විශේෂාංග

අතීසාරෙට අමුඩ ගහනවා වගේ කොරෝනාවලට හිතෙන හිතෙන බෙහෙත් බොන්න එපා

කායික රෝග විශේෂඥ වෛද්‍ය

යූ.ඩී.එන්.ප්‍රසාද්

පුත්තලම මූලික රෝහල

 

කොරෝනා මට්ටු කරන්න, මේ ඖෂධ ටික හැමදාම බොන්න.’

යනුවෙන්, තම මිතුරියක් මුහුණුපොතේ හුවමාරු කර තිබූ ෆේස්බුක් සටහනේ ශිරෝමාගේ දෑස් නතර වූයේ ඉබේටමය.

පෝස්ටුවේ අන්තර්ගත ඖෂධ වට්ටෝරුව ශිරෝමා කඩිමුඩියේ කොළ කැබැල්ලක ලියාගත්තේ ඉතා වටිනා ධන නිධානයක් ලැබුවාක් වැනි සතුටකින්ය.

දන්නවද, විටමින් C පෙත්තක් එක්ක මෙන්න මේ පෙති ටික හැමදාම බිව්වොත් කොරෝනා හැදෙන්නේ නැහැලු.”

අහම්බෙන් හමුවූ ඖෂධ වට්ටෝරුව ගැන අසල්වැසි නිවසද දැනුවත් කළ ශිරෝමා, ඒ මොහොතේම ළඟම ඇති ඖෂධාලයට ගොස් ඖෂධ වට්ටෝරුව මිලදී ගත්තාය.

එසේම එදින රාත්‍රියේම මේ ඖෂධ තම සැමියාට සහ දරු දෙදෙනාටද ලබාදීමට ශිරෝමා දෙවරක් නොසිතුවාය.

ඖෂධ ලබාගෙන පැය කිහිපයක් ගතවීමටත් මත්තෙන් පොඩි පුතු නොනවත්වාම වමනය කළෙන් මැදියම් රැයේම දරුවා රෝහල්ගත කිරීමට ඔවුන්ට සිදුවිය.

මේ දරුවට විෂ දෙයක් මොනවා හරි කැවුනද?”

වෛද්‍යවරයා අසද්දී තමා දරුවාට ලබාදුන් ඖෂධ ගැන ශිරෝමා හෙළි කළේ දෙඅතින්ම කඳුළු පිසිමින්ය.

දරුවාට ඖෂධ නිසා ආසාත්මිකබවක් ඇති වී ඇති බවත්, ඒ පිළිබඳව බිය නොවන ලෙසත් වෛද්‍යවරයා ශිරෝමාට පැවසුවේය. නමුත් හිතුමනාපයට ඖෂධ ලබාගැනීමට යාමෙන් මෙයට වඩා සංකීර්ණ සංකූලතා පවා ඇතිවිය හැකි බව ඇයට පැහැදිලි කිරීමටත් වෛද්‍යවරයා අමතක නොකළේය.

ශිරෝමාගේ මේ කතාවෙන් අපට පැහැදිලි කළ යුත්තේ කොරෝනාවෙන් මිදීමට සිතා හිතුමනාපයට අතට හසුවන ඕනෑම ඖෂධයක් ගිලදැමීමට යාම අතීසාරයට අමුඩ ගැසීමක් බවය.

කොරෝනා වසංගතයේ පීඩාවෙන් මිදීමට මේ මොහොතේ තුත්තිරි ගසේ හෝ එල්ලීමට බොහෝදෙනා සූදානම්ය. ඒ නිසාම ඖෂධ පිළිබඳව කිසිඳු දැනුමකින් තොර අයවලුන් පවසන ඖෂධ, වෛද්‍ය නිර්දේශයකින් තොරව ගැනීමට බොහෝදෙනා දෙවරක් සිතන්නේ නැත.

