විශේෂාංග

ජපන් ගිහින් හපන්කම් පෙන්වපු කශ්මිරා

පසුගිය දවස්වල සකුරා මල් පිපෙන දේශයේ බොහොමයක් මාධ්‍යවල මුල්තැනක් හිමිවෙලා තිබුණේ අපේ රටේ දුවෙකුට. අගෝස්තු පළමුවැනිදා ටෝකියෝ නුවර පැවති සිව්වැනි ලෝක ළමා සාම සමුළුව(4th Children’s World Peace Summit) අමතා ඇය කළ කතාව තමයි ඒකට හේතුව වුණේ. ඉතින් ඒ නිසා වඩාත්ම සාමකාමී කථන සම්මානලාභියා(Most Peaceful Speech Award) විදියට මේ දුවට ත්‍යාගයකුත් හිමිවෙලා තිබුණා.

මේ වනවිට දහඅට හැවිරිදි වියේ පසුවන ඇය වේයන්ගොඩ බණ්ඩාරනායක මධ්‍ය විද්‍යාලයේ උසස් පෙළ හදාරන සිසුවියක්.ඒ වගේම පාසලේ මාධ්‍ය ඒකකයේ දක්ෂ ක්‍රියාකාරිනියක් සහ නිවේදිකාවක්.

ඇගේ නම තමයි ආර්.කශ්මිරා ජයවීර.

“මම පොඩි කාලේ ඉඳන්ම පොත් කියවලා අලුත් දේවල් ඉගෙනගන්න කැමති කෙනෙක්. ඇත්තටම මගේ ජීවිතයේ තියෙන ලොකුම ඇබ්බැහියත් පොත් කියවන එක. ගොඩක් වෙලාවට මම ඒ දැනුම අනිත් අයත් එක්කත් බෙදාහදාගන්නවා. ඒ දැනුමෙන් අනිත් අයගේ ජීවිතවලටත් පලක් ප්‍රයෝජනයක් වුණොත් තමයි අවසානයේ අපිටත් සතුටු වෙන්න පුළුවන්. මගේ අම්මත් ගුරු උපදේශිකාවක් නිසා ඒ හැමදේකටම ඇයගේ සහයෝගය හැමදාම ලැබුණා. මේ ජයග්‍රහණ පිටිපස්සේ තියෙන ලොකුම ශක්තියත් ඒක කියලයි මම හිතන්නේ.

ලෝක ළමා සාම සමුළුව ගැන අපිව මුලින්ම දැනුවත් කළේ ඉස්කෝලේ විදුහල්පතිතුමා. ඊටපස්සෙ විදුහල්පතිතුමාගේ උපදෙස්වලට අනුව ගුරුවරු එකතු වෙලා නිවැරදිව ඉංග්‍රීසි භාෂාව හසුරවන්න පුළුවන් ළමයි දහදෙනෙක්ව මේකට පුහුණු කරන්න තෝරගත්තා. ඒ දහදෙනා අතරින් අවසානයේ ජපන් යන්න වාසනාව උදාකරගත්තෙ මම.”

මේක ජපන් විදේශකටයුතු අමාත්‍යාංශය සහ ලෝක සාමය වෙනුවෙන් කටයුතු කරන එරට Peace Piece Project යන සංවිධානය එක්ව වාර්ෂිකව පවත්වනු ලබන තරඟයක්. මෙහි මූලික අරමුණතමයි ලෝක සාමය වෙනුවෙන් ළමා නායකයින්ගේ අලුත් අදහස් විමසීම. ඒ සඳහා ඇමරිකාව, මහාබ්‍රිතාන්‍ය, ඔස්ට්‍රේලියාව, ජර්මනිය,  ඉන්දියාව, පකිස්තානය, ප්‍රංශය,කොන්ගෝ රාජ්‍ය ඇතුළු රටවල් පනහකින් පමණ තරඟකරුවන් ඉදිරිපත්වීමද විශේෂත්වයක්.

