දිරිය දිනූ කතුන්

“ඒ මනමාලයා වෙඩින් එකට කලින් හොඳටම බීලා ලොකු ජරමරයක් වුණා” – සාවිකා තුල්ෂි

‘අවදානමක් ගන්න බය මිනිස්සුන්ට ජීවිත කාලේ පුරාවටම කිසිම දෙයක් දිනාගන්න බැහැ.’ ඔය කතාව කිව්වේ ලෝකේ ප්‍රසිද්ධ බොක්සිං ක්‍රීඩකයෙක් වෙච්චි මොහොමඩ් අලී. අලීගේ කතාව ඇත්ත.මොකද ලෝකේ ජයගත්තු හුඟාක් මිනිස්සු ඒ ජයග්‍රහණවලට ගිහින් තියෙන්නෙම බය නැතිව අවදානම් ගත්තු නිසයි. අද අපි මේ කියන්න යන්නෙත් එහෙව් අවදානමක් අරගෙන සාර්ථක ව්‍යාපාරයක් කරන ළාබාල තරුණියක් ගැන. ලංකාවේ ළාබාලම විවාහ සැලසුම් ශිල්පිනිය (Wedding Planner) විදියට ඇයව හැඳින්නුවත් වරදක් නැහැ. මොකද තවම ඇයට වයස 21 යි. අද ‘ධරණී’ කවරය සරසන ඒ ලස්සන තරුණියගේ නම සාවිකා තුල්ෂි.

ලොකු වෙලා තමන්ගේම කියලා බිස්නස් එකක් පටන්ගන්න එකලු පුංචි කාලේ ඉඳලම සාවිකාගේ හීනය වුණේ. ඉතින් සාමාන්‍ය පෙළ ලියලා ප්‍රතිඵල එනකල් ඉන්නකොට පුංචිම දෙයක් හරි කරන්න ඕනේ කියලා ඇය හිතුවලු. ඒ සිතුවිල්ලට අනුව ඇය ලෑල්ලක ඇණ ගහලා ඒ හරහා නූල් ඇඳලා නිර්මාණ කිහිපයක් කරලා ඒවා දන්න දන්න අයට විකුණුවලු. මාස කීපයක් යද්දි ඒවට හොඳ ඉල්ලුමකුත් ලැබිලා. සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ආවට පස්සේ ඒ වැඩේ අතරමඟ නවතලා උසස්පෙළ කරන්න අරන්. උසස්පෙළ ප්‍රතිඵලවලට අනුව ඇයට සරසවි වරම් හිමිවුණත් කැම්පස් නොයා ඈ දැකපු හීනේ පස්සේ දුවන්න ඇය තීරණය කරලා.

“මං එදා ගත්තේ ලොකු අවදානමක්. ඒත් අවදානම මැදින් හරි මට ඕන වුණේ මගේම බිස්නස් එකක් පටන්ගන්න. ඔය අතරේ අපේ පවුලේ අක්කා කෙනෙක්ගේ වෙඩින් එකක් තිබුණා. ඒ වෙඩින් එක ප්ලෑන් කරන වැඩේට මමත් නිකමට හවුල්වුණා. වෙඩින් එකක් ප්ලෑන් කරන්නේ කොහොමද කියලා යම්කිසි අවබෝධයක් ලැබුණේ එතැනින්. ඒත් එක්කම ටික්ටොක් පේජ් එකක් හදලා වෙඩින් එකක් ප්ලෑන් කරද්දි හිතන්න ඕන කාරණා ගැන පොඩි වීඩියෝ ටිකකුත් හදලා දැම්මා. ඒ වීඩියෝ ගොඩක් අය බලලා තිබුණා. ගොඩාක් අය මගේ පේජ් එක ෆලෝ කරන්න ගත්තේ ඒකෙන්.”

ටික දවසක් යනකොට සාවිකාට ඉතාලියේ ජීවත්වෙන ලංකාවේ කෙනෙක්ගෙන් හිතාගන්න බැරි පණිවිඩයක් ඇවිත්. ඒ ඔවුන් ලංකාවේදි ගන්න බලාපොරොත්තු වෙන විවාහය ඇයට සැලසුම් කරලා දෙන්න කියන එක. ඒ මැසේජ් එක දැක්ක ගමන් සාවිකාට හිතාගන්න බැරි සතුටක් දැනුණලු.