මේ තත්ත්වය පිළිබඳව පුත්තලම මූලික රෝහලේ කායික රෝග විශේෂඥ වෛද්‍ය යූ.ඩී.එන්. ප්‍රසාද් මහතා අප සමඟ සිදුකළ සංවාදයකදී තවදුරටත් පැහැදිලි කළේ මෙසේය.

සමාජ මාධ්‍යවලින් දැකලා හරි, කොරෝනා හැදිලා හොඳ වුණු කෙනෙක් කිව්ව පලියට හරි හිතුමනාපයට බෙහෙත් බොන්න ඉක්මන් වෙන අය ඕනතරම් ඉන්නවා. සමහර අය ආසාත්මික වෙලා ආවට පස්සේ ඖෂධ ලබාගත්තා කියන එක පවා වෛද්‍යවරුන්ගෙන් සඟවනවා. නොදැනුවත්කමින් කරන මේ වගේ දේවල් නිසා දරුණු අතුරු ආබාධ වුණත් ඇතිවෙන්න පුළුවන්.

විටමින් C, D, සින්ක් (Zinc), එතකොට ඩෙක්සමෙතසෝන් (Dexamethasone 6mg), අයිවර්මෙක්ටින් (Ivermectin), ප්රෙඩ්නිසොලෝන් (Prednisolone), ඇසිත්රොමයිසින් (Azithromycin 500mg), ඇන්ටිහිස්ටමින් (Cetrizine) වගේ ඖෂධ තමයි ගොඩක් අය ඔය විදිහට ලබාගන්නේ. ඔය අතරින් විටමින් C, D, සින්ක්, ඇසිත්රොමයිසින් සහ අයිවර්මෙක්ටින් කියන ඖෂධ කොවිඩ් රෝගයට ප්‍රතිකාරයක් වෙනවා කියලාවත්, මේවගෙන් ප්‍රතිශක්තිය වර්ධනය වෙනවා කියලවත් වෛද්‍ය විද්‍යාත්මකව සනාථ කරලා නැහැ. ඒ කියන්නේ මේවගෙන් කොවිඩ්වලට ප්‍රතිකාරයක් වෙන්නේ නැහැ කියන එකයි. එතකොට අනිත් ඖෂධ වෙන ඩෙක්සමෙතසොන්, ඇන්ටිහිස්ටමින් (Cetrizine), ප්රෙඩ්නිසොලෝන් වගේ ඖෂධ වුණත් ලබාගන්න ඕනේ වෛද්‍ය නිර්දේශ මත විතරයි.”

කොවිඩ්-19 රෝගීන්, රෝග ලක්ෂණ රහිත රෝගීන් සහ රෝග ලක්ෂණ සහිත රෝගීන් ලෙස කොටස් දෙකකට ඛණ්ඩනය කෙරේ.

රෝග ලක්ෂණ සහිත රෝගීන් නැවතත් අදියර හතරකට බෙදෙන අතර, පළමු අදියරේ රෝගීන්ට උණ, කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව සහ ඇතැම්විට හුස්ම ගැනීමේ අපහසුතාද මතුවිය හැකිය.

දෙවන අදියර ගතකරන රෝගීන්ට හුස්ම ගැනීමේ ගැටළු මතුවන නිසා ඔවුන්ට ඔක්සිජන් ලබාදීමටද සිදුවේ.

එසේම තුන්වන අදියරේදී රෝගියාට ඇතැම්විට යන්ත්‍රයක් ආධාරයෙන් කෘතිම ශ්වසනය ලබාදීමට සිදුවේ.

එසේම අවසාන අදියර වන්නේ අනිවාර්යයෙන්ම කෘතිම ශ්වසනය ලබාදීමට සිදුවන අවස්ථාවයි.

සාමාන්‍යයෙන් අපි ඩෙක්සමෙතසොන් ලබාදෙන්නේ අදියර 1,2,3 ගතකරන ඒ කියන්නේ ඔක්සිජන් ලබාදිය යුතු මට්ටමේ ඉන්න රෝගීන්ට විතරයි. ඉතින් අසාධ්‍ය වුණහම බොන්න ඕනේ බෙහෙත ලෙඩක් නැතුවම බොන්න ගියොත් ඒක ඍජුවම ප්‍රතිශක්තිකරණ පද්ධතියට බලපානවා.”