“එයාලා අපෙන් බලාපොරොත්තු වුණේ ලෝක සාමය වෙනුවෙන් ප්‍රායෝගික වැඩපිළිවෙලක් ගොඩනගන්න පුළුවන් අලුත් අදහස්.ඒ නිසා හැමදාමත් වගේ පරණ පුරුදු යුද්ධය ගැනයි, ඉතිහාස කතා ගැනයි කියන්න එපා කියලා මුලින්ම ඒ අය අපිව දැනුවත් කළා. මම කතා කළේPeace is a piece of cake කියන අදහස ගැන. ඒකෙන් මං අදහස් කළේ අපි මුලින්ම ලෝක සාමය ගොඩනගන්න ඕනේ පුංචි පුංචි ක්‍රියාකාරකම්වලින් කියන එක. ඒවගේ සාමය කියන දේ පුද්ගලයින්ගේ මනස සහ සමාජය අනුව කොටස් දෙකකට බෙදන්න පුළුවන්. අපි මුලින්ම කරන්න ඕනේ මිනිස්සුන්ගේ මනස සාමකාමී කරලා මනසින් සාමය ගොඩනගන එක. ඊටපස්සෙ ලෝක නායකයෝ එකතු වෙලා සමාජයීය වශයෙන් මිනිස්සුන්ට විවිධ භාෂාවන් උගන්වන්න වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළොත් ඒ හරහා මිනිස්සු ඉබේටම විවිධ සංස්කෘතීන් වැළඳගන්න පටන්ගන්නවා.විවිධ ජාතීන්ගේ අදහස් හුවමාරු කරගන්න පටන්අරගෙන යාළුමිත්‍රකම් පවත්වන්න ගන්නවා. එතකොට සාමය කියන දේ ඇති කරවන්න අමුතුවෙන් මුදල් වියදම් කරලා මහන්සි වෙන්න ඕනෙ නෑ කියන එකයි මගේ තර්කය වුණේ.”

මේ සමුළුව ලෝක රාජ්‍ය නායකයින් ලෝක සාම සමුළුව අමතන ජපානයේ ටෝකියෝ නුවර අගමැති නිල ශාලාවේදීම පැවැත්වීම තවත් විශේෂත්වයක්. එවැනි තැනකදී රට සහ තමන්ගේ පාසල නියෝජනය කරන්න ලැබීම තමන් ලද භාග්‍යයක් බවයි කශ්මීරා කියන්නේ.

“එතෙන්ට ඇවිල්ලා කතා කරන්න හැමෝටම අවස්ථාවක් ලැබෙන්නෙ නැහැ කියලා ජපන් අග්‍රාමාත්‍ය කාර්යාලයේ නිලධාරීන් කියද්දි මට දැනුණේ පුදුමාකාර ආත්මාභිමානයක්. මගේ ජයග්‍රහණයට ඒකම තවත් හේතුවක් වුණා කියලා මට හිතෙනවා. අනික මේ ගමන යන තැන ඉඳලා එන තැන දක්වාම මම තනියම සැලසුම් කරපු එකක්. ඒ නිසා මට හිතුණා මේ ගමනට මගේ දෙමව්පියෝ දෙන්නා යොදවන හැම රුපියලකින්ම ජීවිතයට යමක් එකතු කරගන්න ඕනෙ කියලා. ඒ නිසා මම කාලයත් කළමනාකරණය කරගෙන ජපානයේ  නොමිලේ බලන්න දෙන ගොඩක් තැන් නරඹන්න ගියා. උදාහරණයක් විදියට ජපන් පාර්ලිමේන්තුව, ටෝකියෝ රජමාලිගාව වගේ තැන් බලලා මං ගොඩක් දේවල් ඉගෙනගත්තා.”

ඇය කියන්නීය.

“මගේ වයසේම අනිත් අයටත් මම කියන්නෙ අවස්ථාව  තමන්ව හොයාගෙන එනකල් බලාගෙන ඉන්නෙ නැතුව ඔයාලා අවස්ථාව හොයාගෙන යන්න පුරුදු වෙන්න. අනික පුළුවන් තරම් පස්සට යන්නෙ නැතුව බයක් නැතුව ජීවිතේට ලැබෙන අවස්ථාවල් භාරගන්න. එහෙමවුණොත් ඔයාලටත් දවසක අනිවාර්යයෙන්ම දිනන්න පුළුවන්.”

ලිහිණි මධුෂිකා