දිරිය දිනූ කතුන්

කලාතුරකින් ලැබුණ ඕඩර් එකක් නිසා සෞරග්‍රහ මණ්ඩලේම මට මතක හිටියා – නිම්ෂා රත්නායක

මීට අවුරුදු කිහිපයකට පෙර අම්බලන්ගොඩ නගරයේ එක නිවහනක එකම කලබලයක්ය. පාසල අවසන් වී නිවස වෙත එමින් සිටි ඒ ගෙදර එක දුවෙක්ට දුරතියා මේ වෙනස තේරුණි. කඩිමුඩියේ සාලයේ එහාට මෙහාට යන අම්මාව ඇය දුටුවේ ජනෙල් කූරු අතරින්ය. “මේ මොකද මේ” යැයි ඇයට එකවර කියැවුණි. ඇය අඩිය ඉක්මන්කොට නිවසට ආවාය. එකවරම ඇගේ නෙත ගැටුණේ සාලයේ කොනක වූ මේසයයි. මේසයේ එකතැනක පාන්පිටි ය. තව තැනක බිත්තර ය. කිසිම හාවක් හූවක් නැතුව අම්මා සිටියේ පිටිහලමිනි. වෙන්න යන දේ සිතා ගැනීමට ඇයට වැඩි වේලාවක් ගත නොවුණි.

“නැන්දලාහාට අයිසිං කේක් එකක් හදලා ඉල්ලුවා. හවස් වෙන්න කලින් දෙන්න ඕන. ඇඳුම් මාරු කරලා ඇවිත් පුළුවන් නම් පොඩ්ඩක් උදව් වෙන්න පුතේ.”

දුව දැක්ක ගමන් අම්මා පේනේරයෙන් දෑස ගත්තේ එලෙස කියමින්ය. එය ඇසූ සැණින් මේ දුවගේ ඉහේ මලක් පිපුණි. කේක් වැඩක් නම් ඇයට නැව ගිලුණත් බෑන් චූන්ය. ඒ නිසාම ඇඳුම් උනා දැමීම පසෙක දමා ඇය පාසල් නිල ඇඳුම පිටින්ම අම්මාට හවුල් විය.

“ආ මෙන්න මේ ඉතිරි වුණ අයිසිං. මේකෙන් මොනවහරි හදන්න.”

ඉතිරි වුණ රෝසපාට පාර්ච්මන්ට් අයිසිං මදක්වත් ඉතිරි නොකර ඇය රෝස මල් හැදුවාය. ඊටපස්සේ ඒවා එකින් එක සීරුවට කේක් එක පුරා ඇතිරුවාය.

“අනේ හරිම ලස්සනයි පුතේ. ඔයා ඒ ටික ලස්සනට හදලා.”

දූගේ අම්මා එදා දුවගේ වැඩ දැක සතුට වචන කළේ ඒ විදියටය.

නිම්ෂා රත්නායක වුණ ඒ අම්මාගේ දුවට දැන් අවුරුදු 28ක්ය. හැබැයි තාමත් ඇය ඒ කේක් සරසන දුවමය. වෙනසකට ඇත්තේ දැන් ඇය කේක් සරසන්නේ අයිසිංවලින් නම් නොවේ. ඒ වෙනුවට පොලිමර් ක්ලේවලින් ඇගේම ක්‍රමයකට සකසාගත් ටොපර්ස්වලින්ය.

“දැන් අවුරුදු තුනක් තිස්සේ කේක් ටොපර්ස් හදලා  විකුණන එක තමයි මම කරන්නේ. ඒක මම කරගෙන යන්නේ ඔන්ලයින් බිස්නස් එකක් විදියට.”

ඔය කියන කේක් ටෝපර්ස් හැදිල්ල යනු අත හුරුවුණොත් කොයි කාටත් කරන්න පුළුවන් වැඩක්ය. ඒත් නිම්ෂාගේ කේක් ටොපර්ස් නම් එහෙම ලේසියට කාටවත් හදන්නට බැරිය. ඒවා හදන්න පුළුවන් ඇයටම විතරය.

“අයිසිංවලින් කේක් ටොපර් හැදුවම වැඩි කාලයක් තියාගන්න බැහැ. ඒක නිසා මට ඕන වුණේ ජීවිත කාලයේම පාවිච්චි කරන්න පුළුවන් ටොපර් එකක් මගේම විදියට හදන්න.”

නිම්ෂාට ඕන වුණේ කවුරුවත් අනුකරණය කරන්නට නොවේ. ඇගේම විදියකින් ගොඩයන්නටය. ඒ නිසාම ඉඩක් ලැබුණ ගමන් ඇය කළේ යූටියුබයේ සැරිසැරීමය. වැඩකට නැති වීඩියෝ බලනවා වෙනුවට ඇය කේක් ටොපර්ස් කල්තියා ගන්න පුළුවන් අලුත් ක්‍රමයක් සෙව්වාය.

