විශේෂාංග

කළු කෙල්ලෙකුට කොල්ලෙක් උවමනා කර තිබේ

නුඹෙ අම්මත් ඉතා කළුයි, නුඹෙ අප්පාත් ඉතා කළුයි, නුඹ නලවන මාත් කළුයි, නුඹ විතරක් තලඑළළුයි කී දරු නැලවිල්ල නුඹ විතරක් සුදුම සුදුයි ලෙස සංශෝධනය වූයේ 70 දශකයෙන් පස්සේය. ඒ නිසා අද කාලේ බඩින් සිටින අම්මලාගේ යහන ඉස්මත්තේ හොඬින් සුදු නෙළුමක් ගත් ඇත්පැටියෙක් මායා දේවියගේ යහන පැදකුණු කරන චිත්‍රයට යටින් බළල් ඇස් ඇති සුදු බෝල පැටියෙක් සිනාසෙන්නේය. ඒ විවෘත ආර්ථිකය අපේ අම්මලාගේ දුඹුරු හීන සුදු පාට කළ නිසාය. දැන් බඩින් සිටින අම්මලා උදේ හවා පතන්නේ එවැනි ශෝභාමත් පැටියෙක් තම කුසින් වදන්නටය.

‘‘අපේ නැන්දා හරිම සුදුයි. එයා බැඳපු මාමාත් සුදුයි. ඒත් ඒ දෙන්නගේ දුව කළුයි. දවස්වල අපේ නෑයන්ට ලොකුම ප්‍රශ්නෙ වුණේ ඒක. හැබැයි බැඳලා එංගලන්තයට ගිය නැන්දලාට අපිට තරම් ඒක ප්‍රශ්නයක් වුණේ නෑ. ඉඳලා හිටලා ලංකාවට ආවාම අපේ නෑයො තාමත් විස්සෝප වෙන්නේ සුදු අම්මා අප්පාගෙ දුව කළු වීම ගැන.’’

මගේ මිතුරියගේ එංගලන්තයේ සිටින නැන්දාට දුවගේ පාට ප්‍රශ්නයක් නොවුණාට ලංකාවේ අම්මලාට කළු දුවලා ප්‍රශ්නයක්ය. දුවගේ කළුව අම්මාට ප්‍රශ්නයක් වන්නේ ඒ දුව දීග දෙන දාටය. කළු අම්මා අප්පාගේ කළු කොල්ලෝ කරකාරෙට හොයන්නේ පොත්ත සුදු කෙල්ලන්ය. උපාධි පිට උපාධි ගැහුවත්, චරිතය කිරෙන් හේදුවත් පොත්තේ සුද නැත්නම් විවාහයේදී කළු කෙල්ලන්ගේ ලංසුව අඩුය.

ඒත් අද කාලේ කෙල්ලගේ කළුව ගැන අම්මලා විස්සෝප නොවිය යුතුය. ඒ කළු කෙල්ලන් සුදු කරනා බෙහෙත් ලංකාවේ එමට ඇති නිසාය. එබැවින් අද මෙරට බහුතරයක් කෙල්ලන්ගේ උපත් පාට තළෙළු වන්නේ සෞඛ්‍ය වර්ධන සටහන් පොතේ පමණක්ය.

ලංකාවේ ගැහැනු සුදු වෙන්න දත කෑවේ සුද්දා රටින් ගියාට පස්සේය. සුදු මහත්වරුන්ගේ කෙසඟ සුදු නෝනලා ඔවුන්‌ගේ ක්‍රමයට ඇඳි මහ විසාල බාච්චු ඇඳුම් අපේ පිරුණු ශරීර ඇති නෝනලා ඇන්දේ සුද්දාගේ ගෑනුන්ට නොදෙවෙනි වන්නටය. ඒ් නෝනලා මේස් සපත්තු දමද්දී අපේ නෝනලාත් මේස් සපත්තු දමාගෙන රුවිතෙට ඇවිද්දේය. ඒ නෝනලාගේ හැමදේම අඩුවක් නැතුව ගත් අපේ නෝනලාට බැරි වූයේ ඔවුන්ගේ පාට ගන්නටය.

