සුව දිවිය

අලුත් මිස්-සී ටිකක් සැරයි -කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා

‘‘අම්මි අක්කිටත් එන්න කියන්නකො අපිත් එක්ක සෙල්ලම් කරන්න.’’

පුංචි ඉඳුවර මාලතී ළඟට දුවගෙන ආවේ මුහුණ අඳුරු කරගෙන. වෙනදට අක්කගෙයි මල්ලිලාගෙයි සද්දවලින් පිරුණු ගෙදර අද නිහඬයි. තරින්දිත් හෝන්දු මාන්දුවෙලා වගේ ඉන්න හැටි මාලතී දැක්කේ ඒ වෙලාවෙයි.

‘‘ඇයි දූ ඔයාට සනීප නැද්ද?’’

මාලතී කියද්දී තරින්දි හිස වැනුවා. ඒ ‘ඔව්’ කියන්නද ‘නෑ’ කියන්නද කියලවත් මාලතීට වැටහුණේ නෑ. ඇය දුවගේ ගෙල මුලට අත තියලා බැලුවා. ඇයගේ ඇඟත් හොඳටෝම රස්නෙයි. ආයෙමත් උණ ඇවිත්ද, ඒ කොරෝනද කියලා මාලතීට බය හිතුණා. ඒ අතරේ ඉඳුවර අක්කගේ අතින් අදිනවා. ඒ සෙල්ලම් කරන්න යන්න.

‘‘පුතා මල්ලි එක්ක සෙල්ලම් කරන්න. අද අක්කට සනීප නැහැ.’’

මාලතී ඉඳුවරව පිටත් කරලා තරින්දි ළඟට ආවා. තරින්දිට කොරෝනා හැදුනේ මීට මාස දෙකකට තුනකට කලින්. ඒ වෙලාවේ උණ, කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව වගේ රෝග ලක්ෂණ ඇයටත් ආවා. දින හතර පහකදී ඒ රෝග ලක්ෂණ අඩුවෙලා ගියා. ඒ ලෙඩේ හැදිලත් තරින්දිට ඕන වුණේ මල්ලිලා එක්ක සෙල්ලමටම යන්න. වෙලාවකට ඇයව එකතැනක තියාගන්න සැරවැර කරන්නත් වුණා. ඒත් එහෙම හිටපු දඟකාරිගේ අද වෙනසනම් මාලතීගේ හිතට ගෙනාවේ තරමක බියක්.

ඒ බිය හිතට ආවේ කොරෝනා එක්ක පැතිරිලා යන මිස්-සී (Mis-C) හෙවත් බහු ඉන්ද්‍රීය ආසාදන රෝගය ගැන ඇය තොරතුරු දැනගෙන හිටිය නිසයි. තරින්දිට තවම අවුරුදු අටයි. අවුරුදු පහත් පහළොවත් අතර දරුවන් අතරේ තමයි මෙම රෝගය පැතිරිලා යන්නේ. මේ රෝගයට ගොදුරු වුණොත් දරුවන්ට බරපතළ තත්ත්වයන්ට මුහුණදෙන්න සිද්ධ වෙනවා. බොහෝ වෙලාවට ශරීර අභ්‍යන්තර අවයවවලට සිදුවන හානිය මත මරණය වුණත් සිද්ධ වෙන්න පුළුවන් කියලයි රිජ්වේ ආර්යා ළමා රෝහලේ, විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා කිව්වේ.

ඇත්තටම මේ රෝගයේ රෝග ලක්ෂණ මොන වගේද? එමගින් ඉන්ද්‍රියන්ට සිද්ධ වෙන්න පුළුවන් හානිය මොන වගේද කියලා දැනගෙන සිටීම වැදගත් වෙනවා. ඊට හේතුව තමයි දෙමාපියන්ට කොරෝනා වැළඳිලා තිබිලා, ඇතැම් විටක නොදැනුවත්වම දරුවන්ටත් රෝගය වැළඳිලා සුව වී තියෙන්න පුළුවන්. එහෙම මාස දෙක තුන හතර වගේ ගතවෙද්දී මේ කියන රෝග ලක්ෂණ මතුවෙන්න ඉඩ තියෙනවා. මෙහි තියෙන භයානකකම තමයි ශරීර ඇතුළත ඉන්ද්‍රියන්ට සිදුවන හානිය. එය හඳුනාගන්න පුළුවන් වෙන්නේ උණත් එක්ක එන රෝග ලක්ෂණ සමඟයි.

