ප්‍රීතිමත් ජීවිතයකට

මොළේ කළඳක්වත් නැතුව Sexy වුණාම විතරක් ඇතිද?

පන්සිය පනස් ජාතක පොතේ උච්චංග ජාතකයේ බොහොම අහිංසක ගැමි පවුලක් ගැන කියැවෙනවා. මේ පවුලේ හිටියේ ස්වාමියා, බිරිඳ, පුතා ඇරුණම බිරිඳගේ මල්ලි විතරයි. මේ හැමෝගෙම ජීවනෝපාය වුණේ කුඹුරු වැඩ. දවසක් මේ බිරිඳ ඔවුන්ගේ දහවල් කෑම වේල පිළියෙල කරගෙන කුඹුරට යනකොට ඇගේ ස්වාමියයි, දරුවයි, මල්ලියි තුන්දෙනාම කුඹුරේ පේන්න ඉඳලා නෑ. අහල පහල උදවියගෙන් අහලා විපරම් කරලා බලද්දි තමයි දැනගන්න ලැබිලා තියෙන්නේ නොකරපු හොරකමකට පටලවලා ඔවුන් තුන්දෙනාවම රාජපුරුෂයෝ ඇවිත් රජමාලිගාවට ඇදගෙන ගිහිල්ලා කියලා. ඒක දැනගත්ත ගමන්ම ඇය කරලා තියෙන්නේ ඇඳගෙන හිටපු ඇඳුම් සේරම ගලවලා කුඹුරට විසිකරලා නිරුවතින්ම රජමාලිගාවට දුවපු එක. ඟේ නූල්පොටක් නැතුව නිර්වස්ත්‍රයෙන්ම කඩාගෙන බිඳගෙන මාලිගාව පැත්තට දුවන මේ කාන්තාව දැකපු රාජපුරුෂයොත් ලැජ්ජාවටම ඇයව වළක්වන්න ගිහිල්ලා නෑ. එහෙමම නිරුවතින් රජා ඉස්සරහට ගියපු ඇය රජතුමාට කිව්වලුරජතුමනි මට ඇඳගන්න පිරිමි ඇඳුමක් දෙන්න කියලා. එතකොට රජතුමා ඇහුවලු ඈ බොල ගෑනියේ උඹට මොකටද පිරිමි ඇඳුමක්?” කියලා. එතකොට අර කාන්තාව පෙරළා රජතුමාගෙන් ඇහුවලුඇයි බොල මෝඩ රජෝ උඹ මාව රකින්න ඉන්න පිරිමි තුන්දෙනාවම උල තියලා මරලා දැම්මට පස්සේ මගේ ආරක්ෂාවට මටමයි පිරිමියෙක් වගේ ඉන්න වෙන්නේ කියලා උඹට තේරෙන්නැද්ද?” කියලා. ඔහොම කිව්වම රජාටත් කටඋත්තර නැති වුණාලු. ඊටපස්සේ රජා කියලා තියෙනවාහරි, එහෙනම් උඹ ඔච්චරටම කියන එකේ මං උඹට උන් තුන්දෙනාගෙන් එකෙක්ව දෙන්න කැමතියි. ඒ නිසා උඹට උන්ගෙන් වැඩිපුරම වටින එකාව තෝරාගනින් කියලා. එතකොට අර කාන්තාව ටික වෙලාවක් කල්පනා කරලා කියලා තියෙනවාඑහෙනම් මට මගේ මල්ලිව දෙන්න කියලා. ඒ කතාව අහපු ගමන් රජා ආයෙත් සැරයක් මහ හයියෙන් හිනාවෙලා ඇහුවලුඈ යෝධියේ උඹට උඹේ මිනිහටයි, ජාතක කරපු පුතාටයි වැඩිය වටින්නේ උඹේ මල්ලිවද?” කියලා. ඊටපස්සේ අර කාන්තාව ගත්කටටම කිව්වලුරජතුමනි මගේ මිනිහා මළොත් මට ඕන වෙලාවක වෙන මිනිහෙක් එක්ක දීග යන්න පුළුවන්. එහෙම ගිහින් ඕනතරම් පුත්තුත් වදාගත්ත හැකී. ඒත් රජතුමනි මගේ අම්මයි තාත්තයි මැරිලා නිසා මට ආපහු කවදාවත් මල්ලි කෙනෙක් ලැබෙන්නේ නැහැ කියලා. ඒ කතාව අහපු රජතුමා රාජාසනයෙන් නැගිටලා ඇගේ බුද්ධිමත්භාවයට සාධුකාර දුන්නලු. මල්ලිව විතරක් නෙවෙයි ස්වාමියාවයි, දරුවවයි තුන්දෙනාවම මරණයෙන් නිදහස් කරලා මුළු ජීවිත කාලයටම ජීවත්වෙන්න ප්‍රමාණවත් වස්තු සම්භාරයක් දුන්නාය කියලත් ජාතක පොතේ සඳහන් වෙනවා.