ඔහු කියන්නේ එම ඖෂධය නිස්කාරණේ භාවිතා කිරීමෙන් ශරීරයේ ප්‍රතිශක්තිය පහල වැටෙන නිසා ඔබට වෛරසය ආසාදනය වීමේ අවධානමක්ද ඇතිවන බවය. එමෙන්ම ඩෙක්සමෙතසෝන් නමැති ඖෂධය දරුවන්ට දිගින් දිගටම ලබාදීමෙන් අස්ථි වර්ධනයේ ගැටළු සහ පසුකාලීනව දියවැඩියාව වුවත් ඇතිවිය හැකි බව සටහන් කළ යුතුය.

කොටින්ම කිව්වොත් රෝග ලක්ෂණ ඇතිව හෝ නැතිව කොරෝනාවලින් ආරක්ෂා වෙන්න හිතාගෙන මේ ඖෂධ ගන්න එපා කියලා තමයි මම නම් කියන්නේ.

කොවිඩ්-19 රෝග ලක්ෂණ රහිත රෝගීන්ට සහ සාමාන්‍ය රෝග ලක්ෂණ පෙන්වන රෝගීන්ට කිසිම ඖෂධයක් අවශ්‍ය  නැහැ. සමබල ආහාර වේලක් ලබාගැනීම, හොඳින් ජලය පානය කිරීම, විවේක ගැනීම සහ මානසික සෞඛ්‍ය යහපත්ව තබාගැනීම කියන කරුණු කිහිපය හොඳින් ඉටුවෙනවා නම් ඔවුන්ගේ රෝග තත්ත්වය ඉතා ඉක්මනින් සුවපත් වෙනවා.

ඒ වගේම කියන්න ඕනේ සමහරු කොවිඩ් මර්ධන එන්නත් ලබාගැනීමට අනියත බියක් දක්වනවා. ඇත්තටම මේ වගේ ඖෂධ හිතුමනාපයට ගන්න තමයි අපි බයවෙන්න ඕනේ. එහෙම නැතුව එන්නත ලබාගන්න නෙවෙයි. කොවිඩ් රෝගය මාරාන්තික නොවීමට දැනට පිළිගන්න එකම ක්‍රමවේදය තමයි ඒක. ඉතින් කොවිඩ් මර්ධන එන්නත ගන්න අනියත භීතියක් ඇති කරගන්න එපා කියන පණිවිඩයත් ලබාදෙන්න ඕනේ. ඒ වගේම කොවිඩ්වලින් ආරක්ෂා වීමට නම් මුඛ ආවරණ පැළඳීම, නිතරම දෑත් සේදීම, සෙනඟ ගැවසෙන ස්ථානවලට නොයාම යගේ සෞඛ්‍ය නිර්දේශ පිළිපැදීමත් ඉතාම වැදගත්.”

කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වීමේ පරමාර්ථයෙන් නොව විටමින් වර්ග ලබාගත යුතු නිසා විටමින් C, D, යකඩ වැනි දෑ ඖෂධ පෙති වශයෙන් භාවිතා කරන පිරිසක්ද ඇත. ශරීරයට අවශ්‍ය විටමින් එසේ පිටතින් ලබාගැනීම හිතකරද යන්නත් අපි වෛද්‍යවරයාගෙන් අසා බැලුවෙමු.

මෙහෙමයි. වෛද්‍ය නිර්දේශ මත විටමින් වර්ග අවශ්‍ය මාත්‍රාවට ලබාගත්තා කියලා වරදක් නැහැ. හැබැයි විටමින් ඌණතාවයක් තියෙන කෙනෙක් හැර සාමාන්‍ය කෙනෙක් අධිමාත්‍රාවලින් මේ විටමින් ලබාගන්න එක නම් ශරීරයට අහිතකරයි.”

