විශේෂාංග

පුංචි කාලෙත් කාර්වලට වඩා පුතා වැඩිපුර කැමති වුණේ බෝනික්කන්ට

සමලිංගිකත්වය මානසික රෝගයක් හෝ අස්වාභාවික තත්ත්වයක් නොවන බව ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අර්ථ දක්වා තිබුණද අපේ රටේ බහුතරය තවමත් ඒ ගැන පිළිගන්නට සූදානමක් නැත. ලෝකයේ බොහොමයක් රටවල් ‘සමලිංගිකත්වය’ සාමාන්‍ය දෙයක් වුවද අදටත් අපේ රටේ බහුතරයක් ඒ පිළිබඳව දරන්නේ පටු මතවාදයන්ය. එනිසාම සමලිංගික දරුවන්ව පවුල්වලින් පිටමං කරන්නට දෙවරක් නොසිතූ දෙමාපියන්ගේ කතාද අපේ රටේ සුලබය. බරපතළ අපරාධකරුවන් පවා තමන්ගේම දරුවන් ලෙස පිළිගත්තත් තම ලෙයින් ජාතක වූ දරුවෙකු සමලිංගිකයකු වීම අපේ රටේ දෙමාපියන්ට ඉවසිය නොහැකි කරුණකි.

එංගලන්තෙදි අරිතට ඩේව්ව මුණගැහිලා. ජීවිතේ ඉතිරි කාලය Husband සහ Husband විදියට ගත කරන්න ඒ අය තීරණය කරලා තිබුණා. ඒ දෙන්නගේ විවාහයට සහභාගී වෙන්න මම එංගලන්තෙට ගියේ ඉතාම සතුටින්.”

ලිංගික අනන්‍යතාව කෙසේ වුවත් තමන්ගේ දරුවාව ඒ අයුරින්ම පිළිගන්නා අම්මා කෙනෙකු සමලිංගික විවාහකට ඇතුළත් වූ ඇගේ පුතුගේ වසරක විවාහ සංවත්සරය වෙනුවෙන් තැබූ ෆේස්බුක් සටහනකින් උපුටාගත් කොටසකි මේ. එසේ ලියූ අම්මාගේ නම රේණුකා වික්‍රමසිංහ ය. ඇය ප්‍රකට නීතීඥ අරිත වික්‍රමසිංහගේ මවයි. වෙනස් අම්මා කෙනෙකු ලෙස ඈ තැබූ වෙනස් සටහන නිසාම අපටද ඇයට කතා කරන්නට සිත්විය. මේ රේණුකා වික්‍රමසිංහ සමඟ අප කළ එම සංවාදයේ සටහනයි.

 

*බහුතරයක් දෙමාපියන් සමලිංගික දරුවන් ප්‍රතික්ෂේප කරන සමාජයක ඉඳගෙන ඔය වගේ ​ෆේස්බුක් සටහනක් තියන්න දෙපාරක් හිතන්න ඕනේ කියලා හිතුණේ නැද්ද?

නැහැ. මම කිසිම වෙලාවක සමාජයට බයේ සමාජය මොනවා හිතයිද කියලා වැඩ කරපු අම්මා කෙනෙක් නෙමෙයි. මම හිතන්නේ දරුවන්ගේ සතුට ගැන විතරයි. මම මේ සටහන තිබ්බේ මගේ දරුවට සුබ පතන්න හිතාගෙන විතරක්ම නෙමෙයි, තවත් අම්මා කෙනෙක්ට තාත්තා කෙනෙක්ට මේක ආදර්ශයක් වෙයි කියලත් මට හිතුණා.

 

*අරිත පුතා වෙනස් දරුවෙක් කියලා අම්මට දැනුණේ කොයි කාලෙද?

