විශේෂාංග

අයියාගේ නිදොස් බව ඔප්පු කිරීමට නීතීඥවරියක් වූ වේටර්වරිය

වතුරට වඩා ඝනකම් ‘ලේ’ ය. කොතෙක් ගැටුණ ද ලේ බැඳීම් ඇති සහෝදරයෝ එකිනෙකා වෙනුවෙන් ලෝකයක් සමඟ වුව සටන් කරන්නේ එබැවිනි. බෙටී ඈන් වෝටර්ස් ද තම එකකුස උපන් අයියා වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනී සිටි එවැනි නැගණියකි. කෙනී වෝටර්ස් නම් ඇගේ සොහොයුරා ලෝකයට අනුව දරුණු ඝාතකයෙක් මෙන්ම සොරෙකි. ලෝකයම ඔහුට චෝදනා කරද්දී ඔහු අහිංසකයකු බව පිළිගත්තේ මේ නැගණිය පමණි. ඈ සිය සොයුරාගේ නිර්දෝෂීභාවය වෙනුවෙන් දවසක්, මාසයක් නොව වසර දහඅටක් සටන් කළාය. ඒ වසර දහඅටම ඔහු ජීවත්වූයේ ජීවිතාන්තය තෙක් සිර දඬුවම් නියම වූවෙකු ලෙසින් බන්ධනාගාරගතවය.

සහෝදර සහෝදරියන් නව දෙනෙකුගෙන් යුතු පවුලක දිවි ගෙවූ බෙටීගේ ළමා කාලය කිසිසේත් සුන්දර වූයේ නැත. පියා ඔවුන් ගැන සෙව්වේ නැත. මවද දරුවන් ගැන නොසැලකිලිමත්ය. අසල වත්තක ඇපල් ගෙඩියක් සොරාගැනීමේ සිට ඊට වඩා බරපතළ වැරදි කිරීමටද ඔවුන් පෙළඹුණේ එබැවිනි. ඒ නිසා ඔවුන් වැඩෙන අයුරු දෙමාපියන්ට වඩා දුටුවේ පොලිසියයි.

‘‘අපි සමහර දවස්වලට අසල්වැසි ගෙවල්වලට හොරෙන් රිංගලා පැණි රස කෑම හොරකම් කරනවා. අපේ කුඩා කාලය වල් වැදිලා තිබුණේ.’’ ළමා කාලය ගැන බෙටී මතක් කරන්නේ එලෙසිනි.

උසස් අධ්‍යාපනය කලින්ම අතහරින බෙටී, සොහොයුරා වන කෙනී සමඟ අවන්හලක අර්ධකාලීන සේවයට ගියාය. එහෙත් කෙනීට ටික කලකින් සිය මිත්තණිය රැකබලා ගැනීමට ඔවුන් ඊට පෙර ජීවත් වූ අයර් නගරයට යාමට සිදුවිය. සූපවේදියකු ලෙස අයර්හි අවන්හලක සේවයේ කළ කෙනී එහි ජීවත් වුණේ සිය පෙම්වතිය වූ බ්‍රෙන්ඩා මාෂ් සමඟිනි.

මෙසේ කල්ගත වෙද්දී 1980 මැයි 21 වනදා කැතරියා රීට්ස් බ්‍රෝ නම් කෙනීගේ අසල්වැසි කාන්තාවක් නිවසේදීම ඝාතනයට ලක්වූවාය. ඇගේ මුදල් පසුම්බිය, ආභරණ සහ මුදල් බහා තිබූ කවරයක්ද අතුරුදන්ව තිබිණ. අපරාධ පරීක්ෂකයෝ එම ස්ථානයෙන් හිසකෙස්, රුධිර සාම්පල සහ ඇඟිලි සලකුණු එකතු කරගත්හ. ඝාතනයට යොදාගත් ආයුධයක්ද නිවසේ කසළ බඳුනකින් හමුවිය.