මේ කතාව සඳහන් කළේ විවාහ ජීවිතේට වගේම අනෙකුත් අවස්ථාවලදිත් කාන්තාවකගේ බුද්ධිමත් බව කොච්චර වටිනවද කියන එක පැහැදිලි කරන්න. හැබැයි අද ගොඩක් කාන්තාවෝ හිතනවා දීගයක් පවත්වාගෙන යන්නයි, පිරිමියෙක් වසඟයට ගන්නයි ගැහැනියෙකුට තියෙන හොඳම ආයුධය ලිංගික ආකර්ෂණය සහ ලිංගිකත්වයට තියෙන හපන්කම කියලා. ඒ නිසාම අද වෙනකොට සැත්කම් ආදියෙන් කාන්තාවන්ගේ අඟපසඟ හැඩකරන රූපලාවණ්‍ය සත්කාර සඳහා ලොකු වෙළඳපොළක් නිර්මාණය වෙලා තියෙන බවක් පේනවා. අතමිට යහමින් මුදල්හදල් තියෙනවා නම් ඕනම කාන්තාවකට එවැනි රූපලාවණ්‍යාගාරයට ගිහිල්ලා එකරැයින් ලස්සන වෙන්නත් පුළුවන්. අද වෙනකොට ගොඩක් කාන්තාවෝ ඒ විදියට තමන්ගේ උකුල, පිටුපස පෙදෙස, පියයුරු අඩු වැඩි කරගන්න ඔය ක්‍රම භාවිතා කරන බව අපිට පේන්න තියෙනවා. හැබැයි එහෙම හැඩ වැඩ දාගත්තත් එදාට සාපේක්ෂව අද දික්කසාදවීම් වැඩිවෙලා කියලයි වාර්ථා වෙන්නේ.

ඒ නිසා දීගයකට වැඩි ආයුෂ තියෙන්න නම් පුරුෂයෙක් තෝරගන්නට ඕන තමන්ගේ ව්‍යවහාරික බුද්ධියට ගැළපෙන කාන්තාවක්ද? එහෙමත් නැත්නම් ලිංගිකත්වයට ගැළපෙන කාන්තාවක්ද? කියන එක පිළිබඳව සංවාදයක් ගොඩනගන්න අපි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය අත්තනායක එම් හේරත් මහතාට කතා කළා.

“සාර්ථක පවුල් ජීවිතයකට ඕන කරන ලොකුම දේ තමයි දෙන්නට දෙන්නා තේරුම්ගැනීම. අන්න ඒ තේරුම්ගැනීමටයි ස්වාමිපුරුෂයෙකුට හොඳ ව්‍යවහාරික බුද්ධියක් තියෙන බිරිඳක් අවශ්‍ය වෙන්නේ. ඒ විදියේ තේරුම්ගැනීමක් තිබ්බොත් තමයි දෙන්නා අතර හොඳ විශ්වාසයක් ගොඩනැගෙන්නේ. එහෙම විශ්වාසයක් තිබුණොත් තමයි ඒ දීගේ දියුණුවක්, සාර්ථකත්වයක් කරා ළඟාවෙන්න පුළුවන් වෙන්නේ. හැබැයි ඒකෙන් මම අදහස් කරන්නේ නෑ පවුල් ජීවිතයකට ලිංගිකත්වය ඕන නෑ කියලා. මම මෙතැනදී තර්ක කරන්නේ මුල්තැන දෙන්න ඕන ඒකට නෙවෙයි කියන එකට. මොකද ලිංගිකත්වය කියන්නෙ සත්තුන්ටත් පොදු දෙයක්. උන් කරන්නෙත් කොහේ හරි ඇවිදලා කෑම ටිකක් හොයන් කාලා ලිංගික කාර්යයේ යෙදිලා මුල්ලක් අල්ලන් නිදාගන්න එක. එතකොට මිනිස්සු වුණ අපිත් දීගයක් කරගන්නේ තියෙන දෙයක් කාලා බීලා ගෙදරට වෙලා ඔය වැඩේ කරගන්න විතරක්ම නම් එතැන කොහෙන්ද ලස්සන පවුල් ජීවිතයක් සහ සාර්ථකත්වයක්? අනික ලිංගිකත්වය මිනිසුන්ගේ සාමාන්‍ය ශාරීරික අවශ්‍යතාවයක් මිස ඒක නැති වුණොත් මුළු පවුල් සංස්ථාවම විනාස වෙනවා කියලා එකක් නෑ.