සුදු නෝනලා ගොඩබහින්නට පෙරත් අපේ නෝනලා රූපය ගැන හිතුවේය. මධුරා පුරයේ රුවැත්තියෝ කස්තුරි කහ උලා කිරෙන් නා අඳුන් ගා හැඩ වූවෝය. ඒ ඇත්තියන්ට නොදෙවෙනි වෙන්නට අපේ ඇත්තියන්ගේ දුඹුරු හමත් මේ මහ පොළොවේ වැවෙන කොහොඹ, කෝමාරිකා, වෙනිවැල් සමඟ හරි හරියට අඩව් කස්තිරම් ඇල්ලුවේය. සුදු වෙන්න ආසාවෙන් හිටපු ගෑනුන්ට ජාතික පුවත්පතක් ඉනිමං බැන්දේය. පුවත්පතේ පළවූ වෙද මහතෙකුගේ වට්ටෝරුවකට සෑදූ වදකහ පානය මාත්‍රාව දෙගුණ තෙගුණ කර ගෙදර ඇත්තියෝ ළමයින්ටත් පොවා තමනුත් බිව්වේ ඉක්මනින් සුදු වෙන්නය. එදා රෝහල් පිරී ගියේ වදකහ බීපු ගෑනුන්ගෙන් හා ළමයින්ගෙන්ය. ඒ සිදුවීම වී වසර 76ක් ගත වී තිබුණද අපේ ගෑනු පාඩමක් ඉගෙන නොගත්තේය.

ජේ.ආර්ගේ විවෘත ආර්ථිකය සුදු වෙන්නට දත කන නෝනලාට ආශිර්වාදයක් වූයේය. කොම්පැණිකාරයා පළමු නිලය ඇල්ලුවේ වෙළෙඳ කලාපයේ නියෝන් එළිය මිස ඉරඑළිය නොදකින ගමෙන් වෙළෙඳ කලාපයට ආ කෙල්ලන්ගේය. සුදුවෙන ක්‍රීම් ගා බන්දුල පද්මකුමාරගේ කුමරි පත්තරේ හා සුජීව ප්‍රසන්න ආරච්චිගේ ආදර කතා කියවා ඒ කෙල්ලෝ සැනහුනෝය. කලාපයේ කෙල්ලන්ගේ සුදු වන ක්‍රීම් වර්ගය තත්ත්වය තරාතිරම අනුව මධ්‍යම පාන්තික කෙල්ලන්ගේ හා කුරුඳුවත්තේ කෙල්ලන්ගේ කණ්ණාඩි මේසය උඩ වැජඹුණේය.

‘‘මේ වයිට්නින් ක්‍රීම් එක තමයි ………….. හාමුදුරුවොත් ගාන්නේ. උන්වහන්සේට ක්‍රීම් සප්ලයි කරන්නෙත් අපිට ක්‍රීම් ගේන මල්ලිමයි.’’