විටමින් C ලොකු පෙත්තක 500mg ප්‍රමාණයක්ද, කුඩා පෙත්තක ඖෂධ 50-100mg ක ප්‍රමාණයක්ද අන්තර්ගතය.

අවුරුදු 4 ඉඳලා 10 දක්වා දරුවෙක්ට දවසකට විටමින් C 45mg ක ප්‍රමාණයක් අවශ්‍යයි. ඊට වැඩි වයසේ අයට 50-60mg වගේ ප්‍රමාණයක් ප්‍රමාණවත්. සමහර අය ඔය ලොකු විටමින් C පෙති දෙකක් බොන්න පුරුදු වෙලා ඉන්නවනේ. ඉතින් එතන 1000mg වගේ ප්‍රමාණයෙන් අවශ්‍ය ප්‍රමාණය හැර ඉතිරි ටික මුත්‍රා හරහා පිටවෙලා යනවා. හැබැයි 1000mg ටත් වඩා ඒ කියන්නේ විටමින් C අධිමාත්‍රාවෙන් ලබාගත්තොත් වමනය, බඩේ දැවිල්ල, පාචනය වගේ අතුරු ආබාධ ඇතිවෙන්න පුළුවන්. ඒ වගේම විටමින් C බහුලව ගැනීම නිසා පසුකාලීනව මුත්‍රා ගල් හැදෙන්න ඉඩ තිබෙනවා.”

විටමින් C වල ඇති පැණි රස ස්වභාවය නිසා බොහෝදෙනා එය ලොසින්ජරයක් ලෙස සපා කන අතර, විටමින් C නිතර නිතර එසේ සපාකෑමෙන් කුඩා දරුවන්ගේ දත්වල එනැමලයට හානිවිය හැකිය. ඒ නිසා විටමින් C පෙති සපාකෑමට වඩා වෙනත් ඖෂධ පෙති ලෙසම ගිල දැමීම වඩා හොඳය.

ශ්‍රී ලංකාව හිරුඑළිය හොඳින්ම තියෙන රටක් වුණත් අපේ රටේ ගොඩක් අය විටමින් D ඌණතාවයෙන් පෙළෙන බව කණගාටුවෙන් වුණත් කියන්න වෙනවා. ඉතින් ඒ නිසා සමහරු විටමින් D පවා ඖෂධ පෙති විදිහට ලබාගන්නවා. වැඩිහිටියෙක්ට දවසකටම විටමින් D 600IU ප්‍රමාණයක් ප්‍රමාණවත්. ඒ ප්‍රමාණයට වඩා විටමින් D ලබාගත්තොත් කැරකැවිල්ල, හිසරදය, වමනය, තෙහෙට්ටුව වගේ සංකූලතා ඇතිවෙන්න පුළුවන්.”

සාමාන්‍ය පුද්ගලයෙකුට දිනකට 20-40mgක යකඩ ප්‍රමාණයක් ප්‍රමාණවත්ය. එම ප්‍රමාණයට වඩා යකඩ ගැනීමෙන් ඔක්කාරය, ආහාර අරුචිය, වමනය, උදරාබාධ, හිසරදය වැනි විවිධ අතුරු ආබාධ ඇතිවීමට ඉඩ ඇත.

මේ සියලුම ඖෂධ ලබාගන්න ඕනේ සුදුසුකම්ලත් වෛද්‍යවරයෙකුගේ වෛද්‍ය නිර්දේශ මත පමණයි කියන එක විශේෂයෙන්ම කියන්න ඕනේ. එළවළු, පලතුරු, පලා වර්ග ඇතුළු සමබල ආහාරවේලක් දිනපතාම ලබාගන්නවා නම් සිරුරුට අවශ්‍ය කරන විටමින් සහ පෝෂ්‍යපදාර්ථ සියල්ල ඉබේටම වගේ ලැබෙනවා කියලත් අවසාන වශයෙන් මතක් කරන්න කැමතියි.”

සෙව්වන්දි හෙට්ටිආරච්චි