විශේෂාංග

සුප්‍රසිද්ධ නිළි ඇන්ජලීනා ජොලී හදිසියේම ඉන්ස්ටග්‍රෑම් ආවේ ඇයි?

අප සියලුදෙනාගේ නිදහස අහිමිවෙලා. නැවතත් අප සිරකරුවන්. අපේ සිහින සියල්ල නැතිවෙලා.”

අවිනිශ්චිත වර්තමානයක සිටින ඇෆ්ගනිස්තාන දැරියක් එලෙස ලීවාය. ඒ ලිපියට ලොව පුරා මිලියන ගණනක ජනයාගේ අවධානය හිමිවිය. ඊට හේතුව සුපිරි ඇමරිකානු නිළි ඇන්ජලිනා ජොලී ය. මේ ලිපිය ලද වහාම ජොලී ප්‍රථම වරට ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමක් සෑදුවාය. ඒ හඬ අහිමි වූ ඇෆ්ගනිස්තාන කාන්තාවන් වෙනුවෙනි. සමාජ මාධ්‍ය භාවිතය සීමා වූ ඔවුන්ගේ අදහස් ලෝකයට ගෙනයාමේ පාලමක් ඈ තැනුවාය.

ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුම ප්‍රකාශයට පත්කර පැය තුනක් ගතවන විට මිලියන දෙකකට අධික අනුගාමිකයන් (followers) පිරිසක් ජොලී සතුවිය. ඒ, ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමට පළමුව සම්බන්ධ වී වේගයෙන්ම අනුගාමිකයන් ලබා, හොලිවුඩ් නිළි ජෙනිෆර් ඇනිස්ටන් මීට පෙර තැබූ වාර්තාව බිඳ දමමිනි. මේ සටහන තබන විට ඇන්ජලිනා ජොලීගේ ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමෙහි අනුගාමිකයන් සංඛ්‍යාව මිලියන 9.8 ඉක්මවා තිබිණ.

Mr & Mrs. Smith, Salt, Wanted, Maleficent, Gia සහ Changeling ආදී චිත්‍රපට ගණනාවක් වෙනුවෙන් ඔස්කාර් ඇතුළු සම්මාන උළෙල රැසකදී ඇය සම්මානිත වූවාය. සිය රංගන කුසලතාවෙන් තමාට ආවේණික අනන්‍යතාවක් දරන ඈ අවස්ථා රැසකදී ඉහළම ගෙවීමක් ලද හොලිවුඩ් නිළිය ලෙස ද වාර්තා වූවාය. ඊටත් වඩා ඈ ලොව පුරා ජනයාගේ හදවත්හි ලැගුම් ගත්තේ පොහොසත් හදවතක් ඇත්තියක ලෙසිනි.

ඇයට දරුවන් සය දෙනෙකි. ඒ අතර අනාථ නිවාසවලින් රැගෙන ආ දරුවෝ ද වෙති. තම කුසින් බිහිවූවන්ටත් ඔවුන්ටත් ඇගේ වෙනසක් නැත. ජොලී, ඇගේ සැමියාව සිටි බ්‍රැඩ් පිට්ගේත් සම්පූර්ණ සහාය ඇතිව එම දරුවන් හදාවඩා ගත්තාය. සැමියාගෙන් වෙන්වීමෙන් පසු ජොලී දරුවන් සයදෙනාගේම භාරකාරත්වය රඳවා ගත්තේ තමා වෙතයි. දරුවන් වෙනුවෙන් බොහෝ කැපවන මවක ලෙස ද ඈ ප්‍රසිද්ධය. ඇගේ වැඩිමහල් පුත් මැඩොක්ස් පවසන්නේ ජොලී සුපිරි මවක බවයි.

වයස අවුරුදු 16 වනවිට මැඩොක්ස්  2017 වසරේ සිය ප්‍රථම චිත්‍රපට නිෂ්පාදනය කළේය. ඒ, සිය මව ද රංගනයෙන් දායක වූ ‘First they kill my father’ ය. එවිට ජොලී සිය සැමියාගෙන් වෙන් වී තිබිණ.