දැන් කවුරුහරි කෙනෙක් මාත් එක්ක තර්ක කරනවා නම් පිරිමියෙක් කසාද බඳින්න ඕනේ මොනවා නැතත් තමන්ව ලිංගිකව සතුටු කරන්න පුළුවන් ගැහැනියක් කියලා ඒක වැරදියි කියන එකයි මගේ මතය. මොකද ඒක එහෙමනම් පිරිමියෙකුට ලිංගිකව හැසිරෙන්න පුළුවන් තමන්ගෙ ගෙදර ගෑනිත් එක්ක විතරයි කියලාත් නීතියක් තියෙන්න ඕනෙ. තමන්ගේ නෝනා ගෙදර වැඩටයි, ළමයින්ගේ වැඩටයි හිරකරලා පිටස්තර කාන්තාවොත් එක්ක යහන්ගත වෙන මහත්වරුන්ගේ භාර්යාවොන්ට ලිංගික බෙලහීනතාවයද? එහෙම නෑනේ. හැබැයි අද කාලේ ගොඩක් ගෑනු පිරිමි තම තමන්ගේ ගැලවිජ්ජාවට පාවිච්චි කරන හරිම සුන්දර වචන ටිකක් තමයි මිනිස්සු නතරවෙන්න ඕන ජීවිතේ විඳින්න පුළුවන් කෙනා ළඟ කියන එක. හැබැයි ඒ විදියට ගෑනුන්ට මිනිස්සුන්වයි, මිනිස්සුන්ට ගෑනුන්වයි මාරු කර කර යන්න පුළුවන් වුණාට දරුවො මාරු කරන්න පුළුවන්ද?

අන්න ඒ නිසා මම මේ කියන කතාව අහුවෙන තැනින් අල්ලගන්නේ නැතුව හරි තැනින් අල්ලාගන්න. ව්‍යවහාරික බුද්ධියයි, ලිංගිකත්වයයි කියන දෙකම දීගයකට ගැළපිය යුතු පොරොන්දම් දෙකක් වුණාට ඕකෙන් අත්‍යවශ්‍යම පොරොන්දම තමයි බුද්ධි මට්ටම කියන එක. හැබැයි ඒකෙන් කියන්නෙ නෑ කසාදයක් බඳින්න නම් කෙල්ලෙකුට උපාධියක් තියෙන්න ඕන කියලා. අවශ්‍ය වෙන්නේ ජීවත්වෙන්න අවශ්‍ය ව්‍යවහාරික ඥානය. මොකද අර කලින් කියපු උච්චංග ජාතකයේ කාන්තාවට, ඒ වගේම උම්මග්ග ජාතකයේ අමරා දේවියට උපාධි තිබුණේ නෑ.

මේ කතාවේ මුලින් කියලා තියෙන විදියට කවුරුහරි කාන්තාවක් කියනවානම් තමන් සැත්කම් කරලා පියයුරු හදාගත්තෙ, පිටිපස්ස හදාගත්තෙ, අර මාළුන්ගේ කටවල් වගේ ඉලිප්පිලා පේන්න තොල් හදාගත්තෙ ගෙදර මහත්තයා දාලා යයි කියලා බයට නම්, කාර්යාලයේ නෝනලා මහත්තයව වසඟයට ගනී කියලා බයේ නම්, මම කියන්නේ ඒ දීගේ අතෑරලාම දාන්න කියලා.

