දිරිය දිනූ කතුන්

තනිවෙන්න තීරණය කරපු – තීරණය තනි නොකරපු ගැහැනියක් නීතීඥ ලක්ෂිකා රත්නායක

රටේ නම ගිය කිවිඳියන් ගැන කතා කරනකොට අදටත් අපිට අමතක කරන්න බැරි කෙනෙක් තමයි ‘ගජමන් නෝනා’. කොළඹ කොල්ලුපිටියේ ඉපදිලා, දකුණේ මාතර ජීවත්වුණු මේ කිවිඳියගේ ජීවිත කතාව ඇගේ කවි තරම් රසවත් නැති බව තමයි අපි අහලා තියෙන්නේ. ගජමන් නෝනා පළමුවර විවාහ වුණු සැමියා මිය ගිහින් වැඩිකල් ගතවෙන්න මත්තෙන් ඇගේ පියා වුණු ගජමන් ආරච්චිත් අලියෙක් ගහලා මළා! ඊටපස්සේ ඇය දෙවැනි වරටත් විවාහ වුණා. හැබැයි දෙවැනි සැමියාත් අකාලයේ මියගිය නිසා ගජමන් නෝනා ආයෙමත් තනිවුණා. තනිකමට දෙවැනි නොවුණු රූප සොභාවක් තිබුණු නිසා, ඉන් පසුවත් ඇගේ අත පතා නොයෙක් පිරිමි ආවත් ඇය තීරණය කළා, තනිවෙන්න! ඇගේ කවීත්වය වඩාත් ඔප් නැංවුණා කියලා අපි අහලා තියෙන්නේ ඔන්න ඔය විදියට තනිවෙන්න තීරණය කරපු කාලේ.

ඒ කාලේ විතරක් නෙවෙයි මේ කාලෙත් ඒ විදියට තනිවෙන්න තීරණය කරපු කිවිඳියන් ඉන්න බව අපිට වැටහුනේ පහුගිය දවසක මුහුණුපොතේ බොහෝදෙනෙකුගේ අවධානය දිනාගත්තු එක කවියක් නිසා. ඒ කවිය තමයි මේ…

 

අඬන්නට ඕන වුණාම උරහිසක් නැති ගෑනු 

ඩබල් බෙඩ් එකක තනියම නිදාගන්න ගෑනු

මැරෙන්නම ළං වුණත් නැගිටලා වැඩට යන ගෑනු 

දැකලා තියෙනවද ‘තනි වෙන්න තීරණය කරපු ගෑනු’

 

අගුල් ලා යන රික්තයට හවසට එන ගෑනු 

මූවි බලමින් තනියම හිනාවෙන ගෑනු 

ගෑනුම කතන්දර හදන හිනාවෙන ගෑනු

දැකලා තියෙනවද බැඳපු ගෑනු බය, ‘තනි වෙන්න තීරණය කරපු ගෑනු’

 

සමනල් සිහිනවල සැරි සරන ගෑනු 

අනුන්ගේ හීනවල පාට විඳින ගෑනු 

තරඟයක් දැක්කම බිම බලන් යන ගෑනු

දැකලා තියෙනවද තමන් එක්කම තරඟ කරන ‘තනි වෙන්න තීරණය කරපු ගෑනු’

 

කොහේ ගියත් පිරිමි වට කරගන්නා ගෑනු 

ගෑනු හොරැහින් බලමින් ඇහින් මරා දාන ගෑනු 

පිරිමි සිය ගණන් ඇති යැයි කතා අහනා ගෑනු

දැකලා තියෙනවද රෙදි නොඋස්සා ගෑනුම බඩ කරනා ‘තනි වෙන්න තීරණය කරපු ගෑනු’

 

ඩිස්කවුන්ට් දැක්කම වැලන්ටයින් වුණත් ෂොපින් කරනා ගෑනු 

තනියට ඇලුම් කරනා තනි වෙන්න බය නැති ගෑනු

කතා හැදූවන් එක්කත් ප්ලේන්ටිය බෙදන් බොන ගෑනු

දැකලා තියෙනවද බැඳපු ගෑනු බය ‘තනි වෙන්න තීරණය කරපු පිරිච්ච ගෑනු’

 

අනුන්ගේ දුකකදී කර නොඅරින ගෑනු 

ලස්සන දේට ලස්සන යැයි කියනා ගෑනු 

පිස්සුවෙන් වගේ ආදරයම හොයන ගෑනු

ගෑනු බය, පිරිමි හරි කැමති ‘තනි වෙන්න තීරණය කරපු ගෑනු’

 

හදවත එළියට අරන් ඉරුණු තැන් ඉඳිකටු තුඩින් තනියම මහාගන්නා ගෑනු 

කුණාටුවකින් පසුත් රොඩු බොඩු ගසා අඬ අඬා හිනාවෙන ගෑනු

යන හැමතැනකම කැපී පෙනෙන පොසිටිව් එනර්ජි අරන් යන ගෑනු 

දැක්කමත් අනික් අය පත්තු වෙන  ‘තනි වෙන්න තීරණය කරපු ගෑනු!!!!’