කැතරියා රීට්ස් යනු කෙනී සේවය කළ අවන්හලේ ගනුදෙනුකාරියකි. ඇය සතුව යහමින් මුදල් ඇති බව අවන්හල් සේවකයන්ට රහසක් නොවීය. රීට්ස් වාසය කළේ කෙනීගේ නිවසට යාබදව වීමත් කෙනීගේ පෙර හැසිරීමත් සලකා අයර් පොලිසියේ සැකය කෙනී වෝටර්ස් වෙත යොමු විය. හෙතෙම පොලිස් ප්‍රශ්නකිරීම්වලට මුහුණ දුන්නේය. එහෙත් නිර්දෝෂීභාවය වෙනුවෙන් හොඳම නෛතික සාධකයක් ඔහු සතුවිය. ඒ, අන්‍යස්ථානිකභාවයයි (Principle of Alibi). සිද්ධිය වූ දින රාත්‍රියේ සිට පසුදා උදෑසන 8.30 තෙක් කෙනී අවන්හලේ සේවය කරමින් සිටියේය. ඒ අනුව අපරාධය සිදුවෙද්දී ඔහු සිට ඇත්තේ වෙනත් ස්ථානයකය. ඔහුගේ සිරුරේ හෝ ඇඳුම්වල රුධිර පැල්ලම්, කැපුම් හෝ වෙනත් සැකකටයුතු කිසිවක් නොමැති බව පොලිසිය නිරීක්ෂණය කළේය. කෙනීගේ ඇඟිලි සලකුණු ලබාගත් අතර වැඩිදුර ප්‍රශ්න කෙරිණ. එහෙත් ඔහුට එරෙහිව චෝදනා ගොනු වූයේ නැත.

වසර දෙකකට වැඩි කලක් නඩුව විවෘතව පැවතිණ. 1982 ඔක්තෝබර් මාසයේදී රොබට් ඔස්බෝන් නැමැත්තෙකු කෙනීට විරුද්ධව කටඋත්තරයක් ලබාදීමට අයර් පොලිසිය වෙත පැමිණෙන්නේ මේ අතරය. ඔහු කෙනීගේ කලින් පෙම්වතියව සිටි බ්‍රෙන්ඩා මාෂ්ගේ පෙම්වතාය. කැතරියා රීට්ස් ඝාතනය කළ බවට කෙනී පාපොච්චාරණය කර ඇති බව මාෂ් තමා සමඟ පැවසුවේ යැයි ඔහු පොලිසියට දැනුම් දුන්නේය. ඒ අනුව මාෂ් පොලිසියට කැඳවූ අතර ඇය ඔස්බෝන්ගේ ප්‍රකාශය ප්‍රතික්ෂේප කළාය. එහෙත් පොලිසියේ බිය වැද්දීම් සහ තර්ජන හමුවේ මාෂ්, ඔස්බෝන්ගේ ප්‍රකාශය තහවුරු කිරීමට එකඟ විය. රීට්ස් ඝාතනය වූ දින උදෑසන කෙනී නිවසට පැමිණියේ මුහුණේ සීරීම් සමඟ යැයි ඇය පැවසු​වේ ඉන්පසුය.

මේ අතර කෙනීගේ තවත් පෙම්වතියක වූ රොසැන්නා පෙරී ද පොලිස් ප්‍රශ්න කිරීම්වලට ලක්වූවාය. ඇය පැවසුවේද ඝාතනය පිළිබඳ කිසිඳු තොරතුරක් නොදන්නා බවයි. එහෙත් පොලිසියේ බලපෑම මත ඇයද කෙනීට විරුද්ධව ප්‍රකාශයක් ලබා දුන්නාය.

මෙම ප්‍රකාශ පදනම් කරගනිමින් කෙනීට එරෙහිව මිනීමැරුම් චෝදනා ගොනු කෙරිණ. 1983 මැයි මාසයේ නඩු විභාගය ඇරඹිණ. කෙනී චෝදනාවෙන් බැහැර කිරීමට ඉවහල් වන ඇඟිලි සලකුණු ආදී කිසිවක් නඩු පවරන්නන් වෙත ලබා නොදීමට පොලිසිය වගබලා ගත්තේය. අපරාධ ස්ථානයෙන් හමු වූ කෙස් ගස් තුනක් වින්දිතයාගේ හෝ කෙනීගේ හෝ නොවන බව අධිකරණ වෛද්‍ය විශ්ලේෂකයෝ තහවුරු කළහ. කෙසේ වෙතත් අධිකරණය හමුවේ ඉදිරිපත් වූ කරුණු මත කෙනීව වරදකරු කරමින් 1983 මැයි 11 වනදා ඔහුට ජීවිතාන්තය තෙක් සිර දඬුවම් නියම විය. 1983 සහ 1999 අතර කාලයේදී කෙනී කිහිපවරක් තීන්දුවට එරෙහිව අභියාචනා කළත් ඒවා ප්‍රතික්ෂේප විය. මේ කාලය පුරා ඔහු අතැර නොගිය එකම කෙනා සොයුරිය බෙටී ඈන් ය. ඔහුගේ නිදහසට ඇති මාර්ග ඈ නිරන්තරයෙන් විමසූවාය. දරුවන් දෙදෙනෙකු සමඟ, වේටර්වරියක ලෙස කටුක දිවියක් ගෙවමින් සිටිය ද මොහොතකට හෝ ඈ සිය සොයුරාව මතකයෙන් ඉවත් නොකළාය. ඒ නිසාම නැවතත් උසස් අධ්‍යාපනය ඇරඹූ බෙටී 1986දී නීති විද්‍යාලයට ඇතුළත් වීමටද සුදුසුකම් ලැබුවාය. ඈ නීතීඥවරියක වීමේ එකම අරමුණ වූයේ සොහොයුරා මුදා ගැනීමයි. දරු දෙදෙනා රැකබලා ගැනීම සහ අර්ධකාලීන රැකියාව අතරේ නීතීඥවරියක ලෙස දිවුරුම් දීම තෙක් අතිශය වෙහෙසකර වසර 12 ක් ගෙවා දැමීමට බෙටීට සිදුවිය.

