Latest News

මේවා කියලා දෙන්න ලැජ්ජා වෙන්න එපා. දරුවෙක් අපයෝජනය වුණොත් විඳින්න වෙන පීඩාව ඒ ලැජ්ජාවට වඩා ලොකුයි

ගෙවුණු වසර තුන තුළදී මහනුවර කොට්ඨාසයේ පොලිස් බල ප්‍රදේශ 17 තුළ වයස අවුරුදු 16ට අඩු දැරියන් 132ක් අපයෝජනයට ලක්ව ඇති බවත්, පොලිසියට වාර්තා නොවුණු සිදුවීම්ද සැළකීමේදි මේ අගය ඉහළ යනු ඇති බවත් පසුගියදා මාධ්‍යයට ප්‍රකාශ කළේ මහනුවර ජාතික රෝහලේ නීති වෛද්‍ය නිලධාරී, වෛද්‍ය පාලිත බණ්ඩාර සුබසිංහ මහතායි. එහිදී ඔහු පැවසූ සුවිශේෂීම කාරණාව අපයෝජනයට ලක්වූ බාලවයස්කාර දැරියන් අතරින් 117ක්ම සිය කැමැත්තෙන් අපයෝජනය වී ඇති බවයි. ඒ කතාව සුළුවෙන් තැකිය හැක්කක් නොවන නිසා ඒ පිළිබඳව වැඩි තොරතුරු විමසීමට අප ඔහුව සම්බන්ධ කරගතිමු.

 

*ගෙවුණු වසර තුනේදී මහනුවර කොට්ඨාසයේ පොලිස් බල ප්‍රදේශ 17ක වයස අවුරුදු 16ට අඩු දැරියන් 132ක් අපයෝජනයට ලක්වෙලා කියන කතාව ඇත්තක්ද?

ඔව්. මං ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ‘අපරාධ විද්‍යාව සහ අපරාධ යුක්තිය’ පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමා එකක් කළා. ඒකට අදාළව මට ස්වාධීන පර්යේෂණයක් කරන්න වුණා. වයස අවුරුදු 14 – 16ත් අතර වයසේ පාසල් දරු දැරියන්ගේ ස්ත්‍රී දූෂණ සහ ලිංගිකත්වයට අදාළ නීතිරීති පිළිබඳව ඇති දැනුම ගැනයි මම එතැනදි රිසර්ච් කළේ. එතැනදි මට මං ඉන්න මහනුවර ප්‍රදේශයට අදාළව පසුගිය වසර කිහිපය තුළ සිද්ධවුණු ස්ත්‍රී දූෂණවල සංඛ්‍යා ලේඛනයක් ගත්තා. ඒ ගත්තේ මහනුවර පොලිස් කොට්ඨාසයේ නිල කාර්යංශයෙන්. ඒක බලලා තමයි මං ඒ කතාව කිව්වේ. හැබැයි ඉතින් පොලිස් පොත්වල නොලියැවුණු සිදුවීම් ගත්තම ඔය ගණන ඊට වැඩි වෙන්න පුළුවන්.

 

*ඒ දැරියන් 132ක අතරින් 117ක්ම අපයෝජනය ලක්වෙලා තියෙන්නේ සිය කැමැත්තෙන් කියලාත් ඔබ කියනවා?

ශ්‍රී ලංකා දණ්ඩනීති සංග්‍රහයේ 363 (ඊ) වගන්තියේ පැහැදිලිව සඳහන් වෙනවා පිරිමි පුද්ගලයෙක් වයස අවුරුදු 16ට අඩු ගැහැනු ළමයෙක් සමඟ ඇයගේ කැමැත්ත ඇතුව හෝ නැතුව ලිංගිකව එකතුවීම ස්ත්‍රී දූෂණයක් කියලා. ඒ වයසේ දැරියන් සිය කැමැත්තෙන්ම අපයෝජනය ලක්වෙලා තියෙන්නේ වැඩිමල් අය එක්ක පවත්වගෙන ගිය ප්‍රේම සම්බන්ධතාවල ප්‍රතිඵලයක් විදියට. එහෙම වුණු දැරියන් අතරින් බොහෝමයක් කියන්නේ එයාලා අදාළ තරුණයා එක්ක විවාහවීමේ අරමුණින් සිය කැමැත්තෙන්ම ලිංගිකව එකතුවුණා කියලා. හැබැයි කැමැත්තෙන් කළත් වයස අවුරුදු 16ට අඩු නිසා ඒක දණ්ඩ නීති සංග්‍රහයේ එන විදියට ස්ත්‍රී දූෂණයක්. 

 

*ඒ ඒ වසරවලට අදාළව ඒක අපට පැහැදිලි කරන්න පුළුවන්ද?

