නවතම ප්‍රවෘත්ති

ලෙඩ වෙන්න කලින් හිටිය මට වඩා දැන් ඉන්න මම ලස්සනයි – මධුකා ඌෂාණි

“ඔබ සතු සියලු දේ ඔබට අහිමි වී යා හැකි වුවද, අහිමි වූ සියල්ල නැවත ළඟා කරගැනීමට ඔබට ශක්තිය ඇති බව තරයේ මතක තබාගන්න.” 

මුහුණුපොතේ එසේ සටහන් කර තිබුණේ මධුකා ඌෂාණි ය. අන් කොයි දේටත් වඩා තමා පිළිබඳ බොහෝ විශ්වාසය තබන, මනා පෞරුෂයකින් යුතු ඇගේ කතාවෙන් ‘ධරණී’ පාඨක ඔබට උකහා ගත හැකි දේ බොහෝ ඇතැයි සිතුනු නිසා ඇගේ කතාව මෙසේ සටහන් කරමි. 

වරක් ඉන්දීය ජනප්‍රිය නිළියක වන සොනාලි බෙන්ද්‍රේ දරුණු ගණයේ පිළිකාවකට ගොදුරුව සුවය ලැබුවාය. රෝගයට ගොදුරු වූ බව දැනගත් වහාම ඇය ඒ පිළිබඳ තොරතුරු සමාජ මාධ්‍ය ඔස්සේ බෙදාගත්තාය. ඒ, ‘සටන් කිරීමට සූදානම්’ යන ආරම්භයෙනි. ඇය සිය අත්දැකීම් බෙදාගැනීම බොහෝ පිළිකා රෝගීන් දිරිමත් කිරීමට හේතු වූ කරුණක් විය. එසේ වූවද ඇය පිළිබඳ ඍණාත්මක අදහස් සහිත පුවත්ද වාර්තා නොවුණාම නොවේ. ශ්‍රී ලංකාවේ පවා ‘සොනාලි මරණය අබියස’ යනුවෙන් පුවත් වාර්තා කර තිබිණ. එවැන්නක් දුටු අවස්ථාවක, සොනාලි සේම ශක්තිමත්ව පිළිකා රෝගයට මුහුණ දුන් මධුකා ඌෂාණි සිය මුහුණුපොතේ ඉහත සටහන තැබුවාය. ඒ, තමා රෝගීව සිටි අවදියේ සහ වර්තමානයේ ගත් ඡායාරූප දෙකක්ද සමඟිනි. අහිමි වූ ඇතැම් දේවල් යළි ළඟාකර ගත හැකි බවට ඇය ජීවමාන සාක්ෂියකි. 

“ජීවිතේ හැමදෙයක්ම කරුමෙ විදියට බාරගන්නෙ නැතුව, එන ඕන දෙයක් හොඳයි කියලා පිළිගන්න එක වටිනවා. ඒ පණිවිඩය දෙන්න ඕන නිසයි මං ෆේස්බුක් එකේ ඔය නෝට් එක ලිව්වෙ.”

මධුකා ඌෂාණි පිළිකාවට එරෙහිව මුල සිටම ශක්තිමත්ව සටන් කළාය. පළමුව ඇගේ පියයුරක ගැටිත්තක් හඳුනාගෙන ඊට ප්‍රතිකාර ගැනිණ. කෙසේ වෙතත් ප්‍රතිකාර ක්‍රියාවලියේ වූ යම් දෝෂසහගත තත්ත්වයක් හේතුවෙන් එය තුන්වන අදියරේ පිළිකාවක් බවට වර්ධනය විය. සටන දැඩිවූයේ එතැනදීයි. 

“මං ඒක ලොකුවට ගත්තේ නෑ. මං මුල ඉඳලම හිතාගත්තේ මේකට මුහුණ දෙනවා කියලා. මගෙ සැමියා, තරංගත් මට ලොකු ශක්තියක් වුණා. ඩොක්ටර් එක්ක කතා කරලා අපි දෙන්නා තීරණය කළා පියයුර සම්පූර්ණයෙන්ම ඉවත් කරනවා කියලා. අපේ රටේ ගොඩක් වෙලාවට ඔය රෝගය ඔඩු දුවන්න හේතුවක් විදියට මං දකින්නෙ අවශ්‍ය මොහොතෙදි බ්‍රෙස්ට් එක අයින් නොකරන එක. බ්‍රෙස්ට් එක තියාගෙන කිසියම් හෝ අවදානමක් ගන්නවට වඩා ඒක ඉවත් කර ප්‍රතිකාර ගන්නවා කියන එක අපි දැඩිව තීරණය කළා.” 