මට අපහසු කාලයේ දී අම්මා මට උදව් කළා. ඇගේ අසීරු කාලයේදී ඇයටත් උපකාර කිරීම මට අවශ්‍ය වුණා. කුඩා කාලයේ සිට සිනමා පසුබිමක සිටි නිසා එය අපහසු වුණේ නෑ. මගේ මව විනෝදජනකයි. සරලයි. ඒ වගේම ඈ සම කටයුතු කිරීම පහසුයි.”

සිය ප්‍රථම චිත්‍රපට නිෂ්පාදනය සහ මව ගැන මැඩොක්ස් පවසා තිබුණේ එලෙසිනි.

එක්තරා කාලයකදී ඇන්ජලිනා ජොලී ලොව පුරා කතාබහට ලක්වූයේ සිය පියයුරු ඉවත් කිරීම හේතුවෙනි.  පියයුරු පිළිකා අවදානම අවම කිරීමට ඇය එම පියවර ගත්තාය. ජොලීගේ මව වූ හොලිවුඩ් නිළි මාෂලින් බර්ට්‍රන්ඩ් වයස අවුරුදු 56 දී මියගියේ පියයුරු පිළිකාවෙනි. ජොලීගේ මිත්තණිය ද මෙම රෝගයෙන් ජීවිතක්ෂයට පත්වූවාය. ඒ අනුව ආරක්ෂිත පියවර ගත් ඇන්ජලිනා ජොලීගේ රුව අප දකින්නේ බද්ධ පියයුරු සමඟිනි. පියයුරු පිළිකාවට ගොදුරු වූ ලොව පුරා කාන්තාවන්ගේ ධෛර්යය ඉහළ නැංවීමට ජොලීගේ මෙම ක්‍රියාව ඉවහල් විය. ලොව පුරා මාධ්‍ය මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ද මෙම ප්‍රවෘත්තියට විශාල ඉඩක් හිමිවිය. සුප්‍රසිද්ධ ‘TIME’  සඟරාවේ කලාපයක මුල් කවරය ද ඇගේ රුවින් සැරසිණ. ඒ, ‘Angelina Effect’ යන සිරසිනි.

සරණාගතයින් පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතවරියක ලෙස ඇගේ කාර්යභාරය ද ලොව පුරා ඇගයීමට පාත්‍ර විය. මියන්මාරයෙන් පළා ආ රොහින්ග්‍යා සරණාගතයින් වෙනුවෙන් ජොලී හඬ නැගුවාය.  බංග්ලාදේශයේ කඳවුරුවල ජීවත් වූ එම ජනතාව හමුවීමට ද ඇය ක්‍රියා කළාය. ඔවුන්ට රැකවරණ සැලසූ බංග්ලාදේශ රජයට තුති පිරිනැමීමට ද ජොලී අමතක නොකළාය.

ජනප්‍රියත්වයේ හිනිපෙත්තේ සිටිය ද ඇය සරල, නිහතමානී අයකු ලෙස සුප්‍රසිද්ධය. මෑතකාලීනව ලොව පුරා සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ ඡායාරූපයක් ඊට සාක්ෂි වේ. ආරක්‍ෂක නිලධාරියකුගේ ඉල්ලීම අනුව සිය රථයේ පැති වීදුරුව පහතට කරන ඇය සෙල්ෆි ඡායාරූපයකට පෙනී සිටියේ සිනාසෙමිනි. නිලධාරියා සමඟ සුහද කතාබහක ද ඈ එක්වූවාය.