2020 අවුරුද්ද තුළ 57ක් අපයෝජනය වෙලා තියෙනවා. එයින් දරුවො 51ක් අපයෝජනය වෙලා තියෙන්නේ කැමැත්තෙන්. එතකොට 2021 අවුරුද්දේ 39ක් අපයෝජනය වෙලා එයින් 36කුත්, 2022 අවුරුද්දේ 36ක් අපයෝජනය වෙලා එයින් 31කුත් සිය කැමැත්තෙන් එයට සහභාගි වෙලා තියෙනවා. මුළු ලංකාවේ ගත්තොත් 2018 අවුරුද්ද තුළ දැරියන් 1444ක් අපයෝජනය වෙලා එයින් 1196කුත්, 2019 අවුරුද්දේ අපයෝජනය වුණු 1490ක් 1185කුත්, 2020 අවුරුද්දේ දරුවො 1653න් එයින් 1292කුත්, 2021 අවුරුද්දේ 1720න් 1382කුත් කැමැත්තෙන්ම අපයෝජනය වෙලා තියෙනවා. එහෙම බැලුවම අපේ රටේ අපයෝජනය වෙන දැරියන්ගෙන් 75%ක් විතර අපයෝජනය වෙන්නේ ස්ව කැමැත්තෙන්.

 

*මෙහෙම වෙන්න මූලික හේතුව හරිහමන් ලිංගික අධ්‍යාපනයක් නැතිකම නේද?

ඔව්. ප්‍රධාන හේතුව ඒක. මං මගේ වැඩේට අදාළව විවිධ ජාතීන්වල වයස 14 -16 පසුවෙන පාසල් දැරියන් 72ක් ආශ්‍රයෙන් ලිංගික දැනුම සම්බන්ධ සමීක්ෂණයක් කළා. ඔවුන්ගේ ලිංගික දැනුම හොඳ මට්ටමක තිබුණෙ නෑ. ඒ 72න් විවාහවෙන වයස අවුරුදු 18 කියලා දැනගෙන හිටියේ ළමයි 42යි. ලිංගික සංසර්ගයට කැමැත්ත පලකිරීමේ වයස අවුරුදු 16 කියලා දැනගෙන හිටියේ ළමයි 2යි. ස්ත්‍රී දූෂණයක් කියන එකේ තේරුම දැනගෙන හිටියේ 12යි. ස්ත්‍රී දූෂණයකට දෙන දඬුවම අවුරුදු 7 – 12 දක්වා බරපතළ වැඩ සහිත සිරදඬුවම් කියන එක දැනගෙන හිටියේ 53යි. ඉතින් බලන්නකෝ ඒ ගොල්ලන්ට අදාළව තියෙන නීති එයාලා දන්නේ නැත්නම් ඒ අය ආරක්ෂා වෙන්නෙ කොහොමද? ළමා කාලය ඉවර වුණාම ඒවා දැනගෙන වැඩක් නෑනේ. මේක අපේ රටේ අධ්‍යාපන ක්‍රමයේ අවුලක්. ලෝකයේ වෙනත් රටවල පොඩි පන්තිවල ඉඳන්ම පාසල් පොත්වල ලිංගික අධ්‍යාපනය ගැන පාඩම් තියෙනවා. කඩ ඉරි සහිත කාටුන් චිත්‍රවලින් ඒවා පැහැදිලි කරලා දෙනවා. පොඩි කාලේ ඒවා දැනගත්තා කියලා බයවෙන්න දෙයක් නෑ. මොකද නිසි වයසේ හෝමෝන වැඩ කරනකල් කිසිම විදියකට දරුවන්ට ලිංගික උත්තේජනයක් ඇතිවෙන්නේ නෑ. එයාලා ආවේ රෝස කැලෙන් කියලා හිතන දහය එකොළහ පන්තිවල ළමයි ඉන්නවා. ඇත්තටම මේවා අඬන්න ඕනේ කාරණා.

 

*ඉතින් මොකක්ද මේකට කරන්න පුළුවන්?

අපේ මේ අධ්‍යාපන ක්‍රමය දරුවන් පාදක  කරගන්න එකක් නෙවෙයි විභාග පාදක කරගත්තු එකක්. තේරෙන භාෂාවෙන්ම ලිංගික අධ්‍යාපනය ගැන කොටසක් එකතු කළත් ගුරුවරු ඒක 100%ක්ම උගන්වයි කියලා හිතන්න බැහැ. ඉතින් හොඳම දේ තමයි ලිංගික අධ්‍යාපනය සම්බන්ධ විශේෂඥ දැනුමක් තියෙන පුද්ගලයෝ පාසලට ගෙන්වලා දේශන සිදුකරන එක. ඒක ප්‍රායෝගිකයි.

