විශේෂාංග

අවිශ්වාස නම් ඌරු මස් ඩිංගක් කාලා රෑ ජාමෙ තනියම ගොහින් බලන්නකො දෙයියෝ

ඒක ගෙයක්ම නෙවෙයි පුංචි පැල් කොටයක්. මේ පැල් කොටේ ඉන්නේ ඔහු විතරයි. හැඩරුව කිව්වොත් වයස හැටකට වැඩි මිසක් අඩු පෙනුමක් නම් නෑ. ඇඟේ පාට තලෙළු වුණාට අපිළිවෙලට වැවිච්ච උඩු රැවුලෙන් ඔහුගේ පෙනුමට එකතු වු​ණේ විරූපී බවක්. කොණ්ඩෙ පනාවක් නම් දැකලවත් නැද්ද මන්දා. දත් රතු පාටයි. ඒ බුලත්විට කෑම හින්දා. හැබැයි ඒ කොහොම වුණත් ඔහු හිනාවෙද්දි නම් හරි අමුතු අහිංසක ලස්සනක් මතුවෙනවා. ඔහුගේ ගේ කෑල්ලේ ඉඳගන්න පුටු නෑ. ඒ හින්දා මං ඉඳගත්තේ ගෙයි පිල උඩ. වත්තේ හැමතැනම මයියොක්කා වගා කරලා. අතරින් පතර කෙහෙල් පඳුරක් දෙකකුත් තිබුණා. ඔහු කතාව පටන් ගත්තේ බීඩියක් පත්තු කරලා කටේ පැත්තක තියාගෙනමයි.

‘‘හැබැයි ළමයෝ එක දෙයක්…’’

‘‘ඒ මොකක්ද මාමා…?’’

‘‘පත්තරේ නම දාන්න බෑ. මයේ පින්තූර දාන්නත් බෑ.’’

‘‘ඇයි බය හිතුනද?’’

‘‘දෙයියංපා ඔව්…’’

ඒක තමයි ඔහුගේ එකම කොන්දේසිය. හැබැයි මට ඕනෙනම් හොරෙන් ඔහුගේ පින්තූරයක් ගන්න තිබුණා. ඒත් මං එහෙම කළේ නෑ. මං මේ ඉන්නේ ජීවිතේ තේරුණු කාලේ ඉඳන් කැළෑවේ ජීවිතේ හොයපු මනුස්සයෙක් ළඟ. නැත්නම් කැළෑවේ වන සත්තුන්ගේ ලොකුම හතුරා ළඟ.

‘‘අද වෙද්දි මං ඌරෝ සීයකට එහා මේ අත් දෙකෙන් ඉවර කරලා ඇති. එතකොට කැළෑවේ ඉත්තෑවෝ. ඒත් එහෙමයි. මං ගොඩාක් ගහන්නේ මදු තමයි. හැබැයි අතරින් පතර තුවක්කු බඳින වෙලාවලුත් තියෙනවා. ඒත් ගමේ උන් දර කඩන්න හරි හොරෙන් ඔට්ටපාලු ගලවන්න හරි කැළෑවට ගිය වෙලාවක එකෙක්ගේ කරුමෙටවත් ඕක පත්තුවෙලා මැරුණොත් මට හිරබත් කන්නයි වෙන්නේ…’’

ඔහු එහෙම කිව්වේ හිනාවෙලා. ඒත් ඒ හිනාවට පෙරළා හිනාවකින් සංග්‍රහ කරන්න මට පුළුවන්කමක් තිබුණේ නෑ. මොකද මං තාම ඉන්නේ එහෙම මරපු ඌරෝ ඉත්තෑවෝ මළ කඳන් ගොඩක් ළඟ. මට මතක්වුණේ අපේ පන්සිල් පද පහේ තියෙන පළවෙනි එක. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. ඒකේ තේරුම තමයි පණ ඇති සතුන් මැරීමෙන් වළකින්න කියන එක. දැන් බලද්දි මං ඉස්සරහා ඉන්නේ ඒක අහලවත් නැති මනුස්සයෙක්.