“තනියෙන් වෙඩින් එකක් ප්ලෑන් කරලා නොතිබුණු නිසා මට ඒක බාරගන්න බය හිතුණා. ‘මමත් උදව් කරන්නම් වැඩේ බාරගන්න’ කියලා එවෙලේ මට කිව්වේ මගේ පෙම්වතා. හැබැයි වෙඩිමට තිබුණේ මාස තුනයි. එයාලා ලංකාවට ආවේ වෙඩින් එකට සති දෙකක් තියලා. ඒ නිසා වෙලාව කළමනාකරණය කරගන්න තවත් අමාරු වුණා. හැබැයි කිසිම අඩුපාඩුවක් නැති වෙන්න මම ඒ වැඩේ කළා. ඒක තිබුණේ ගිය අවුරුද්දේ අගෝස්තු මාසේ.”

මේක හොඳ ව්‍යාපාරයක් කියලා සාවිකාට හිතුණේ ඒ වැඩේ සාර්ථකත්වය නිසාලු. ඒත් ඉතින් ගෙදර උදවිය නම් සාවිකාගේ ඒ තීරණේට එච්චර කැමති වෙලා නෑ. ඒත් ඒ හිතත් කොහොමින් හරි වෙනස් කරාපු සාවිකා ‘සිලෝන් වෙඩින්’ කියලා වැඩේට ගැළපෙන නමකුත් දාලා විවාහ මංගල්‍යයක් සැලසුම් කරන වැඩේ ගැන ප්‍රචාරණය කරලා.

“මුල් කාලේ එක වෙඩින් එකක්වත් ආවේ නෑ. මාස දෙක තුනක් යනකොට වැඩ එක දෙක එන්න ගත්තා. මං ඒවා බාර අරන් කරලා ඒවගේ ෆොටෝස්, වීඩියෝස් සමාජ මාධ්‍යවලට දානකොට තමයි තව තව අය කතා කළේ. ගොඩාක්ම කතා කළේ පිටරට පදිංචි වෙලා ඉන්න ලංකාවේ අය.”

ලංකාවේ කෙනෙක්ගේ විවාහයක් සැලසුම් කරනවට වඩා පිටරට ඉන්න කෙනෙක්ගේ විවාහයක් සැලසුම් කරන එක ටිකක් අමාරු වැඩක්ලු. මොකද හැමදේම සංවිධානය කරගන්න ඕන දුරකතන ඇමතුම් හරහානේ. අනික ලංකාවේ වෙලාවයි ඒ රටවල වෙලාවයි වෙනස් නිසා ඇමතුම් ගන්න වෙන්නෙ රෑ දෙගොඩ හරියේලු.

“ගොඩාක් අය ලංකාවට එන්නේ වෙඩින් එකට සතියක් දෙකක් තියලා. එතකොට කාලය ගැන ප්‍රශ්න එනවා. අනික ඒ ගොඩක් අයට ලංකාවේ වෙඩින් එකක් ගන්න එක ගැන ලොකු අදහසක් නෑ. සිරිත් විරිත්, චාරිත්‍ර වාරිත්‍ර වුණත් කියලා දෙන්න වෙනවා.” 

එහෙම බලද්දි විවාහයක් සැලසුම් කරන එක ලේසි වැඩක් නෙවෙයි. ඒත් මේ ළාබාල තරුණිය සාවිකා ඒ වැඩේ හරි අපූරුවට කරන නිසා ඇගෙන් විවාහය සැලසුම් කරගන්න එන පිරිසේ අඩුවක් නැහැ.

“මේ වැඩේදි සැලකිලිමත් වෙන්න වෙන පළවැනි කාරණාව මංගල්‍ය වෙනුවෙන් ඔවුන් කොච්චර මුදලක් වෙන්කරනවද කියන එක. ඒ බජට් එක බලලා මං ඔවුන්ට බජට් එක ඇතුළේ දෙන්න පුළුවන් හොඳම සේවාව ලබාදෙනවා. ඊටපස්සේ වෙඩින් කාඩ් හදන එකේ ඉඳන් හොටෙල් බුක් කරන එක, ඇඳුම් පැළඳුම්, කෑම බීම එකී මෙකී හැමදේම බලන්නේ මම. එක තැනක ගැටලුවක් වුණොත් ඔක්කොම ඉවරයි. මොකද විවාහයක් කියන්නේ කෙනෙක්ගේ දෙවැනි උපත. ඒ අය ඒක බය නැතිව මට බාරදෙන්නේ මාව විශ්වාස කරලා. ඉතින් ඒ විශ්වාසය රකින එක මගේ යුතුකම. මේ වැඩවලදි දැනට මගේ එක්ක දෙන්නෙක් වැඩ කරනවා. ඊට අමතරව ලිකර් (මත්පැන්) පැත්ත බලන්නනේ මගේ බාප්පා.”

අපි හොයලා බැලුව කරුණු අනුව දැනට ලංකාවේ ළාබාලතම විවාහ සැලසුම්කරණ ශිල්පිනිය ඇයයි. ඉතින් ඒ ගැන සාවිකා අපිට කිව්වේ මෙහෙම කතාවක්.

