නවතම ප්‍රවෘත්ති

අඬන ළමයි නළවගන්න මම සාරිය පිටින් පිනුම් ගහලත් තියෙනවා

පසුගිය ඔක්තෝබර් පළවැනිදා ලෝක ළමා දිනය දවසේ  ළමයින්ව සතුටු කරන්න හරි හරියට සිංදු කියපු ගුරුවරු වගේම සිංදු කිය කියා නටපු ගුරුවරුත් අපි දැක්කා. එක දවසකට හරි ගුරුවරු තමන්ගේ සිසු දරුවන් එක්ක එකතු වෙලා සම්ප්‍රදායික රටාවට අභියෝග කරලා එහෙම විනෝදවුණු එක බොහොම සුබවාදී දෙයක් විදියටයි අපිටනම් පෙනුණේ. අමන්දි සුලෝචනා විජේසිංහ කියන්නෙත් එදා ඒ විදියට හරි ලස්සනට සිංදු කියපු ගුරුවරියක්. කිරිඳිවැල සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ ලෝක ළමා දින සැමරුම දවසේ දරුවන් පිරිවරාගෙන ඇය කළ ගායනය සමාජ මාධ්‍යයේ ජනප්‍රිය වීමත් එක්ක, මේ චූටි ටීචර් ගැනත් හැමෝම කතාවෙන්න පටන්ගත්තා. කොහොම නමුත් ගුරුවරු ගැන මුළු රටේම සුදු කළු කතා මැවෙමින් තියෙන වෙලාවක තමයි අපි ඒ අමන්දි ටීචර්ගේ රුවෙන් ධරණීකවරය සරසන්න හිතුවේ.

මගේ ගම කිරිඳිවැල. ගෙවල්වලට ළඟ හින්දා පාසල් ගියේ කිරිඳිවැල සංඝමිත්තා බාලිකා විද්‍යාලයට. ළමා දිනයට දවස් කීපයකට කලින් පාසලේ සහකාර විදුහල්පති සිසිර ශ්‍රී ගාමිණී සර් අපේ නංගි අතේ පණිවිඩයක් එවලා තිබුණා, පාසලේ ළමා දින වැඩසටහනක් සංවිධානය කරලා තියෙනවා, සිංදු කියන්න අක්කටත් එන්න කියන්නය කියලා. ඉතින් විදුහල්පතිතුමිය වන ඉන්දු සමරකෝන් මිස්ගේ ආශිර්වාදයත් ඇතුව පාසලේ ආදි ශිෂ්‍යාවක් විදියට මං එදා ඒ දරුවෝ ඉස්සරහා රස පිරුණු කතාකියන සිංදුව කිව්වා.”

අමන්දි කියන විදියට එදා ඇය ලෝක ළමා දිනය දා ගායනා කරපු ගීතයේ වීඩියෝව මුහුණුපොතට එකතු කරලා තිබුණේ එච්චර දුරදිග හිතලා නෙවෙයි. ඒත් මේ වෙනකොට ඒ වීඩියෝව ලක්ෂ ගණනක් දෙනා නරඹලා හමාරයි.

ඇත්තටම ඒ වීඩියෝ එක සමාජ මාධ්‍යවල ගොඩාක් ජනප්‍රිය වුණා. ගොඩාක් අය හිතුවේ මං පාසල් ගුරුවරියක් කියලා. හැබැයි මං පෙරපාසල් ගුරුවරියක්. එදා සමහරු මාව අගය කළා. ඔය අතරේ විවේචනය කරපු පිරිසකුත් හිටියා. හැබැයි වාසනාව කියන්නේ ඒ හරහා මට ආදරය කරන ලොකු පිරිසක් හැදුනා.”

අමන්දි කියන විදියට පුංචි කාලේ ඉඳන්ම ඇයට තිබුණේ පෙරපාසල් ගුරුවරියක් වෙන හීනයක්. ඒ හීනයට ඇය කොච්චර ආස කළාද කිව්වොත් ඇය විශ්වවිද්‍යාල උපාධියක් පවා අතේ තියාගෙනයි පෙරපාසල් ගුරුවරියක් විදියට අදටත් කටයුතු කරන්නේ.