සාමාන්‍ය ව්‍යවහාරයේදී අදටත් ඇතැමුන් “කරන්ට් එක අල්ලනවා” යනුවෙන් හඳුන්වන කිමෝ ප්‍රතිකාර ක්‍රමයට මුහුණදීමට මේ ප්‍රතිකාර අතරතුර දී මධුකාට ද සිදුවිය. ඒ පිළිබඳ ඇයට ඒ වනවිට පුළුල් අවබෝධයක් නොතිබිණ. අසා දැනගත් අයගෙන් ලද ප්‍රතිචාරද යහපත් නොවේ. 

“අයියෝ, කරන්ට් ඇල්ලුවම කන්න බෑ. කොණ්ඩේ යනවා. කැත වෙනවා. වමනෙ යනවා.”

යනාදී තොරතුරු ඇයට අසන්නට ලැබිණ. 

“කිමෝ කියන්නෙ මොකද්ද කියලා අපි දැනගෙන හිටියෙ නෑ. ඒක සේලයින් මාර්ගයෙන් ලබාදෙන බෙහෙතක් කියලා අපි දන්නෙ පස්සෙ. පළවැනි ප්‍රතිකාර හතර ලබාගෙන මං ගෙදර ආවා. ඊට පසුව රෝහල්ගත වෙලා ලබාගත්තා.” 

පළමු කිමෝ ප්‍රතිකාරයට පෙරම ඇය හිස මුඩු කළාය. පසුව නිවසේ සිටියදී ඇය ඉදිරියට එකම දියණිය පැමිණියාය. ඇය දුටු දේ අපූර්වය. ඇය නැවත දෙනෙත් පිසදා බැලුවාය. දුටු දේ සැබෑය. ඇය අභියස සිටියේ මුඩු හිසක් සහිත දියණියයි. එපමණක් නොව, සැමියා සහ පුතුන් දෙදෙනා ද ඈ ඉදිරියේ පෙනී සිටියේ හිස මුඩු කිරීමෙනි. පූර්ව කතාබහකින් තොරව මධුකාට ශක්තියක් වීම වෙනුවෙන් පවුලේ සියලුදෙනා කොන්දේසි විරහිතව පෙනී සිටින බවට පණිවුඩය එහි විය. රෝගයෙන් ගොඩ ඒම වෙනුවෙන් ඈ තවත් ශක්තිමක් වීමට එය හේතු වූ බවට සැක නැත.  

“අපි ජීවිතේ මොන මොන බරපතළ කාරණාවලට මූණ දුන්නත්, මොන තත්ත්ව ඇති වුණත්, හිත ශක්තිමත් නං අපිට නැවත ලියලා දළු දාලා එන්න පුළුවන්. මොකද ලෝකෙ තියෙන ප්‍රබලම දේ මනස. ධනාත්මකව හිතන එකයි වටින්නෙ කවුරු වුණත්. ඒක සල්ලිවලට ගන්න බෑ. මොකද සල්ලි තියෙන මිනිස්සුත් කොයිතරං දුක් වෙන තැන් තියෙනවද? ඒ වෙලාවෙ ගෑනියෙකුට තියෙන්න ඕනෙ උපරිම ශක්තිය මට තිබුණා. හස්බන්ඩ් මගෙ හෙවනැල්ල වගේ පිටිපස්සෙන් හිටියා. ඒ වගේම දරුවො ගැන මගෙ හිතේ තිබුණා. ඒ හැමදේම එක්ක මං ගොඩක් ශක්තිමත් වුණා. මං කිසිම වෙලාවක ‘අනේ අපොයි, මට වෙච්ච දෙයක්. මොන කරුමයක් පලි දුන්නද?’ කියලා හිතුවෙ නෑ. අදටත් මට එහෙම හිතෙන්නෙ නෑ. කොණ්ඩෙ ගැනත් මං හිතුවෙ ඒක ආයෙ වැවෙනවනේ කියලා විතරයි. අනික හිස මුඩු කරන ෆැෂන් එක කරලා බලන්න මට ඒක අවස්ථාවක් වුණා. මොකද ඔය රෝගය නොතිබුණානං මට තට්ටෙ ගාන්න ඕන වුණත් ඒක කිහිපවතාවක් හිතන්න වෙනවනෙ. ඒත් මෙතැනදී එහෙම හිතන්න ඕන වුණේ නෑ. අනික ඕන මනුස්සයෙකු ලෙඩ වෙන්න පුළුවන්. ඒකයි ස්වභාවය. එතැනින් ගැලවිලා ගොඩ එන එකයි කරන්න ඕනෙ. මං ඒ විදියට ලෙඩේ එක්ක ෆයිට් කළා. ඒ වගේම ඒකෙන් ගොඩ ආවා.”