මට පුත්තු තුන්දෙනෙක් ඉන්නවා. දෙවැනියා අරිත. අම්මා කෙනෙක් විදියට මම දරුවෝ තුන්දෙනාටම සැලකුවේ එකම විදියට. හැබැයි අනිත් පුතාලා දෙන්නට වඩා අරිත පුතා වෙනස් කියලා එයාට අවුරුදු 4-5ක් වෙද්දිම මට දැනුණා. පුතාලා තුන්දෙනාම ගියේ එකම ඉස්කෝලෙට. ඒක මිශ්‍ර පාසලක්. හැබැයි අනිත් පුතාලට වඩා අරිතට හිටියේ ගැහැනු යාළුවෝ. අනිත් දෙන්නා වගේ අරිත කාර්වලට කැමති වුණේ නැහැ. පුංචි කාලේ අරිත කැමති වුණේ බෝනික්කන්ට. අයියයි මල්ලියි නිතරම රණ්ඩු සරුවල් කළත් මෙයා ඒවට සම්බන්ධ වුණේ නැහැ. ටිකක් ලොකු වෙද්දි වුණත් අරිත වැඩිපුරම කතා කළේ ලංකාවේ ගැහැනුන්ගේ අයිතිවාසිකම් ගැන. ඔය දේවල් එක්ක පුතාගේ විදිය වෙනස් කියලා මම තේරුම්ගත්තා.

 

*තමන් වෙනස් කියලා අරිත පුතා අම්මා එක්ක කියලා තියෙනවද?

ඔව්. කැම්පස් යන කාලෙදි පුතා මාත් එක්ක කතා කළා. එයා අනිත් අයට වඩා වෙනස් කියලා කිව්වා. ඕක පුතාගේ ජීවිතේ, පුතා කැමති විදියට පුතාට සතුටු හිතෙන දේවල් කරන්න කියලයි එදාත් මම එයාට කිව්වේ.

 

*දරුවෙක් ඔය වගේ කාරණයක් බය නැතිව අම්මා කෙනෙක් එක්ක කතා කරන්නේ එහෙම කතා කරන්න පුළුවන් තැනක් එතැන තිබුණ නිසානේ. නේද?

ඔව්. අරිත පුතාගේ වෙනස අඳුරගත්තු දා ඉඳලා මම ඔය කාරණාව සම්බන්ධයෙන් සෑහෙන දේවල් හෙව්වා. පොත්, පත්තර කියවලා දැනුවත් වුණා. කවදාහරි පුතාට ඕන උත්තරය මොකක්ද කියලා මම දැනගෙන හිටියා. ඒ වගේම තමයි පුංචි කාලේ ඉඳලා දරුවෝ තුන්දෙනා එක්ක මම නිතරම කතා කරනවා. එයාලගේ කැමති අකමැති දේවල් ගැන අහනවා. පුතාලට මම හිටියේ යාළුවෙක් වගේ. ඉතින් ඔය වගේ දෙයක් වුණත් මාත් එක්ක කෙළින්ම කතා කරන්න සුවපහසුවක් පුතාට තිබුණා.

 

*අම්මලා පිළිගත්තත් LGBTQ (සමරිසි ස්ත්‍රී, සමරිසි පුරුෂ, ද්විරිසි සහ සංක්‍රාන්ති සමාජභාවී ප්‍රජාව) දරුවන්ව පිළිගන්න ගොඩක් තාත්තලා කැමති වෙන්නේ නැහැ. ඉතින් ඔතැනදි අරිතගේ තාත්තාගේ මතය වුණේ මොකක්ද?

අරිත පුතාගේ තාත්තත් බොහොම විවෘතව සමාජය දිහා බලන කෙනෙක්. අරිතගේ ජීවිතේ ගතවෙන්න ඕන ඔහුගේ කැමැත්ත මත කියලා තමයි ඔහුත් කිව්වේ. අර කිව්වත් වගේ ගොඩක් ගෙවල්වල මේ දරුවන්ට විරුද්ධ වෙන්නේ තාත්තලා. එතකොට අම්මලාත් අසරණ වෙනවා. හැබැයි අම්මා කෙනෙක් දරුවා වෙනුවෙන් කෙළින් හිටගෙන ඉන්නවා නම් වෙනත් කිසිම කෙනෙක්ට කිසිම දෙයක් කරන්න බැහැ.

 

*අරිතගේ විවාහ ගැනත් ටිකක් කතා කරමු?

අරිතට ඩේව්ව මුණගැහුනේ එංගලන්තෙදි. විවාහ වෙන්න අවුරුද්දකට කලින් අරිත මට ඩේව් ගැන කිව්වා. විවාහයට කලින් මම ඩේව්ව මුණගැහිලාත් තියෙනවා. දෙන්නා බැන්දේ එංගලන්තෙදි. ඒ විවාහයට මම එංගලන්තයට ගියේ බොහොම සතුටින්.

 

*අරිතගේ විවාහය ඒ දවස්වල ෆේස්බුක්වල එහෙමත් ලොකුවට කතා වුණා. දන්න කියන නෑයෝ, යාළුවෝ විවාහය ගැන දැනගෙන මොකද කිව්වේ?

