නවතම ප්‍රවෘත්ති

ළමා අපයෝජන සිදුකරන පිරිමින්ගේ වෘෂණ කෝෂ කපා ඉවත් කෙරේ

එකල දඹදිව රජකම් කළ එක් රජෙක් ඔහුගේ රාජ්‍යයේ සොරකම ඉහළ යාම නිසා විශාල ගැටලුවකට මුහුණ දුන්නේය. කොතරම් උපක්‍රම යෙදුවද සොරකම නතර කිරීමට රජතුමාට නොවේ හැකියාවක් ලැබුණේ. රටවැසියන් පීඩාවට ලක්වෙන මේ කරදරය නතර කිරීමට රජුට අපූරු අදහසක් පහළ විය. ඒ අනුව ඔහු රට පුරා පණිවිඩයක් යැවීමට කටයුතු කළේය. ඒ රාජ්‍යය තුළ සොරකමේ යෙදුන සොරුන් පණපිටින් අල්ලා අමු සොහොන්වල බැඳ ඇති අයුරු බලන්නට පැමිණෙන ලෙසය. එතෙක් දවසක් සොරකමේ ගිය සියලු හොරු ද මේ දර්ශනය සියැසින් දැක බලාගන්නට ආහ. එසේ පැමිණ බලද්දී මියගොසින් ඇති එම සොරුන්ගේ සිරුරු දැක බියපත් වූ ඔවුන් එතැන් පටන් සොරකම අත්හැරියහ. එයින් පසු රාජ්‍යය තුළ කිසිඳු සොරකමක් සිදුවුණේ නැත. නමුත් එදා රජු සැබැවින්ම සොහොන්වල බැඳ තිබුණේ සොරුන් නොවේ. උපක්‍රමයක් ලෙස මියගිය මිනිසුන්ගේ සිරුරු රාත්‍රී කාලයේ සොහොන් කණුවල ගැටගැසූ අතර උදේ කාලයේ සොරුන් දුටුවේ ඒ මළසිරුරුය.

නැගෙනහිර අප්‍රිකාවේ විශාලම දූපත් රාජ්‍යයක් වන මැඩගස්කරයත් ඔය ලෙසම විසඳිය නොහැකි ප්‍රශ්නයකට මුහුණ දුන්නේ 2023 වසරේදීය. ඒ ප්‍රශ්නය නම් එරටේ ළමා අපයෝජන බරපතළ ලෙස ඉහළ යාමයි. ගිය වසරේ පමණක් එරට සිදුවූ ළමා අපයෝජන ගණන 600කි. ගෙවුණු ජනවාරි මුල සිට එකී තත්ත්වය අවම කිරීමට මැඩගස්කර රජය නොයෙක් උපක්‍රම යෙදූවත් ඒ කිසිවකින් ඵලක් නොවුණි. ජනවාරි මාසයේදී පමණක් අපයෝජන සිද්ධීන් 133ක් පමණ වාර්තා විය. පසුගිය වසරට සාපේක්ෂව මේ වසර අවසන් වෙද්දි අපයෝජන සිද්ධීන් දහසද ඉක්මවනු ඇති බව පෙනෙන්නට තිබිණි. රජයට ඉක්මන් තීරණයක් ගැනීමට සිදුවිය. ළමා අපයෝජනයට වැට බැඳීමට කළ හැකි සියල්ලම ගඟට කැපූ ඉනි මෙන් වෙද්දී මැඩගස්කර රජය ඉතිරිව තිබූ එකම විකල්පයද ක්‍රියාත්මක කළේය.