කිමෝ ප්‍රතිකාර අතරතුර කෑමබීම අප්‍රිය වීම සහ වමනය බොහෝදෙනාට පොදු ලක්ෂණයි. මධුකාට වෛද්‍ය උපදෙස් ලැබුණේ ආහාරපාන නිසි පරිදි ලබාගෙන ශක්තිමත්ව ප්‍රතිකාරයට මුහුණ දෙන ලෙසයි. කීවාටත් වඩා හොඳින් ඇය ඊට මුහුණ දුන්නාය. 

“කැන්සර් කියපු ගමන් මිනිස්සු මවාගන්නෙ ශෝකාන්තයක්. මං එහෙම නෑ. මට කවුරුහරි කිව්වනං අනේ, කන්න බොන්න බැරිවෙනවා කියලා මං මගේ හිතට කියාගත්තේ නෑ, මං නං කනවා කියන එක. මිනිස්සු ගොඩක් අය මේකෙ තියෙන නරක පැති ටික මට කිව්වා. ඒත් මං ඒවා ගැන තැකීමක් කළේ නෑ. වෛද්‍යවරුන්ගේ උපදෙස් අනුව මං මගේ පෝෂණය ගැන සැලකිලිමත් වුණා. ඇඟේ හැඩය ගැන නොහිතා හොඳට කෑවා. මට ඕන වුණේ කිමෝවලට කිසිම ප්‍රශ්නයක් නැතුව මූණ දෙන්න. මං හිතාගත්තා වගේම කිමෝ ප්‍රතිකාර දෙන අතරේ එක දවසක්වත් මම වමනෙ කළේ නෑ. සියලු ප්‍රතිකාර අවසන් වෙද්දී මගේ බර කිලෝග්‍රෑම් 85ක් වෙලා තිබුණා. එතකොට මං හිතාගත්තා, මං දැන් කැන්සර් එකත් එක්ක ෆයිට් කළා ඇති, මං දැන් මාත් එක්ක ෆයිට් කරන්න ඕනෙ කියලා. මගේ ස්වරූපය වෙනස් කරගන්න ඕනෙ කියන එක මං මට දැනුම් දුන්නා.  ඊට පස්සේ මං සුම්බා, යෝගා, ස්විමින්ග් වගේ අභ්‍යාස කරන්න පටන් ගත්තා. ඩයට් ප්ලෑන් එකකට ගියා. එහෙම කරලා මං කලින් හිටපු තත්ත්වයට ආයෙමත් ආවා.”

කිමෝ ප්‍රතිකාරවලින් අනතුරුව වසර එකහමාරක් දෙකක් පමණ කාලයක් මධුකාට ගත කිරීමට වූයේ හිසකේ නොමැතිවයි. එහෙත් ඇය කිසිම අවස්ථාවක කෘත්‍රිම හිසකේ (විග් එකක්) පැළඳුවේ නැත. ඈ, තමා ලෙසම පෙනී සිටියා පමණි. එය ඈ විවිධ මෝස්තරවලට මාර්ගයක් කරගත්තාය. 

“කිමෝ ගන්න ටික කාලෙකට කලින් මං ෆේස්බුක් එකේ ලියලා තිබුණ දෙයක් කියෙව්වා. ඒකෙ තිබුණෙ ‘සුදු මැණිකෙට කැන්සර් එකක් හැදිලා, කොණ්ඩෙ යනවා කියලා ඉකි ගගහා ඇඬුවා’ කියලා. හැබැයි මං කල්පනා කළා සුදු මැණිකේ ඉකි ගගහා ඇඬුවට කොණ්ඩෙ යන එකට මං අඬන්න ඕනෙද කියලා. කොණ්ඩෙ යන්න කලින්ම හිස මුඩුකළ මෝස්තරය මං අත්හදා බැලුවා. ඊටපස්සෙ අවුරුදු දෙකක් විතර හිසකේ නැතිව හිටියා. මං කවදාවත් විග් එකක් දැම්මෙ නෑ. ඇඳුමෙ පාටට ගැළපෙන්න ස්කාෆ් බැන්දා. ලස්සනට මෝස්තර කරන්න විතරක් නෙමේ මට මං වෙලා ඉන්න ලැබුණා. ඒක ලොකු සතුටක්. මං මේ ලෙඩේ නිසා හැංගුණේ නෑ. සාමාන්‍ය විදියට මගෙ වැඩ, දරුවන්ගෙ වැඩ කළා. මං එක්තරා වෙලාවක දුවට බෙහෙත් ගන්න ගියාම ඩොක්ටර් මාව අගය කළා. ඔහු කිව්වෙ මේ වගේ තත්ත්වෙක ඉන්න කෙනෙක් සාමාන්‍යයෙන් දරුවා වෙන කෙනෙක් එක්ක එවනවා. ඔයා මෙහෙම ආපු එක ගැන සතුටුයි කියලා. වැදගත්ම දේ තමයි මං ලෙඩෙක් කියලා මට දැනෙන්න කිසිම වෙලාවක ඉඩ තිබ්බේ නෑ. 