“වයස 21ට ඇවිත් තියෙන දුර ගැන සතුටුයි. දැන් මං වෙඩින් ප්ලෑන් කරන්න අරන් මාස 10යි. ඒ කාලේ ඇතුළත මං වෙඩින් 25කට වඩා කළා. තව 30ක් බාරඅරගෙන තියෙනවා. 2025 අවුරුද්දේ වෙඩින් පවා මේ වෙනකොටත් බාරදීලා ඉවරයි.”

ඇය එක මාසෙකට වෙඩින් හතර පහ පවා බාරගත්තු අවස්ථා තියෙනවලු.

“ගොඩාක් වැඩ තියෙන්නේ අගෝස්තු ඉඳන් ජනවාරි වෙනකල්. ඒ කාලෙට නින්දක් නැතුව ඒ වෙනුවෙන්ම මහන්සි වෙනවා. අම්මා, තාත්තා, මල්ලි, බාප්පා, හස්බන්ඩ් සහ එයාගේ අම්මා මට ගොඩාක් උදව් කරනවා. ඒ හැමෝගෙම සහයෝගය එක්ක මාසිකව මම හොඳ මුදලක් හම්බ කරනවා.”

දියුණුවෙන්න වයස බාධාවක් නෑ කියන එකට ඈ හොඳ උදාහරණයක්. ඒ වග ඇගේ ටික්ටොක්, ෆේස්බුක්, යූටියුබ් වගේම ඉන්ස්ටග්‍රෑම් ගිණුම්වලට ගියොත් සාක්ෂි ඇතුව බලාගන්න පුළුවන්. විවාහ සැලසුම්කරණ ශිල්පිනියක් විදියට මුහුණදෙන්න සිදුවුණු අමතක නොවෙන සිදුවීම් ගැන ඊළඟට අපි ඇගෙන් අහලා බැලුවා.

“පිටරට ඉන්න කපල් එකක වෙඩින් එකකදීයි මේක වුණේ. ඒ වෙඩින් එකේ මනමාලයා වෙඩින් එකට කලින්ම හොඳටම බීලා. පස්සේ එයා ෆොටෝග්‍රැපර්ට ගහලා මනමාලිත් අ‍ඬන්න අරගෙන ලොකු ජරමරයක් වුණා. ඒකනම් මම අකමැතිම සිදුවීමක්. තව වෙඩින් එකකදි මනමාලිගේ පැත්තේ නෑදෑයෙක් මං හොඳට වෙඩින් එක ප්ලෑන් කළා කියලා සතුටට මගේ ගැන කතාවක් කළා. ඒ වෙලේ මට ගොඩක් සතුටු හිතුණා.”

පවුලේ විවාහයක් සැලසුම් කරන්න බාරදෙන්න වගේ ඇවිත් සැලසුම්කරණය ගැන විස්තර අහගෙන මාරුවුණු අයත් මුණගැහිලා තියෙනවලු. ඉතින් ඒ වගේ වැඩ නිසාම වැඩේට කලින් ඇඩ්වාන්ස් මුදලක් ගන්න ඇය තීරණය කළාලු.

“අපේ රටේ රස්සා නෑ කියලා සමහර කියනවනේ. කරන්න පුළුවන් නම් ඕනතරම් වැඩ තියෙනවා කියලයි මම නම් කියන්නේ. ඒකට ඉතින් මොළය වෙහෙසලා හිතන්න ඕනේ. ඒ වගේම මහන්සි වෙලා වැඩ කරන්නත් ඕනේ.” 

සාවිකා ඉන්නේ මොරටුවේ. ඒත් ලංකාවේ ඕනම තැනක විවාහ මංගල්‍යයක් බාරගන්න ඇය සූදානම්. ඇය කියන විදිහට මේ තැනට එන්න ඇයට පුළුවන් වුණේ බය නැතිව අවදානම් ගත්තු නිසාලු. හීන සැබෑ කරගන්න වුවමනා නම් බය නැතුව අවදානම් ගන්න කියලත් අවසානෙට ඇය කිව්වා.

“කතාවක් තියෙනවා පියාඹන්න බැරි නම් දුවන්න. දුවන්නත් බැරි නම් ඇවිදින්න. එහෙම ඇවිදින්න බැරි නම් බඩගාන්න. කොහොම හරි වෙන්න ඕන ඉදිරියට යන එක විතරයි. ඒ වෙනුවෙන් අවදානම් ගන්නම වෙනවා. ”

රුවන් එස්.සෙනවිරත්න

ඡායාරූප – චමත් ඒකනායක

Makeup – Ruchira Liyanagamage Bridals

Dress Design – Mangala Geththam