 

*රටේ මේ තරම් ලිංගික අපයෝජන වැඩිවෙන්න ගෑනු ළමයි අඳින පළඳින විදියත් බලපානවා කියලා සමහරු කියනවා. ඒ කතාවේ ඇත්තක් තියෙනවද?

ඔව් තියෙනවා. පිරිමියෙක්ට ලිංගික උත්තේජනයක් ඇතිවෙන්නේ යමක් දර්ශනයෙන්. ඒත් කාන්තාවන්ට ඒක වෙන්නේ ස්පර්ශයෙන්. ඉතින් කවුරු හරි ගෑනු ළමයෙක් ටිකක් ඇඟපත පේන්න ඇඳගෙන යනවා නම් පිරිමියෙක්ට ඇය ගැන ආසාවක් ඇතිවෙලා ලිංගික අපයෝජනයකට යොමු වෙන්න පුළුවන්.

 

*ඔබ වෛද්‍යවරයෙක්. ඔබට නිතරම ලිංගික අපයෝජනයට ලක්වුණු දැරියෝ මුණගැහෙනවා. ඔබ ඉදිරියේ ඔවුන්ගේ ප්‍රතිචාර කොයි වගේද?

ප්‍රධානම දේ ඔවුන්ට කිසිම ලිංගික දැනුමක් නෑ කියන එක. ඔවුන් කැමැත්තෙන් ඒ වගේ දේකට ගිහිල්ලා තියෙන්නෙ ඒකයි. දවසක් මගේ ගාවට මනෝ උපදේශනයකට අවුරුදු 21ක ගෑනු ළමයෙක් ආවා. ඇයට දරුවෙක් ලැබෙන්න. සැමියා එක්ක ඉන්න බෑ එයා බැඳපු දවසේ ඉඳන්ම රණ්ඩු කරනවා කියලා ඇය කිව්වා. මං පස්සේ ඇහුවා ඇයි එහෙනම් එහෙම තත්ත්වයක් උඩ ඔයා දරුවෙක් හැදුවේ කියලා. මං දරුවෙක් බඩට එන්නේ කොහොමද කියලා මේ වෙනකල් දැනගන හිටියේ නෑ ඩොක්ටර් කියලයි ඒ ළමයා මට කිව්වේ. එහෙම කිව්ව ගමන් මම ඔලුවට අතගහගත්තා.

 

*බාලවයස්කාර දැරියක් යම්කිසි ලිංගික අපයෝජනයට ලක්වුණොත් ඒ දැරියට ඒ තත්ත්වය අනාගතයේ බලපාන්නේ කොහොමද?

අපි පොඩි කාලේ සමහරු හොල්මන් ගැන කියලා අපිව බය කරනවා. එහෙම දේවල් නෑ කියලා හැබැයි ලොකු වුණාම අපි දැනගන්නවා. හැබැයි රෑක කනත්තක් ළඟින් යද්දි අරක මතක් වෙලා බයක් එනවා නේද? ඒ අර හොල්මන් කතාව යටිහිතේ තැන්පත් වෙලා තිබුණු නිසා. ආන්න ඒ වගේ තමයි තමන්ට වුණු අපයෝජනයත් යටිහිතේ තැන්පත් වෙනවා. ඒත් එක්ක ඒක හැමතිස්සේම මනසට වදදෙනවා. ඒක ජීවිතේට ලොකු බලපෑමක්, පීඩනයක් ගේනවා.

 

*පුවත්පත කියවන දුවලා ඉන්න අම්මලාට මොනවද කියන්න තියෙන්නේ?

මේක සුළුවට ගන්න බැරි බරපතළ තත්ත්වයක්. ඉතින් මට ‘ධරණී’ කියවන අම්මලාට කියන්න තියෙන්නේ ඔබේ දරුවන් ආරක්ෂා කරගන්න උවමනා නම් අඩුතරමේ ඔවුන්ට ලිංගික අපයෝජනයක් කියන්නේ මොකක්ද කියලවත් තේරුම් කරලා දෙන්න. ඒවා කියලා දෙන්න ලැජ්ජා වෙන්න එපා. දරුවෙක් අපයෝජනය වුණොත් විඳින්න වෙන පීඩාව ඒ ලැජ්ජාවට වඩා හපන්. ඒ නිසා වයස අවුරුදු 16ට අඩු දැරියන්ගේ ලිංගික චර්යාවන් වගේම ඒ සම්බන්ධ නීති පිළිබඳව ඔවුන්ගේ දැනුම වැඩි කරන්න. මේක පාසල් පැත්තෙනුත් සිද්ධවෙනවා නම් වටිනවා.

 

වෛද්‍ය පාලිත බණ්ඩාර සුබසිංහ

නීති වෛද්‍ය නිලධාරී

ජාතික රෝහල, මහනුවර

 

රුවන් එස්.සෙනවිරත්න