ඒ මීට අවුරුදු අට නවයකට කලින් රු.3500කට විදේශයෙන් ගෙනැවිත් කලවම්කර දෙන වයිට්නින් ක්‍රීම් එකක් මගේ මිතුරියගේ ඇඟේ ගසන්නට දත කෑ සැලෝන් එකේ අක්කා කෙනෙක් කී කතාවක්ය. වයිට්නින් ක්‍රීම් උන්මාදය ඒ තරම් ප්‍රබලය. සැලෝන් එකේ අක්කා කී පරිදි උන්වහන්සේ ‍රූපවාහිනියේ පිං පාටට බැබළෙන්නේ වයිට්නින් ක්‍රීම් අනුහසින්ය. ක්‍රීම් පෙති වී, පෙති ඉන්ජෙක්ෂන් වී දැන් අපේ දුඹුරු ළමිස්සියෝ සුදට දිලෙන්නෝය. ඉස්සර සිටියේ රන් මැණිකෙලාය. අද ගමේ නගරේ ගෙවල්වල ඉන්නේ සුදු මැණිකෙලාය. අම්මාට පාට අඩු දුවත් සුදු මැණිකේය. නැත්නම් සුදු නෝනාය. ඒ අම්මාගේ ආදරේ සුදය. ඇටෙන් පොත්තෙන් එළියට මේ දුඹුරු හම ඇති සුදු නෝනලා, සුදු මැණිකෙලා සුදු වන්නට දහදුක් විඳින්නීය. සල්ලි මිටි ගණන් පුදන්නීය. මේ දූවරුන්ගේ හිතැඟි හදුනාගන්නේ බහුජාතික සමාගම් හා හන්දියක් ගානේ ඇරෙන සැලෝන්වල හිමිකරුවන් හා හිමිකාරියන්ය. සැලොන්වල මැරී ඇඳ වැටුණත්, සමේ පිළිකා හැදුනත් අපේ කෙල්ලන් සුදු වන ආසාව අත නොහරින්නේය.

අපේ කෙල්ලෝ පොත්ත සුදු කරගන්න දඟලද්දී ඉන්දියන් සාගරයට එහා ඉසව්වේ දුඹුරු හමට ඇත්තේ පුදුමාකාර ඉල්ලුමක්ය. දුඹුරු හම ගැන අපේ කෙල්ලෝ විස්සෝප වෙද්දී කරදිය ගැඹුරින් එපිට කළු කෙල්ලෝ සුදු හම් ඇති උන් සමඟ ජල්ලි අල්ලා කළු හමට තැනක් ගෙන දුන්නෝය. ඒ කළු කෙල්ලෝ කොල්ලෝ කළු හමට බයෙන් මයිකල් ජැක්සන් ගිය පාරේ නොගියේය. එහි ප්‍රතිඵලයක් ලෙස 2019 වර්ෂයේ ලෝක රූ රැජිනත්, විශ්ව රූ රැජිනත් වූයේ කළු කෙල්ලන්ය. ඒ ටෝනි ඈන් සහ සොසිබිනි ටුන්සිය. 2021 ලෝක රූ රැජන තරඟයේ අනුශූරතාවය හිමි වුණේ අපේ දුඹුරු ළමිස්සියකටය. ඇය අපණ්ණකාය. සුදු හමට වඩා දැන් කළු හම හරි ගණන්ය. ඒත් අපේ කෙල්ලන්ට කළු දුඹුරු හම වහ කඳුරුය. අපේ කෙල්ලන්ට සුදු හමේ ආදර්ශ සපයන්නේ උදේ හවා රූපවාහිනියේ බබළන නිළි කෙල්ලෝය. දුඹුරු හමෙන් පළවෙනි ටෙලි නාට්‍ය රඟපාන කෙල්ල දෙවනි නාට්‍යයේදී පට්ට සුදුය. කළුවට සිටි නළු මල්ලිලාත් පාට ගසා එන්නේ ලයිට් එළියටම නොවේ. මේවා දේව රහසක් වූයේ සමාජ මාධ්‍ය එන්නට පෙරය. කළු නළු නිළි නංගිලා මල්ලිලා සුදු වුණ හැටි ඔවුන්ටත් වඩා දන්නේ ඔවුන්ගේ පැටිකිරිය දන්නා උදවියය.