වෙඩින් එක කියන්න කලින් පුතා මේ විදියේ විවාහයක් කරගන්නවා කියලා මම මගේ නෑයන්ට, යාළුවන්ට කිව්වා. ඒ කිව්වට පස්සේ සමහරු ‘රේණුකා කොහොමද අනේ ඔයා පාරේ බැහැලා යන්නේ? මිනිස්සුන්ට මූණදෙන්නේ කොහොමද? ලැජ්ජයි නේද?’ කියලා එක එක කතා කිව්වා. මගේ දරුවගේ සතුටට වඩා වෙනින් කිසිම දෙයක් මට වටින්නේ නැහැ කියලා එහෙම කියපු උදවියටත් මම පැහැදිළි කළා. හැබැයි ඍණාත්මක දේවල් කිව්ව අය විතරක් නෙමේ ඇත්තටම හොඳ අම්මා කෙනෙක් කියලා මට ප්‍රශංසා කළ අයත් හිටියා.

 

*අරිතගේ විවාහයට දැන් අවුරුද්දකුත් ගතවෙලා. ඒ දෙන්නා සතුටින් ජීවත්වෙනවද?

ඔව්. අරිතයි ඩේව්යි එංගලන්තේ බොහොම සතුටින් ජීවත්වෙනවා. දෙන්නා නිතරම ලංකාවටත් එනවා. ඩේව් පුතාත් මට හරි ආදරෙයි. ඒ දෙන්නා හරි ආදරෙන් සතුටෙන් ඉද්දි අපිටත් ගොඩක් සතුටුයි.

 

*රේණුකා පුතාගේ සතුට ගැන හිතුවට ඔය කාරණේදී ගොඩක් දෙමාපියෝ ගන්නේ බොහොම තද තීරණ නේද?

මේ වගේ දෙයක් දැනගත්තු හැටියේ බහුතරයක් දෙමාපියෝ කලබල වෙනවා. සමාජය මොනවා හිතයිද කියලා තමන්ගේ දරුවන්ව ගෙයින් පිටමං කරපු අම්මලා ඉන්නවා. එහෙම පාරට වැටිලා ජීවිත නන්නත්තාර කරගත්තු දරුවෝ ඉන්නවා. අම්මෙක් තාත්තෙක් තමන්ගේ දරුවට දෙන ආදරයට ගැහැනුද, පිරිමිද, සමලිංගිකද යන කාරණා ආදළ වෙන්නේ කොහොමද? තමන්ගේ දරුවට වඩා බාහිර සමාජය හිතන දේ වැදගත් වෙන්නේ කොහොමද කියලා මට නම් තේරෙන්නේ නැහැ.

 

*අරිතගේ අම්මට එහෙම අයට කියන්න පණිවිඩයක් තියෙනවද?

ලෝකේ මිනිස්සු මොනා කියයිද කියන දේ මායිම් නොකර හිතට එකඟව අරිත ගත්තු මේ තීරණය ගැන මම ගොඩක් සන්තෝසයි. බහුතරයක් දෙමව්පියෝ තමන්ගේ පරම්පරාවේ මාන්නේ රැකගන්න තමන්ගේ දරුවන්ගේ සතුට බිල්ලට දෙනවා. දුක් මහන්සි වෙලා උස්මහත් කරපු ඒ දරුවන්ව නොගැළපෙන කසාදවල හිර කරලා කූඩු කරනවා. ඒකෙන් වෙන්නේ ඒ දෙපාර්ශවයම අගතියට පත්වෙන එක විතරයි. එහෙම කරන දෙමාපියන්ගෙන් ඉල්ලන්න තියෙන්නේ එක දෙයයි. අපි දරුවෝ හදන්න ඕනේ ලොකුවෙලා තටු ගහලා පියාඹලා යනවා ආසාවෙන් බලන්න, අපේ ජීවිත එළිය කරන්න මිසක අපේ පරම්පරාවල නම්බුව ආරක්ෂා කරන්නම නෙමේ. ඒ නිසා සමාජය මොනා හිතයිද කියලා හිතන්න කලින් දරුවන්ගේ සතුට ගැන හිතන්න. එහෙම දරුවන්ව කවදාවත් ගෙවල්වලින් එළියට දාන්න එපා.

සෙව්වන්දි හෙට්ටිආරච්චි