මිනිසුන්ට මෙන්ම පරිසරයට ඇති ආදරය ද ඇය ක්‍රියාවෙන්ම ඔප්පු කළාය. ලෝකයේ පැවැත්මට මී මැස්සන්ගේ දායකත්වය ඉමහත්ය. පසුගිය මැයි මාසයේ ලෝක මී මැසි දිනයේ දී ඈ එය ලෝකයටම අවධාරණය කිරීමට උත්සහ ගත්තාය. මී මැස්සන් රැකගැනීමේ වැදගත්කම ලෝවාසීන්ට පැවසීමට ඈ එක්වූයේ අපූරු ක්‍රියාවකිනි. සිය මුහුණෙහි සහ සිරුරෙහි මී මැස්සන් රඳවාගනිමින් ජොලී උඩුකය ඡායාරූපයකට පෙනී සිටියාය. ජොලී හැර එම අවස්ථාවට සම්බන්ධ වූ සියල්ලෝ ආරක්ෂිත ඇඳුම් ඇඟලා සිටියෝය. ඡායාරූප ගැනීමට ගතවූ කාලය විනාඩි 18 කි. එකදු මී මැසි දෂ්ඨනයකට හසු නොවී, මහත් සංයමයෙන් ඊට මුහුණ දීමට ඇන්ජලිනා ජොලී සමත් වූවාය.

මේ සියලු ක්‍රියාදාම අතර තවදුරටත් ඇය මිනිසාට, ලොවට පෙම් බඳිමින් සිටින්නීය. ඇෆ්ගනිස්තාන කාන්තාවන් වෙනුවෙන් වේදිකාවක් තැනීම එහි තවත් දිගුවකි. එය ඇයට අලුත් දෙයක් ද නොවේ. 2011 දී ද ඇය ඇෆ්ගනිස්තාන සරණාගතයින් හමුවූවාය. ඒ ඇමරිකාවේ 9/11 ප්‍රහාරයට සති දෙකකට පෙරයි. වසර විස්සකට පෙර මුහුණ දුන් අවිනිශ්චිතබවින් අවතැන්වීමට ඔවුන් යළි ගොදුරු වීම ඛේදනීය බව ජොලී පවසයි.

සරණාගත අර්බුදය සම්බන්ධයෙන් ඇය නැවත ලෝකයේම අවධානය යොමු කරවමින් සිටී. ලොව පුරා මිලියන 82.4 ක පිරිසක් අවතැන්ව සිටිති. එය ලෝක ජනගහනයෙන් 1%කි. එමෙන්ම දශකයකදී අවතැන් වූවන් ගණන දෙගුණ වී තිබේ.

මානව අයිතීන් කෙරෙහි මා දැඩි සේ විශ්වාස තබන නිසායි අවතැන්වූවන් සම කටයුතු කිරීම ඇරඹුවේ. ඔවුන් සහ ඔවුන්ගේ පවුල් කෙරෙහි ගෞරවය සම කටයුතු කරනවා මිස මෙය පුණ්‍ය ක්‍රියාවක් නොවේ. ඔවුන් බොහෝ පීඩා, අසමානතා සහ අයුක්තිය ජයගනිමින් සිටිනවා. පළා යාමට හැර විකල්පයක් නොමැති ක්‍රියාවලට ඔවුන් ගොදුරු වෙනවා. මෙම අර්බුදවලට හේතුවන පාරිසරික විනාශ, ගැටුම් සහ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් ගැන අපි නිසි අවධානය යොමු කරන්නේ කවර මොහොතේ දී ද?

ඒ, අහිංසක ජනතාව ගැන ඇගේ හඬයි. ඇන්ජලිනා ජොලීගේ කිසිඳු රංගනයක් නුදුටු අය පවා ඇයට ආදරය කරන්නේ මේ මානුෂික ස්වභාවය හේතුවෙනි. තරුවක් බැබළෙන්නේ මුදලින් හෝ සම්මානවලින් පමණක් නොවේ. සිය සමාජ වගකීම් මෙන්ම ලෝකය මත තවරන ආදරය, දයාව ද ඊට ඉවහල් වෙයි. එවැනි තරුවක් ජනතාවගේ හිතේ රැඳෙන්නේ නිරායාසයෙනි.

රෂ්නිකා ලියනගේ