‘‘කෙල්ල පළවෙනි නාට්‍ය රඟපාන කොට කළුයි. කළුයි කිව්වට තළෙළුයි. ඒත් ‍ෆීචර්ස් මාර ලස්සනයි. ඒ නිසා ඒ පාට කැමරාවට හරි ලස්සනයි. ඒ කෙල්ලගේ දෙවනි නාට්‍යයත් කැමරා කළේ මම. මට ඇස් අදහා ගන්න බැරි වුණා කෙල්ල පාට වැටිලා තිබුණ විදියට. අනේ ඒ වුණාට තිබුණ පාට කොච්චර හොඳද කියලා හිතුනෙ කැමරාවෙන් එයාගෙ මූණ දකිද්දි.’’

පොත්තේ සුද ගැන හිතා ජීවිතය කළු කර ගැනීම මෝ‍ඩකමක් බව මේ කෙල්ලන්ට වැටහෙන විට කෝච්චිය ගිහින් අවසානය. එකම පවුලක අක්කා නගෝ දෙපාටක් වන්නේ ජානවල වැරැද්දක් නිසා මිස කෙල්ලන්ගේ වරදක් නිසා නොවේය. දුඹුරු හම, අඳුරු ඇස්, කළු කෙහෙරැලි හෙළ ගැහැනු, මිනිස්සුන්ගේ අනන්‍යතාවයයි. ඒ අනන්‍යතාව කැඩී බිඳී ගියේ ද අතීතයේ උන් අම්මලා නිසාය.

අතීත හෙළයෝ යක්කුන්ය. නැත්නම් නාගයින්ය. යක්ඛ, නාග, ගැහැනු කළුය. මිටිය. පිරිපුන්ය. යක්ඛ, නාග පිරිමින් ද එසේය. වර්ණය කාල වර්ණයයි. සෝමාරි ගැහැනු පිරිමින්ට වඩා ඒ ගැහැනු පිරිමි ශක්තිවන්ය. විජය නොසන්ඩාලයෙක් වුණත් වංශය සූර්යය. සිංහයෙක්ට පෙම් බැඳි රන් රුවක් වන් සුප්පා නොසන්ඩාලයාගේ මිත්තනියයි. එක කුස උපන් සහෝදරිය අඹුකමට ගත් පියා මැරූ සිංහබාහු මේ දාමරිකයාගේ පියාය. සිංහබාහු පුතු රටින් පිටුවහල් කළේ මරන්නට බැරිකමටය. වංශක්කාර භාරතීයයෝ පාටය. ඒ උන්ගේ රටේ පිහිටීම අනුවය. තම වර්ගයාගෙන් කොන් වූ යක්ඛ ගැහැනිය රැවටෙන්නට ඇත්තේ ඒ නොසන්ඩාලයාගේ පාටටය. හමේ පාට හිතේ නොතිබුණ බව සනාථ කළේ උගේ කෙරුවාවය. පැටව් දෙන්නෙකුත් බඩට දුන් පසු නොසන්ඩාලයාට දුඹුරු යක්ඛ ගැහැනිය මදි වුණේය. මදුරාවේ පඩි රජුගේ දූ කුමරිය සහේට ගත්තේ කුලය සම නිසාය. විජය පමණක් නොව සිංහල රාජාවලියේ බොහෝ රජුන් රන් රුවැති මදුරා පුරයේ කුමරියෝ සහේට ගෙනාවේ රාජාභිෂේකයටය. ඒ ගෙනා රන්දෝලිලා බොහොමයක් වඳය. රජවරු පියවරු කළේ රන් දෝලියක් වන්නට පිං නැති එහෙත් යකඩ දෝලි වූ හෙළ ගැහැනුන්ය. හෙළ ගැහැනුන්ගේ කුසෙන් වැදූ පැටව් රජ පැටව් නොවුණේ උභය කුල පාරිශුද්ධිය නැති නිසාය. භාරතයෙන් ආ රන් දෝලිලා රන් පාටය. යකඩ දෝලිලා දුඹුරු පාටය. රන් දුඹුරු පාට එකට මිශ්‍ර වූයේ භාරතයෙන් ආව කුමාරයන්ට භාරත කුමරියන් පමණක් නොසෑහුණ නිසාය. පාට වැඩි උන් රන් වෙද්දී, පාට අඩු උන් කටවහරට කළු විය. රාජමාලිගයෙන් පිටතත් රන් මැණිකලා, රන් බණ්ඩලා, කළු මැණිකලා, කළු බණ්ඩලා සිටියේය. ගැමුණු කුමාරයා වහ වැටුණේත් කළු මැණිකා හා රන් මැණිකාටය. අක්කා නගෝ දෙන්නාම සහේට ගන්නට බැරිකමට ගැමුණු කුමාරයා සහේට ගත්තේ රන් මැණිකාය. සාලියටත්, සාලියගේ අම්මාටත් සිංහල රාජවංශයේ තැනක් නොලැබුණේ හමේ පාට ප්‍රශ්නයක් වූ නිසා නොව සාලියගේ උපත උභයකුල පාරිශුද්ධ නොවූ නිසාය.