‘‘බැඳපු තුවක්කුවක් පත්තු වුණොත් නම් සතා එතැනම ඉවරයි. හැබැයි තනි එකා වෙඩි කාගෙන ටිකක් හරි සෙල්ලම දානවා බේරෙන්න. වෙඩි කාපු එවුන් පැනලා ගියත් මගක් ගිහින් මැරෙනවා. ලේ පාර දිගේම ගියාම හොයාගන්න පුළුවන්. මද්දකට අහුවුණොත් නම් ඉවර කරන්න වෙන්නේ මට තමයි. පොරෝ බඳෙන් ඔලුවට දෙකක් තුනක් ගැහුවම ඌ එතැනමයි. ඒත් සමහර උන් මදු ගලවන් යනවා. ඒත් වැඩිදුරක් යන්න බෑ. කොහේ හරි මද්ද ගහපු කොටේ පැටලෙනවා. ඒක හොයාගත්තම වැඩේ ඉවරයි.’’

ඔහු කියාගෙන යද්දි මට දැන් ඒ සිද්ධි හරියට අර චිත්‍රපටියක් වගේ පේනවා. ඌරෝ මරහඬ දෙන හැටි වගේම පොරෝ බඳෙන් ඔලුවට ගහන හැටි මතක් වෙද්දි පපුව හෝස් ගාලා යනවා. හැබැයි නිවුන බීඩිය ආයෙත් පත්තු කරන් ඔහු කට පුරා හිනාවෙනවා.

‘‘එතකොට මරපු ඌරන්ට මොකෝ කරන්නේ…?’’

‘‘කිලෝ ගාණට විකුණනවා.’’

‘‘මං අහන්නේ විකුණන්න කලින් කරන කියන දේවල් මොනවද කියලයි.’’

‘‘මැරුණු ඌරන්ව මස් කරන්න නම් උගේ හම ටිකකින් ගලවන්න ඕනේ. ඒක දෙයියෝ අප්පිරියා වැඩක්. ඌරා පුදුම ගඳයි. කිනිතුල්ලෝ පොකුරු පිටින් ඉන්නේ. ඉතින් ඔය රැවුල කපන රේසර් ටිකක් ගෙනැල්ලා මයිල් ගාන්න ඕන. වැඩේ කියන්නෙ ගාන්න ගාන්න මයිල් ඇදෙනවා. එහෙමයි කියලා නවත්තන්න බෑ. ගාන්නම ඕනේ. ඊළඟට එපාම දේවල් ​ටික අයින් කරලා හොඳ ටික කිලෝ ගාණට දෙනවා. හොඳ එකෙක් නම් එකාගෙන් විසි තිස්දාහක් හොයන්න පුළුවන්. ඌරෙක් එද්දි කැළේ පිඹුරෝ කෙළින් වෙනවා. ඒ ඌරගෙන් බේරෙන්න. මොකද ඌරා වැඩිපුර කන්නේ සර්පයෝ. ඌරෙක් නයි, පොළොංඟු, පිඹුරෝ, ගැඩවිල්ලු ඔක්කෝම කනවා. අර මොකෑ ඉතින් ඌරෝ වෙන තණකොළ කන්නයෑ….’’

මේ කතාව අහද්දි වල් ඌරු මස් රටේ ජනප්‍රියම කෑමක්නේ කියලා මට මතක් වුණා.

මං හොල්මන් අවතාර විශ්වාස කරන්නේ නෑ. ඒත් ඒ ගැන සෑහෙන්න උනන්දුයි. ඔය මහසෝනා කියන යක්ෂයත් ඌරු අවතාරයක් තියෙන අමනුශ්‍යයෙක් කියලා මං අහලා තියෙනවා. ජන සමාජයේ විශ්වාසය නම් රාත්‍රී කාලෙට ඌරු මස් කාලා ගමන් බිමන් යන එක මහසෝනාගේ බැල්මට හසුවෙන වැඩක් කියලයි. මං නිකමට වගේ ඒ ගැනත් ඔහුගෙන් ඇහුවා.

‘‘ඌරයි මහසෝනයි අතරත් මොකක්ද සම්බන්ධයක් තියෙනවලු නේද?’’

‘‘මයේ අප්පා මහසෝනා කියන්නේ ඌරු අවතාරෙකටනේ…’’

‘‘ඔය කතා බොරු වෙන්න ඇති…’’

‘‘ඔච්චර අවිශ්වාස නම් දෙයියෝ ඌරු මස් කාලා රෑ එකොළහට දොළහට තනියම පාරේ බැහැලා ගොහින් බලන්නකෝ. අම්මපා පාර පේන්නේ නෑ. මට එහෙම වෙලා තියෙනවා. සමහරු බය වෙනවා.’’