එරට එතෙක් පැවති නීතියට අනුව අපයෝජනයක් සිදුකළ පුද්ගලයෙකුට ලැබුණේ සිර දඬුවමක් පමණි. එහෙත් මුළු මහත් ලෝකයම අන්දෝලනයට පත් කරමින් ඒ දූෂකයන්ට ලබාදීමට ඉතා දරුණු මට්ටමේ නව නීති මාලාවක් සකස් කිරීමට මැඩගස්කර රජය කටයුතු කළේය. එරට පාර්ලිමේන්තුවේ ඉහළ මන්ත්‍රී මණ්ඩලය වන සෙනෙට් සභාවද මේ දඬුවම් අනුමත කළ අතර දැන් නීති ක්‍රියාත්මක කිරීමට ඇති එකම අඩුව එරට ජනපති ඇන්ඩ්රි රාජෝලීනාගේ අත්සනය. මේ කියන ද‍ඬුවම් ජාත්‍යන්තර මානව හිමිකම් කණ්ඩායම්වල දැඩි විවේචනයට ලක්ව ඇති අතර ඔවුන් පෙන්වා දෙන්නේ එය රටේ ව්‍යවස්ථාපිත නීතිවලට නොගැළපෙන මේවා අමානුෂික හා අවමන් සහගත දඬුවම් බවයි. ඒ කතා කෙසේ වුවත් මැඩගස්කර ජනපති අත්සන් කළ සැනින් නව නීති ක්‍රියාත්මක කිරීමටයි බලධාරීන් බලාපොරොත්තු වන්නේ.

මේ කියන නව නීති යටතේ වයස අවුරුදු 17ට අඩු බාල වයස්කාර දරුවෙක් දූෂණය කර වරදකරු වුවහොත් ඒ පුද්ගලයාට ලැබෙන්නේ ලොව කිසිම රටකින් අසන්නට නොලැබූ අන්දමේ දඬුවමකි. වැරදිකරුවාව වන්ද්‍යාකරණයට ලක්කීරිම හෝ වෘෂණකෝෂ කපාදැමීම ඒ දඬුවමයි. එය වෛද්‍ය ‘රසායනික වන්ද්‍යාකරණය’ (Chemical Castration) සහ ‘ශල්‍ය වන්ද්‍යාකරණය’ (Surgical Castration) යන ආකාර දෙකෙන් සිදුවන අතර රසායනික වන්ද්‍යාකරණයේදී සිදුවන්නේ යම්කිසි ඖෂධයක් හෝ රසායනිකයක් භාවිතා කර අදාළ පුද්ගලයා වන්ද්‍යාකරණයට ලක්කීරිමය.

ශල්‍ය වන්ද්‍යාකරණයේදී සිදුවන්නේ ශල්‍යකර්මයක් මඟින් වෘෂණ කෝෂ කපා ඉවත් කිරීමය. මේ අතර යම් ලෙසකින් අපයෝජනය කරන අවස්ථාවේදී බාල වයස්කාර දරුවා මියගියහොත් චූදිතයාට නියම කරන දිනයක් තුළ මරණ දඬුවම හෝ ජීවිතාන්තය දක්වා සිර ද‍ඬුවම් ලැබීමද මෙකී නීතිවල ඇතුළත්ය. 

“ලංකාවේ රජයත් මැඩගස්කරය වගේ ළමා අපයෝජකයින්ට එරෙහි දැඩි නීති ගෙනාවනම් හරි…”

ළමා අපයෝජකයන්ට ගැන මැඩගස්කරය ගත් තීරණය ගැන ලංකාවේ බොහෝමයක් උදවිය කියන කතාව ඒකය. බෞද්ධ රටක් ලෙස ප්‍රකට අප රටේ ද දිනපතා වාර්තා වන අපයෝජන සිද්ධිවල අඩුවක් නැත. ශ්‍රී ලංකා දණ්ඩනීති සංග්‍රහයේ 363 (ඊ) වගන්තියේ සඳහන් ආකාරයට පිරිමි පුද්ගලයෙක් වයස අවුරුදු 16ට අඩු ගැහැනු ළමයෙක් සමඟ කැමැත්ත ඇතුව හෝ නැතුව ලිංගිකව එකතුවීම ස්ත්‍රී දූෂණයකි. මෙරට නීතියට අනුව බොහෝ විට එයට ලැබෙන දඬුවම අධිකරණයෙන් නියම කරන අවුරුදු ගණනක බරපතළ වැඩ සහිත සිර දඬුවමක්ය. 

