නවතම ප්‍රවෘත්ති

මල්මද බිසව් – සව් ගැන අසව්!

‘මහා සව් දන්සැල’

වෙසක් පොසොන් කාලෙට ගම්තුලානේ කොච්චර බීම දන්සැල් තිබුණත් ඒ සේරෝම පාස් කරන් කවුරුත් යන්නේ සව් දන්සැල දිහාවට. පාට පාට ඩයි දාපු සරුවත්වලට වඩා සව් කැඳ එකක් බොන එක හොඳයි කියලයි ආත්තම්මලා වුණත් කියන්නේ. සව් දන්සැල් දෙන එක අපේ අතීතේ ඉඳලම තිවුණු සිරිතක්ලු. වෙසක් කාලෙට ගොඩක් බැතිමත්තු ඈත ගම්වල පන්සල් වඳින්න යනවලු. ඒ දුර පයින් යද්දි ඇඟේ උෂ්ණත්වය වැඩිවෙලා වැඩිපුරම ලවණ ඉවත් වෙනවලු. හැබැයි ශරීර උෂ්ණත්වය අඩු කරලා ශක්තිය වැයවෙන එක අඩු කරන්න සව්වලට පුළුවන්ලු. ඒ නිසයි වෙසක් බලන්න යද්දි මග දිගට සව් කැඳ දෙන්න අරන් තියෙන්නේ. ඒ ඇරත් සව් කියන්නේ රසම රස කෑමක්නේ. ගිනි ගහන රස්නේ කාලෙටයි කම්මුල්ගාය, පැපොල, සරම්ප වාගේ දෙයියන්නේ ලෙඩ හැදුනාමයිත් සව් බොන්න කියන්නෙ ඇඟේ උෂ්ණේ අඩු කරන නිසයි.

ඇත්තටම මොනවද මේ සව් කියන්නේ? ඉස්සෙල්ලාම ආවේ කුකුළද බිත්තරේද කියන්නා වාගේ සමහරුන්ට ඕක උභතෝකෝටික ප්‍රශ්නයක්. මොකද සව් හදන්නෙ මොනවයින්දැ කියන එක නොදන්න ඈයො අදටත් අපේ රටේ ඕසෙට.

ඕන් බොහොම ඈත කාලෙදි චීනේට ආවලු ධාන්‍ය හිඟ කාලයක්. ඔය කාලෙදි මිනිස්සුන්ට කන්න තිබිලා තියෙන්නේ බත් විතරයි. සහල්වලට තියෙන ඉල්ලුම වැඩි වුණාට පස්සේ සහලුත් හිඟවෙන්න අරන්. ඔය අතරේ මිනිස්සු දැක්කලු වැස්සට කඩාවැටිච්ච තාල වර්ගයට අයත් ගහක මජ්ජාවේ, ඒ කියන්නේ ගහේ ගෙඩි හැදෙන තැන මැද කොටසේ පිටි වාගේ දෙයක් තියෙනවා. ඒ උදවිය ඔය ජාතිය අරගෙන කැඳ හදලා බීලාලු ආහාර හිඟේට විසඳුම් හොයාගත්තේ. එව්වගෙන් සව් හදන්න පටන් අරන් ඊටපස්සෙ කාලෙක.

ඔය කියාපු ගහේ නම සාගෝ පාම් (Sago Palm). ඒක හරියට අපේ මඩු ගහට සමාන ගහක්. මේ ගහ චීන්නු හොයාගත්තු දෙයක් වුණාට මේ ගහ වැඩිපුරම වැවෙන්නේ පැපුවා නිව්ගිනියාවේ. ඒ ගහේ තියෙන පිෂ්ඨ කොටස අරගෙන දීර්ඝ ක්‍රියාවලියකට ලක් කරලා තමයි සව් හාල් හදන්නේ. හැබැයි අපේ අතීත උදවිය හුළංකීරිය ගහෙන් සව් හාල් හදාගත්තය කියලත් කියනවා. ඊට අමතරව මඤ්ඤොක්කාවලිනුත් සව් හදනවා. හැබැයි අපේ රටේ වැඩිපුරම දකින්න ලැබෙන්නේ සාගෝ ගහෙන් හදාපු සව් ජාතියයි.

ඔහොම හදන සව් ඇඟට හොඳය කියලා දන්නවා වුණාට එව්වයෙන් කරන්න පුළුවන් රූපලාවණ්‍ය වැඩත් අටෝරාශියක් තියෙන වග අපේ උදවිය දන්නේ නෑ. හැබැයි ඉතින් ඉන්දියාව, අප්‍රිකාව, මැදපෙරදිග වාගේ රටවල ගෑනුන්ගේ නම් බියුටි අමුද්‍රව්‍ය ලැයිස්තුවේ ඉහළින්ම තියෙන දෙයක් තමයි සව්.

