වැඩි පිරිසකට නිදහස් පරිසරයක නේවාසික පහසුකම් සැලසී තිබෙන්නේ පෙනුමෙන් මෙන්ම හදවතින්ද විසල්, අනාන්ත්ගේ කාරුණිකත්වයට පිං සිදුවෙන්නටයි. එක් අතකින් එය සතුන්ට වෙන් වූ තරු පන්තියේ හෝටලයකට සමානය. එහි පහසුකම් අසමසමය. 

අනාන්ත් අම්බානි කුඩා කාලයේ සිටම අලි ඇතුන්ට පෙම් කළ අයෙකි. අලින්ට කතා කරන භාෂාව ඇත්ගොව්වන්ගෙන් ඔහු ඉගෙනගත්තේ 2008 වර්ෂයේ සිටයි. ඔවුන් මුදාගත් පළමු අලියා ‘ගෝරි’ ය. එවකට වයස අවුරුදු 12ක් පමණ වූ ඇය අනාන්ත්ට හමු වී ඇත්තේ රාජස්ථානයේ ආහාර සිඟමනේ යමින් සිටියදීය. අද ගෝරි ගෙවන්නේ සියලු පහසුකම් සහිත සුපිරි ජීවිතයකි. ජීවිත කාලයේ අනේක විධ හිංසා විඳි අලි ඇතුන් 200කට වැඩි ගණනකට මේ ලෙසට වන්තාරාහි සෙවණ ලැබී තිබේ. 

සර්කස්, විවිධ සංදර්ශනවලට සහ බර වැඩවලට යොදාගත්, ආහාර සිඟමනේ ගිය, නොයෙකුත් රෝගාබාධ සහිත මෙන්ම හිමිකරුට නඩත්තු කිරීමට අපහසු වූ අලිද වන්තාරාහි සිටිති. ඔවුන්ට ගෞරවාන්විත ජීවිතයක් ලබාදීම සිය අපේක්ෂාව බව අනාන්ත් අම්බානි පවසන්නේය. 

“පිච්චුණු පාද සහිත, දත් නැති, අස්ථී බිඳුණු, මාර්ග අනතුරුවලට මුහුණ දුන් වගේම ආතරයිටිස් සහ හර්පීස් වෛරසයට ගොදුරු වුණු අලිත් අපි ගාව ඉන්නවා. අපි ඔවුන්ට හොඳම ප්‍රතිකාර දෙනවා. මම ගණ දෙවියන්ගේ දැඩි බැතිමතෙක්. අපට ඔහුව දකින්න විදියක් නෑ. මේ අලින්ගෙන් මා ගණ දෙවියන් දකිනවා. අලි ඇතුන් වෙනුවෙන් මං කරන දේවල් ගණ දෙවියන්ට උපහාරයක්.”

වන්තාරාහි සතුන්ගේ ශාරීරික මෙන්ම මානසික සුවතාව සුරැකීම සඳහා අවශ්‍ය උපරිම පියවර ගෙන තිබේ. අලින්ට ආහාර සැකසීම වෙනුවෙන් ඉදිකර ඇති මුළුතැන්ගෙය අපූරුය. එය වර්ග අඩි දහහතර දහසකින් සමන්විත වේ. ජර්මානු මහාචාර්යවරියක වන පෙට්රා වුල්ෆ් යටතේ ඉන්දීය පෝෂණවේදීන් හතළිස්දෙනෙකු පමණ අලින්ගේ පෝෂණය සොයා බැලීමට යොදවා ඇත. ඉතාම පිරිසිදුවට එහි ආහාර සකස් කෙරෙන්නේ මිනිසුන්ටද පරිභෝජනය කළ හැකි පරිදි ඉස්තරම් අයුරිනි. ලඩ්ඩු, වන්තාරාහි අලින්ට ලැබෙන විශේෂ ආහාරයකි. අත්දැකීම් බහුල හස්තිපාලකවරුන්ගෙන් ලබාගත් ආහාර වට්ටෝරු අනුගමනය කරමින්ද පෝෂණවේදීන්ගේ උපදෙස් අනුව අවශ්‍ය සියලු පෝෂණ සංඝටක යොදමින්ද ඒවා සකස් කෙරේ. 

ලොව විශාලතම අලි රෝහල තිබෙන්නේද වන්තාරා අභය භූමියේයි. එය ලෝකයේ වඩාත් නවීනතම අලි රෝහල ද වේ. ‘ඉන්ඩියා ටුඩේ’ සමඟ විශේෂ සංවාදයකට එක්වෙමින් අනාන්ත් අම්බානි පැවසුවේ වර්ග අඩි හැටපන්දහසකට වඩා විශාල වපසරියක රෝහල පිහිටා ඇති බවයි. සතුන්ට හෝ මිනිසුන්ට හානි නොවන අයුරින් ප්‍රතිකාර කිරීමට අවශ්‍ය පහසුකම් එහි ඇත. අත්‍යවශ්‍ය සියලු ඖෂධ ගබඩා කරන ලද ඔසුසලක් ද තිබේ. සමට හානි වූ අලි සඳහා ඔක්සිජන් ප්‍රතිකර්ම ලබාදෙන කුටියක් වන්තාරාහි ස්ථාපිත කර ඇත. අනාන්ත් අම්බානි පවසන්නේ අලි වෙනුවෙන් ලෝකයේ එවැන්නක් පළමු වතාවට කළේ එහි බවයි. පිළිස්සුම් තුවාල සහිතව අසාධ්‍ය තත්ත්වයෙන් වන්තාරා වෙත පැමිණි ලීලාවතී කෙනෙර සුවය ලබා සිටින අයුරුද වීඩියෝහි දක්නට ලැබිණ. කටු චිකිත්සාව තවත් ප්‍රතිකාර ක්‍රමයකි. වන්තාරා වෙත රැගෙන ඒමට නොහැකි අලි ඇතුන් සිටින ස්ථාන වලට ගොස් ප්‍රතිකාර කිරීමේ වැඩපිළිවෙළක්ද අනාන්ත් විසින් හඳුන්වා දී තිබේ. 