‘‘මට තව ප්‍රශ්නයක් තියෙනවා.’’

‘‘අර මොකක්ද?’’

‘‘තනි ඌරා අඳුරගන්නේ කොහොමද?’’

‘‘ඔය තනි ඌරෙකුගේ හොම්බේ දිග දළක් තියෙනවා. ඒක ඇනුනොත් දෙයියන්ගේම පිහිටයි. වෙඩි කාගෙන හරි ඉස්සරහට එන එකෙක්. ගොඩාක් වෙලාවට ඌරා පහුබහින්නේම නෑ. ඒකා මිනිස්සුන්ගේ කකුල් දෙකත් අස්සෙන් රිංගලා දළෙන් ගහන්නයි බලන්නේ. යකෙක් වගේ එකෙක්.’’

‘‘මාමට තනියෝ හම්බෙලා නැද්ද?’’

‘‘අප්පේ හම්බෙලා තියෙයි. මං දන්න විජ්ජා එක්ක උන්දැලා කොහෙද මාත් එක්ක ඔට්ටු වෙන්නෙ?’’

තනි ඌරාගේ මේ හයිකාරකම් මැද මට මතක්වුණේ පන්සිය පණස් ජාතක පොතේ එන සූකර ජාතකයයි. ඒ ජාතකේ අස්සේ ඇඟෙන් කෙසේ වෙතත් කටින් හයිකාරකම් පෙන්නපු ඌරෙක් මුණගැහෙනවා. හැබැයි හැමෝටම ඌරෝ එක්ක හැප්පෙන්න බෑ. ඔහු දැනුත් මදුරුවෝ තල තලා හවසට හවසට ගිහින් කැළේ මදු ගහනවා. තුවක්කු බඳිනවා. ඉතින් රෑ වෙඩි සද්දයක් ඇහුණොත් ගොඩ. ඒ නැත්නම් නොකඩවාම මරහඬ දෙන විලාපයක් කෑ ගැහිල්ලක් ඇහුනත් ගොඩ. ඒකට ගමේ ගොඩේ භාෂාවෙන් නම් කියන්නෙ ‘කල්ල මරේ’ කියලා. මං තවත් එක දෙයක් ඔහුගෙන් ඇහුවා.

‘‘බැරිවෙලාවත් මාමා පොඩි පැටියෙක් හම්බුනොත්…?’’

‘‘ගෙනැත් වළකට දාලා ඇති කරනවා.’’

‘‘අර මොකටද?’’

‘‘ලොකු වෙනකල් පැටියට කන්න බොන්න දීලා ඇති කරනවා. ලොකු වුණාම වැඩේ දෙනවා.’’

ඒ කතාව නම් රිස්සුවේ නෑ. ඔහු මයියොක්කා අලයක් කාලා යන්න ඉන්න කිව්වත් මට තවත් ඉන්න හිත දුන්නෑ. මං ඔහුගේ පැල් කොටේට සමුදුන්නා. මං ආපහු එද්දි ඔහු මමත් එක්ක මඟක් දුර ආවා. ඒ එද්දියි ඔහු ඇවිදින හැටි හරියටම දැක්කේ. කියන්න හොඳ නැති වුණත් හරියටම ඌරෙක් වගේ. බෙල්ල කඩන් වැටිලා. මට ඒකටත් උත්තරයක් නොගෙන එන්න හිතුනෙ නෑ.

‘‘දැන් අවුරුදු දෙක තුනක ඉඳන් මෙහෙමයි. මයේ ඔලුව උස්සන්න බෑ. නැමිලාම තමයි තියෙන්නේ. වයසට වෙන්ටෑ. ඉතින් බෙහෙතක් හේතක් ගත්තේ නෑ. ජීවිත කාලෙට මං ඉස්පිරිතාල බෙහෙත් බීලත් නෑ.’’

මං හිතන්නේ ගොනාගේ පස්සෙන් කරත්ත රෝදය එනවා වගේ කරුමය කියන එකත් අපේ පස්සෙන්ම එනවා. ඒක නවත්තන්න ඔබට මට තියා අඩු තරමේ සක්කරයටවත් බෑ.

රුවන් එස්. සෙනවිරත්න