නිකමට හිතන්න මහෞෂධ කුමාරයා විවාහ කරගත්තු අමරා දේවිය ලස්සන නැති කාන්තාවක් නෙවෙයි. ජාතක පොතේ කියලා තියෙන විදියට අමරා කියන්නේ රූප සම්පත්තියෙන් අගතැන්පත් යුවතියක්. ඒත් මහෞෂධ කුමාරයා ඇගේ රූපෙට විතරක් වහවැටුණේ නෑ. ඇයට තමන්ව තේරුම්ගන්න පුළුවන් හොඳ විචාර බුද්ධියක් තියෙනවද කියලත් හොයලා බැලුවා.

ඊළඟට උච්චංග ජාතකයේ හිටපු බිරින්දෑ ඒ උන්දැගෙ මුළු දරු පවුලම මරණෙන් ගලවගත්තේ හොඳ  බුද්ධියකින් කටයුතු කරපු නිසා. මේ සමාජයේ ජීවත්වෙනකොට ගෑනුන්ට මිනිස්සු එක්කයි, මිනිස්සුන්ට ගෑනු එක්කයි ගනුදෙනු කරන්න සිද්ධ වෙනවා. එතකොට තමයි දෙන්නෙක් අතර තියෙන බුද්ධිමත්භාවය, අන්‍යෝන්‍ය අවබෝධය කොයිතරම් වැදගත්ද කියලා තේරුම්යන්න පටන්ගන්නේ. හැබැයි ශරීර සන්තර්පණය විතරක් දෙන්න පුළුවන් ගැහැනියකුට එදිනෙදා ජීවිතයේදී මූණදෙන්න සිද්ධවෙන ගැටලු නිරාකරණය කරගන්න බුද්ධියක් නොතියෙන්න පුළුවන්.

ඕකට මම මගේම විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙකුට වුණ කතාවක් කියන්නම්.

මේ ළඟදි මම දේශනයකට සහභාගි වෙලා ගෙදර යන ගමන් එළවලු ටිකක් ගන්න එළවලු කඩේකට ගියා. අනේ මම ගියපු හැටියේ කඩේ බිම වාඩිවෙලා එළවලු සුද්ද කර කර හිටපු කොලුගැටයා දණ ගහලා මට වැන්දා. ඒත් එක්කම ඒ දරුවගෙ අම්මත් කඩේ ඇතුළෙ ඉඳගෙන දුවගෙන ඇවිල්ලා ‘අනේ මේ අපේ සර්නේ’ කියලා කතා කළා. ටික වෙලාවක් කතා කරනකොට තමයි මගේ මතකෙට ආවේ ඒ දරුවා උපාධියත් සමත්වෙලා ගුරු පත්වීමකුත් ගත්ත ළමයෙක් නේද කියලා. අන්තිමට මම ඒ ගැන අහනකොට මේ කොල්ලගෙ අම්මා කියාපි ‘අනේ මොන ගුරු පත්වීම්ද සර්. මෙයාගේ නෝනා ඉස්කෝලේ ගුරුවරියො විතරක් නෙවෙයි මෙයාගෙන් ඉගෙනගගත්තු පොඩි ගෑනු දරුවොත් පාවලා දීලා ගෙදර ගහ මරාගන්නවා’ කියලා. ඊටපස්සේ බැරිම තැන මේ කොල්ලා ගුරු පත්වීම දමලා ගහලා ගෙදර උන්දැට පෙනි පෙනී ඉන්න පුළුවන් විදියට එළවලු කඩයක් දාගෙන.

දැන් තේරෙනවද කාන්තාවකට දෙයක් තේරුම්ගන්න පුළුවන් ව්‍යවහාරික බුද්ධියක් තියෙන එක කොයිතරම් වටිනවද කියලා? අර කොල්ලත් ගෙදරට වෙලා එළවලු විකුණ විකුණ අර අපි කලින් කියපු විදියට ලිංගික සතුටක් ලබනවා ඇති. නමුත් ඒ පවුල් ජීවිතයේ දියුණුව, සාර්ථකත්වය එහෙම්පිටින්ම අඩපණ වෙලා. ඒ විතරක් නෙවෙයි ඒ දරුවා ඉගෙනගන්න වෙච්ච මහන්සිය එහෙම්පිටින්ම වතුරේ ගිහිල්ලා.