නීතීඥවරියක වීමෙන් පසු බෙටී සිය සොහොයුරාගේ නඩුව මැනවින් අධ්‍යයනය කළාය. ඝාතනය වූ ස්ථානයෙන් සොයාගත් රුධිර සාම්පල DNA පරීක්ෂාවකට ලක් කිරීමට 1999දී ඈ උසාවි නියෝගයක් ලබා ගත්තාය. මේ ආකාරයට 2000 වසරේ දී innocent project සමඟ සම්බන්ධ වූ බෙටී අඛණ්ඩව සිය සොයුරා නිදහස් කරගැනීමේ සටනේ නියැළුණාය. ඈ පෙනී සිටි මතය තහවුරු කරමින් DNA ප්‍රතිඵල අනුව කෙනී නිවැරදිකරු බව තහවුරු විය. වසර 18 ක් නිකරුණේ සිර මැදිරියේ කල් ගෙවූ කෙනී නිදහස ලැබීය.

කෙසේ වෙතත් ඔහුට එරෙහිව තවදුරටත් ක්‍රියා කිරීම නඩු පවරන්නන් අත් නොහළ බැවින් බෙටීගේ සටන නවත්තන්නට නොහැකි විය. ඝාතනය පිළිබඳ පරීක්ෂණ කළ අයර් පොලීසියේ නිලධාරියකු ඊට අදාළ සාක්ෂි සියල්ල විශ්‍රාම යාමේදී නිවසට රැගෙන ගොස් ඇති බව බෙටී සොයා ගත්තාය. ඒවා නැවත ලබාගැනීමට ඈ සමත් වූ අතර, කෙනීගේ සම්පූර්ණ නිදහස ඉන් තහවුරු විය. එමෙන්ම ඔහුට සිදුවූ අසාධාරණය වෙනුවෙන් අයර් පොලිසියෙන් වන්දියක් අයකර ගැනීමටද හැකියාව ලැබිණ.

වේටර්වරියගේ සිට නීතීඥවරියක දක්වා බෙටී ඈන්ගේ ගමන් මග ඇගයීමට ලක්වූයේ ඇය හොලිවුඩයේ වීරවරියක කරමිනි. ඇගේ චරිතය පාදක කර ගනිමින් “Conviction” නමැති චිත්‍රපටයක්ද නිර්මාණය විය.

සිය සොයුරා නිදහස් කරගැනීම වෙනුවෙන්ම නීතීඥවරියක වූ බෙටී ඉන් පසුව කිසි විටෙක සක්‍රීයව නීතීඥ වෘත්තීයේ නිරත වුණේ නැත. එහෙත් ස්වේච්ඡා සේවයේ නිරත වෙමින් දෝෂ සහගත ලෙස සිරගත වූවන් 300 කට ආසන්න පිරිසකගේ නිදහස වෙනුවෙන් ඇය දායක වූවාය.

නිදහස ලැබීමෙන් පසු සතුටින් කාලය ගෙවූ කෙනී 2001 සැප්තැම්බර් 19 වනදා හදිසි අනතුරකින් ජීවිතක්ෂයට පත්විය. එවිට ඔහුට නිදහස ලැබී මාස 06 ක් පමණි.

‘‘ඒ තමයි කෙනීගේ ජීවිතයේ ප්‍රීතිමත්ම මාස හය.’’

ඒ බෙටීගේ අදහසය. සැබෑය. ශාරීරික මානසික නිදහස අහිමිව ගත කරන වසර සියයකට වඩා නිදහසේ ගෙවන එකම දිනය ද වටී.

රෂ්නිකා ලියනගේ