යක්ක හා නාග ලේ භාරත සූරිය වංශික ලේ සමඟ කවලම් වූයේ ඒ ලෙසය. රාජ බිසෝවරු සමඟ පැමිණි පරිවාරයේ ඇත්තෝත් ලංකාවේ බින්න බැස්සේ දුඹුරු ළමිස්සියන් සහේට අරගෙනය. රජවරුන්ගේ අවශ්‍යතා ඉටු කරන්නට, රාජ්‍ය සම්බන්ධතා තර කරන්නට එක එක කාලයට තම්බපණ්ණියට ගොඩ බට ඇත්තන්ගේ දරුවන්ට සුව යහනක් වූයේ අපේ දුඹුරු ළමිස්සියන්ගේ කුසය. සේද මාවතේ කුරුඳු සුවඳට ඉව අල්ලමින් පැමිණි චීන, යෝනක, හා හම්බ වෙළෙන්දන් ද දුඹුරු ළමිස්සියන්ට ඉව කළ බවට අතීත සාක්ෂි අපමණය. චීනා අපට දුන්නේ මුක්කන් නාහෙ හා හීන් ඇස්ය. හම්බයන්ගේ හමේ පාට අපේ දුඹුරු හම පාට කළේය. කුරුඳු ඇතුළු කුළුබඩු, මුතුමැණික් ඇත්දල සමඟ නැව් නග්ගා ඒ ඇත්තෝ තම්බපණ්ණියේ නතර වූයේ උන්ගේ පැටවුන්ට ඇති ලේ කැක්කුමටය. පරංගියා, ලංසියා වගේම සුද්දාත් හෙළ දිවට ආවේ පොළොවේ සාරය උරා ගන්නටය. ඉර අව්වට දිස්නෙ දෙන දුඹුරු හමත්, මසින් පිරුණු පුළුලුකුලත්, හංසයන් සදිසි පුන් පියවුරුත්, මිටින් ගත හැකි සිහිනිඟත්, පිරුණු කලවාත් තඹ කෙස් ඇති සුද්දාගේ මෙන්ම බළල් ඇස් ඇති පරංගියාගේත්, කැරපොතු සුද ඇති ලංසියාගේත් හිත් නලවා සැනසුවේය. වහල්කමට ආ කාපිරියා රට අතහැර ගියේ උන් විසූ පැතිවල පොකුටු කොණ්ඩ, බරි තොල් හා කළු හම් ඇති ජාන වපුරමින්ය. එබැවින් රාවණලා, මණිනාගලා රැකගත් හෙළයේ දුඹුරු හමේ අනන්‍යතාව බිඳී ගියේ සූර්ය වංශික භාරත දාමරිකයාට රැවටුණු වැදි පරපුරේ ලොකු අම්මිලා ඇත්තියගේ අඩිපාරේ ගිය යක්ක, නාග දූවරු නිසාය.