“ඒ අතරේ මම දැක්කා පොලිමර් ක්ලේවලින් රූප අඹන වීඩියෝ එකක්. එතකොට මට හිතුණා ටොපර්ස් වැඩෙටත් මේ ක්ලේ ජාතිය හරියාවි කියලා. ඊටපස්සේ පොලිමර් ක්ලේ ටිකක් හොයාගෙන වීඩියෝ එක බලන් ටොපර් එකක් හදන්න පටන්ගත්තා. එහෙම නොකර පාඨමාලාවක් කරලා ටොපර්ස් හදන්න හිටියා නම් මට කවදාවත් මේ වැඩේ කරන්න වෙන්නේ නෑ. අද කාලේ හැටියට ලේසියෙන් පාඨමාලාවක් කරන්නත් බැහැනේ.”

කිසිම දවසක අතින්වත් අල්ලා නොතිබුණු පොලිමර් ක්ලේවලට ඇගේ අතේ කරගැට ඉලිප්පෙන්න වැඩි වෙලාවක් ගත නොවුණි. අත වේදනාවෙන් කකියද්දී ඇය නෙත් යොමුකළේ ඒ කරගැටවලට නොව  වීඩියෝවටමය.

“මුලදි මම ක්ලේ කොච්චර ප්‍රමාණයක් ඕනද කියලවත් හරියට දැනගෙන හිටියේ නැහැ. වීඩියෝ එකේ තිබුණෙත් හදන විදිය විතරයි. ඒ නොදැනුවත්කම නිසාම මගේ අතින් වැඩිපුර ක්ලේ ගොඩක් නාස්ති වුණා. පැය ගාණක් තිස්සේ හැදුවත් සමහර ඒවා කැඩිලා අතට ආවා.”

‘එක්වරක් සාර්ථක වන්නට සිය වතාවක් අසමත්වන්නට බිය නොවන්න.’ වරෙක හොන්ඩා සමාගමේ නිර්මාතෘ සොව්‍ රෝ හොන්ඩා පවසා සිටියේ එවැන්නක්. සෙව් රෝ පැවසුවා සේම කෙතරම් අසමත් වුණත් නිම්ෂා නොසැලී සියල්ලටම තනිව මුහුණ දුන්නාය. අවසානයේ ඇය පැයෙන් ටොපර් එකක් සකසන තරමට සාර්ථක වූවාය.

“ක්ලේ වුණත් කාලයක් යද්දී සවුත්තු වෙන්න බලනවනේ. ඒකනිසා එහෙම නොවී හැමදාම තියාගන්න පුළුවන් වෙන්න මොකක්හරි කරන්න ඕන කියලා මට හිතුණා. එතකොට තමයි මතක් වුණේ කල්තියා ගන්න පුළුවන් විදියේ පේස්ට් එකක් හැදුවොත් හරියාවි කියලා. මම ඉතිං එක එක දේවල් මිශ්‍ර කර කර අත්හදා බැලුවා. අන්‍තිමට මම පේස්ට් එකක් හදාගත්තා. ඊටපස්සේ ඒක දාලා පළවැනි ටොපර් එක හැදුවා.”

ඒ විදියට ක්ලේ කල්තියාගන්න ක්‍රමයක් නැහැ කියලා සාමාන්‍ය විදියටම හැදුවා නම් ටොපර්ස් ව්‍යාපාරය මේ තරම් දියුණුවෙන්නේ නැහැ කියලයි කතාව අතරමැදදි නිම්ෂා පැවසුවේ. ඒක නිසා දියුණුවෙන්න අවශ්‍ය නම් කූඩැල්ලෙක් වගේ තව කෙනෙක් මත යැපෙන්නේ නැතුව නිම්ෂා වගේ බැරි දේ වුණත් උත්සාහ කරලා බලන්න. දැනටමත් එහෙම කරන කෙනෙක් නම් ඒ දේ දිගටම කරගෙන යන්න.

“ඒ වගේ වැඩ මම කලින් කරලා නැති වුණත් චිත්‍ර අඳින වැඩ මට ඉස්සර ඉඳන්ම පුළුවන්. ඒක නිසා  ක්ලේවලින් ලස්සනට රූප අඹන එක මට අමාරු වැඩක් වුණේ නැහැ. මම හදන රූප ඇත්ත රූප වගේ කියලා තමයි මට ගොඩක් අය කිව්වේ. ඒක නිසා පේජ් එක හදපු ගමන්ම වගේ මට ගොඩක් ඕඩර්ස් ආවා.”