ජලය ද, වැලි ද නාන්න ඕනෑතරම් පහසුකම් වන්තාරාහි අලින්ට ඇත. ඊට අමතරව උණුසුම් ජල තටාක ද (jacuzzi) පවතී. ආතරයිටීස් රෝගී අලින්ට ඒවා විශේෂිතය. අලින්ට ආයුර්වේද සම්බාහන ද සිදු කෙරේ. 

අලින්ට අමතරව සිටින සතුන් අතර දකුණු අප්‍රිකාවේ දඩයම්කරුවන්ගෙන් මුදාගත් කොටි මෙන්ම ආර්ථික අර්බුදය හේතුවෙන් ශ්‍රී ලංකාවෙන් ගෙන්වාගත් හිපපොටේමස් සත්තු ද වෙති. දිවියන්, සිංහයින්, කිඹුලන්, කුරුලු වර්ග ආදී තවත් සතුන් රැසකට වන්තාරා නිවහන වී ඇත. සතුන්ගේ මුල් නිජබිම්වලට සමාන අයුරින් පරිසරය සැකසීමට උපරිම විධිවිධාන යොදා තිබේ. අසරණ සතුන් රැකබලා ගැනීම සේම, වඳ වී යන සත්ව විශේෂ සංරක්ෂණය සහ බෝ කිරීමද එහි අරමුණකි. අතිනවීනතම අංගෝපාංගවලින් සමන්විත ශල්‍යාගාරය ඉදි කිරීමට පෙර අනාන්ත් අම්බානි ලොව පුරා එවැනි ස්ථානවල සංචාරය කර ඇත. තමාගේ කණ්ඩායම මේ වෙනුවෙන් උපරිම කැපවීමෙන් ක්‍රියා කරන බව ඔහු කියයි. 

“මේක මගේ හීනයක්. මගෙ අම්මා තමයි මගෙ ලොකුම අභිප්‍රේරකයා. ඇය හැමවිටම කිව්වා අසරණ සතුන්ට උදව් කරන්න කියලා. ඒ වගේම තාත්තා අපි පොඩි කාලෙ ඉඳල වනජීවීන් බලන්න අරන් ගියා. මාව උත්තේජනය වුණේ ඒකෙන්. ඕනෑම දෙවි කෙනෙකුගේ වාහනය සතෙක්. ක්‍රිෂ්ණා කියලා තියෙනවා හැම ජීවිතයක්ම එක සමානයි කියලා. මේ හැම සතෙකුගෙන්ම මම දෙවියන් දකිනවා. මිනිසුන් වෙනුවෙන් වැඩ කරන අය ඕනෑතරම් ඉන්නවා. ගෘහාශ්‍රිත සතුන්ටත් එහෙමයි. ඒත්, වනජීවීන් වෙනුවෙන් වැඩ කරන්නේ ටික දෙනයි. මං හිතනවා මගෙන් මේ හරහා සමාජයට යමක් ලැබෙනවා කියලා. වන්තාරා නිසා මිනිසුන් රැසකගේ ආර්ථිකයට සහනයක් ලැබිලා තියෙනවා. මමත් මේකෙන් ලොකු සතුටක් ලබනවා. අපි හැමදේම කරන්නේ නීතියට අනුකූලව. අපි යමක් කරද්දි හොඳ වගේම නරක අහන්න වෙනවා. හැබැයි මගෙ හදවත දන්නවා මං කරන දේ. ඒ නිසා අනිත් අය කියන දේ ගැන මං වද වෙන්නේ නෑ. මගෙ අරමුණ තමයි ඉන්දියාව කිසිම සතෙකුට පීඩා නොකරන තැනට පත්වෙන එක. අපේ පළවැනි අලි පැටියා ගෝරි බේරා ගනිද්දි කන්න දෙන විදියවත් අපි දැනගෙන හිටියේ නෑ. ඒත් අපි ටිකෙන් ටික විද්‍යාත්මක දැනුමත් ලබාගත්තා. ලොව හොඳම වනජීවී අධ්‍යයන ආයතනය මෙහෙ ඇති කරන එකත් මගෙ බලාපොරොත්තුවක්. සතුන් කොටු කරන්න මං කැමති නෑ. මෙතන සතුන්ට දම්වැල් දාලා නෑ. කූඩු කරලා නෑ. එයාලා සතුටින් ඉන්නයි ඕනෙ. ඉදිරියේදී අධ්‍යාපන වටිනාකමක් සහිතව මේක මහජනතාවට විවෘත කරන සුදුසු කාලය එළැඹෙන තුරු ඉන්නවා. ඒත්, සතුන් ප්‍රදර්ශන භාණ්ඩ කිරීමේ අදහසක් නෑ. ඒ වගේම මේකෙන් ලාබ ඉපයීම මගෙ අරමුණක් නොවේ. ඇත්තටම මගෙ ව්‍යාපාර වෙනයි. මේක එහෙම එකක් නෙමේ. දැන් මේක තමයි මගේ ගෙදර. මගේ බිරිය රාධිකාත් සතුන්ට හරිම ආදරෙයි. ඉදිරියේදී එයත් මේ වැඩවලට තව තවත් උදව් වේවි.”

රෂ්නිකා ලියනගේ