හෙළ දූවරුන්ගේ දුඹුරු හමට ලොබ බැන්ද කලාකාමියෝ ද එමටය. කරදිය සුළඟ විඳ පොල් රුප්පා අතරින් පේන දුඹුරු ගැහැනුන් කලාකාමී සිත මන්මත් කළේය. දුඹුරු ගැහැනුන්ගේ මනස්කාන්ත රුව රුසියන් ගත් කතුවර ඇන්ටන් චෙකෝෆ්ට ලංකාව පාරාදීසයක් කළේය. සඳඑළියෙන් බැබළෙන පොල් රුප්පාවකදී දුඹුරු ළඳක හා පෙම් කෙළින්නටත්, ඇයගේ කුස තමන්ගේ දරුපැටියෙකුට සයනයක් කරන්නටත් චෙකෝෆ්ගේ යටි හිත ආසාවෙන් දැඟලුවේය. යටිහිතේ උන් වනචාරියාට හිටවා පස් ගැසුවේ උඩු හිතය. චෙකෝෆ් හිතට විලංගු දාගත්තද පැබ්ලෝ නෙරූඩාගේ සීලය දුඹුරු හම අභිමුවේ බිඳී ගියේය.

නෙරූඩාගේ සීලය බිඳුණේ සක්කිලි ගැහැනියක් ඉදිරියේය. කැරපොතු සුද ඇති ගැහැනුන් පිරි මැද්දේ ඔහුගේ කවි සිතය. කළු සක්කිලි ගැහැනිය පිරිමැද්දේ ඔහුගේ යටිහිතය. පිරුණු පයෝධර, පුළුලුකුල, කළු හම, ලොවක් කවියෙන් වසඟ කළ පැබ්ලෝ නෙරූඩා පිස්සු වැට්ටුවේය. කෙල්ල කළුය. එහෙත් චිලියානු නෙරූඩාට ඇය ඉන්දියානු දේව ප්‍රතිමාවක්ය. කළු කෙල්ල රැකියාවට සක්කිලිය. රට්ටු කියන විදියට ඒ කෙල්ලට සක්කිලි වැඩක් කළේ නෙරූඩාය. ඒ 1929 දීය. නෙරූඩා දපනේ වැටුණේ දමිල කළු කෙල්ලකටය. හිතේ නලියන ආසාවට පාට මිස ජාතිය ජන්මය අදාළ නැති බව තවදුරටත් තහවුරු කළේ කිවිවර හිත් ඇති නෙරූඩාය.

කළු කෙල්ලන් ගැන කවි සිතුවිලි පහල වූ අය සිටියේ දශක කීපයකට එහාය. හේම ශ්‍රී අල්විස් ඔබ සොයනා කළු කෙල්ල ගැන ගී ලිව්වේ එකල ජනප්‍රිය ත්‍රී සිස්ටර්ලාටය. කළු කෙල්ලන්ගේ හැඩ ලොස් ෆ්ලෙමෙන්කොස් කණ්ඩායම ද දැක්කේය. සුදු කෙල්ලන්ට වඩා කළු කෙල්ලන් පිං පාටයි කිව්වේ ඒ නිසාය. කළු කෙල්ලන්ටත් සුදූ කියන තාත්තලා අතරේ ක්ලැරන්ස් අමිලා දුවට කළුපාට දූ යැයි කිව්වේය. ඩෝල්ටන් අල්විස් නයන කලූ ඔබ මගේ කලූ යැයි ලිව්වේ මිතුරාගේ පෙම්වතියටය. ඩෝල්ටන්ගේ ඒ මිතුරා ගුණදාස කපුගේ ය. කපුගේ ගීතවත් කර ගැයුවේ බණ්ඩාර ආතාවුද ය. තම පෙම්වතාත් ඔහුගේ මිතුරනුත් එක්වී දුන් ත්‍යාගය ඒ නයන කලූගේ හදගැඹුරේම පැළපදියම් වූයේය. කාලයක් පද රචකයන්ටත්, ගායකයන්ටත් අමතක වූ කළු ‍එහෙමත් නැත්නම් අපේ දුඹුරු ළමිස්සියන් මතක් වූයේ රනුක ජීවන්තටය.