ටොපර් හදනවා කියන්නෙත් වෙනමම කලාවක්. ඒ කලාව අතහුරුවෙන්ම නිම්ෂා අල්ලා ගත්තාය. කස්ටමර් එවන ෆොටෝ එක ඇය ඒ විදියටම සැකසුවේ කිසිඳු වෙනසක් නොකරය. නිම්ෂා වැඩේ හරියටම කරන නිසා කස්ටමර්ස්ලත් කිසිම බයක් සැකක් නැතුව ඇයට ඕඩර් භාරදෙන්න පටන් අරගෙන තිබුණි. එකම කෙනා දෙපාර තුන්පාර ඇගෙන් ටොපර්ස් මිලදී ගත්තේ ද ඒ නිසාය. කරන දේ හරියටම කරපු නිසාම අවසානයේ සාර්ථකත්වය ඇය සොයා ආවාය.

“කස්ටමර් එවන ෆොටෝ එකත් එක්ක තමයි මම හදන්නේ මොකද්ද කියන එක තීරණය වෙන්නේ. එහෙම එවන ෆොටෝස්වල ගොඩක් තියෙන්නේ මිනිස්සුන්ගේ රූප. ඊටපස්සෙ සත්තුන්ගේ රූපත් ඉඳලා  හිටලා එවනවා. ඒ එවන මිනිස් රූප ගත්තොත් හිතන්නකො පුංචි බබෙක්ගේ උපන්දින පාටියකට ටොපර් එකක් හදන්න දුන්නා කියලා. ඒවගේ වෙලාවට ගොඩක්ම එවන්නේ සුරංගනාවියොන්ගේ ෆොටෝස්. පිරිමි ළමයෙක්ගේ උපන්දිනයක් නම් බැට් එකක්, කාර් එකක් වගේ දෙයක්. සාමාන්‍ය මිනිස් රූප නම් ලැබෙන්නෙම නැති තරම්. ඒක නිසාම සරමක් ඇඳගත්ත මනුස්සයෙක්ව මම කිසිම දවසක අඹලා නැහැ. 

මේ ළඟදි දවසක මගෙන් ටොපර් එකක් හදලා ඉල්ලපු එක කස්ටමර් කෙනෙක් මට මෙහෙම කතාවක් කිව්වා. ‘මගේ දුව ගොඩක් කැමති සින්ඩරෙල්ලාට. ඒකනිසා මට ඕන සින්ඩරෙල්ලගේ ටොපර් එකක්. එයාගෙ බෑග් එකේ පවා ඉන්නේ සින්ඩරෙල්ලා. එච්චරටම ආසයි එයා සින්ඩරෙල්ලට.’ ඔය විදියට ආසා දේ තමයි ගොඩක් වෙලාවට හදන්න කියලා එවන්නේ. මේ එකක් විතරයි. උපන්දිනවලට විතරක් නෙමෙයි වෙඩින් එකකට ටොපර් හදන්න ලැබුණ ඕඩර්වල මේ වෙනකම් මට ලැබුණ ෆොටෝස් හැම එකකම ඉන්නේ ටයිකෝට් ඇඳගත්ත මනාලයෙකුයි, දිග ගවුමක් ඇඳලා වේල් එක දාපු මනමාලියකුයි. ඒක නිසා මට කවදාවත් නිලමේ ඇඳුම ඇඳලා ඔසරිය ඇඳවගත්ත මනාල ජෝඩුවක් අඹන්න වෙලාම නැහැ. ඒ විතරක් නෙමේ මම කිව්වනේ සත්තුත් අඹනවා කියලා. අලියා, කොටියා, සිංහයා වගේ තමයි ගොඩක් වෙලාවට හදලා තියෙන්නේ. මුවෝ වගේ සත්තු නම් මම හදලාම නැහැ. මේ ළඟදි දවසක පළවැනි වතාවට මම අපේ සෞරග්‍රහ මණ්ඩලේ ග්‍රහලෝක ටික හැදුවා. ඒ නම් ඉඳල හිටලා  ලැබුණ වෙනස්ම විදියේ ඕඩර් එකක්. ඒකෙන් මට සෞරග්‍රහ මණ්ඩලේ ග්‍රහලෝක ටිකත් හොඳටම මතක හිටියා.”