‘තනි වෙන්න තීරණය කරපු’ – තීරණය තනි නොකරපු ගෑනු

 

මේකෙ තියෙන විදියටම මේ කවිය ලියලා තිබුණෙත් තනිවෙන්න තීරණය කරපු, ඒ තීරණය තනි නොකරපු ගැහැනියක්. තනි වෙන්න තීරණය කළාට මොකද ගජමන් නෝනා වගේම මේ කිවිඳියත් රූප සොබාව අතින් බොහොම පොහොසත්. ඒ නිසා අද ‘ධරණී’ කවරය හැඩවෙන්නේ ඒ රුවැති කිවිඳිය වන නීතීඥ ලක්ෂිකා රත්නායකගේ රුවින්.

“කතාවකුත් තියෙනවනේ දැනෙන කවි ලියැවෙන්නේ තනිවුණු මිනිස්සු අතින් කියලා. ඉතින් මමත් ඒ විදියට තනිවුණු දික්කසාද ගැහැනියක්. මගේ අතින් පුංචි වෙලාවක් ඇතුළත ලියැවුණු එක කවියක් තමයි ඔය තියෙන්නේ. තනිවෙන්න තීරණය කරන එක ගැහැනියකට ලේසි නෑ. හැමදේම තනියම කරගන්න ඕනේ. තනියම දරාගන්න ඕනේ. අඬන්න උරහිසක් ඕන වුණත් තනිවුණු ගැහැනියකට ඒක ලැබෙන්නේ නෑ. ලොකුම අභියෝගය වෙන්නේ සමාජය විසින් එල්ල කරන චෝදනා. බලන්නකෝ තනිවෙච්චි ගැහැනියකට සමාජය කොයිතරම් පද හදනවද කියලා. හැබැයි ඒ මොනවා වුණත් තනිවෙන්න තීරණය කරපු ගැහැනියකට අසීමිත හයියක් තියෙනවා. මොන කුණාටු ආවත් ඒ හයිය නැති කරන්න කාටවත් බෑ. මම එහෙම කියන්නේ අත්දැකීමෙන්.”

‘සැරයටියෙන් අපි යනෙන තුරා සංසාරේ අපි එකට ඉමු’  කියලා දඩිබිඩියේ අත්සන් කරපු කසාද සහතික හිතන්නත් කලින් කල් ඉකුත්වෙන යුගයක තමයි අපි මේ ජීවත්වෙන්නේ. එහෙම වුණාම දික්කසාද සහතිකය අතට ලැබෙද්දී සසර පුරා එකට ඉන්නට හීන මවපු ගැහැනු හරියට උස්සලා පොළොවේ ගහපු ගාණට මානසිකව අවතැන් වෙනවා. හැබැයි ලක්ෂිකා එහෙම අවතැන් වුණේ නෑ. දික්කසාදය සඳහා වන සිතාසිය ගෙදරට ආවට පස්සේ ඈ කළේ දැනුණු වේදනාව කැටි කරලා කවි ලියපු එක. ඉන් නොනැවතී ඒ කවි එකතු කරලා ඇය පොතකුත් මුද්‍රණය කළා. ‘සිතාසියෙන් පසු කැතාසිස්මික හදවත’ කියලා කියන්නේ ඈ ලියා පළ කළ ඒ කවි පොත. 

“මිනිස්සු වුණාම පවුලක් තියෙන්න ඕන, විවාහයක් කරගන්න ඕන, දරුමල්ලෝ හදන්න ඕන කියන එක තමයි සමාජ සම්මතය. ඒත් හැමෝටම ඒක හරියන්නේ නෑ. මොකක්හරි හේතුවක් නිසා කෙනෙකුට ඒක කරන්න බැරිවෙන්නත් පුළුවන්. දික්කසාදයෙන් පස්සේ මටත් ඒ අත්දැකීමට මුහුණ දෙන්න වුණා. හැබැයි මට වැටෙන්න ඕන වුණේ නෑ. විවාහයත් එක්ක හිරවෙලා හිටපු කුටුම්භයෙන් එළියට එන්න ලැබුණු එක මං භාරගත්තේ ජීවිතේට ලැබුණු ආශිර්වාදයක් විදියටයි. හැබැයි ඒකෙන් අදහස් වෙන්නේ නෑ තනිවීම තුළ මට වේදනාවක් දැනුණේ නෑ කියලා. මටත් ලොකු වේදනාවක් දැනුණා. නමුත් අඬන වැළපෙන කෙනෙක් නොවී ඒ වේදනාව එළියට දාන්න ක්‍රමයක් මට ඕන වුණා. ඒකට ගැළපෙනම ක්‍රමය කවිය කියලයි මට හිතුණේ. ඒකයි මේ පොත ලිව්වේ.”