මගේ අම්මා පන්සිළුකියලා පෙරපාසලක් කරන්නේ. එයා ඒ කාලේ මාව බඩේ තියාගෙනත් පෙරපාසලේ උගන්වලා තියෙනවා. ඉතින් මං පුංචි කාලේ ඉඳන්ම දැක්කේ අම්මා පුංචි දරුවොත් එක්ක ඉන්න හැටි. ඒ නිසා මටත් අම්මා වගේ වෙන්න හිතුණා. මං උසස් පෙළ කළේ කලා විෂය ධාරාවෙන්. හොඳ ප්‍රතිඵලයක් එක්ක ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට යන්න ලැබුණා. මේ වෙනකොට මං සමාජ විද්‍යාව පිළිබඳ උපාධිධාරිනියක්. ඒත් අම්මත් එක්ක පෙරපාසල් ගුරුවරියක් විදියට වැඩ කරනවා.”

ගුරුවරියක් වෙන්න හීන දකින තරුණියකට උපාධියක් ගන්න බැරි වුණොත් රජයේ පාසැලක ගුරුවරියක් වෙනවා කියන එක හීනයක් විතරක්ම වෙනවා. හැබැයි මේ දිසාපාමොක් හීනය අතහැරගන්න බැරි ඇතැමෙක් පසුකාලීනව පෙර පාසැල් ගුරුවරුන් විදියටත් සේවයට බැඳෙනවා. නමුත් අමන්දි තවමත් මවගේ පෙරපාසලේ උගන්වන්නේ උපාධියකුත් අතේ තියාගෙන. අපෙන් ඇයට ලැබුණු ඊළඟ ප්‍රශ්නය වුණේ ඒක.

සමහරු අහනවා ඇයි ඔයා උපාධියක් තියාගෙන මොන්ටිසෝරියක උගන්වන්නේ කියලා. ඇත්තටම ඒ හැමෝටම කියන්න තියෙන්නේ මං මේක ගොඩාක් සතුටින් කරන දෙයක් කියලා තමයි. අනික මං හිතනවා පෙරපාසල් ගුරුවරියකටත් යම්කිසි අධ්‍යාපන මට්ටමක් තියෙන්න ඕන කියලා. මොකද හැම දරුවෙකුගේම මුල් ශක්තිමත් කරන්නේ පෙරපාසල් ගුරුවරයෙක්නේ.”

අමන්දිගේ කතාව හරි. මොකද තමන්ගේ හීන ඉදිරියේ අනෙක් හැමදේම පුංචියට දකින මිනිස්සුන්ට ජීවත්වෙන්න හරි ලේසියි. ඒත් උපාධියක් අතේ තියාගෙන පෙරපාසල් ගුරුවරියක් විදියට කටයුතු කිරීම  ගැන අම්මා තාත්තාගෙ අකමැත්තක් නැද්ද කියලත් අපි ඇයගෙන් ඇහුවා.

මගේ අම්මා තාත්තා එදා ඉඳන්ම මට කැමති දෙයක් කරන්න ඉඩ දුන්නා. මොකද එයාලා දන්නවා මං නිදහස අයුතු විදියට පාවිච්චි කරන කෙනෙක් නෙවෙයි කියලා. ඉතින් එයාලා මාව හැමදාම විශ්වාස කළා. ඒ නිසා මං පෙරපාසල් ගුරුවරියක් වීම ගැනත් එයාලට ප්‍රශ්නයක් නෑ.”

ලෝක ළමා දිනය දවසේ සිංදු කියපු ගුරුවරියන්ට කෙසේවෙතත් හරි හරියට නටපු ගුරුවරියන්ට නම් මේ වෙනකොටත් ප්‍රශ්න ඇතිවෙලා. සමහරුනම් කියන්නේ ගුරුවරු එදා ඒ විදියට හැසිරීම නිසා ගුරු වෘත්තියේ ගෞරවනීය බවට කළු පැල්ලමක් එකතුවුණා කියලයි..

පාසලක් වුණාම අධ්‍යාපන කටයුතු වගේම බාහිර ක්‍රියාකාරකම් එහෙමත් සමබරව කරගෙන ‍යන්න ඕන. කොවිඩ් නිසා ලංකාව පුරාම පාසල්වල ගුරුවරු සහ ළමයි සෑහෙන කාලයක් ගෙවල්වලට කොටුවෙලයි හිටියේ. මං හිතන්නේ අවුරුදු දෙක තුනකින්ම ලෝක ළමා දිනයක්වත් අපි සමරලා තිබුණේ නෑ. ඉතින් කාලෙකින් එහෙම අවස්ථාවක් ලැබුණු මොහොතේ එයාලා සිංදුවක් කියලා, පොඩ්ඩක් නටලා සතුටු වුණා කියන එකේ වැරැද්දක් මටනම් පේන්නේ නෑ.”