එදා සොඳුරු හිතැත්තී

වුණා කඳුුළු දනන්නී

නුරා ආල පුරන්නී

මගේ දුඹුරු ළමිස්සී

රනුකගේ දුඹුරු ළමිස්සී ගැන ගැයුවේ ඉන්දික රුවන්ය. විසාකේස චන්ද්‍රසේකරන් කොළඹ සරසවියේ කථීකාචාර්යවරයෙක්ය. නිර්මාණකරුවෙක්ය. අමුතු ඇහැකින් ලෝකය දකින හේ අපේ පැටිකිරිය දිග ඇරියේ මෙසේය. ඒ පැටිකිරිය ගැන ගයන්නී සෙව්වන්දි අබේවික්‍රමය. කාගෙ කාගෙත් කිල්ලෝටවල හුණු ටික ටික ඇත්තේය. ඒ නිසා පත්තිනි සළුවල ඇත්තුත්තිරි ගලවන්නට යක්ඛ නාග අපි දැන් ප්‍රමාද වැඩිය.

නුඹේ අම්මාත් ඉතා කළුයි

නුඹේ අප්පත් ඉතා කළුයි

නුඹ විතරක් තලඑළළුයි

නුඹේ සීයා ටිකක් සුදුයි

මගෙ හිච්චී පැටියා හිනැහෙනවා

දුඹුරු ඇස් දෙකම නලවා

බළල් ඇස් කොහෙන් ආවේ අසයි ගමේ උන්

මට නොකියා කියන්නේ ඔය මන් දහදුරාවේ ගියා කියා

උන්ගේ කටට සහගහපන් නොසන්ඩාල දේ කීවට

අර නොන්චිගේ කළු කෙල්ල ගෙනා

ශුද්ධ වෙන්න සුදු අදුනා

සුදු වෙන්න කියා උදේ හවා ඒවා උලන්නෙ

වංශේ කබල් ගාන ගමන් ශුද්ධ පැටිකිරිය මිරිකා

ලංසි වාසගම් ඇති උප්පැන්න කොලෙත් කටු ගාතෙයි

ඔය රාජ රාජ කාලේ ඉඳලා මෙහේ ආ පිටරැටියෝ

අපේ ගෑනු දැකලා වහ වැටුනේ නැද්ද කියාපන්

ඔය චීන ඉන්දියන් යෝනක කාපිරි සහ හම්බ පැටව්

දාල යන්න බැරි හින්දා බින්න බහින්න ඇති නොවේ

අර හීනි වළළු කර වැද්දාගේ

තඹ පැහැ කෙස් ගස් සුද්දගෙ

බොකුටු කොණ්ඩෙ කාපිරියගේ

කැරපොතු ඇස් පරංගියගේ

චීනගේ මොක්කන් නාසය හම්බයන්ගේ හමේ පැහැය

සේරම කලවන් වී හැදි සාම්බාරේ අපූරූය

සිංහබාහුගේ කේසර කොහෙද කියාපන් මල්ලියේ

කොටියාගේ වලිගේ දෙකකුල් අස්සේ බලාපන්

වඳුරට නෑකම් කී අපේ මී මුත්තගේ පනත්තාගේ

නමට නිගරු නොකර ඉදින් මොඩ කතා පටබඳිමින්

නුඹේ අම්මාත් ඉතා කළුයි

නුඹේ අප්පත් ඉතා කළුයි

නුඹ විතරක් තලඑළළුයි

නුඹේ සීයා ටිකක් සුදුයි

නුඹේ මුත්තා තවත් සුදුයි

කිරිඅත්‍තා ගොඩක් සුදුයි

සුදු සියා සුදුම සුදුයි

 

හිමේෂා සවන්තී රාජපක්ෂ