මෙරට කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීමේ රාජ්‍ය ඇමති ධුරය හොබවන්නී ගීතා කුමාරසිංහ මහත්මියයි. මෙරට ළමා අපයෝජන ගැන ඇය පවසන්නේ මෙවැන්නකි.

“මේ වෙනකොට රටේ ළමා අපයෝජන සෑහෙන්න ඉහළ ගිහින් තියෙනවා. මං හිතන්නේ ඒකට බලපාන හේතු ගොඩක් තියෙනවා. දරුවන්ට මව අහිමිවීම, මව වෙන්වීම, මව්වරු විදේශගතවීම හෝ රැකියාවල නිරතවීම වගේ දේවල් මේවට බලපානවා.  ඒ වගේ පවුල්වල අසරණ දරුවෝ තමයි වැඩි වශයෙන් මෙවැනි සිදුවීම්වලට ලක්වෙන්නේ. ඉතින් ලංකාවේ හැම ප්‍රාදේශීය කාර්යාලයකම තියෙන ඒ වගේ පවුල් ගැන සොයා බලන්න කාන්තා හා ළමා නිලධාරීන්, වනිතා සංවර්ධන නිලධාරින් වගේම පොලිස් නිලධාරින්වත් අපි යොදවලා තියෙනවා.”

මැඩගස්කරය හඳුන්වා දී ඇති නව නීතිරීති මගින් ළමා අපයෝජන අඩුවේදැයි යන්න ‘ධරණී’ නැගූ  ප්‍රශ්නයට ඇමතිවරිය පිළිතුරු දුන්නේ මෙසේය.

“ළමා අපයෝජනය කරන අයට එරෙහිව මැඩගස්කරය දැඩි නීතියක් ගෙනැල්ලා තියෙනවා කියලා මාත් දැක්කා. අපේ රටටත් මැඩගස්කර නීතිය ගේන්න ඕන කියලා සමහරු කිව්වට අපේ රටේ මේ වෙද්දිත් හොද නීති පද්ධතියක් තියෙනවා. ළමා අපයෝජකයෝ අවුරුදු 30 – 40ක් බරපතල වැඩ ඇතිව හිරේ යන්නේ ඒ නිසයි.”

මෙරට ලිංගික අපයෝජන අඩුකිරීම සඳහා ඇමතිවරිය සතු නව යෝජනාද කිහිපයකි.

“වයස අවුරුදු පහට අඩු දරුවෝ ඉන්න අම්මලාට විදේශගත වීම තහනම් කරන්න ඕනේ. ඒ වගේම පෙරපාසල් දරුවගේ ඉඳන් උසස්පෙළ දක්වාම දරුවන්ට ඒ ඒ වයස් මට්ටමට අදාළව ලිංගික අධ්‍යාපනය ලබාදෙන එක අනිවාර්යය කරන්න ඕනේ. මොකද අපේ රටේ සිදුවන ගොඩාක් අපයෝජනවලට හේතුව නොදැනුවත්කම. පොදු ප්‍රවාහනයේ ඉඳන් පොදු ස්ථානවලට CCTV කැමරා සවිකරන්න පුළුවන්නම් හරි. අනිත් කාරණය මත්ද්‍රව්‍ය. කොහොමහරි කරලා මත්ද්‍රව්‍ය ගෙන්වන එක නවතන්න ඕනේ. ඒවා පාවිච්චි කළාමයි මිනිස්සුන්ට තමන්ව පාලනය කරගන්න බැරි. ඉතින් ඔන්න ඔය දේවල් හරියට ක්‍රියාත්මක කළානම් අපයෝජකයින්ගේ අනං මනං නොකපා අපයෝජන අඩුකරගන්න පුළුවන්.”

රුවන් එස්.සෙනවිරත්න