ඉඳල හිටලා ඉල්ලන ඒ වගේ ටෝපර්ස් හැමෝම ඉල්ලනවා නම් කියා මට හිතුණේ නිම්ෂා ඒ කතාව කියාගෙන යද්දීය. මේ කියන ටොපර්ස් කොහොමත් කන්න බැරි නිසා උපන්දිනේ දවසේ කැමති දේට වඩා දරුවට දැනුමට දෙයක් ආදර්ශයක් වෙන දෙයක් ටොපර් එකක් වුණොත් ඔවුන්ට ලැබෙන්නේ ජීවිත කාලය පුරාවටම අමතක නොවන තිළිණයක්ය. මහපාරේ කහඉරෙන් පිරිසක් පාර මාරුවෙද්දී  වාහන නවත්තගෙන ඉන්න දර්ශනයක් කේක් එකෙන් දරුවා දකිනකොට කවදහරි දවසක හොඳ රියැදුරෙක් වෙන්න ඔහුට ඒක හොඳ මගක් වේවි. එතකොට නිම්ෂාගේ අතිනුත් වෙනස් විදියේ ලස්සන ටොපරුත් හැඩවේවි.

“දරුවෙක් ලැබුණට පස්සේ ගොඩක් අය කරදරයි කියලා කරගෙන යන රස්සාවෙනුත් අස්වෙනවා. ඒ වුණාට මම මේ වැඩේ පටන්ගත්තේ පුතාට මාස 4ක් වෙද්දී. දරුවා නිදාගත්තට පස්සේ තමයි මම වැඩ කරන්න ගන්නේ. කිසිම වෙලාවක මම මගේ වැඩේට දරුවව බාධාවක් කරගත්තේ නැහැ. දැන් එයාට අවුරුදු 04යි. අද කාලේ ගොඩක් අය වැඩක් කරගන්න ඕන වුණාම කරන්නේ දරුවාගේ අතට ෆෝන් එක දීලා පැත්තකට වෙන එක. ඒත් මම එහෙම කළේ නැහැ. මම වැඩ කරද්දී එයාවත් මගේ ළඟින්ම තියාගෙන හිටියා. පුංචි කාලේ ඉඳලම මම මේ කරන දේවල් බලන් ඉඳලා දැන් එයත් ඇවිල්ලා මට උදව් කරනවා. ක්ලේවලින් බෝල හදලා දෙනවා. ඊටපස්සේ ඒවත් දාලා මම ටොපර් හදනවා.”

නිම්ෂාගේ පුතා විතරක් නෙමෙයි ටොපර් වැඩේ කරන්න පටන්ගත්ත දවසේ ඉඳලම සෙවණැල්ලක් වී සැමියාද ඇගේ ළඟින්ම සිටියේය. පවුලේ අයත් ලොකු සහයෝගයක් දැක්වූවා කියලයි නිම්ෂා පැවසුවේ.

මේ කතාව අසා අවසන් වෙද්දීම මට මතක් වුණේ ඒ වගේම වෙන කතාවක්. ඒ තමයි කේ.එෆ්.සී. එක හඳුන්වා දුන්න හාර්ලන්ඩ් සැන්ඩර්ස්ගේ කතාව. හැමදාම එකම විදියට කාපු කුකුල් මස් වෙනස් විදියට හදලා වෙනස් රහකින් මිනිස්සුන්ට දුන්න කෙනෙක් සැන්ඩර්ස් කියන්නේ. ඒ රහට මිනිස්සු වශී විය. ඉතිං අපේ කතානායිකාව වුණ නිම්ෂා ද කළේ ඒ වගේ වැඩකි. හැමදාම එකම විදියට දැක්ක වැඩි කාලයක්  පාවිච්චි කරන්න බැරිවුණ කේක් ටොපර්ස් ඇය වෙනස් විදියට වගේම ජීවිත කාලේම තියාගන්න පුළුවන් විදියට සැකසුවාය. එසේ වෙනස් විදියට හදපු ටොපර්ස්වලට බොහෝ දෙනෙක් වශී විය. ඒක නිසා ඇයගේ ටොපර්ස්වලට එන්න එන්නම ඉල්ලුම වැඩි විය. තාමත් ඒ ඉල්ලුමේ කිසිම වෙනසක් නැත.

“දියුණු වෙන්න ඕන නම් වෙනස් විදියට හිතන්න. ඒක තමයි එකම රහස. අනිත් දේ තමයි අරක නැහැ මේක නැහැ කියලා තමන් කරගෙන යන වැඩේ අතහරින්න එපා. අමාරු වැඩක් වුණත් උත්සාහ කරන්න. මොන දේ නැති වුණත් දවසක තමන්ගේ උත්සාහයේ ප්‍රතිඵල  ලැබෙන එක නතරවෙන්නේ නැහැ.”

ඇය වගේ දියුණුවෙන්න ආසවෙන් ඉන්න කෙනෙක්ට කියන්න තියෙන්නේ මොනවගේ දෙයක්ද කියලා ඇසුවාම නිම්ෂා එක හුස්මට පැවසුවාය.

නෙත්මි තෂාරා