සව්වල සමට හිතවත් ටැනින්, ෆ්ලෙවනොයිඩ් වාගේ ප්‍රතිඔක්සිකාරක තියෙනවා. ඊට අමතරව විටමින් B5, B6 වාගේ විටමින් තියෙනවා සමට නැතිවම බැරි. මේ කියාපු දේවල් තියෙන නිසා වැඩිපුර සව් කෑවොත් සමේ තියෙන ලප කැලැල් අඩු කරගන්න පුළුවන්. ඒ වගේම කුරුලෑ පාලනේටත් ටොප්. නිතරම බාහිරින් ආලේප කළොත් සම සිනිඳු වෙනවා. ඉතින් ගෙදරට සව් කැඳ හදන්න සව් ගෙනාපුවාම සව් අහුරක් අරන් කරලා බලන්න මේ සත්කාර.

මුලින්ම සව් ඩිංගක් සෝදලා වේළලා බ්ලෙන්ඩ් කරලා හලාගන්න. රෝස පෙති ටිකක් අරන් ඒකත් වේළලා කුඩු කරගෙන සව් පව්ඩර් එකට රෝස පවුඩර් ටිකකුත් එක්කාසු කරගන්න. ඒකට රෝස වතුර ටිකක් එක්කලා කෝමාරිකා මදයකුත් එකතු කරලා හොඳට මිශ්‍ර කරලා පැක් එකක් විදියට මුණේ ආලේප කරන්න. විනාඩි 20ක් තියලා සෝදලා අරින්න.

ඊගාවට කියන්න යන්නේ සව්වලින් කොණ්ඩෙට මාස්ක් එකක් හදාගන්න හැටි. සව් හාල් එක පාරක් හෝදලා වතුර ටික පෙරන්න. ඊටපස්සේ සව් ටිකට වතුර කෝප්ප බාගයක් එකතු කරලා පැය බාගයක් පෙඟෙන්න තියන්න. ඒ කරලා ඒකට කෝමාරිකා, කරපිංචා, ඔලිව් තෙල් ටිකක් එහෙමත් එකතු කරලා බ්ලෙන්ඩ් කරලා හෙයා මාස්ක් එකක් විදියට මුළු කොණ්ඩෙම ආලේප කරලා විනාඩි 30ක් විතර ආවරණය කරලා තියලා නාන්න. 

සව් කුඩුවලට මුල්තානි මිට්ටියි, වතුරයි එකතු කරලා පැක් එකක් විදියට සමේ ගාන්න. සව් කුඩුවලට වතුර එකතුකරලා සම ස්ක්‍රබ් කරන්න යොදාගන්නත් පුළුවන්. වතුර වෙනුවට සව්වලට ඔලිව් තෙල් ඩිංගක් දැම්මත් කාරි නෑ. 

සව් ටිකක් පෙඟෙන්න දාලා ඒක හොඳට බ්ලෙන්ඩ් කරන්න. ඒකට විටමින් E කරලක් එකතු කරලා නින්දට යන්න පැය බාගෙකට කලින් මූණේ ගාලා සෝදලා අරින්න.

සව් පිටිවලට යෝගට් එකකුයි, බිත්තර සුදු මදයකුයි, සුදු හඳුන් කුඩු, නෙල්ලි කුඩු එකතු කරලා මූණේ ගාන්න. ලප කැළැල් තියෙන සමකට මේ සත්කාරය වැඩිපුර හොඳයි.

සව් ටිකක් ලිපේ තියලා හොඳින් නිවෙන්න අරින්න. ඒකට ජෙලටින් ටිකක් එකතු කරලා මූණේ ගාන්න. මේක හොඳින් වේලුණාට පස්සේ පීල් ‍‍​ඕෆ් මාස්ක් එකක් විදියට ගලවලා ඉවත් කරන්න. බ්ලැක් හෙඩ්ස්, වයිට් හෙඩ්ස් අහක් කරගන්න මේ සත්කාරය අපූරුයි.

සව් කුඩුවලට චාකෝල් කුඩු, සුදු පොල්තෙල් එකතු කරලා කකුල්වල ගාන්න. විනාඩි 20ක් විතර තියලා වතුර ටිකක් ඉහලා හොඳින් කකුල් ස්ක්‍රබ් කරන්න.

කුරුලෑ තියෙන කෙනෙක් නම් සව් තම්බපු වතුරවලට කෝමාරිකා එකතු කරලා කුරුලෑවල ආලේප කරන්න. 

ශරීරයේ බර අඩු කරන්නත් සව්වලට පුළුවන්. දවසක් ඇර දවසක් උදේ ආහාරය වෙනුවට සීනි නොදාපු සව් කැඳ කාලා බලන්න. ඒකට මුංඇට ටිකක් එක්කාසු කළාට වරදක් නැහැ.

සෙව්වන්දි හෙට්ටිආරච්චි