ඊළඟට අමන්දි අපිත් එක්ක කිව්වේ හරි අපූරු කතාවක්. ඒ ඇය පෙරපාසල් දරුවෝ එක්ක ගෙවන ජීවිතේ ගැන.

පෙරපාසල් ගුරුවරියක් විදියට මම නම් පුටුවේ ඉඳගෙනම උගන්වන්නේ නෑ. ළමයින්ගේ අවධානය ගන්න උගන්වන අතරේ මමත් නටන වෙලාවල් තියෙනවා. නට නට තමයි කවි, සිංදු එහෙම කියලා දෙන්නේ. සමහර වෙලාවට සාරිය පිටින් පිනුම් එහෙමත් ගහනවා. එහෙමත් වෙලාවට අඬන ළමයින්ගේ ඇඬිල්ල නතර කරන්නත් පිනුම් ගහන්න, අඬන්න එහෙම වෙනවා. එයාලා ඒකට ආසයි. එක දවසක් සාරිය ඇඳගෙන දිගට දිගට පිනුම් ගහන්න ගිහින් සාරිය පැටලිලා ළමයින්ගේ ඇඟවල් උඩට වැටුණා.”

ඒ කතාව අහපු අපට වගේම අමන්දිටත් හිනා. හැබැයි ඇයගේ ඒ ඉනාවක් වගේ හිනාව දැක්කම තවත්  ප්‍රශ්නයක් ඇයගෙන් නොඅසා බැරිවුණා. ඒ තමයි ආදරේ ගැන.

අම්මගේ තාත්තගේ ආදරේ මට ඕනවටත් වඩා ලැබෙනවා. ඒ වගේම පෙරපාසලේ දරුවන්ගේ ආදරේ මට මහමෙරක් වගේ. ඒ දරුවන්ගේ අම්මලත් මට ගොඩාක් ආදරෙයි. හැබැයි පෙම්වතියක් වෙන්නනම් තාම හිතලා නෑ. ඒවට තව කල් තියෙනවා.”

මේ දිනවල සමාජ මාධ්‍යවල ඇයට ලැබෙන ප්‍රතිචාර එක්ක ආදරෙන්නම් ඇයට අඩුපාඩුවක් නැති බව පැහැදිලියි. ඒ නිසයි ‘ධරණී’ අපිත් ‘සිංදු කියන ටීචර්’ හොයාගෙන ඇයව බලන්න ආවේ. ඒ වගේම අපේ පැමිණීම ඇයටත් ලොකු සතුටක් වුණා කියලා අපිට තේරුණේ ඇගේ සතුටු කඳුළු දැක්කම. මොකද ඇය හැමදාම කියවපු ‘ධරණී’ පුවත්පතේ මුල් කවරයේ ඇගේ ඡායාරූපයක් පළවීම තවමත් හීනයක් වගේ කියලයි අමන්දි අපිත් එක්ක කිව්වේ. ඉතින් සිංදු කියන මොන්ටිසෝරි ටීචර්ගේ අනාගතයත් ඇගේ සිංදු වගේම ලස්සන වෙන්න කියලා හිතලා අපි ඇයට සමුදුන්නා. හැබැයි ඇය අපෙන් තවත් පුංචි වෙලාවක් ඉල්ලගෙන ‘ධරණී’ ගැනත් මෙන්න මෙහෙම කතාවක් කිව්වා.

මං දකින විදියට ධරණී කියන්නේ ඕනෑම වයසක ගැහැනියකට ජීවිතේ දිරියෙන් ජයගෙන, ශක්තිමත්ව ඉන්න හැටි කියලා දෙන පත්තරයක්. මමත් හැමදාම බලනවා. ඒ වගේම අපේ පෙරපාසලේ දරුවන්ගේ අම්මලා ධරණී කියවන අය. ඒ අය උදේට පෙරපාසලට දරුවෝ දාලා පෙරපාසල ඇරෙනකල්ම ධරණී කියවන එක තමයි කරන්නේ.”

රුවන් එස්.සෙනවිරත්න

ඡායාරූප ක්‍රිෂාන් කාරියවසම්