තනිවීම වස්තුබීජයක් කරගනිමින් තමයි බොහෝ නිර්මාණකරුවන් එළිබහින්නේ. ලක්ෂිකාගේ ‘සිතාසියෙන් පසු කැතාසිස්මික හදවත’ විතරක් නෙවෙයි ඇය අතින් ලියැවුණු බොහොමයක් ගීතත් ඊට නිදසුන් වශයෙන් හඳුන්වන්න පුළුවන්.

“තමන්ට තමන් නැතිවෙලා තනිවුණා කියලා දැනුණු හුඟාක් මිනිස්සු කළේ උණ්ඩවලින්, මන්න කැති පොලුවලින්, වස කුප්පිවලින් විසඳුම් හොයපු එක. ඒත් මං කළේ මගේ හිතට දැනුණු වේදනාව, තනිකම පවා නොවිඳවා විඳිමින් කවි, සිංදු ලියපු එක. ඒවගෙන් හරි අපූරුවට වේදනාව පිටකරන්න පුළුවන් බව මට කාලයත් එක්ක වැටහුණා.”

එහෙම කියද්දී අපිට හිතුණේ ලක්ෂිකාත් හරියට බිහිසුණු කුණාටු අතරින් කිසිඳු බියක් සැකක් නැතිව මහ සයුරේ ඉදිරියට ඇදෙන නෞකාවක් වගේ කියලා. 

“කාලෙන් කාලෙට එක එක විදියේ කුණාටු එනවා. ඒ එද්දි ටිකක් බයත් වෙනවා. හැබැයි එහෙම වෙලාවට මාත් නොදන්න හයියක් මා තුළින් නිර්මාණය වෙනවා. ඒක නිසා කුණාටුවලට බය නැතුව මුහුණදෙනවා. එහෙම බලද්දි මං කුණාටුවලට බය නැති නැවක් වගේ තමයි.”

තනිවුණු ගැහැනියකට තනිකමින් මිදීමට අවශ්‍ය ආත්මවිශ්වාසය ගොඩනැගෙන්නේ තමන් තමන්ට ආදරය කිරීමෙන් සහ ගෞරව දැක්වීමෙන් පමණක් බවයි  ලක්ෂිකා පැවසුවේ.

“හැමතැනදිම අපි අපිට ඕනේ කෙනා වෙන්න ඕනේ. සමාජය කියයි ඔයා අරහෙම වෙන්න ඕනේ මෙහෙම වෙන්න ඕනේ කියලා. හැබැයි අපි අපිට ඕන කෙනා වුණොත් විතරයි මොන ප්‍රශ්නයක් ආවාත් හිනාවෙලා ඉන්න පුළුවන් වෙන්නේ.”

මේ වනවිට නීතීඥවරියක් විදියට කොළඹ නීතීඥ සංගමයේ සංස්කාරක ලෙස කටයුතු කරන ලක්ෂිකා 2022 – 2023 වසරවල වසර 13කට පසු ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ විධායක කමිටුවේ සාමාජිකාවක් ලෙසත් කටයුතු කරලා තියනවා. ඊට අමතරව ස්වාධීන රෑපවාහිනි (ITN) සේවයේ ‘දීප්ති සමඟ පත්තරෙන් එහා’ වැඩසටහන සතිඅග මෙහෙයවන්නෙත් ඇය විසින්. 

ඉතින් මේ සියලු වැඩ කටයුතු කරන ගමන්, අඬන්න ඕන තැන්වලත් හිනාවෙවී කවි – සින්දු ලියන මේ නීතීඥවරිය සතුටින් ජීවිතය දරන කාන්තාවන්ට ආදර්ශයක් නෙවෙයි කියලා ඔබට කියන්න පුළුවන්ද? 

රුවන් එස්.සෙනවිරත්න

ඡායාරූප – චමත් ඒකනායක

හැඩගැන්වීම – ද බ්‍රයිඩල් සැලෝන් – දර්ශන පෙරේරා