ඔය වගේම තවත් කතාවක් තියෙනවා. ඒත් මගෙන් ඉගෙනගත්ත දක්ෂ ශිෂ්‍යයෙක්. මේ වෙනකොට ඔහු ප්‍රාදේශීය ලේකම්වරයෙක්. ඒ දරුවා විවාහ වුණෙත් ඉතාමත් ලස්සන ගෑනු දරුවෙක් එක්ක. ගෑනු දරුවා නම් වැඩිපුර අධ්‍යාපනයක් ලබලා තිබුණේ නෑ. මමත් මේ අයගේ විවාහ උත්සවයට ගියා. නමුත් ටික කාලයක් යනකොට අර දරුවා රාජකාරි වැඩකට එළියට ගියත්, ටෙලිෆෝන් කෝල් එකකට කතා කළත් මේ බිරිඳ ගෙදර රණ්ඩු වෙන්න පටන් අරන් තිබුණා. ඔය ප්‍රශ්න කොයිතරම් දුරදිග ගිහිල්ලාද කියනවා නම් සමහර වෙලාවට වැඩ කරලා පොඩ්ඩක් මහන්සියට නින්ද ගියත් ‘තමුසෙ මහ මළපරාණයක් ඕයි’ කියලා මේ බිරිඳ ඔහුට බනින්න පටන් අරන් තියෙනවා. මොකද ඇය හිතන් ඉන්නේ පවුල් ජීවිතය කියන්නේ නිදියහනට සීමාවෙච්ච එකක් කියලා. ඇත්තටම ඔහුගේ බිරිඳටත් ඔහු කරන රැකියාවයි ඒකේ වටපිටාවයි තේරුම්ගන්න පුළුවන් හොඳ ව්‍යවහාරික බුද්ධියක් තිබුණ නම් ඔය විදියේ ප්‍රශ්න ඇතිවෙනවද?

ගොඩක් උදවිය ගෑනුන්ගේ නුවණ තියෙන්නේ හැඳි මිටේ කියලනේ ගෑනුන්ගේ රූපයට ශරීරයට විතරක් මුල්තැන දීලා වැඩ කරන්නේ. අපි කලින් කතා කළා වගේ සමහරක් ගෑනු උදවිය හිතාගෙන ඉන්නෙත් පිරිමියෙක් වසඟයට ගන්න පුළුවන් වෙන්නෙ ඇහැට කනට පේන්න හිටියොත් විතරයි කියලා. හැබැයි ගැහැනියකුට රූපයෙන්, ලිංගික ආකර්ෂණයෙන් පිරිමියෙක් වසඟ කරගන්නවට වඩා, බුද්ධියෙන් වසඟ කරගන්න පුළුවන් කියලාත් ඔප්පු කරලා පෙන්නපු කතා ඉතිහාසයේ තියෙනවා. ජාතක කතා පොතේ අවසානෙට තියෙන දිය රකුසු පැනය කියෙව්වොත් ඒක හොඳටම පැහැදිලි කරගන්න පුළුවන්.

ඒ නිසා මම පුතාලට කියන්න කැමතියි, විවාහවෙන්න සහකාරියක් තෝරාගනිද්දි ලිංගිකත්වය ගැන විතරක් හිතන්න එපා. යම් යම් දේවල් අවබෝධයෙන් තේරුම්ගන්න පුළුවන් බුද්ධියක් තියෙනවද කියලා බලන්න. දුවලටත් මම කියනවා, බියුටි සැලෝන් ගානේ දුව දුවා හැඩ වැඩ දැම්මට කමක් නෑ, හැබැයි ටිකක් පුළුල් විදියට හිතන්න හිත පුරුදු කරන්න. මුලදි ඔය පෙනුමට පිරිමියෙක් ආකර්ෂණය වුණත්, ජීවත්වෙද්දි දේවල් තේරුම්ගන්න පුළුවන් බුද්ධියක් නැත්නම් ඒ විවාහය අසාර්ථකයි. ඒ නිසා මේ කාරණාව ගැහැනු පිරිමි දෙපාර්ශවයටම පොදුයි. නිදි ඇඳේදි සතුටු කරන්න පුළුවන් අයනම් ඉහේ කෙස් ගාණට හොයාගන්න පුළුවන්. හැබැයි හිතේ සැනසීමෙ වැඩක් පළක් කරගෙන ජීවිතේ සාර්ථක කරගන්න උදව් කරන ගැහැනියක්, පිරිමියෙක් හොයාගන්න එකයි අමාරු.”

ලිහිණි මධුෂිකා