පිළිකාවට ගොදුරු වී සිටි සමය එක් අතකින් ඇයට ආශිර්වාදයකි. ජීවිතයේ බොහෝ දේ ප්‍රායෝගිකව අත්දැකීමට මධුකාට ඉන් ඉඩ සැලසිණි.

“අපි පොඩි කාලේ ඉඳලා ඉගෙනගන්නවා ජීවිතේ අනිත්‍යයි කියලා. ඇති වීම, නැති වීම සාමාන්‍යයි. මං ඒකට මුහුණ දුන්නා. කොණ්ඩය යනවා කියන එකටවත්, අත් කකුල්වල නියපොතු කළු පැහැ වුණ එකටවත් මං පසුතැවුණේ නෑ. ඒකට මුහුණ දෙන්න මට හැකි වුණා. දරුවො තුන්දෙනා තදින් බැඳගෙන එයාලගෙ වැඩ මගෙ අතින් මං කරලා දුන්නෙ. ඒත් ලෙඩ වුණත් එක්ක මං ටික ටික එයාලව ලිහිල් කළා. ජීවිතේට එන ඕනෑම දේකට ශක්තිමත්ව මුහුණදෙන්න වගේම ස්වාධීන වෙන්නත් මං එයාලව හුරු කළා. මං සොබාදහම විශ්වාස කරනවා. ඕනෑම ආගමක හොඳ කරුණු අනුගමනය කරනවා. ඒ ඕන දෙයක් මං මට අදාළ කරගන්නෙ මගෙ ස්ටයිල් එකට. නැතුව ඒ කිසිවකට කොටු වෙන්නෙ නෑ. මං මට අනන්‍යයි. මං හරිම සතුටින් ඉන්නවා. මං හිතනවා ලෙඩ වෙන්න කලින් හිටියට වඩා මං දැන් ලස්සනයි කියලා. ඒ වගේම ශක්තිමත්. ජීවිතේ කඩා වැටෙන ප්‍රශ්න නොඑනවා නෙමෙයි. ඒත්, ඒ හැමවෙලේම මං මට කියාගන්න දේ තමයි මේ වගේ ලෙඩකට මූණ දීලා දින්නනං මේක මොකද්ද කියලා. මං අනිත් අයටත් කියන්නෙ ඕනම දේකට සතුටින් මූණ දෙන්න කියලා. ඒ හැකියාව ඕන කෙනෙකුට තියෙනවා. යම් වෙලාවක අපට සමහර දේවල් අහිමි වෙන්න පුළුවන්. ඒකෙන් ජීවිතේම කඩා වැටෙන්නෙ නෑ. මේ ලෙඩේ එක්ක මට ලැබුණු ප්‍රතිලාභ වැඩියි. මගෙ ලොකු පුතා අගස්තිට දැන් වයස අවුරුදු 16ක්. එයා යන්නෙ මිශ්‍ර පාසලකට. එයාගෙ සමහර ගෑනු යාළුවන්ගෙ රෝල් මොඩ්ල් මම. මං ඉන්න විදියට එයාලා ගොඩක් කැමතිලු. ඒක මටත් සතුටක්.”

මධුකා පවසන්නේ මේ මොහොතේ ජීවත්විය යුතු බවයි. අනෙක් අතට ලොව කිසිඳු තැනක සර්ව සම්පූර්ණ මිනිසුන් නැත. තමාගේ හොඳ නරක දෙකම අවබෝධ කරගත් විට ජීවත් වීම පහසු බව මධුකාගේ අදහසයි. ඇය පෙන්වා දෙන්නේ පවුලක සතුට රැකගැනීමට එහි සාමාජිකයින් සතුටින් විසිය යුතු බවයි. එවිට රටට ලෝකයට ආදරය, සතුට රැගෙන යා හැකි බව ඇගේ ස්ථාවරයයි. 

“මං විශ්වාස කරන දේ තමයි මිනිස්සු මැරෙන්නෙ හිතින්. බලාපොරොත්තු නැතිව ජීවත් වෙන අය මැරුණා වගේ තමයි. ඒ නිසා මොන දෙ වුණත් බලාපොරොත්තු නැති කරගන්න එපා.”

රෂ්නිකා ලියනගේ