‘‘දරුවෝ අතර කොරෝනා පැතිරීමේ යම් වැඩිවීමක් මේ වනවිට තියෙනවා. ඒ නිසා මේ තත්ත්වය ඉදිරියේදී වැඩිවීමේ ප්‍රවණතාවක් අපට බලාපොරොත්තු වෙන්න සිදුවෙනවා. ඉතින් ඒකට සූදානම් වීම හොඳයි. ඒ සඳහා දෙමාපියන් ඇතුළු වැඩිහිටියන් දැනුම්වත් වීමද වැදගත් වෙනවා. කොරෝනා හැදුනම ඇගේම හැදෙන ප්‍රතිදේහ තිබෙනවා. එය යම් අවස්ථාවල ඉන්ද්‍රියන්වලට සිදුකෙරෙනා බලපෑම තුළයි දරුවාගෙන් දරුවාට මෙම රෝග ලක්ෂණ මතු කරන්නේ.’’

මෙහිදී ශක්තිමත් ප්‍රතිශක්තිකරණය ඉතා වැදගත් වෙනවා. උණ, බෙල්ලේ වසා ගැටිති ඉදිමීම, ඇස් කහ පාට වීම, හුස්ම ගැනීමේ අපහසුතාව, මුත්‍රායාමේ අඩුවක් එහෙම නැත්නම් මුත්‍රා සමඟ රුධිරය පිටවීමක් සිදුවන අවස්ථා ගැන වාර්තා වී තිබෙනවා. ඒ වගේම හෘදය වස්තුවේ වේගය අඩුවීමත්, දරුවා කම්පන තත්ත්වයට පත්වීමටත් බොහෝදුරට ඉඩකඩ පවතිනවා.

‘‘දරුවගේ මොළේට බලපෑමක් වුණොත් වලිප්පු තත්ත්වයට පත්වෙනවා. පෙනහලුවලට සිදුවන බලපෑම නිසා හුස්ම ගැනීමේ අපහසුතා මතුවෙනවා. හෘදය වස්තුවට වන බලපෑමෙන් රුධිර පීඩනය ඉහළ යා හැකියි. වකුගඩුවලට බලපෑමක් වුණොත් වකුගඩු අකර්මණ්‍ය වීම වළකාලිය නොහැකියි. කිරීටක ධමනියට වන බලපෑම නිසා හදිසි හෘදයාබාධ තත්ත්වයක් වුවත් ඇතිවෙන්න ඉඩකඩ පවතිනවා. මෙවැනි අවස්ථාවක දැඩි සත්කාර ඒකකයකට දරුවා ඇතුළත් කරන්න සිදුවෙනවා. පරීක්ෂණ මගින් හෘදය වස්තුව පරීක්ෂා කිරීම් කළ හැකි වුවත්, ඒ ඇතැම් පරීක්ෂණ මිල අධිකයි.’’

මෙහිදී දෙමාපියන් අවධානය යොමුකළ යුතු කාරණා කිහිපයක් තිබෙනවා. ඉන් එකක් නම්, දරුවාට කොරෝනා රෝගය වැළදෙන්නට නොදී ආරක්ෂාකර ගැනීමයි. ඔවුන්ගේ පෞද්ගලික පිරිසුදුකම, සෞඛ්‍ය පුරුදු වගේම ඊට ප්‍රතිශක්තිය වඩවන ආහාරපාන වැදගත් වෙනවා. රෝගය වැළඳුනද ප්‍රතිශක්තිය දුර්වල නොවේනම්, වෛරසය හා සටන් කරන්නට දරුවාට හැකියාව පවතිනවා. ප්‍රතිශක්තිකරණය දුර්වල වුණොත් තමයි කොරෝනා වගේම ඉන් පසුව ඇතිවිය හැකි බහු ඉන්ද්‍රීය ආසාදන රෝගයෙන් සිදුවන බලපෑම් වැඩිවෙන්නේ.

මාලතී බල බලා නොඉඳ තරින්දිව පවුලේ වෛද්‍යවරයා ළඟට අරගෙන ගියා. ඇයට උණ වගේම බෙල්ලේ වසා ගැටිති ඉදිමිලා, මුත්‍රා යාමේ අඩුවකුත් ඇති බව හඳුනාගත්තා. මේ රෝග ලක්ෂණ එක්ක, ඇයව ඉක්මනින්ම රෝහලට ඇතුළත් කළේ ඉදිරි පරීක්ෂණ කටයුතු පහසුව සඳහායි.

අවුරුදු පහේ හයේ දරුවන්ට තමන්ට තියෙන රෝග ලක්ෂණ මොන වගේද කියලා කියන්න අවබෝධයක් නැතත්, වැඩිහිටියෝ මේ දවස්වල දරුවන්ගේ ලෙඩ ගැන සියයට දෙසීයක අවධානයෙන් ඉඳීම ඉතාම වැදගත් වෙනවා. ඒ මොනතරම් අමාරු, අපහසු කාලයක් වුණත් දරුවන්ගේ ජීවිත ආරක්ෂාව දෙමාපියන්ගේ ඉහළම ප්‍රාර්ථනයද නිසයි.

දීපා වසන්ති එදිරිසිංහ